දුර ගමන් සේවා බස් රථ ගමන් ආරම්භ කිරීම සඳහා බස් නැවතුම්පළේ නවතා ඇති අවස්ථාවේදී එයට ගොඩවන පුද්ගලයෙක්, තමන් කොන්දොස්තරවරයා බව අඟවා මගීන්ගෙන් මුදල් ලබාගෙන පලායන බවට මගීහු චෝදනා කරති. (Sri Lanka Latest News)
ඊට ආසන්නම සිදුවීමක් කොළඹ කොටුව දුරගමන් සේවා පෞද්ගලික බස් රථ නැවතුමෙන් වාර්තා විය.
මාර්ග අංක 48 (අඹගස්වැව – කොළඹ) බස් රථය ඊයේ උදෑසන 8.30ට පමණ කොළඹ කොටුව පෞද්ගලික බස් රථ ගාලේ නවතා තබා ඇත්තේ අඹගස්වැව බලා ගමන් ආරම්භ කිරීම සඳහාය.
එහි රියැදුරු සහ කොන්දොස්තරවරයා උදෑසන ආහාරය ලබාගැනීමට බැහැරට ගොස් ඇති අතර, ඒ වන විටත් බස් රථයේ මගීන් සැලකිය යුතු පිරිසක් සිට ඇත.
එක් වරම බස් රථයට නැග ඇති පුද්ගලයකු තමන් කොන්දොස්තරවරයා බව අඟවා මගීන්ගෙන් මුදල් එකතු කිරීමට පටන්ගෙන ඇති අතර, මගීන් කිහිප දෙනකුගෙන්ම ඔහු එලෙස මුදල් ලබාගෙන පසුපස දොරෙන් පිටව ගොස් ඇති බව සඳහන්ය.
මඳ වේලාවකින් බස් රථයේ සැබෑ කොන්දොස්තරවරයා පැමිණ නැවතත් මගීන්ගෙන් මුදල් අයකරන අතුර මෙම වංචාව පිළිබඳ හෙළිව ඇත.
කෙසේ වෙතත් මෙම වංචාවට හසුවූ මගීන්ගෙන් නැවත මුදල් අය නොකර ඔවුන්ව ගමනාන්තය වෙත රැගෙන යෑමට අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා කටයුතු කර තිබේ.
මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේද අවස්ථා කිහිපයකදීම වාර්තා වූ බවත් එවැනි අවස්ථාවලදී තමන් දැඩි දුෂ්කරතාවට පත්වන බවත් මගීහු පවසති.
මෙවැනි වංචනික පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දුර ගමන් සේවා බස් රථවල ගමන් කරන මගීන්ගෙන් ඉල්ලා සිටින බව එම සිදුවීමෙන් පීඩාවට පත් පිරිස සඳහන් කර සිටියහ.











