“මටයි අපේ නෝනටයි මැරෙනකං දරුවකුටවත් අත නොපා ජීවත් වෙන්න “කනටි” (කුඹුරු) කෑල්ලකුයි, පොල්ගස් දෙක තුනකුයි (පොඩි ඉඩං කෑල්ලක්) තියාන ඉතුරු ඉඩං ටිකයි කුඹුරු කෑලි ටිකයි හිරගත්තු පුතාල දෙන්නටයි පෙළවහට දුන්න දෝණියන්දෑටයි “සමෝසුවෙ” (සමානව) බෙදල වෙන්කරල දුන්නා. මොකදෑ ඒ අයත් තමන්ට කියල හැන්ද හැළිය වෙන්කර ගන්ට එපායැ. අපේ අප්පච්චිලත් එහෙමනෙ කෙරුවෙ.”(Sri Lanka Latest News)
අපේ ගමේ පරම්පරාවෙන්ම ගොවිතැන් බතින් ජීවිත් වෙන ගුණපාල ගොවි මාමා නිතර කියන කතාවකි.
කනටි කෑල්ලයි පොල්ගස් දෙකයි ඉතුරු කරගත්තෙ මං නැති කාලෙක වුණත් කාට හරි කියල කූඹුරු කෑල්ල වැඩකරගෙන පොල් ගෙඩියකින් සම්බෝලයක් තළාගෙන කාල හරි දරුවන්ට කරදරයක් නැතිව ඉඳල මං වාගෙම ඒ මනුස්සයත් මැරිල යන්නැතෑ. එතකං කරදරයක් නැතුව ඉන්ට එපායැ”
ජීවිතේ සැදෑ සමය දැහැමින් සෙමෙන් ගෙවන ගුණපාල මාමාට රට තොට සිදුවීම් ගැන ඇත්තේද පුදුම වැටහීමකි.
සමහර කන්තෝරුවල මහත්තුරුන්ට රේස් කොළේ දුටුගමං හැම අස්සයකුගෙම පැටිකිරිය වැට දිගට ගිහිං ඉස්සරහටයි පස්සටයි ගහන්නෙ මොකාටදැයි යන්න ගැන හොඳ අවබෝධයක් ඇති අන්දමටම ගුණපාල මාමාටද පක්‍ෂ දේශපාලනය ගැන ඇත්තේ පරතෙරට ගිය දැනීමකි. වෙනත් කරුණු කාරණා ගැනත් එසේමය. ඉස්සර මොනිටර් කෙනකු හැටියට උගන්නලාත් තිබේ. පන්සල සමග බොහෝ “පයුරුපාසානෙ” (කිට්ටු සම්බන්ධතා) තියෙන නිසා පාලි සඟිස්කෘත දැනුම ද ඉහළය. ඇතැම් විට මහණකං කෙරුවාවක් දැයි හිතෙන තරංය.
“සිරි ලංකාව කරුමාන්තෙං (කර්මාන්ත) වගේම වගාවෙං ද (කෘෂි කර්මාන්තය) හරි හරියට දියුණුකරන්න ඕනෑය.” ඔහු කියන්නේය. ඊට ප්‍රධාන හේතුව ඔහුගේ අත්තල මුත්තල පවා හොඳ ගොවියං නිසාය.
මහසෙං, මහා පරාක්‍රමබාහු රජවරුන් ඔහුට බුදුහාමුදුරුවං වගේය. ඔහුගේ මතය අනුව අහසිං වැටෙන එක වතුර බිංදුවක් හෝ අපතේ යවන්නට එපා කියපු කතාව ලෝකෙට ඉගැන්විය යුතු පාඩමකි. අනිත් එක අපේ මහ පොළාවෙ “වියළුණු දණ්ඩක් දලු කොළ මල් දා එක රැයකදි පැළවෙනවාය.”
ඒ නිසා ගුණපාල මාමා හැමදාම හැන්දෑවට පහන් තියා බුදුන් වඳින විට ඩී.ඇස්. සේනානායක මැතිතුමාටත් පිං අනුමෝදං කරයි.
“මිනිස්සු මැලේරියාවෙං මරන්න කැලෑවල පදිංචි කරවනවා කිය කියා එතුමා විරුද්ධවාදීන්ගෙන් බැණුම් අස අසා හෝ මින්නේරිය ගල්ඔය වැනි ජනපද පිහිටෙව්වෙ නැත්තං කොටින්ට රට කඩාගන්න සටනක් කරන්න අවශ්‍ය වන්නේ නැති බව” ඔහු කියයි.
ඊළඟට රට ගැන, නැති බැරිකෙනා ගැන පපුවේ කැක්කුමක් තිබුණු නායකයා ප්‍රේමදාස මහත්තයා, ඔහුගේ මතයයි.
ගුණපාල මාමා කියන හැටියට 1971 සහ 1989 දී සහෝදරයෝත් තිස්අවුරුද්දක් තිස්සේ කොටි රැළත් යන දෙගොල්ලම රටට කළ විනාශය එක හා සමානය. ඒ නිසා ඒ දෙගොල්ලොම “අරහං”ය.
ග්‍රාමසේවක කෙනකු වුණත් යමක් කරන්නට සිරිසේන ගොයියාට හිතක් තිබුණත් ඒක කරන්න දුන්නෙ නැත්තෙ රනිල් යැයිද දවසක් ගුණපාල මාමා රනිල්වාදී යූ.ඇන්.පී.කාර ඉස්කෝලෙ මහත්තයකු එක්ක ඇවිළෙද්දී කීවේය.
ඔහු කී අන්දමට අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකුව දී රට ආර්ථික වශයෙන් වැට්ටුවේය.
1971 දී ආණ්ඩුවට පහරදීමට ත්‍රස්තයන් ඇති කළේ එවන් තත්ත්වයකි. ඒ පිළිබඳ නඩු විභාගයේදී ඔවුන් සාක්‍ෂි වශයෙන් කීවේ 1970 ඉලෙක්ෂන් එකේදී යූ.ඇන්.පී.ය පැරැද්දෙව්වෙ ඒ වාගෙ ප්‍රබල ආණ්ඩුවක් ආවොත් අපට හැප්පෙන්න බෑ. ඒ නිසා අපි දුබල ආණ්ඩුවක් පත්කරන්න උදව් දීල ගැහුව.”
සහරාන්ලා ගැහුවෙත් ඒ තත්ත්වයක් යටතේ බව ගූණපාල මාමා කියයි.
රට කළ අනිත් අය ඔක්කොම හොරුය.
තාත්තගෙ පළුව වාගෙ පෙනෙන සජිත් මහත්තයා ගැනත් ඔහුට දැඩි විශ්වාසයක් තිබේ. එහෙත් ඔහු ගැන ලොකු කලකිරීමක් ද තිබේ.
“රටේ මිනිස්සුන්ට කන්න නැත. රැකියා නැත. ළමයින්ට මන්දපෝෂණේය. බේත් නැතිව මිනිසුන් මැරෙන එක ගණංපදං නැත. මුං ගහල පන්නන්න පමා වූවා වැඩිය. තවත් බලාන ඉන්නෙ මොන මඟුලකටද?
සජිත් මහත්තයා “වරෙල්ලා කීවොත් මිනිසුන් එන්නේ ගෙවල් දොරවල් අතහැර දමලාය”
එහෙම වුණොත් ප්‍රංශ විප්ලවය දෙවැනිවේ. එහෙව් එකේ සජිත් මහත්තය පංසිල් රකිනව. මෙහෙ මිනිස්සු මැරෙනව. ගෙහඩි රඹුටුඇල්ලලා හොරකං කරනවා. සජිත් එක්ක කේන්තිය ඒකයි. ඔහොම සෝමාරි (කම්මැළි) වෙලා බෑ”.
මොනවා නැතත් දවසේ වත්තේ පිටියේ වැඩකටයුතු අවසන්ව හැන්දෑවට ගෙදර ඇවිත් නෝනගෙ ආලේ ඇතත් නැතත් (ඉස්සර සිංදුවක් තිබුණේය. නෝනගෙ ආලේ ගෙයි මැද සාලේ) හෙතෙම ගෙයි මැද සාලෙ රූප පෙට්ටිය දමාගන්නේය.
මේ දිනවල ඒකෙන් කියැවෙන ප්‍රවෘත්ති නං රටට ශුභවාදී නැති බව ඔහුගේ හැඟීමයි. ආණ්ඩුව ගේන්න වලිකන පනත් තුන මර උගුල්ය.
ආණ්ඩුවේ කෙරෙන මොනම දෙයක් හෝ විවේචනය කළහොත් සිදුවන්නේ හිරේ තැපීමටය. ආණ්ඩුවට විරුද්ධව කටක් හොල්ලන්න බැරි තරංය. ලෑස්තිය දඬුකඳේ ගහන්නමය. ෂයිලොක්කා සේම ඉල්ලන්නේ මස් රාත්තලමය. ඔක්කොම කරන්නේ බලේ එල්ලී ඉන්නමය.
නමසිය හැට දෙකේදී විතර පත්තර ආණ්ඩුවට ගන්න සූදානම් වන විට තමන් වයස විස්ස තරමේදී විරෝධතා දැන්වීම් පුවරු උස්සාගෙන කොළඹ පෙළපාළි ගිය හැටි නගර සභා භූමියේ (ටවුන්හෝල්) උද්ඝෝෂණ රැලිවලට සහභාගි වූ හැටි ඔහුට සිහි වූයේය. ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකගන්නය.
මේ පනත් ගෙනාවොත්…. (මුන්ගෙ අම්මගෙ පනත් යැයි කියැවෙන්න ආවත් මුණුබුරෝ දෙන්නෙක් සිටි නිසා කට තද කරගත්තේය.) මේ පනත් ගෙනාවොත් බූරුවෝ රජවෙති. මිනිස්සු බලුවෙති. වෙනවාට වඩා බලු කරති.
පළමු පනත මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය සම්බන්ධ කෙටුම්පත කියන සිරිසේන මහත්තයාගේ වචනෙන් කීවොත් “බම්බුවය.”
ඉන් පැවැසෙන්නේ ලංකාවේ කුමක් හෝ සිද්ධ වෙන දෙයක් ගැන කතාකරන්න බැරි බවය. පැවසුවහොත් එය අසත්‍යයක් යන හංවඩුව තබා හිරේ යැවීමය ප්‍රචාරය (සංනිවේදනය) කිරීමටද ඒ ආනිසංසයමය. අපහාසයට හේතු වන යමක් කීමත් අසත්‍ය ප්‍රකාශ කිරීමත් දෙකම හිරේ යන මඟුලකි. ආගමික රැස්වීම්වලට බාධාකිරීම, එමෙන් නිග්‍රහ කිරීම යන මොන කරුණක් වුවද කන්න හිතුණහම කබරයා තලගොයා කරගන්නා සිද්ධාන්තයට හරවා ගන්නා සේය.
ඔහු පෙන්නා දෙන අන්දමට මේ පනතට අඩංගු කළ යුතුම කරුණු අඩංගු කර නැත. ඉන් එකක් පිරිමින්ටත් බවලත් උදවියටත් හිටගෙන සුළුදිය පහකිරීමෙන් මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවයට ඇවැතක් (හානියක්) සිදුනොවන බව සඳහන් නොකිරීමය.
හැම කාරණා කාරණාවම දන්න විජේදාස රාජපක්‍ෂ ගොයියාට ඒ ගැන ඩිංගිත්තක් අමතක වී තිබීම රටට විශාල පාඩුවකි. ඒ ටික පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවකදී හෝ සාකච්ඡා කිරීම මැනවැයි හෙතෙම අපේක්‍ෂා කරයි.
නස්රුදීන් ඔහුට මතක හැටියට හිටියේ අරාබියේය. මොන මඟුලකට එහෙ ඉපදුණා දැයි කියන්න බැරිය. ඉපදෙන්න තිබුණේ මෙහේ මේ කාලයේය.
දවසක් මනුස්සයා නගරයට ගිය විට නගරයේ ප්‍රධාන පාර පාළුවට ගොස් තිබුණේය. වෙන මාර්ගවල සෙනඟ පිරී හිටියත් ඔය කියන මාර්ගයේ බලු බල්ලෙක්වත් නොවූයේය. නස්රුදීන් ඒ පාරට යන්න හදන විට “ඕකෙ යන්න එපා”යැයි සියල්ලෝම කීහ.
“ඇයි?” නස්රුදීන් ඇසුවේය.“ ඔය පාරෙ යන බොරු කියන අය (අසත්‍ය ප්‍රචාරය කරන අය) එල්ලන පෝරකයක් (එල්ලුං ගහක්) හදල තියෙනවා” යැයි ඔවුන් හේතුව කීවද ඒ ගැන පයිසෙකටවත් නොතැකූ නසරුදීන් ඒ මගේ යන විට පෝරකයත් රාජ පුරුෂයනුත් දුටුවේය.
“තමුසෙ කොහෙද යන්නෙ?”රාපුරරුෂයෝ ඇසූහ.
“මම යන්නෙ මේ පෝරකේ එල්ලෙන්න”
“බොරු කියන්ඩ එපා”
“එහෙනං මාව එල්ලනව”
අළුගෝසුවා නසුරුදීන් එල්ලුං ගහට යවන්න කඹය ඔහුගෙ කරවටා දැම්මේය.
“ඉතිං මම බොරුවක් කියල නෑනෙ, එහෙනං මාව එල්ලුවට තමුසෙත් එල්ලයි.” ඒ ඇසූ රජතුමා වහාම අසත්‍ය ප්‍රකාශන නියෝගය (පනත) අවලංගු කෙළේය. ඒ මහජන මතයට කන්දෙන නායකයෝය.
දැං මේ රට ගෙනියන්න හදන්නෙ කොහාටද? උතුරු කොරියාව යන පාරටය.
ගැරඬි එරට ප්‍රජාවගේ ප්‍රියතම ආහාරයක් බව ප්‍රකට මතයකි. (අනේ එහෙං හත්අට දෙනකුවත් මෙහෙ පදිංචියට ආවොත්, දෙසිය විසි ගණනිං කීප දෙනෙකුවත් ඉවර වෙන්නෙ නැතෑ.) එහේ කහ ගැරඬි ඒ උදවිය මෙහේදී අපට කවන්න හදන්නේ පිඹුරෝය. කොරියාවේ ඉන්නේ “කිම් ඉල් සුං”ය.
අපට කියන්ඩ තියෙන්නේ “කිල් හිම් සූන්” Kill him soon කියන එක බව ගුණපාල මාමා කියයි.
පොහොට්ටුකාරයන් තමන්ගෙ ආරක්‍ෂාවට “මෑන්” පුටුවට ගේනකොට කීවෙ “එයා ජාත්‍යන්තර උගතෙක්, ඒ නිසා රටවල් සලකනවා, ආපු ගමං රටට ඩොලර් ගලාගෙන එනවා ” කියල. ඒ වුණාට මෙහෙ දෙසිය විසිපස් දෙනාගෙන් වැඩිදෙනෙකු කියවපු බවක් පේන්න නැතත් පිටරට පාලකයො නං සිදත් සඟරාව හොඳට කියවල තියෙන බව නං පැහැදිලියි.
ඒ පොතේ තියෙනව නොවැ “ගතු ගතු ද දුදනෝ සහකටමැණ සපුන් මෙන්” කියල (උගත් දුර්ජනයා උගුරේ මාණික්‍යක් (මැණිකක්) තියෙන සර්පයා වගෙයි කියල.
අපේ රනිල් මහත්තයා ඉස්සර 2015 තරමෙ දී කීවෙ ජාත්‍යන්තරය ඩිජිටල් තාක්‍ෂණය අපේ තරුණයන්ටත් උගන්නලා ඒ තාක්‍ෂණයෙන් සන්නද්ධ කරනව කියලා. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) උගන්නනව කීවා. දැං මිනිස්සුන්ට කටක් අරින්නවත් දෙන්නෙ නැති වෙන්නයි වැඩ කරන්නෙ.
මොනවා කීවත් උතුරු කොරියාවේ විරුද්ධ පක්‍ෂයටත් මහජනයාට කටක් හොල්ලන්වත් දෙන්නෙ නෑ. අපේ රටටත් වෙන්න යන්නෙ ඒ සංතෑසිය වාගෙ.
ටැලිවිසොං පෙට්ටියෙ පනත් ගැන ආෂික් එකේ නිවුස් එක කියන විට ඔය දේවල් ගුණපාල මාමාට සිහියට ආවේය. ඒ සමගම ටැලිවිසොං නමෝ විත්තියෙං (පළමුවෙන්ම) අපේ රටට ගෙනා හැටිත් ඔහුට සිහි වූවේය.
අලුතෙන්ම මාධ්‍ය කුඹුරට (ක්‍ෂේත්‍රයට) හඳුන්වා දෙනු ලැබූ “කිරි ටොයියා” නොව “කිරි කිරි ටොයියා” රූපවාහිනිය කීවත් අපේ ගමේ නොංනොං හාමි, රොසලිං, නැන්දම්මලාට ඒක රූප පෙට්ටියය.
ටීවී එක ලංකාවට ලැබුණේ 1979 ජේ.ආර්. උත්තමයට පින්සිද්ධ වෙන්නය. ඉතිං ඕක ලැබිච්චි කාලේ අපේ කොයි කාටත් ඕක ආෂික්ය. කුප්පමේණියා ගහක් වටේ කැරකෙන බළල් නාට්ටන් වගේය. ගෙවල්වල හිටපු කාගෙ කාගෙත් වැඩේ ඕක දිහා බලාන ඉන්න එකය. ගමේ හැම කෙනකුගෙම දිහා රූප පෙට්ටි නැති නිසා තියෙන එක බදං කනවාය (රැස්වෙනවාය) කන්නවත් බොන්නවත් සිහියක් පතක් නැති තරම්ය.
ඒ දවස්වල ඒ පෙට්ටියේ ඉස්සරෝම යන්නේ ජාතික ගීයය. දෙවැනුව පංසිල්ය. ඊළඟට ධර්මානුශාසනාය. ප්‍රවෘත්ති ඉන් පසුවය. අනතුරුව ජනාධිපතිතුමාගේ අතිඋත්කෘෂ්ට කතාවය. ඊළඟට ආරම්භ කෙරෙන්නේ ආණ්ඩුවේ කියුම් කෙරුංය. කෙරුම් නැතත් කියුම්ය. දැං වාගේම විසුමක් නොවීය. ඒ සියල්ල අවසානයේ සිංහයා නටන ජාතික කොඩිය පෙන්වමින් ජාතික ගීය වාදනය කෙරී වැඩසටහන අහවරය.
ඊට පසු විපක්‍ෂයකුත් නැත. විපක්‍ෂයට පැත්ත පළාතම තහනම්ය. හැබැයි සංවර්ධනේය. ඔය සියල්ල අවසානේ ලංකාවේ පළමුම ටෙලිනාට්‍ය ‘දිමුතුමුතු’ පෙන්වයි. මුලින්ම ඒ පෙට්ටියෙන් ආණ්ඩුවේ අනුශාසනා නස්න කිරීමට පටන් ගත්තේය. අන්තිමේදී වස්ති කරන්නත් පටන් ගත් නිසා සාලෙ මැද මෝඩ පෙට්ටිය යන ආපදානය (නම) ටික කලකින්ම නිරායාසයෙන්ම ලැබුණේය. ඔය අතරේ රූප පෙට්ටියේ කොරෝනා පැණිය බෙදුවා වාගේ වෙද මහත්තයෙක් පාරෙ යන මිනිස්සුන්ට මොකක්දෝ අරිෂ්ටයක් නොමිලේ බෙදන බව ගුණපාල මාමා දුටුවේය.
රාජපක්‍ෂලාත් කුලෝභූත කාකෝද්වංශික දිමිගෝඨ ශිරෝමණී මයිනාත්නාථ පරම්පරා ප්‍රොටෙක්ටාචාර්ය මහා වෛද්‍ය “මාස්ටර් ක්ලීන්” යන නම දැන්වීම් පුවරුවේ තිබුණේය.
‘මාර්ගගත ප්‍රතිත්‍රස්ත විකාශන වාජීකරණ ඖෂධ රාජයා සකල ශ්‍රී ලංකාවාසීන්ට හඳුන්වා දීමේ ව්‍යාපෘතිය’ යන්න ද අලි බැනර් එකක ප්‍රදර්ශනය කෙරිණි. මේ ඖෂධ රාජයාගෙන් එක බිංදුවක මාත්‍රාවක් පානය කළ කල්හි සියලු රෝග නිවාරණය වේ. හිසේ පවත්නා සියලු දුක්ඛ දෝමනස්සයන් අමතක වේ.
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් අන්දමට අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් මිහිබට දේවතාවුන් සිටි සෝමනස්සසහගත චිත්ත සන්තානයට ද, ඒඩ්න් උද්‍යානයේ දී “ඒවා” නෝනා නොහොත් මිසිස් ආදම් තහනම් ගෙඩි හොරෙන් භුක්ති විඳීමට පෙර සිටි පිවිතුරු මනෝභාවයටද නොදෙවැනි සංතෘෂ්ඨියකට ඔබ තමුන්නාන්සේලා මේ ඖෂධ රාජයාගෙන් එක මාත්‍රාවක් පානය කළ කල්හි පත්වන්නේ යැයි දතයුතු ආදී වශයෙන් ගුණ වනමින් වෙදා බෙදාදෙමින් උන්නේය. පානය නොකරන උන්ට පෙවීමට ආරක්‍ෂක භටයෝ වූහ. නෙලුම් පොහොට්ටුවක් ගත්තෝද, හස්ථි ලාංඡනය පැලඳගත්තෝද රොද බැඳගෙන පෝලිමේ ආවෝය. ඖෂධය පානය කිරීමට අකැමැති පුරුෂ පක්‍ෂයට බලෙන් අල්ලා නස්න කරනු ලැබුවෝය. ස්ත්‍රී පක්‍ෂයට වස්තිකරනු ලද්දාහුය.
“මේ උත්සවයේදීම ඔබතුමන්ලාට විනාඩි දෙක තුනකින්ම මේ ඖෂධයේ ගුණාගුණ දැකබලාගත හැකියි” කී මහ වෙදාණෝ මගේ හිතමිතුරන්ට පළමුවෙන්ම ආදර්ශයක් හැටියට මා අතින් දෙනවා යැයි කී කල්හි, නිවේදකයා පළමු ඖෂධලාභියාගේ නම එනවුන්ස් කෙළේය.
“ජාගර වාරිය නොහොත් පස්ස කසම් මහතා…” මේව “මේ ගෙහෙඩිය රඹුටුවැල්ලගේ ඒවා වාගෙ නෙමෙයි, බයවෙන්න එපා…’ ඔහුට බෙහෙත් වඩිය දෙමින් වෙද මහත්තයා ඔක්කෝටම ඇසෙන්න කීවේය.
පාක්‍ෂිකයෝ ඔල්වරසන් දුන්හ. ඊළඟට ගොන්ස්ටන්ය. ඊළඟට ලාන්සර්ය.
“ඔය මහත්තය අපට මැතිවරණෙ පරක්කු කරගන්න හුඟක් උදව් කරපු කෙනෙක්. පෝලිමේ ඉන්න එපා එන්න. මේ මිස්ටර් හපුටු හින්න.”
“ඔය කවුද ආපහු යන්න හදන්නෙ” වෙදා කෑගෑවේය. ආරක්‍ෂක භටයින් ඔහු අල්ලනු ලැබ නස්න කරනු ලැබවේය.
ඔය අතරේ පෝලිමෙන් පලායන්න උත්සාහ ගත් ගයනා නෝනා අල්ලා වස්තිකරනු ලැබුවාය. පොඩි ප්‍රශ්නයක් වුණේ එකට කට්ටිය පොරකෑම නිසාය. ඒ බේත ශරීරගත කරවීමේ දී පොඩි වැරැද්දක් ද සිදුවුවත් ඈ ඊට උරණ නුවූවාය. වස්තිය දී තිබුණේ පැත්ත වරද්දාය.
ඖෂධ පානය කළ උන් සියල්ල අමතක වූවන් සේ ඒ වේදිකාව අසලට ආවෝය. ඔවුන්ට අතීතය අමතකව තිබිණි. පස්සට (අතීතයට) ගොස් සිටියා සේය. හපුටු හින්න කොල අතු ඇඳගෙන සිටියේය. අතීතයට යන ගමනේ ඔහු නැවතී සිටියේ දඩයම් යුගයේය. මාත්‍රාව නොහොත් ඩෝස් එක වැඩිපුර පෙවී සිටි වාරිය නොහොත් පස්ස කසම්, ගොන්ස්ටන්, ලාන්සර් සහ ගයනා නෝනා යන උදවිය දඩයම් යුගයත් පසුකර හෝමෝ සේපියන් යුගයට ගොස් උන්හ.
ඒ ඔවුහු නිගණ්ඨනාතපුත්තලාගේ පෙනුමෙන් වූහ. “ඕකුන් නම් ඉස්සර හිටියෙත් ඔහොම තමයි…” බොහෝ දෙනා කීහ.
මේ සිද්ධවෙන සිද්ධිය කුමක්දැයි බලන්න පැමිණ සියල්ල අවබෝධ කරගෙන ආපසු යන්න හැරුණු ගුණපාල මාමා ආරක්‍ෂකයන් විසින් අල්ලාගනු ලද්දේය. ඔහුට ඖෂධය නස්න කරන්න හදන විට ඔහු “මටනං ඔය බේත් එපා එපා” යැයි බෙරිහං දෙන්න වූයේය.
“මොකද අනේ ඔයා ඔය හීනෙං කෑගහන්නෙ…” යැයි කියමින් ඇඳ ළඟට පැමිණි ගුණපාල නැන්දා ඔහු අවදි කළාය.
චන්ද්‍රසේන මාරසිංහ










