සරසවි ආචාර්යවරියන්ගේ සහ සිසුවියන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (16) දන්වා සිටියේය.Sri Lanka Latest News
එලෙස ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් දෙන ලෙස අධිකරණය ගූගල් සමාගමට නියෝග කළේ ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ වෙත දන්වා සිටියේය.
කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් හා ආකල්ප පිළිබඳ තොරතුරු ගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු ගැනීම සඳහා ගූගල් පෝරමයක් අන්තර්ජලය හරහා හුවමාරු වන බව සඳහන් කරමින් එම පැමිණිල්ල කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
එම ගූගල් පෝරමයට අනුව විශ්වවිද්‍යාල සිසුවියන් සහ ආචාර්යවරියන් විශාල පිරිසක් සිය අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු දී ඇති බවට කරුණු අනාවරණ වෙමින් පවතින බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමෙන් තොරතුරු ගෙන ඉදිරි විමර්ශන කරන බවද දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.








