එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු වන මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා හට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමිව ගොස් තිබේ.
ඒ, සාගල රත්නායක මහතාගේ නම මාතර එජාප නාමයෝජනා ලයිස්තුවේ හෝ එජාප ජාතික ලයිස්තුවේ හෝ ඇතුළත් වී නොතිබීම මතය.
මෙහිදී පළමුව සාගල රත්නායක මහතාගේ නම මාතර දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට ඇතුළත් කිරීමට වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබුණද පසුව එම නම ඉවත් කොට ජාතික ලයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් ඊයේ (18) මධ්‍යම රාත්‍රිය වනවිට ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් බරපතළ විරෝධයක් මතුව ඇති අතර සියලු දෙනාම වික්‍රමසිංහ මහතාට බලපෑම් කොට කියා ඇත්තේ සාගල රත්නායක මහතා තරග කොට පාර්ලිමේන්තුවට පැමිණිය යුතු යැයි කියාය.
ඒ අනුව එල්ල වූ දැඩි බලපෑම මත ඊයේ රාත්‍රීයේදී වික්‍රමසිංහ මහතා නැවත වතාවක් සාගල රත්නායක මහතාගේ නම මාතර ලයිස්තුවට ඇතුළත් කිරීමට උත්සාහ ගත්තද ඊට අඅපේක්ෂකයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත.
ඔවුන් එහිදී වික්‍රමසිංහ මහතාට කියා ඇත්තේ සාගල රත්නායක මහතා යළි මාතර ලයිස්තුවට ඇතුළත් කරන්නේ නම් තමන් සියලු දෙනාම ඉන් ඉවත් වීමට කටයුතු කරන බවකි.
ඒ අනුව අවසානයේදී සාගල රත්නායක මහතාට මාතර ලයිස්තුවත්, ජාතික ලයිස්තුවත් යන දෙකම අහිමි වී ගොස් මෙවර පාර්ලිමේන්තු පිවිසීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.










