‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම සම්බන්ධවයි’ යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිටු 12කින් යුත් ලිපියක් හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.
හිටපු ජනාධිපතිනීය එහිදි පෙන්වා දි ඇත්තේ අප ගොඩනැගීමට වෙර දැරූ පාලනය හරහා තම දුෂිත හා ආත්මාර්ථකාමී අරමුණු ඉටුකර ගත නොහැකි බැවින්, ඇතැම් කූඨ දේශපාලන නායකයන් විසින් එම උතුම් ව්‍යාපෘතිය විනාශ කර දමා, 2015 දර්ශනය වෙනුවෙන් තවමත් පෙනී සිටින මා වැනි චරිත දේශපාලන වශයෙන් විනාශ කිරීමේ උත්සාහයක යෙදී සිටින බවයි.

“මාගේ ප්‍රතිපත්තිගරුක බවට ද, කිසිදා නොවෙනස් වන අවංක බවට ද, ඍජු සහ විනයගරුක බව මත පිහිටා ඇති මාගේ ආත්ම ශක්තියටද බිය වන්නේ,රාජ්‍ය බලය තමාට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන සිටින නායකයින් යැයි කියාගන්නා පුංචි මිනිසුන් පිරිසක් පමණී.”
මාගේ දේශපාලන පෞරුෂය සහ අනේක දුක් විද මා දිනාගෙන ඇති ජනතා විශ්වාසය විනාශ කළ හැකි යැයි ඔබතුමා සහ ඔබේ සහචරයන් විශ්වාස කරන්නේ නම්, ඒ පුහු සිහිනයක් බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩිව අවධාරණය කර තිබේ.
“උයන් පල්ලාට උයනේ ඇති සියලු රෝස මල් විනාශ කළ හැකි වුවද,මල් පිපෙන වසන්තය උදාවිම නම් වළක්වාලිය නොහැකිය” යන චින්ගිෂ් ආයිත්මතෝව්ගේ පාඨයක්ද උපුටා දක්වමින් හිටපු ජනාධිපතිනිය සිය ලිපිය අවසන් කර තිබේ.










