විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් (ප්‍රගාමීව) මහා පරිමාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරුවලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණයව ඇත.Sri Lanka Latest News
මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව කළ එම පර්යේෂණයට අනුව 2022 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60ක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් 82%ක්ම ප්‍රසිද්ධ කර නොතිබිණි. 2023 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60කට අදාළ තොරතුරුවලින් 75%ක්ම ප්‍රසිද්ධ කර නැත.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අමාත්‍යාංශ සහ අදාළ ආයතනවල වෙබ් අඩවිවල, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රගාමීව ප්‍රසිද්ධ කර තිබීම/නොතිබීම පදනම් කරගෙන මෙම අගයන් ලබාගෙන ඇත.
පර්යේෂණයෙන් අනාවරණයව ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ තොරතුරුවල භාෂා විෂමතාවයයි. සිංහල සහ දෙමළ භාෂාවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව තොරතුරු දැනගැනීමේ පණතෙන් නියම කර ඇතත් වැඩිමතනත් තොරතුරු ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. 2022 වසරේ ආවරණය කෙරුණු ව්‍යාපෘතිවල තොරතුරුවලින් 18%ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇතත්, සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ 5%ක ප්‍රමාණයක් පමණි. දෙමළ බසින් ප්‍රසිද්ධ කර ඇත්තේ 4%ක ප්‍රමාණයකි.
මෙම ප්‍රවණතාවය 2023 වසරේදීත් දැකගැනීමට හැකි අතර, තොරතුරුවලින් 25%ක් ඉංග්‍රීසි භාෂවෙන් ප්‍රසිද්ධ කර තිබුනත්, සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධ කර තිබුනේ තොරතුරුවලින් 8%ක් පමණි.
පර්යේෂණයෙන් 2022 වසරේ අදාළ කාලය ඇතුළත ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.08කි. 2023 වසරේ ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 2.54කි. නව ව්‍යාපෘති 23කින් සහ 2022 වසරේ සිටම ක්‍රියාත්මක වෙමින් තිබූ පැරණි ව්‍යාපෘති 37කින්, 2023 වසරේ ව්‍යාපෘති 60 සමන්විත වේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ අංක 9 වෙනි කොටසට අනුව, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට විෂය භාර අමාත්‍යවරයා බැඳී සිටී. අරමුදල් සැපයෙන්නේ දේශීයව නම් හා වටිනාකම ඩොලර් 100,000 ඉක්මවා යන්නේ නම් සහ අරමුදල් සැපයෙන්නේ විදේශීයව නම් හා වටිනාකම ඩොලර් 500,000 ඉක්මවා යන්නේ නම්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවම වශයෙන් මාස තුනකට පෙර ප්‍රගාමීව ව්‍යාපෘතිය හා බැඳුණු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුය. ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්, අයවැය සහ මුල්‍ය විස්තර, අනුමැතිය සහ අවසර ලබාගැනීම් ගැන විස්තර සහ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත්තු යන පුළුල් කාණ්ඩ 05කට මෙම තොරතුරු යටත්ය.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව නැගෙන චෝදනා රාශියකි. වංචා, දුෂණ, අකටයුතුකම් මෙන්ම ව්‍යපෘති වලට දරන ඉහළ පිරිවැය සහ ඒවායින් වෙන පරිසර හානි මේ චෝදනා අතර වේ. එසේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පසුගිය දශක දෙකක කාලයේ ලබාගෙන ඇති ණය, රටේ සමස්ත ණය බරටත් ඉහළ දායකත්වයක් ලබා දී, ඇති බව නොරහසකි.
මෙම චෝදනා සහ සමස්තයක් ලෙස යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති මහජන අවිශ්වාසය විනිවිදභාවයක් ඇතිව කටයුතු කිරීමෙන් මගහරවා ගත හැකිය. තොරතුරු දැනගැනීමේ පණතින් අරමුණු කරන්නේ ද, එයයි.
නමුත් මෙම පර්යේෂණයෙන් අනාවරණයන්ට අනුව නම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති පිළිබද තොරතුරු ආණ්ඩුව තවදුරටත් ජනතාවගෙන් සගවමින් සිටී. එසේ සැඟවීමෙන් සිදුවන්නේ, දූෂණ සහ අකටයුතුකම්වල නියැළිය හැකි බිමක් නිර්මාණය වීමයි. අනෙක් පසින්, වැඩි වියදමක් දැරුව ද, අඩු ගුණාත්මකභාවයක් සහිත යටිතල පහසුකම් ඇති වීමයි.
මෙසේ, යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාගන්නා මුදල්වල නැවත ගෙවීමේ පිරිවැය ද, ඉතා ඉහළය. අවසානයේ එය දරන්නේ මහජනතාවය. එනිසාම, තමන් ආණ්ඩුවට දෙන මුදල්වලට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ට අයිතියක් ඇත.
පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු මාර්ගගත වේදිකාවක් හරහා ප්‍රසිද්ධ කිරීමෙන්, දූෂණයට ඇති ඉඩ අවම කිරීමට පියවර ගන්නා බව, ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ලබා දී, ඇති කැපවීමකි. නමුත්, ව්‍යාපෘති අනුමත කිරීම්, අවසර ලබාදීම්, ව්‍යාපෘති ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත්තු යනාදියට අදාළ තොරතුරු තවදුරටත් ජනතාවගෙන් සඟවා තැබෙණ බව මෙම පර්යේෂණයෙන් අනාවණය විය. තොරතුරු අනාවරණය කළ යුතු බව නීතියෙන්ම නියම කර ඇතත්, ආණ්ඩුව තවදුරටත් ජනතාවට වැසුණු දොරවල් පසුපස සිට කටයුතු කරනු ඇතිද යන පැනය මෙනිසාම මතුවේ.













