අධික වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, තමන් දැඩි අසීරුතාවයට මුහුණපා ඇති බව මහවැලි බී කලාපයේ කිරි ගොවීහු සඳහන් කරති. (Sri Lanka Latest News)
මාස අටකට ආසන්න කාලයක් පොළොන්නරුව වැසි නොමැතිකම නිසා කිරිගවයින් ආහාරට ගන්නා තෘණ වර්ග විනාශ වී ඇති බවත්, මේ හේතුවෙන් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාගල, දම්මින්න, සිංහපුර, ඇල්ලේවැව, අසේලපුර, විජයබාපුර, ඇතුළු මහවැලි කොට්ඨාසවල කිරි ගොවීන් පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් අසීරුතාවයට පත් සිටින බව මහවැලි නිලධාරීහු සඳහන් කරති.
වියළි කාළගුණික තත්ත්වය නිසා කිරිගොවීන්ට තණකොළ සපයා ගැනීමට නොහැකිවීමෙන් කිරි ගවයින්ගෙන් ලබාගන්නා කිරි ලීටර් ප්‍රමාණයද සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බවත් මේ හේතුවෙන් ආර්ථිකව දැඩි ලෙස පහළ මට්ටමකට වැටී ඇති බවත් මහවැලි බී කලාපයේ විජයබාපුර කිරි ගොවියකු වන ජි. කේ. ජී. බන්දුල ප්‍රියන්ත බණ්ඩාර පැවසීය.
මීට අමතරව කිරිගව පාලනයෙන් ජීවිතය සරිකරගන්නා දිඹුලාගල, සොරුවිල, නාමල්පොකුණ,මලියදේවපුර ඇතුළු ගම්මානවල කිරිගව පාලනය කරන ගොවීන් තම ගවයන්ට තෘණ වර්ග ලබාදීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවට මුහුණ පා ඇති බවද සොරිවිල ගම්මානයෙ කිරිගව පාලනයෙන් ජීවත්වෙන යූ.එම්. සිරිපාල පැවසීය.
වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ නියඟය සහ වියළි කාළගුණය දැඩි ලෙස බලපෑමක් වී ඇති බවත්, මේ හේතුවෙන් කලාපයේ තෘණ වර්ග විශාල වශයෙන් විනාශ වීම නිසා සතුන් මෙන්ම සත්ව පාලනයේ නිරත ගොවීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු පැවසූහ.
lankasara










