2012 වන විට ලංකාවේ දේශපාලනය කැරකුණේ රාජපක්ෂ පවුල වටේය. ජැක්සන් ඇන්තනී, මහින්ද බුදු හාමුදුරුවන්ගේ පරපුරේ නෑයෙක් කීවේය. මහින්දගේ කටින් පිටවන වචනයත් දේව වාක්‍යයක් විය. ලංකාවේ බොහෝ මිනිස්සුන්ගේ මොබයිල් දුරකතනයේ රිඟින් ටෝන් එක වූයේ මහරජාණෙනි සින්දුවය.(Sri Lanka Latest News)
‘රාජපක්ෂලා තව අවුරුදු 20ක් 30ක් රට කරයි…’
ජ්‍යොතිෂවේදියෝ පමණක් නොව දේශපාලන විචාරකයෝද කීහ. ප්‍රධාන විපක්ෂය වූ යූ.ඇන්.පී.යේ හැමදාම කැරැලි කෝලාහලය. කැරැලි කෝලාහල මඬින්න පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් ජනාධිපති මහින්ද සමග ඩීල් එකක් දමාගෙන සිටියහ. ජවිපෙ ඇතුළෙත් කචල්ය. අනුර පිල, සෝමවංශ, කුමාර් ගුණරත්නම් යනුවෙන් පිල් තුනක් විය. සෝභිත හිමි නිදහස් සහ සාධාරණ සමාජ ව්‍යාපාරය කරළියට ගෙන එන්නේ විපක්ෂයට නැඟිටිව්, එක්වව් කියමින්ය. ඒත් විපක්ෂයට ඇහුණේ නැත. සෝභිත හිමිගේ හඬට කන් දුන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පමණි. සෝභිත හිමිත් ඔහුත් මහින්ද සහ රනිල් ඩීල් එක රටට හෙළිකරමින් අලුත් නායකත්වයක් වෙනුවෙන් රට සූදානම් කරමින් සිටියහ.
සෝභිත හිමි සහ උපුල්ලා එකට වැඩ කළේ ප්‍රේමදාසගේ අන්තිම කාලයේ ලලිත් ඇතුලත්මුදලිලා සමග එක්වෙලාය. චන්ද්‍රිකාගේ ඒකාධිපති ගමනට එරෙහිවත් සෝභිත හිමි සහ උපුල්ලා පාරට බැස වැඩ කළහ. ඒත් මහින්දගේ ආණ්ඩුව යටතේ ඔවුන් අසරණ වූයේ මහින්දට එරෙහි වන හැමෝම දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසන නිසාය. ඒත් උපුල් බය නැතුව 2010 ජනාධිපතිවරණයේ ෆොන්සේකා මහින්දගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනීසිටි නීතිඥයාය. ඒ වෙලාවේ ෆොන්සේකා සිටියේ හිරේය. උපුල් හිරේට ගොස් ෆොන්සේකා සමග සාකච්ඡා කොට පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂලාට එරෙහිව කතා කරන්නත් නීතිඥවරු බියවූ කාලයකය.
එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මහින්දගේ ආණ්ඩුවට එරෙහිව දිවි නැගුම නඩු තීන්දුව දෙන්නේ මේ කාලයේය. මේ තීන්දුවට එරෙහිව රාජපක්ෂ පවුලම කෝප වන්නේ තීන්දුව රාජපක්ෂ පවුලට ගහපු ගලක් කියා හිතාගෙනය. තීන්දුව ලබපු සැණින්ම ඔවුන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව ඉවත් කරන්න තීරණය කරන්නේ රාජපක්ෂලාට අභියෝග කරන කිසි කෙනකුට යහතින් සිටිය නොහැකිය යන පණිවුඩය දෙන්නටය. තනිවී අසරණ වන ශිරාණිට සහාය දෙන්න විපක්ෂ නායක රනිල්ද අදිමදි කරන්නේ මහින්ද සමග තියෙන දේශපාලන ගනුදෙනුව නිසාය. ඒ වෙලාවේ ශිරාණිව ආරක්ෂා කරගන්න පෙරට එන්නේ සෝභිත හිමි සහ නීතිඥ සංගමයේ සභාපති ලෙස උපුල් ජයසූරියය.
විපක්ෂය රාජපක්ෂලාගේ නම කියන්නත් බය කාලයක සෝභිත හිමි සිවිල් සංවිධානත් උපුල් ජයසූරිය රට පුරා විසිරී සිටින නීතිඥයන් එකට එක්කොට ශිරාණිව ආරක්ෂා කරන මහා පවුරක් හදයි. අවසානයේ රාජපක්ෂවරු ගෙදර යවන මහා පවුර වන්නේ සෝභිත හිමි සහ උපුල් හදපු මේ පවුරය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද සහ රාජපක්ෂ පවුල ඒ පවුරට යටවී සමතලා වූ විට සෝභිත හිමි සහ උපුල් හිතන්නේ සටන ඉවරයි කියාය. ඒත් තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චගන්න ඕනා කියා සෝභිත හිමි කියන්නේ හොරු අල්ලන්න ආ මෛත්‍රී-රනිල් ආණ්ඩුව හොරු එක්ක ඩීල් දමන බව දැනගෙනය. එහිදී උපුල්ද අසරණ වෙයි. සෝභිත හිමි අපවත් වෙයි. මෛත්‍රී-රනිල් ආණ්ඩුව වැටෙයි. රාජපක්ෂවරු යළි හිස ඔසවයි.
රට බංකොලොත් වීමත් සමග තරුණ තරුණියන් එක්වී අරගලය පටන් ගත්තේ සෝභිත හිමි සහ උපුල් නායකත්වය දුන් හොරු අල්ලන සටන යළි කරළියට ගෙන එමිනි. අරගලයෙන් රාජපක්ෂ පවුලට ගෙදර යන්න සිදුවුණත් රාජපක්ෂවරු තමන්ට එරෙහි චෝදනාවලින් බේරෙන්න 2015-2019 රනිල් එක්ක දමපු ඩීල් එකම දමමින් රනිල්ව ජනාධිපති කරයි. රනිල් ජනාධිපති වී රාජපක්ෂ ආණ්ඩුවේ වැරැදි කාපට් එකට හංගන බව තේරුම් ගෙන සමගි ජන බලවේගය සමග එක්වී උපුල් ලංකාව බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව උසාවි යන්නේ අරගලයේ නියමුවකු වූ මහීම් මෙන්ඩිස් ආචාර්යවරයාත් සමගය.
උපුල් ස්වේච්ඡාවෙන්ම නඩුව කතා කරන්නේ 2015 සෝභිත හිමි සමග පටන්ගත් සටන අවසන් කරන්න හොඳ අවසථාවක් එළඹී ඇති බව තේරුම් ගෙනය. ලෝක ඉතිහාසයේ රටවල් බංකොලොත් කළ නායකයන්ට එරෙහිව උසාවි ගිය නීතිඥවරු, සිවිල් සංවිධාන නැත. එහෙත් උපුල් – මහීම් ඇතුළු සිවිල් සංවිධාන සමගි ජන බලවේගය රටවල් බංකොලොත් කරපු නායකයන්ට පැනයන්න හැංගෙන්න දෙන්න එපාය කියන පණිවුඩය ලෝකයාටම දෙමින් උසාවි ගියහ.
රට බංකොලොත් කිරීමට රාජපක්ෂවරු සහ ඔවුන් සමග වැඩ කළ නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය රට හොල්ලන තීන්දුවක් දුන්නේය. රාජපක්ෂවරු අන්දමන්ද වූහ. තමා රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙක් නොවේ යැයි කී රනිල් නිරුත්තර විය. 2013 කොළඹ අලුත්කඩේ අධිකරණ භූමියේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දියත් කළ සටන 2015 රාජපක්ෂවරුන්ට එරෙහි සුනාමියක් විය.
උපුල් ජයසූරිය, මහීම්ලා සමග එක්වී රට බංකොලොත් කළ රාජපක්ෂලාට එරෙහිව උසාවි යද්දී අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය උසාවියේ පෙනී සිටින්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොරකම් හෙළිකළ රොෂාන් රණසිංහට එරෙහිවය. මේ නීතිඥ සංගමයටත් උපුල් ජයසූරියලා වැනි කොන්ද කෙළින් තියෙන නීතිඥයන් අවශ්‍ය කාලයයි. මෙවර ඔහුගේ සටන හොරකමට සහ ඩීල් දේශපාලනයට එරෙහිවයි. ඔහුගේ මේ සටන එන ජනාධිපතිවරණය වන විට හොරු හෝදාගෙන යන සුනාමියක් වනු නියතය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු










