හැකි තරම් ඇමැති ධුර දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබමින් එකම කාර්යය සිදු කරන අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩනැඟීමට ජනපතිතුමා කටයුතු කරමින් සිටින බවත්, රටේ අනාගතය ගැන සිතා හෝ ඒ සඳහා සියලු දෙනාගේ සහාය එතුමාට දිය යුතුව තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (24) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා ඇමැතිවරුන් විය යුතු බව කියමින් එසේ නොවන්නේ නම් ජනපතිට අපගේ සහාය නැතැයි පවසන්නට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකියි. පසුගිය කාලයේ ඒ ආකාරයෙන් සිතූ අය සතුටු කිරීමට ඇමැති ධුර දීමේ ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යය කිරීමට ඇමැතිවරුන් දෙතුන් දෙනා පත්ව සිටිනවා.
කර්මාන්ත අමාත්‍යාංශය සඳහා එක් ඇමැතිවරයකු සිටියදී ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් ඇමැතිවරයකු පත්කර තිබෙනවා. මේවා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර එකම විෂය පථය ඇති අමාත්‍යාංශ එක්කර එක් ඇමැතිවරයකු යටතට පත් කිරීමට ජනපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
එහි එක් පියවරක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේදී ඇති වූ ගැටලු සහ අර්බුද හේතුවෙන් වෛද්‍යවරයකු අදාළ ඇමැති ධුරය දැරීම සුදුසු බවට ජනපතිවරයා තීරණය කර තිබෙනවා. එම තීරණය සමඟ මමත් එකඟ වෙනවා. මෙවර ඇමැති ධුර දරන ලද පුද්ගලයන් වෙනස් වුවත් ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩිවී නෑ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කළේ ඒ මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් දඬුවමක් ලෙස නොවේ. අදාළ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වෛද්‍යවරයක් ඊට පත් කළේ ඖෂධ හා සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට වැඩි අවකාශයක් සැලසේ යැයි යන විශ්වාසය මතයි. මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ඇමැති ධුර හැකි තරම් දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව ජනපතිවරයා අවශ්‍යතාව අනුව සුදුසු අයට ඇමැති ධුර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඊට සියලු දෙනාගේ සහාය දිය යුතුයි.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව නොදී ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩි කළේ නම් මමත් එහිදී ඊට එරෙහිව හඬ නඟනවා. මේ අවස්ථාවේ ඒ ආකාර ඇමැති ධුර වැඩිවීමක් සිදුව නැති බව අප තේරුම් ගැනීම වැදගත්.”
Sri Lanka Latest News










