• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රතු ලයිස්තුවේ සිටි කොටි නායක එමිල් කාන්තන් හදිසියේම නිදහස් කරපු රහස එළියට එයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

October 29, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
2014 සිට ත්‍රස්ත ක්‍රියා සහ ඊට අනුබල දීමට චෝදනා ලබා සිටි එමිල්කාන්තන්-මුරුගේසු BLACK LIST ලයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුව පුපුරා කෑලි ගැලවෙයි!

ෆොන්සේකා හමුවූ සජබ ජ්‍යෙෂ්ඨයෝ!

චම්පිකගේ නියෝජිතයන් සජබය හමුවෙයි!

චීනෙට ගිහින් හිස් අතින් එයි!

පසුගිය සතියේ හිටිහැටියේම ආණ්ඩුව පැත්තෙන් නිකුත් වුණු නිවේදනයක සඳහන් වූයේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කොට අසාදු ලේඛනයේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු එම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කොට ඇතැයි කියාය. ඒ දෙදෙනා වූයේ එමිල් කාන්තන් සහ මුරුගේසු ජේසුදාසන්ය. මින් ලංකාව ඇතුළේ වඩාත්ම ප්‍රකටව සිටින චරිතය වන්නේ එමිල් කාන්තන්ය. ඒ, 2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන් විසින් උතුරේ ඡන්ද වැටීම වැළැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ.ය සමග කළා යැයි කියන මුදල් ගනුදෙනුවේදී එහි අතරමැදියා වශයෙන් එමිල් කාන්තන් කටයුතු කළ බවට වාර්තා වී තිබීමය.Sri Lanka Latest News

නිතරම අරලිය ගහ මැදුරට ආවා ගියා!

2005න් පසු මේ ආකාරයට එමිල් කාන්තන් පිළිබඳ දකුණේ මාධ්‍යවල තොරතුරු වාර්තා වුවද පළමුව එමිල් කාන්තන් දකුණේ දේශපාලකයන් සමග සබඳතා ආරම්භ කරන්නේ 2001 එජාපය ආණ්ඩු පිහිටුවීමත් සමගය. එවකදී ආරම්භ වූ සාම සාකච්ඡා ක්‍රියාවලියේදී එල්.ටී.ටී.ඊ.ය සහ ආණ්ඩුව අතර ගනුදෙනු සිදු කළ අතරමැදියා වශයෙන් කටයුතු කළේ මේ කියන එමිල් කාන්තන්ය. එම නිසා එමිල් කාන්තන් 2001-2003 සාම සාකච්ඡා පැවැති කාලසීමාවේදී නිතර නිතර අරලියගහ මන්දිරයට ආගිය කෙනකු විය. එවකදී එමිල් කාන්තන් නවාතැන් ගෙන සිටියේද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේය. කෙසේ වෙතත් 2005 ඡන්ද වර්ජනයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග එමිල් කාන්තන්ද රටින් පිටව ගොස් ඩුබායිහි ජීවත් වන්නට විය. ඒ අනුව එමිල් කාන්තන් යනු රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂද හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු වීම විශේෂ සිදුවීමකි.

එළියට දැම්මෙ ඇයි!

කෙසේ වෙතත් හදිසියේම මේ කියන එමිල් කාන්තන්ගේ නම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ එළඹෙන වසර මැතිවරණ වසරක් වීම නිමිතිකොට ගෙන එය ඉලක්ක කොට සිදුවීමට නියමිත යම් දේශපාලන මෙහෙයුමක ප්‍රබල චරිතයක් රඟපෑමට මෙසේ එමිල් කාන්තන්ගේ නම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඔහුට නිදහස ලබා දී ඇති බවකි. ත්‍රස්ත ලැයිස්තුවේ නම තිබූ සමයේ පවා එමිල් කාන්තන් ඩුබායි සිට උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් ඩුබායිවලට ගෙන්වා ගෙන අවස්ථා ගණනාවකදීම රැස්වීම් පැවැත්වීමට ද පියවර ගෙන තිබිණි. මේ වන විට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ අතර යම් යම් අර්බුද මතුව එහි ප්‍රධාන දේශපාලන පක්ෂය වූ දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂ කිහිපයක්ම ඉවත්ව සිටීම හේතුකොට ගෙන බොහෝ දෙනා අදහස් කරන්නේ ඉදිරියේදී එමිල් කාන්තන් විසින් මේ විසිරී සිටින සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් එකමුතුකොට එක් සන්ධානයකට ගැනීමට කටයුතු කරනු ඇතැයි කියාය.

ඩග්ලස්ගේ හෙළිදරව්ව

එමෙන්ම එමිල් කාන්තන් සහ උතුරේ ආණ්ඩු පක්ෂ දේශපාලන ප්‍රබලයා වූ ඩග්ලස් දේවානන්දා අතර එදා සිටම තිබුණේ නයි වෛරයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවැති සමයේදී ඩග්ලස් දේවානන්දාව ඝාතනය කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දරා තිබූණද, ඒ සියලු අවස්ථාවලදී සිය ජීවිතය බේරාගැනීමට ඩග්ලස්ට හැකියාව ලැබිණි. පසු අවස්ථාවකදී එමිල් කාන්තන් කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි ආ ඩග්ලස්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල විය. නමුත් ඩග්ලස් එයින්ද සිය ජීවිතය ගලවා ගත්තේය. එම ප්‍රහාරයේ චෝදනාවද එල්ල වූයේ එමිල් කාන්තන්ටය. කෙසේ වෙතත් පසුගිය සතියේ ඩග්ලස් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ එමිල් කාන්තන්ගේ සිද්ධියද කරළියට ඇදී ආවේය. එහිදී මාධ්‍යවේදීන් ඩග්ලස්ගෙන් සිය දේශපාලන සතුරා පිළිබඳ විමසද්දී ඩග්ලස් කියා සිටියේ අපූරු කතාවකි.

‘ඒ පරණ දේවල් වැඩක් නෑ. පහුගිය දවසක එමිල් මට කතා කළා. එයා කිව්වා කළුතරදී මට ගැහුවේ එයා නෙවෙයි කියලා…’ යැයි කී ඩග්ලස් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකිරීමටද පියවර ගත්තේය. ඒ, එමිල් කාන්තන් මේ වන විටත් ලංකාවට පැමිණ සිටින බවට ප්‍රකාශ කරමින්ය.

‘පහුගිය කාලේ එමිල් කාන්තන් වවුනියාවට ආවා කියලා දැනගන්න ලැබුණා. එහිදී සාකච්ඡා වටයක් තිබ්බා කියලත් අපට දැනගන්න ලැබුණා….’
ඒ අනුව ඩග්ලස් කියන කතාව ඇත්තක් නම්, එමිල් කාන්තන් පසුගිය කාලයේදී ලංකාවට ඇතුළු වී ඇත්තේ ත්‍රස්ත ලැයිස්තුවේ අසාදු ලේඛනයට ඇතුළත්ව සිටියදීමය. මන්ද ත්‍රස්ත ලැයිස්තුවේ සිටින අයකු කටුනායකින් ලංකාවට ඇතුළු වීමට කිසිදු හැකියාවක් නොමැති අතර, එමිල් කාන්තන්ට එම හැකියාව ලැබුණේ කෙසේද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයකි.

රාජපක්ෂවරු එකතු වෙයි!

මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ ප්‍රසිද්ධ දේශපාලනයෙන් තරමක් ඉවත්ව විවේකයෙන් සිටිමිනි. ඒ අනුව මහින්ද ජනතා හමුවීම් දැඩි ලෙස සීමාකොට ඇති අතර, ළඟම හිතවතුන් කිහිප දෙනකු පමණක් නිතර නිතර විජේරාම නිවෙසේදී හමුවන ආකාරයක් දැකගත හැකිය. මෙසේ තරමක නිහඬ ජීවිතයක් ගතකරන මහින්ද පසුගිය සතියේ පවුලේ ආගමික කටයුත්තකට සහභාගි විය. ඒ, මීට කලකට ඉහතදී වියෝ වූ සිය නැගණියගේ ගුණානුස්මරණ පින්කමටය. මෙම පින්කම රාජපක්ෂ පවුලට විශේෂ එකක් වූයේ කලකට පසු සියලු රාජපක්ෂවරුන් එකට එක්වූ අවස්ථාවක් ලෙස එය වාර්තා වීම නිසාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර යම් යම් මතගැටුම් පැවැතීම නිසා පසුගිය වසරක කාලය පුරාම සියලු රාජපක්ෂවරුන් එක් අවස්ථාවකට සහභාගි වූ බවක් දැකගන්නට ලැබුණේ නැත. මේ හේතුව නිසාම වරක් විදෙස්ගතව සිටින රාජපක්ෂ පවුලේ සහෝදරියක ලංකාවට පැමිණ මෙම රාජපක්ෂ පවුල යළි එක මේසයකට ගෙන ඒම සඳහා අවස්ථා දෙකකදී උත්සාහ දැරීය. නමුත් ඒ උත්සාහයන් දෙකම අසාර්ථක වූයේ ඒ සඳහා සංවිධාන කළ පළමු රාත්‍රී භෝජන සංග්‍රහයට රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් එක්ව සිටියද, මහින්ද එක් නොවීම නිසාය. එදින මහින්ද හදිසියේම තංගල්ලේ මහගෙදර බලා පිටත්ව ගොස් තිබිණි.

නැවත වතාවක් මහින්ද කොළඹ පැමිණ සිටි මොහොතක එම සහෝදරිය විසින් තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළ අතර, ඊට මහින්ද පැමිණීමට පියවර ගෙන තිබිණි. නමුත් කනගාටුවට කරුණ වූයේ එදින ගෝඨාභය ඊට සහභාගි නොවීමය. ඒ අනුව රාජපක්ෂ පවුල යළි එකමුතු කිරීමට ගත් එම උත්සාහයන් දෙකම අසාර්ථක විය.
නමුත් පසුගිය සතියේ පැවැති රාජපක්ෂ පවුලේ සහෝදරියගේ ගුණානුස්මරණ පින්කමට ගෝඨා, චමල්, බැසිල්, මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් එකට එක්වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, බොහෝ කලකට පසුවය.

විජේරාමට ආ අමුත්තා!

මේ ආකාරයට විජේරාම නිවෙසේ තරමක විවේකයෙන් සිටින මහින්දට මීට සති කිහිපයකට ඉහතදී තවත් විශේෂ අමුත්තකු මුණගැසීමට අවස්ථාව ලැබිණි. ඒ, වෙන කවුරුවත් නොව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාය. මීට දින කිහිපයකට ඉහතදී ලංකාවේ පැවැති දකුණු ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම හෙවත් ‘අයෝරා’ සමුළුවට සහභාගි වූ ජයශංකර්, පළමුව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට ඉන් අනතුරුව හමුවිමට පියවර ගත්තේ මහින්දවය. ඒ, මහින්දගේ විජේරාම පිහිටි නිවෙසටම පැමිණය.

සාමාන්‍යයෙන් මහින්දගේ විජේරාම නිවෙස ප්‍රකටව ඇත්තේ ඉන්දීය නියෝජිතයන්ට වඩා, චීන නියෝජිතයන්ගෙන් පිරී පවතින්නක් ලෙසටය. පසුගිය කාලයේදී එහි නිතරම චීන තානාපතිවරයාගේ මුහුණ දැකගන්නට ලැබුණු බව බොහෝ දෙනාගේ අදහසය. නමුත් මෙවර සිය ලංකා සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා මුණගැසී කෙළින්ම පැමිණියේ මහින්දව හමුවීමට ඔහුගේ නිවෙසටය. එසේ පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මහින්ද සමග බොහෝ වේලාවක් ඉතා සුහදශීලී අයුරින් කාලය ගතකරන ආකාරයක් දැකගත හැකි විය. මෙරට දේශපාලන තත්ත්වය මෙන්ම කලාපීය දේශපාලන තත්ත්වය පිළිබඳවද එහිදී දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබිණි. මෙම අවස්ථාව කොතරම් කුලුපග එකක් වූවාදැයි කියනවා නම් අවසානයේදී ජයශංකර්, මහින්දගේ නිවෙසින් පිටව ගොස් තිබුණේ රාත්‍රී භෝජනයද ගෙන මධ්‍යම රාත්‍රියටත් ආසන්න වීමෙන් අනතුරුවය.

සජබ ෆොන්සේකා හමුව!

පසුගිය සතියේදී අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් සමගි ජන බලවේගය සහ එහි සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා අතර මතුව ඇති මතගැටුම පිළිබඳවත්, එය සමතයකට පත්කර ගැනීම සඳහා සජබයේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවත් අනාවරණ කර සිටියෙමු. ඒ අනුව පසුගිය සතියේදී සජබ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සහ ෆොන්සේකා අතර විශේෂ හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට පියවර ගෙන තිබිණ. සජබයෙන් ඊට එක්ව සිටියේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඉමිටියාස් බාකීර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක සහ ගයන්ත කරුණාතිලකය.

මෙහිදී මතුව ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ෆොන්සේකා සමග සාකච්ඡා කරද්දී ෆොන්සේකා කියා සිටියේ පක්ෂයේ යම්යම් කටයුතු සම්බන්ධයෙන් තමන්ට ගැටලු ඇතැයි කියාය.
‘ගෝඨා ජනාධිපතිකමේ ඉඳගෙන සජිත්ට අගමැතිකම භාරගන්න කිව්වාම ඒක භාර නොගත්ත එකට මම විරුද්ධයි. අපට තිබ්බේ අගමැතිකම භාරගන්න. සජිතුත් ඒකට කැමැත්තෙන් හිටියා. හැබැයි ඒක නැවැත්තුවේ පක්ෂයේ ආර්ථිකය භාරව කටයුතු කළ හර්ෂයි, එරානුයි, කබීරුයි. අනෙක පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරන සටනට අපි ඩලස්වත් ඉදිරිපත් කරපු එක වැරැදියි. පරදින්න හරි සජිත් ඒකට ඉල්ලන්නයි තිබුණේ….’ යනුවෙන් කී ෆොන්සේකා සජබය මීට වඩා සංවිධානාත්මකව ජයග්‍රාහී මානසිකත්වය පිළිබිඹු වන පරිදි දේශපාලන කටයුතු කළ යුතු බව පිරිසට පෙන්වා දුන්නේය.
එහිදී සජබ ජ්‍යෙෂ්ඨයන් ෆොන්සේකාට කියා සිටියේ මේ සියලු කරුණු පක්ෂය ඇතුළේ කතාබහ කළ යුතු යැයි කියාය.

ඇතුළෙ කියන්න!

‘ඔබතුමා මේ පක්ෂයේ සභාපති. ඒ නිසා ඔබතුමාට පුළුවන් මේ ප්‍රශ්න පක්ෂය ඇතුළේ කතා කරන්න. පක්ෂයේ කළමනාකරණ කමිටුවේ ඔබතුමා ඉන්නවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවා. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් තියෙනවා. ඔබතුමා ඒවට ඇවිල්ලා මේ ප්‍රශ්න කතාකරන්න…’ යනුවෙන් කී පක්ෂ ජ්‍යෙෂ්ඨයන්, ෆොන්සේකා සම්බන්ධයෙන් වන ගැටලු අවසන් කිරීම සඳහා ෆොන්සේකා සහ සජිත් අතර විශේෂ හමුවක් සංවිධාන කිරීමට යෝජනා කළහ. ඊට ෆොන්සේකාගේද එකඟතාව පළවිය.

මීට අමතරව පසුගිය සතියේ රැස්වූ සජබ කළමනාකරණ කමිටුව මේ වන විට පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් තිදෙනකු සම්බන්ධයෙන් සුවිශේෂ තීන්දුවක් ගැනීමට කටයුතු කළේය. මෙම මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ ඒ.එච්.එම්. ෆවුස්, වඩිවේල් සුරේෂ් සහ අරවින්ද් කුමාර්ය. ෆවුසිට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටත්, වඩිවේල් සුරේෂ් සහ අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් එහිදී තීන්දු විය.

මේ අතර පසුගිය සතියේදී චම්පික රණවක මහතාගේ පක්ෂය නියෝජනය කරන ඉදිරි පෙළ දේශපාලන නායකයන් හා සජබ ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක්ද පැවැත්විණ. මෙහිදී පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු චම්පික රණවක මහතා සහ සජබ නායකත්වය අතර විශේෂ හමුවීමක් පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවක්ද ආරංචිය.

ඩයනාගේ ගැටුම!

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ සජබය රත් කළ ප්‍රධානම සිදුවීම වූයේ සජබයෙන් පාර්ලිමේන්තු පැමිණ ආණ්ඩුවට එක්වී ඇමැති ධුරයක් ගත් ඩයනා ගමගේ මහත්මිය හා සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා අතර පාර්ලිමේන්තුවේදී හටගත් ගැටුමය. මීට අදාළ වීඩියෝ පට සමාජ මාධ්‍යයේ සැරිසැරීමත් සමග මුලින්ම ඩයනා වැලිකඩ පොලිසියට ගොස් රෝහණ බණ්ඩාරට හා සුජිත් සංජයට එරෙහිව පැමිණිලි කිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම රෝහණ හා සජිත්ද මිරිහාන පොලිසියේ ඩයනාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කතානායකවරයා විසින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ අතර රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බකීර් මාකාර් එහි සෙසු සාමාජිකයෝ වූහ.

පසුගිය සතියේදී පළමු වතාවට මෙම කමිටුව රැස්වී ඩයනාගේ සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුහු සමාජ මාධ්‍යවල සැරිසරන ඊට අදාළ වීඩියෝ පටයට අමතරව පාර්ලිමේන්තුව මගින් ලබාගත් නිල සී.සී.ටී.වී. දර්ශනද සියුම් විමර්ශනයකට ලක් කළහ. එම වීඩියෝ පටයේ ශබ්දය අඩංගු නොවූ බැවින් සමාජ මාධ්‍යයේ සැරිසරන රෝහණ බණ්ඩාර විසින් වීඩියෝගත කරන ලද දර්ශනවල තිබූ සංවාදයද සියුම්ව විමර්ශනය කිරීමට පිරිස පියවර ගත්හ.

පොලිසියෙන් ලියුමක්!

ඉන් අනතුරුව කතානායකවරයා වෙත ලැබී තිබූ ලිපියක් කමිටුවට ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කටයුතු කළේය. එම ලිපිය එවා තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසිනි. ලිපියෙන් කියැවුණේ මෙම ගැටුමට අදාළව වැලිකඩ සහ මිරිහාන පොලිසිවලටද පැමිණිලි ලැබී තිබෙන බැවින් පොලිසිය විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට සූදානම් බවත්, කතානායකවරයාගේ එකඟතාව ඊට තිබේද යන්නත්ය. එහිදී කමිටු සාමාජිකයන් අතර මත දෙකක් ඉදිරිපත් වූ අතර, එක් මතයකින් කියැවුණේ මෙය පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීමක් බැවින් එවැනි විමර්ශනයකට ඉඩ දිය යුතු නැති බවත්, එසේ ඉඩ ලබාදුනහොත් පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවන සෑම දෙයක්ම විමර්ශනය කිරීමට පොලිසියට ඉඩ ලබාදීමට සිදුවනු ඇති බවත්ය. නමුත් අනෙක් මතයෙන් කියැවුණේ මෙම සිදුවීම පිළිබඳ රටම බලා සිටින බැවින් පොලිස් විමර්ශනයකටද අනුමැතිය ලබාදිය යුතු බවකි.

එසේම පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවූ සිද්ධියක් මුල්කරගෙන මේ ආකාරයට පොලිස් විමර්ශනයක් මීට පෙර සිදුව තිබේද යන්න පිළිබඳවද පිරිස සොයාබැලීමක් කළහ. එහිදී ඔවුන්ට දැනගැනීමට ලැබුණේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අවස්ථාවේදී පමණක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසිය එදා පාර්ලිමේන්තුව තුළට කැඳවා ඇති බවකි. මේ ආකාරයට මත දෙකක් ඉදිරිපත් වීම නිසා අවසානයේදී එය කතානායකවරයාගේ අභිමතයට අනුව තීන්දු කිරීමට ඉඩ ලබාදීමට පිරිස තීන්දු කළහ.

කාන්තාවන් දෙන්නෙක්!

කෙසේ වෙතත් අවසානයේදී තවත් වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම ඩයනාගේ සිද්ධිය මුල්කරගෙන ගැනීමට පිරිස කටයුතු කළහ. ඉන් පළමුවැන්න වූයේ සිද්ධියට සම්බන්ධ ඩයනා, රෝහණ සහ සුජිත් යන තිදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමට අමතරව සිද්ධියේ ඇසින් දුන් සාක්ෂිකරුවන්ටද කමිටුව ඉදිරියට කැඳවීමට තීරණය කිරීමය. ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ අසල සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු නිලධාරීන්ද, පොලිස් නිලධාරීන්ද කමිටුව හමුවට කැඳවීමට තීරණය විය. එමෙන්ම කමිටුවේ කාන්තා නියෝජනයක් නොතිබූ බැවින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරල යන මන්ත්‍රීවරියන්ද ඊට එක්කර ගැනීමට පිරිස තීන්දු කළහ. මීට අමතරව මෙම සිදුවීම පාර්ලිමේන්තුවේ සිටින අනෙක් සියලු දෙනාටම බලපාන බැවින් ඉතා ඉක්මනින් එහි විමර්ශන අවසන් කොට වාර්තාව කතානායකවරයා වෙත භාරදීමටද පිරිස එකඟතාවකට පැමිණියහ.

‘බෝම්බයක්’ පත්තු වෙයි!

සිය චීන සංචාරය නිමාකර ලංකාවට පැමිණි වහා ජනාධිපතිවරයා හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට සැලසුම් කොට ඇති බවත්, එහිදී ඇමැතිවරුන් හය දෙනකුගේ විෂයයන් මාරුකිරීමට ඉඩ ඇති බවත්, ඇතුළේම සිටින ඇමැතිවරුන්ගෙන් මිස පිටතින් සිටින කිසිවකුටත් ඇමැති ධුර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, අප අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කළේ ජනාධිපතිවරයා චීනයේ සිටියදීමය. ඔක්තෝබර් 20 පළ කළ එම පුවතින් අප කියා සිටියේ මෙවැන්නකි.

‘ජනාධිපති ලංකාවට ආ පසු ඇමැතිවරු 6 දෙනෙක් එළියට!
අලූතින් එන 6 දෙනාට පිටින් කවුරුත් නෑ
ඔක්කොම ඉන්න කට්ටියගෙන්මයි
සිය චීන සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ දිනවල ආන්දෝලනයට තුඩු දී සිටින අමාත්‍යවරුන් 6 දෙනකු ඉවත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
නමුත් එම ඇමැති ධුර පිරවීමේදී පිටත සිටින කිසිවකුට අලුතින් තනතුරු නොදීමටද ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි පැවසේ.
ඒ අනුව ඇමැති තනතුරු දරන කිහිප දෙනකු අතරේ මෙම අමාත්‍ය ධුරද බෙදාහැරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද දැනගන්නට තිබේ.’

අපි කිව්වා හරියටම හරි!

මේ අකාරයට අප පළ කළ පුවත තහවුරු කරමින් සිය චීන සංචාරය නිමවා සතිඅන්තයේ ලංකාවට පැමිණි ජනාධිපතිවරයා සඳුදා දින සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්ව සිටි කෙහෙළිය රඹුක්වල්ල මහතාගේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෛi රමේෂ් පතිරණ මහතාට ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගැනීමය. මීට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරමින් ඇමැති ධුර දරන මහින්ද අමරවීර හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ට ඔවුන් දරන ඇමැති ධුරවලට අමතරව තවත් අමාත්‍ය ධුර ලබාදෙමින් ඔවුන් තවත් සවිබල ගැන්වීමටද ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් පොහොට්ටුවට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් රැසකගේනම් ඇතුළත් කොට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ජනධිපතිවරයා වෙත ලිපියක් ලබාදී තිබියදීත් ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට ලොකු හැන්දකින් බෙදා තිබීම හේතුවෙන් පොහොට්ටුවේ අභ්‍යන්තරය එක්වරම ගිනිගත් ආකාරයක් දැකගත හැකි විය. එය එදිනම පැවැති සාගර කාරියවසම් මහතාගේ මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියේම එළියට පැන්න අතර එහිදී සාගර කාරියවසම් කියා සිටියේ මේ ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි කියාය. ජනාධිපතිවරයා පත් කළේ පොහොට්ටුව විසින් බවත්, ආණ්ඩුව පොහොට්ටුව බවත් කී සාගර එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් පොහොට්ටුව සමග අදහස් හුවමාරු කරගත හැකිව තිබූ බවත්, ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමයට කනස්සල්ල පළකරන බවත් එහිදී සාගර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පොහොටටුව ඇවිලෙයි!

සාගරගෙන් පසු ආණ්ඩුවේ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳ ප්‍රබලම ප්‍රහාරය එල්ල වුණේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂගෙන්ය. නාමල් ජනාධිපතිවරයාට සන්ධාන ආණ්ඩුවක වැඩ කළ යුතු ආකාරය පිළිබඳ පාඩමක් උගන්වමින් කියා සිටියේ මෙසේ කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ආණ්ඩුවේ නරක පමණක් පොහොට්ටුවට හිමිවී හොඳ වැඩකටයුතු වෙනත් පාර්ශ්වයක් වෙත හිමිවීම පිළිගත නොහැකි බවත්ය.

‘එතුමා තේරුම්ගත යුතුයි, පරිණත දේශපාලනඥයෙක් විදිහට සන්ධාන දේශපාලනය කරන කොට ඒ සන්ධානය එක්ක සමගියෙන්, සාකච්ඡාවෙන් ගනුදෙනු කරන්න. ආණ්ඩුවේ නරක පොදුජන පෙරමුණටත් හොඳ තවත් පාර්ශ්වයකටත් යාම අනුමත කරන්න බෑ. යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය එකේ ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම.‘ යැයි නාමල් කියා සිටියේය.
ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමග සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව කී නාමල්, පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවද කියා සිටියේය.
‘ජනාධිපතිවරයාට කැබිනට් සංශෝධනයක් කරන්න අයිතියක් තියෙනවා. කෙසේ වෙතත්, රජයටද යුතුකමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහෝදර සන්ධාන පාක්ෂිකයන් දැනුවත් කර සාකච්ඡා කරන්න.’
ඉදිරියේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පොහොට්ටුවෙන්ම උත්තර!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිදුකරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර ගැටුමක් බවට පමණක් නොව පොහොට්ටුව පොහොට්ටුව අතර ගැටුමක් බවට පත්වූයේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග හිතවත්ව ඇමැතිකම් දරන පොහොට්ටු මැති ඇමැතිවරුන් විසින් සාගරට හා නාමල්ට ප්‍රතිචාර දැක්වීමට පියවර ගැනිමත් සමගය. ඒ සඳහා මුලින්ම කටයුතු කොට තිබුණේ රාජ්‍ය ඇමැතිවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ දිලුම් අමුණුගමය. ඔවුන් සාගර මාධ්‍යයට කර තිබූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වූවද සාගරට හා නාමල්ට බරපතළම ප්‍රහාරයක් එල්ල වුණේ වෙන කාගෙන්වත් නොව කලක් පොහොට්ටුවේ ප්‍රබලයකු ලෙස පමණක් නොව රාජපක්ෂවරුන්ගේද රැකවලකු ලෙස කටයුතු කළ නිමල් ලන්සාගෙන්ය. ලන්සා මේ වන විට ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කරන්නකු ලෙස ප්‍රකටව සිටින අතර පොහොට්ටුවේ ප්‍රබලයන්ට මෙන්ම රාජපක්ෂවරුන්ටද ප්‍රබල ලෙස පහර දෙන්නකු ලෙස ප්‍රකටය. ඒ අනුව ලන්සා කියා සිටියේ සාගරගේ මොළේ හොඳ නැති බවත්, නාමල් බල්ලෙක් වගේ බුරන බවත්ය.

ලන්සාගෙන් බර අවි ප්‍රහාර!

‘සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුණු එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශවලට වැඩ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.
ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනව නම් අමාත්‍ය ධුර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරදි විදියට කරලා තියෙනවා කියලා එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.
ඒ අයට බලය තියෙනවනම් සාගර කාරියවසම් ඇතුළු පිරිසට ඒ දේ පෙන්නන්න පුළුවන්. එක එක ඒවා කිය කියා ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුළුවන්. විපක්ෂයට ගිහින් ඉඳගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ ‍නැතිනම්, එතුමා ජනාධිපති ධුරයේ වැඩ කරද්දී මෙතුමන්ලා‍ එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම් මහතාට පුළුවන් මාධ්‍යවල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මුණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.
සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොඳ නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩකරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දේ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුළුවන්. මාධ්‍යවල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍ය ධුර කීයක් දුන්නද? රාජ්‍ය අමාත්‍ය ධුර කීයක් දුන්නද? විෂයයන් කීයක් දුන්නද? ඒ කාලේ අමාත්‍ය ධුර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා එතුමට තේරුණේ නැද්ද? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එළියට දැම්මා. එදා කතා කළේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම්. එදා කතා කරන්න තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුණා. එදා පූස් පැටව් වගේ හිටියේ.
ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතය අමතක කරලා කතා කරන්නේ නැතිව පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමැතිකම් වෙනස් කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතාකරන්න.
රට හරියට නොකිරීම තුළ තමා මිනිස්සු පෝලිම්වලට ආවේ. විදුලිය නැතිව මිනිස්සු හිටියා. ‍ගෑස් පෝලිම්, බෙහෙත් ටික නැතිව හිටියා. ඉතින් එහෙම තිබුණු ආණ්ඩුවක් තමා මිනිස්සු එළියට ඇවිල්ලා පෙරළලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයට පත්වෙන්න අවස්ථාවක් ආවේ. නාමල් රාජපක්ෂලා ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. ‍පොහොට්ටු ආණ්ඩුව හරියට නොකිරීම තුළින් සිදුවුණු දෙයක්. අපිත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. අපි අවුරුදු 30 ක් ගොඩනගාගත්ත දේශපාලනය විනාශ වුණා ආණ්ඩුව හරියට නොකිරීම තුළ. එතුමන්ලා තමා එදා නා‍යකයෝ. එතුමන්ලා තමා කැබිනට් අමාත්‍යවරු. එදා ජනතාවට සහන දුන්නා නම් කබලෙන් ලිපට වැටිලා ජනතාව මහපාරේ ලක්ෂ ගාණක් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා එලවන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක අද අමතක වෙලා නාමල් රාපක්ෂ මැතිතුමාට. මේ ආර්ථිකය තුළ නාමල් රාජපක්ෂ කියනවා වගේ සහන දෙන්න විදියක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපට උදව් කරලා ඒ අය නිර්නායක දීලා තියෙනවා. ආණ්ඩුව මේ විදියට ගියොත්, ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට අරන් ගියොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා.
කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමැතියි. හැබැයි නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍ය ධුරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතාට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ.
එතුමලට තීන්දු කරලා කැමැති දෙයක් කරන්න පුළුවන්. ඉදිරියේ අයවැය එනවා. අය වැයට විරුද්ධව පුළුවන් නම් ජන්දය දීලා එළියට යන්න. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න යන්න පුළුවන්. මිනිස්සු එදාට උත්තරය දෙයි. නාමල් රාපක්ෂ මහතාටත්, සාගර කාරියවසම් මහතාටත් මට කියන්න තියෙන්නේ ඉදිරි අයවැය ලේඛනයට විරුද්ධ නම් එයට විරුද්ධ වෙලා ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන එක. අපි සියලු දෙනා ඒකට සූදානම්. මිනිස්සු ප්‍රතිඑලය පෙන්නයි ඒ අයට.
පාර්ලිමේනේතු‍‍වේ අයවැය ‍ලේඛණය පරද්දන්න මේ අය යන්නේ නැහැ. අයවැය ලේඛනය පරද්දලා මහ මැතිවරණයට යන්න බයයි. මේ අය පරද්දන්නේ නැහැ. පුළුවන් නම් ම‍ගේ අභියෝගය භාරගන්න. ජනාධිපතිතුමා කියන දේ කරන්නේ නැතිනම් මේ අයට පුළුවන් මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියන්නේ නැතිව එළියට යන්න. කැබිනට් සංශෝධන හතරක් කළා ගෝඨාභය රාජපක්ෂ. මේ කවුරුත් ඒ වෙලාවේ කෑගැහැව්වේ නැහැ.
ආණ්ඩුවේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් එතුමන්ලට පුළුවන් මේ ආණ්ඩුව වට්ටන්න. ඒ අයට ඡන්දයට ගියාම තෙරේයි මහපොළොවේ තියෙන යථාර්ථය…’ යනුවෙන් ලන්සා එහිදී සඳහන් කොට තිබිණ.

ලන්සාට සනත්ගෙන් උත්තර!

කෙසේ වෙතත් ලන්සාගේ මේ බරපතළ ප්‍රහාරයත් සමග පොහොට්ටුවටද නිකම් සිටියේ නැ. ඒ අනුව පොහොට්ටුව ලන්සාට එදිනම ප්‍රතිචාර දැක්වීමට තීන්දු කළ අතර, ඒ සඳහා තෝරාගෙන තිබුණේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ විකාශය වන රූපවාහිනී දේශපාලන වැඩසටහනකි. එදින ඊට සහභාගි වී තිබුණේ ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සනත් නිශාන්තය. එදින සනත් නිශාන්ත ලන්සාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ ලන්සාට කුඩු හා ගංජා ගැන හසල දැනුමක් ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා 2015දී පරාජයට පත්වීමට ලන්සාද එක් හේතුවක් වූ බවත්ය.

‘දැන් ලන්සා නාමල්ට විවාදයකට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. දෙන්නා අතර විවාදයක් තිබ්බොත් ලන්සා අනිවාර්යයෙන්ම දිනනවා. මොකද ලන්සාට කුඩු, ගංජා, හෙරොයින් ගැන හසල දැනුමක් තියෙනවා. නාමල්ට ඒ විෂයයන් ගැන කිසිම දැනුමක් නෑ. අනෙක තමයි 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය පරාජයට පත්වෙන්න ලන්සාත් එක හේතුවක්. මොකද ඒ කාලේ ලන්සාගේ ගෙදර මත්ද්‍රව්‍ය තියෙනවා කියලා තොරතුරක් එස්.ටී.එෆ්. එකට ලැබිලා තිබුණා. ඉතින් එස්.ටී.එෆ්. එක ලන්සාගේ ගෙදර වටලන්න ගියාම හිටපු ජනාධිපතිතුමා ලන්සාගේ ගෙදරට ගිහින් ඔහුව බේරගන්න කටයුතු කළා කියලා ලොකු චෝදනාවක් ආවා…’ යැයි එහිදී සනත් නිශාන්ත සඳහන් කර සිටියේය.

බජට් එක මොකක් වෙයිද!

ඒ අනුව දැන් ජනාධිපතිවරයාගේ ඇමැති මණ්ඩල සංශෝධනය පොහොට්ුව ඇතුළේ එකිනෙකාට චෝදනා කරගන්නා විශාල ගිනි ජාලාවක් බවට පත්ව අවසානය. තවමත් ඒ ගිනි ජාලාවේ ගිනිදැල් නිවී ගොස් ඇති ආකාරයක් දැකගන්නට නැති නිසා එය කොහෙන් කෙළවර වේදැයි දැන්ම සඳහන් කරන්නට බැරිය.

අප එසේ කියන්නේ තවත් සති දෙකකින් 2024 වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටීම නිසාය. අප මීට පෙර මෙම තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නේ දැනටමත් පොහොට්ටුව ආණ්ඩුවේ අයවැය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බවකි. විශේෂයෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන් නොගන්නා ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ වැය ශීර්ෂයන් පරාජය කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තීන්දු කර ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව බොහෝ දුරට ඇමැති ඔළුගෙඩි මාරුවේ සහ ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ මතගැටුමේ අවසානය අයවැය පිටින් යාමට වැඩි ඉඩකඩක් ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

ලන්සා කාර්යාය වහයි!

අනෙක් අතට ලන්සා පිළිබඳ තවත් විශේෂ කරුණක් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම්ය. අප මේ තීරය ඔස්සේ අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ වගකීම නිමල් ලන්සා විසින් කරට ගෙන කටයුතු කරන බව සඳහන් කර සිටියෙමු. ඒ වෙනුවෙන්ම රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි නව දේශපාලන පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමටද ලන්සා කටයුතු කළ බව අපි අනාවරණ කළෙමු.

එහිදී ලන්සා නව සන්ධානයේ නායකයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරියේ තබාගෙන කටයුතු කළ ආකාරයත්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කුරුණෑගල පිහිටි අනුර යාපාගේ නිවෙසේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබූ ආකාරයත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. නමුත් එම සාකච්ඡාවට සහභාගි වී සිටියේ නිමල් ලන්සාත්, නලින් ප්‍රනාන්දුත් පමණක් වීම නිසා එම සාකච්ඡාව අසාර්ථක වූ බවද අප එහිදී පෙන්වා දුන්නෙමු.
ඒ අනුව අප මෙවර අනාවරණ කරන්නේ ලන්සාගේ අලුත් සන්ධානයට අත්ව ඇති අලුත්ම ඉරණමය. අලුත් සන්ධානයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ලන්සා රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි ගත් ගොඩනැගිල්ල පසුගිය සතියේ වසාදැමීමට ලන්සා පියවර ගෙන තිබුණේ මේ වන විට ඊට පැමිණෙන මැති ඇමැතිවරුන්ගේ ගණන සහ පාක්ෂිකයන්ගේ ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වීම හේතුවෙන්ය. ඒ අනුව ලන්සාගේ නව දේශපාලන සන්ධානය ලත් තැනම ලොප්වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

සජිත්ගෙනුත් නිවේදනයක්!

මීට අමතරව පොහොට්ටුව පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එහිදී ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සජිත් කියා සිටියේ ආණ්ඩුව අරුම පුදුම ඔළුගෙඩි මාරුවක් සිදුකරමින් ස්මාර්ට් රටක් නොව ජිල්මාට් රටක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවකි. පහත දැක්වෙන්නේ සජිත් නිකුත් කළ එම නිවේදනයය.

තවත් නාඩගමක් රඟදක්වලා!

‘ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව තවත් නාඩගමක් රඟ දක්වයි.
සිය විහිළුසහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟදක්වා තිබේ. ඒ, කැබිනෙට්ටුව තුළ කළ අරුම පුදුම ඔළුගෙඩි හුවමාරුවකිනි.
ඒ අනුව විපක්ෂයත් රටේ ජනතාවත් එක්ව දිගින් දිගටම අසාර්ථක බව කී සෞඛ්‍ය අමාත්‍යවරයාට පරිසරය භාරදී තිබේ. සත්‍ය වශයෙන්ම මින් සිදුවන්නේ ස්මාර්ට් රටක් නොව ජිල්මාට් රටක් නිර්මාණය කිරීමය.
මේ වනාහී ජනාධිපතිවරයා හදන්නට උත්සාහ කරන ස්මාර්ට් රටේ ස්වරූපයදැයි අපි ප්‍රශ්න කරමු.
වෙනස් වීම තමන්ගෙන් පටන්ගන්නා බව කී ජනාධිපතිවරයා ලබාදී ඇති විහිළුසහගත ආදර්ශය අපූරුය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ ක්‍රියාකලාපය අසාර්ථක හෙයින් අප විසින් විශ්වාසභංගයක් ගෙන ආ අතර ආණ්ඩුව එක්ව ඔහු රැකගනු ලැබීය. රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රය කඩාවැටුණත් තමන්ට ඔහුව විශ්වාස බව පවසා රැකගත් සෞඛ්‍ය අමාත්‍යවරයාම අද ජනාධිපතිවරයා විසින් ඉවත්කොට 113කගේ විශ්වාසය නිරුවත් කොට ඇත.
තවදුරටත් හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ කතා කරමින් තමා පරිසරය ගැන ඉතා උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව පරිසර අමාත්‍යවරයා ලෙස පත්කිරීම තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සිදුවූ පරිහානිය පරිසරයට ද සිදුකිරීමට ඇති ඉඩකඩ විවෘත කරදී ඇත්තේ තමාගේ ප්‍රතිපත්තිවල අරමුණ ජනතාවගේවත් පරිසරයේවත් සුබසිද්ධිය සැලසීම නොව තමාගේ බලය තහවුරු කරගැනීම සදහා පමණක් වන බව යළි යළිත් තහවුරු කරමිනි.
අනීතික ලෙස විදුලි බිල වැඩි කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළු අත්‍යාවශ්‍යය සේවා විනාශයට ගෙන යමින්, සිය බලය රැකගැනීමට නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයන්ට ඇතුළු වෙමින් සිදුකරන මේ විහිළු නාඩගම් සහ දේශපාලන සූදුව තවදුරටත් රටේ ජනතාව අනුමත නොකරයි.
දිගින් දිගටම මහජනතාව පීඩනයට ලක් කරමින් අදූරදර්ශී මිලේච්ඡ තීන්දු තීරණ ගනිමින් ඒකාධිපති ආණ්ඩුවක් ලෙස මැතිවරණ සිතියම හකුලා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධිව ගෙන යන වැඩපිළිවෙළ නතර කර වහාම මැතිවරණයක් පවත්වන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.’

නැව ආවා!

ෂී යැන්ග් 6 චීන නෞකාව ලංකාවට පැමිණීම සඳහා අවසර ඉල්ලා තිබුණේ මීට මාස තුනකට පමණ ඉහත සිටය. එම තත්ත්වය වාර්තා වීමත් සමග ඉන්දියාව සිය විරෝධය ඊට පළකොට තිබුණත් ආණ්ඩුවේ යම් යම් ආයතන චීන නැවට ලංකාවට පැමිණිම සඳහා අවසර ලබාදීමට කටයුතු කොට තිබිණි. ජනාධිපතිවරයා සිය චීන සංචාරය සඳහා සහභාගි වී සිටින මොහොතේදී මෙම නැවට ලංකාවට පැමිණීම සඳහා අවසර ලබාදී තිබුණද ආණ්ඩුව චීනයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ලබන නොවැම්බරය දක්වා මෙම නැවේ ගමන කල්දමන ලෙසටය. එය විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාද නිල වශයෙන් මාධ්‍ය හමුවේ සඳහන් කරමින් කියා සිටියේ නැවේ ගමන නොවැම්බර් දක්වා කල්දමන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බවකි. නමුත් එය පසුපස තිබූ අරමුණ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කරමින් අප කියා සිටියේ නොවැම්බර් මාසයේදී මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මුහුද රළු වීමට නියමිත බවත්, එවිට නැවකට ලංකාවට ඇතුළු වීම අසීරු නිසා ආණ්ඩුව එම ඉල්ලීම කර ඇති බවත්ය. ආණ්ඩුවේ මෙම යටි අරමුණ ඒ වන විටත් චීනයද නොදැන සිටියා නොවේ.

අපි කියපු දේ වුණා!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා චීනයට යෑමට පෙර අප මෙම තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මෙම චීන සංචාරයේදී ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව සිතා සිටින ආකාරයේ විශාල මූල්‍ය උපකාරයක් චීනයෙන් නොලැබෙනු ඇතැයි කියාය. අප අනාවරණ කළ පරිදිම චීන සංචාරයේදී එවැනි මූල්‍යාධාරයක් හිමිවූ බවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවුණේ නැත. එපමණක් නොව ජනාධිපතිවරයා සහභාගි වූ ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුවටම චීන ආරාධනාව මත සහභාගිව සිටි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ලංකාවට පැමිණ කටුනායකදීම මාධ්‍ය හමුවේ කියා සිටියේ චීනයෙන් ජනාධිපතිවරයාට එතරම් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැතැයි කියාය. එමෙන්ම චීන සමුළුවේදී ඉතියෝපියානු ජනාධිපතිවරයාට පවා කතාවක් ලබාදී තිබුණද, අපේ රටේ ජනාධිපතිවරයාට කතාවක් ලබාදී නොතිබුණු බව විමල් කියා සිටියේය. එපමණක් නොව, චීනය මෙවර සමුළුවේදී සැලකුවේ දෙකට දෙවාරේ නොමැතිව එක පයින් චීනයත් සමග එකට සිටගෙන සිටින රටවලට පමණක් බව විමල් කියා සිටියේ අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ කරුණු 100%ක් තහවුරු කරමිනි.

ඉන්දියාව කනස්සල්ලෙන්!

කෙසේ වෙතත් ආණ්ඩුව චීන නැවේ පැමිණීම නොවැම්බරය දක්වා කල්දමන ලෙස ඉල්ලා සිටියද කලින් තීරණය කර තිබූ පරිදිම චීනය සිය නැව කොළඹ වරායට ඇතුළු කළේ ඉකුත් අඟහරුවාදා දිනයේය. එවිට ආණ්ඩුවෙන් කියැවුණේ දින තුනකට අවශ්‍ය පහසුකම් සපුරාලීම සඳහා පමණක් දින තුනකට අදාළ නැවට කොළඹ වරායේ නැංගුරම් ලෑමට ඉඩ ලබාදුන් බවකි. නමුත් මීට පෙර චීන නැවට නිල වශයෙන් දින 25ක් ලංකාවේ රැඳී සිටීමට අදාළ ආයතනවලින් අනුමැතිය ලබාදී තිබිණි. ඒ අනුව මෙම දින තුනෙන් පසු චීන නැව කොළඹ වරායෙන් පිටව එය හම්බන්තොටට හරවයිද, එසේත් නැත්නම් ලංකාවේම වෙනත් වරායකට හරවයිද යන්න පිළිබඳව ඇත්තේ බරපතළ ගැටලුවකි.
චීන නැව ලංකාවට පැමිණීමත් සමග ඉන්දියාවද මේ වන විට සිටින්නේ අදාළ නැව පිළිබඳ දැඩි අවධානයකින් යුක්තය. ඉන්දියාව පමණක් නොව ඇමෙරිකානු සහ ජපාන බලධාරීන්ද මෙම නැව පිළිබඳ දැඩි අවධානය යොමුකොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ. නැව ලංකාවට ඇතුළු වනවාත් සමගම ඉන්දියාව එම රටවල් දෙකටම විශේෂ පණිවුඩ තබා ඇති බවක්ද ආරංචිය. ඊට අමතරව ඉන්දියාවෙන් ලැබෙන ආරංචිවලින් අපට දැනගන්නට තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ඉකුත් ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ලංකාව ලබාදී තිබූ සහතිකය කඩකිරීම පිළිබඳ ඉන්දියාව දැඩි කලකිරීමෙන් පසුවන බවය. ජනාධිපතිවරයා ඉන්දියාවට ලබාදුන් වචනය සති කිහිපයක් ඇතුළත කඩකළ බවට වූ දැඩි ස්ථාවරයේ ඉන්දියාව පසුවන බවද එම ආරංචිවලින් දැනගන්නට තිබේ. ඒ අනුව ඊට ඉන්දියාව දක්වන ප්‍රතිචාරය කෙබඳුද යන්න ඉදිරි කාලයේ දැකගන්නට හැකි වනු ඇත.

ව්‍යාපෘතියට සල්ලි නෑ!

මේ අතර, ජනාධිපතිවරයා සමග චීන සංචාරයට සහභාගි වූ නිලධාරීන් චීනයට ගියේ හිස් අතින් නොව, විශේෂ ව්‍යාපෘති සැලැස්මක්ද අතැතිවය. එම ව්‍යාපෘතිය ගිං ගඟට අදාළ ව්‍යාපෘතියකි. ඒ අනුව ඉතා හදිසියේ මෙම ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය මගින් සම්මත කරගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබිණි. ඒ පසුපස සිටියේ වෙන කවුරුවත් නොව, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීනය සමග එක්ව මෙරට අධිවේගී මාර්ග ඉදිකළ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ව්‍යාපාරිකයකු සමග එක්වී මෙම ගිංගඟ ව්‍යාපෘතිය සකස් කිරීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කොට තිබිණි. එම සැලසුමද ඔවුන් සකස් කළේ ආවාට ගියාට නොව, මෙරට චීන තානාපති කාර්යාලයේ ප්‍රබලයන්ද හමුවී ඔවුන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කෙතරම් කරුණු දැක්වුවද අදාළ ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයීම චීනය ප්‍රතික්ෂේප කිරීමය. ඒ අනුව ගිංගඟ ව්‍යාපෘතියට චීනයෙන් දැවැන්ත මුදල් ආයෝජනයක් බලාපොරාත්තුවෙන් ගිය මෙරට කණ්ඩායමට සිදුවූයේ හිස් අතින් නැවත ලංකාවට පැමිණීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ලයිට් බිලට එරෙහි සජබ පන්දම් විරෝධයත් නොනවතින රැල්ලක් වෙයි! මේ ඊයේ රෑ රට වටේ ආණ්ඩුවට පළවූ විරෝධය! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

වැඩිවුණු ලයිට් බිලට එරෙහිව සජබයෙන් තවත් විරෝධතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.