අමරදේව කියපු රත්න ශ්‍රී ලියපු සුදු නෙළුම කෝ… සොරබොර වැවේ…
ඒ සින්දුව අහලා තියෙනවාද? ඒක දුක හිතෙන ඇත්ත කතාවක්…
සුවහසක් ජනතාවගේ හදවත් සුවපත් කිරීම වෙනුවෙන් තම ප්‍රතිභාපූර්ණ කලා හැකියාව භාවිත කරන අපූරු නිර්මාණවේදියකු ලෙස රත්නශ්‍රී විජේසිංහ මහතා හැඳින්වීමට පුළුවන්. ගුරුවරයකු ලෙස සේවය කළ අවුරුදු 15දී සහ ගුරු විද්‍යාල සේවයේදී තම ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබාගත් බව අවස්ථා කිහිපයකදීම ඔහු පවසා තිබෙනවා. රත්න ශ්‍රීට වයස මාස 13ක් වෙද්දී ඔහුගේ මව අහිමිවී තිබෙනවා.(Sri Lanka Latest News)
එසේම ඔහුට අවුරුදු 07 සපිරෙද්දී පියාද ඔහුගේ ජීවිතයෙන් සමුගෙන යනවා. මේ ආකාරයට මවුපිය සෙනෙහස අහිමිව තනිවූ රත්නශ්‍රීගේ හිතට නැගුණු හුදකලාව නැතිකර ගැනීම සඳහා ඔහු ගීත ලියන්නට පටන් ගන්නවා. තම මවුපිය පාර්ශ්වයේ ඥාතීන් ඔහු පිළිබඳ සොයා බැලුවද ඒ කිසිවකුට පිරවිය නොහැකි අඩුවක් තම ජීවිතයේ ඇති බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබුණා.
රත්නශ්‍රී විජේසිංහ වරෙක දේශපාලනයෙන්ද බැට කැවේය. ඔහු ජීවිතයේ සතුටින් මතක් කරන කාලයක් ඇත්නම් ඒ ගුරුවරයකු ලෙස ගතකළ කාලය බව ඔහු සඳහන් කර ඇත. මේ කාලය අතරතුර සිදුවූ සත්‍ය වූ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ඔහු රචනා කළ ‘සොරබොර වැවේ සුදු නෙලුම කෝ’ නමැති ගීය ඇසෙන සෑම විටම මගේ හදවත යම් වේදනාවකින් පිරී යයි. මේ ගීතය ගැන යමක් ලියන්නට ඕනෑය කියන තැනට මා පත්ක
අදත් අහිංසක දරුවන් ‘මල් ගන්න, මගෙනුත් මල් ගන්න’ කියා මග තොටේ යනෙන මිනිසුන්ගෙන් යදිනවා. ඒ යැදීම තුළ අපි නොදන්නා වේදනාවක් ගැබ්ව තිබෙන්නට පුළුවන්. මේ ගීය මතුපිටින් ඇසූ පමණින් හදවතට නොදැනෙන්නට පුළුවන්. ඒත් රත්නශ්‍රී විජේසිංහයන්ගේ රචනයක් වූ මේ ගීයට පාදක වුණු සත්‍ය කතාව දන්නේ නම් ඔබේ නෙතටත් කඳුළක් උනනු නොඅනුමානය.
ඔහු ගුරු වෘත්තියේ නියැළෙන කාලයේ, එනම් 1981 අවුරුද්දේ දේශපාලන බලපෑම් මත ඔහුව මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට මාරුකර යවා තිබුණා. මේ පාසලේ මෙතුමා මාස දෙකක් වැනි කෙටි කාලයක් සේවය කර තිබුණු අතර, ඉහත ගීයට පාදක වූ සිදුවීම ඔහු මෙලෙස විස්තර කර තිබුණා.
‘ඒ පාසල කොයිතරම් දුෂ්කරද කියනවා නම් මේ දරුවන් වෙනුවෙන් ඒ දවස්වල වැසිකිළියක්වත් පාසලේ තිබුණේ නැහැ. දුෂ්කර වුවත් මේ පාසලේ දක්ෂ දරුවන් හිටියා. මම උගන්නපු හතේ පන්තියට දරුවෙක් ආවා. ඇය හරිම දක්ෂයි. නමුත් ඇය පාසල් එන්නේ අවාරෙට. හිටි හැටියේ එන්නේ නැහැ. දවසක් මම උදේම පන්තියට ගියා. ඒ ගියාම මට ඇසුණේ මහත් කනගාටුදායක ප්‍රවෘත්තියක්. ඒ දරුවා පේන්න හිටියේ නැහැ. මම ඇයි කියලා හොයලා බැලුවා. ළමයි කිව්වේ ඒ දරුවා මියගිහිල්ලා කියලා. මම වරුවක් නිවාඩු දාලා පාසලේ තවත් ගුරුවරයෙක් එක්ක මේ දරුවාගේ ගෙදර සොයාගෙන ගියා.’
‘ඇගේ ගෙදර තිබුණේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය ආසන්නයේ. දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධේ වෙලාවේ පරදින සද්ධාතිස්ස පන්සලකට ගිහින් ඇඳක් යට හැංගෙනවා. ඒක තමයි මේ දෙමටමල් විහාරය කියන්නේ. පසුකාලීනව දෙටුමල් කියන එක තමයි දෙමටමල් විහාරය වුණේ. මේ කිට්ටුව වැවක් තිබුණා. ඒ වැව ළඟ පුංචි කටුමැටි ගහපු ගෙයක් තිබුණා. ගේ කොච්චර පොඩිද කියනවා නම් ගේ ඇතුළේ ඇගේ මිනිය තියන්නවත් ඉඩ තිබුණේ නැහැ.
ගෙයින් පිට යාලත්තක් බාලා මඩුවක් හදලා. ඒ මඩුව හදලා දීලා තිබුණේ ගමේ අය සල්ලි එකතු කරලා. ගමේ අය මහන්සි වෙලා බාල පෙට්ටියක ඇගේ දේහය තැන්පත් කරලා තිබුණා. ඒ පෙට්ටිය අරන් දීලා තිබුණෙත් ගමේ අය සල්ලි එකතු කරලා. මට හොඳට මතකයි ඇගේ දේහයට අන්දලා තිබුණෙත් අර වෙනදා ඉස්කෝලේ ඇඳන් ආපු පඬු පාට වෙච්ච සුදු ගවුම. මළගෙදර 10ක් 12ක් වත් සෙනග හිටියේ නැහැ. කවුරුත් ඇඬුවේ නැහැ. ඒක විශේෂයක්. ඇඬුවේ නැත්තේ ඒ මිනිස්සු නපුරු නිසා නෙවෙයි. ඒ මිනිස්සු ගොඩාක් දුක් විඳලා කඳුළු හිඳිලා තියෙන මිනිස්සු….’
‘දරුවගේ තාත්තා මැදිවියේ කෙනෙක්. එතකොට මගේ වයස අවුරුදු 24ක් 25ක් විතර ඇති. මම එතකොට තාත්තාට කිට්ටු වෙලා ඇහුවා මොකද වුණේ කියලා. ඒ තාත්තා මට කියනවා මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහින් ඇවිත් වැවට යනවා මල් කඩන්න, මල් කඩාගෙන ඇවිත් පන්සලට යන අයට විකුණනවා. ඒ ලැබෙන සල්ලිවලින් එයාට ඕනෙ කරන දේවල් ගන්නවා. සල්ලි ඉතුරු වුණොත් ගෙදර වියදමටත් දෙනවා.
නොවැම්බර් මාසේ වහිනවා එහාට. වැව් පිරිලා. දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා. ඇය දන්නවා පෝයට වැඩියෙන් පන්සලට සෙනග එනවා කියලා. ඈ කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණා ගන්න පුළුවන් කියලා. ඉස්කෝලේ ගිහින් ආපු හැටියෙම ඇය පෙරළා වැවට ගියා. ආපහු ආවේ නැහැ. හැන්දෑ වුණාට පස්සේ ගමේ අය හුළුඅතු පත්තු කරගෙන හැම තැනම සෙව්වා. ඇයව සොයාගන්න බැරිවුණා. පහුවදා උදේ ඇගේ මිනිය පාවෙලා වැව් ඉවුරට ඇවිත් තිබුණා. ඇගේ එක් අතක ගිලිහී ගිය නෙලුම් මල් දෙකක් රැඳිලා තිබුණා. ඔය සිද්ධිය ඇහුවට පස්සේ මගේ සිතේ මහා කම්පාවක් ඇතිවුණා…’
‘මම 1985 අවුරුද්දේ මාරුවෙලා ආපහු ගාල්ලට එනවා. 1987 අවුරුද්දේ පණ්ඩිත් අමරදේවයන් මට යෝජනවාක් කරනවා අපි මධුවන්ති වැඩසටහන පටන්ගමු ගුවන් විදුලියේ කියලා. 1963 අවුරුද්දේ මේ වැඩසටහන සේකරයන් නතර කරලා තිබුණ වැඩසටහනක්. අමරදේවයන් සහ මම මධුවන්ති වැඩසටහන් හත අටක් කරනවා. ඒ වෙලාවේ මම කල්පනා කරනවා මේ සිද්ධිය ලියන්න ඕනේ කියලා. ලියද්දී මම පොඩි වෙනසක් කළා.
මට මේකේ ස්ථානය වෙනස් කරන්නට ඕනෙ වුණා. මොකද සිද්ධිය වුණේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ වුණාට වඩාත් ප්‍රකට ස්ථාන දෙකක් වන මහියංගනය සහ සොරබොර වැව මම ගීයට සම්බන්ධ කරගත්තා. හැබැයි කලාපයෙන් පිටට ගෙනිච්චේ නැහැ. ඔක්කොම වෙල්ලස්සේම තමයි. ආශ්චර්යය වුණේ අමරදේවයන්ගේ 64 වැනි ජන්ම දින උත්සවය තිබුණා ටවර් රඟහලේ. එදා මූලාසනයේ හිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්.
මටත් පොඩි කතාවක් තිබුණා. එදා අමරදේවයන් ඔය කතාව කියලා ගායනා කළා ගීතය. එදා බොහෝ දෙනෙක්ගේ ඇස්වල කඳුළු තිබුණා. නමුත් ඇගේ මළගෙදර දවසේ ඇය වෙනුවෙන් හඬන්නට කවුරුත් හිටියේ නැහැ. ඒ අවුරුදු ගානකට පස්සේ නැගිච්ච හැම කඳුළක්ම ඔක්කම්පිටිය අප්‍රකට වැවේ එරිලා මියගිය 11 හැවිරිදි දැරිය වෙනුවෙන් කියලා මට හිතෙනවා. ඇත්තටම ඒ සැබෑ අවමංගල්‍ය පැවැත්වුණේ ඔක්කම්පිටියේ නෙවෙයි කොළඹ ටවර් රඟහලේදී කියලයි මම හිතන්නේ… ඒක තමයි ඇත්ත…’
‘සුදු නෙලුම කෝ…. සුදු නෙලුම කෝ….
සොරබොර වැවේ…
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකුණු පන්සලේ…’
කෝ එදා හිටිය සුදු නෙලුම වන් සිඟිති දැරිය? සොරබොර වැවේ ඇගේ ජීවිතයම සැඟව ගිහිල්ලා. ඈ එදා විකුණූ මල්වලින් මුළු මහියංගනයම සුවඳ කළා. ඇය පාසල් යන්න අවශ්‍ය දේවල් ඒ මුදල්වලින් මිලදී ගත්තා. අවුරුදු එකොළහක් වුවත් ඇය ඇගේ අම්මා තාත්තාව පුළුවන් විදියට ජීවත් කෙරෙව්වා. ඇය පුංචි වුණත් උත්සාහවන්ත හිත ශක්තිමත් දරුවෙක් වුණා. මේ දුකෙන් එතෙර වන්නට නම් හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා ඇය සිතුවා.
වෙනදා පුන් සඳින් ආලෝකවත්ව තියෙන පසළොස්වක පෝය දවසට මේ දරුවා මල් ගෙනල්ලා විකුණලා පන්සලම එළිය කරනවා. ඒත් අද මේ සිඟිති දැරිය වැව් පතුලේ සැඟව ගිහින් පරිසරයම කළුවර වෙලා. ඇය අද මේ මිහිපිට නැහැ. ඒ ශෝකය දරාගන්න බැහැ.
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
වැවට කළුවර ඇවිත් මූසල පෙනුමක් ගෙනදුන්නා. සංසාරය නමැති දුක (ජාති ජරා මරණ ව්‍යාධි යන දුක්ඛයන්) නොනැසී පවතී. ඇය හැම දෙනාටම සමුදීලා. ලස්සනට නෙළලා තිබුණු මල් මිට විනාශයට පත්වෙලා ඉහිරිලා ගියා. මේ දැරියගේ ජීවිතය නමැති මල් පෙති වැවේ විසිරිලා ගිහින්. මල් දෙකක් පමණක් අහිංසක ඇගේ පුංචි ඇඟිලි තුඩු අතර රැඳිලා. මේ දැරිය පරිසරයට ආදරය කළා සිඟිති දැරිය මරණයට පත්වී අනෙක් ඉවුරට මිනිය ගසාගෙන ගිහිල්ලා
‘සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකපොල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පාවුණා’
පරිසරයටද ඇගේ වෙන්වීම දරාගන්නට නොහැකි වුණා. පොඩියට වැස්ස පටන් ගත්තත් ඒ වැස්ස මහා වැස්සක් බවට පත්ව වැවේ ඉවුර සේදිලා ගිහිල්ලා. හරියට කියනවානම් කෙනෙක් ඇඬුවාම කම්මුල් දෙකෙන්ම කඳුළු වැක්කෙරුණා. මෙයින් අදහස් කරනු ලැබුවේ මේ දැරියගේ හුස්ම නැවතී ඇය ඇස්දෙක පියාගත්තා ඇය මරණයට පත්ව ඇති බව හැ`ගෙව්වා. වැවේ අනෙක් ඉවුරට ගහගෙන ගිහින් තමයි ඇගේ නිසල මළ සිරුර රැඳුණේ.
කලා නිර්මාණයකට ජීවිතයේ බොහෝ දේ වෙනස් කරන්නට පුළුවන්. ජීවිතයක් ජීවත් කරවන්නටත් ජීවිතයක් හඬවන්නටත් හදවත් සුවපත් කරන්නටත් පුළුවන් ශක්තියක් ගීතයක් තුළ ගැබ්වීම එහි සාර්ථකත්වයයි. රත්නශ්‍රී විජේසිංහයන් ඒ බව මනාව ඔප්පු කළ ගී පද රචකයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ ඒ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ජීවිතයට ‘මව්රට’ අපි සුබ පතමු.
නිලන්ති රේණුකා










