කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනයක් ඊයේ (04) දින ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
බේරේ වැවට හරවන ලද මළ අපද්‍රව්‍ය නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය මෙන්ම බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර භාවිතා කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී විමසා බැලීම සිදුවිය.
එමෙන්ම මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැසයාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.











