පවතින තත්ත්වය යටතේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි තත්ත්වයක් මත ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් දේශප්‍රිය මහතා මේ බව දැනුම් දී තිබේ.
එමගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මාර්තු 02 දා පාර්ලමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වීමේ අරමුණින් බවත්, මැයි 14 වන දින නව පාර්ලිමේන්තුව රැස්වීමේ අරමුණින් බවත්ය.
නමුත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හමුවේ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා, ව්‍යවස්ථාවට අනුව මාස 3ක් ඇතුළත හෝ නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද පෙන්වා දී ඇත.
මේ තත්ත්වය යටතේ ඉදිරි කටයුතු පිළිබද නීතිපතිවරයාගේ මතය විමසන ලෙසද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත.











