කිසිම කෙනෙක් යන්නෙ නෑ, මිනිස් පුළුටක් නෑ…
ස්වභාවික උපද්‍රව කියන මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී ලෝකයේ බොහෝ රටවලට වඩා අපිට ස්වභාවික ආපදාවලින් සිදුවෙන හානි, කරදර බොහොම අඩුයි. ග්ලැශියර් විදාරණය, ගිනි කඳු පිපිරීම් වැනි දරුණු ගණයේ ස්වභාවික ආපදා සම්බන්ධයෙන් ලංකාවේ අපිට අත්දැකීමක් ඇත්තෙම නැති තරම්.(Sri Lanka Latest News)
බහුතරයක් දෙනා කියන ආකාරයට එවැනි ස්වභාවික විපත් ලංකාවේ කවදාවත්ම සිදුවෙලා නෑ. අද ඔබට කියන්න යන කතා පිළිගන්න ටිකක් අමාරු කතාවක් වෙන්නේ ඒ නිසයි. ඔබ කවදාවත් අහලා තියෙනවද ගිනි කන්දක් විදියට සැලකෙන ලංකාවේ තියෙන සුවිශේෂ කලාපයක් ගැන? අපි අද කියන්න යන්නේ එහෙම තැනක් ගැනයි.
අතීතයේ සඳහන් වෙන විවිධ තොරතුරු සහ ලංකාවෙ ගිනි කඳු පිහිටා තිබුණා කියන දේ ගැන සාක්ෂි සාධක කිහිපයක් මත ඉතිහාසඥයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවෙන්න පටන් ගත්තා. කතාබහ ආරම්භයට කලින් කතාවේ පාදමට ගිහිල්ලා අපි ගිනි කන්දක් කියන්නේ මොකක්ද කියන දේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්.
සරලවම කියනවා නම් පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ලාවා, එහෙමත් නැත්නම් සාමාන්‍ය භාවිතයේ සඳහන් කරන විදියට ලෝදිය භූමියේ ඇති විවිධ සිදුරු ඔස්සේ පෘථිවි පෘෂ්ටය කරා පැමිණිලා පිටතට ගලා යෑමට සුදුසු ආකාරයෙන් සැකසුණු විවරයක් ගිනි කන්දක් කියලා සලක්න පුළුවන්. මේ කතාවෙන් අපි අපේ මාතෘකාව පැත්තට ආවොත් මේ විදියට මැග්මා ගනීභවනය වෙලා නිර්මාණය වුණු ගිනි කන්දක් ලංකාවේ සමනල කන්ද අඩවියේ පිහිටා තිබුණු බව ඉතිහාස කතා අතර සඳහන් වෙනවා. මේ සිදුවීම සිදුවුණු බව සඳහන් වෙන්නේ රාවණා රජ සමයේදී.
සමනල කන්ද මුදුනේ සිට බලන ඕනෙම කෙනකුට ඉතා ලස්සන කඳු ගැටයක දර්ශනයක් බලාගන්න හැකියාව තිබෙනවා. ඒ සුවිශේෂ ස්ථානය අදටත් හඳුන්වන්නේ කුණුදිය පව්ව, එහෙම නැත්නම් කුණුදිය පර්වතය කියලා. කුණුදිය පර්වතය උසින් මීටර් 1,900කටත් වඩා වැඩි, දුෂ්කරතාවන්ගෙන් පිරිච්ච භූමි ප්‍රදේශයක් විදියටයි සලකන්නේ. සරලවම කියනවා නම් මේ කන්ද නගින්න ස්ථිර අඩි පාරක්වත් නැහැ.
මේ අපහසුතාවන් නිසාම සිරිපා කඳු පාමුල ජීවත්වන පලාබද්දල, එරත්න, ඉඳුරුව, මාපලාන වගේ ගම්වල ජනතාව කුණුදිය පර්වතය මුදුනට වැඩි වශයෙන් ගිහිල්ලත් නෑ. කොහොම නමුත් රාවණා රජතුමාගේ යුගයේදී සමනල කන්ද ආශ්‍රිතව පිහිටා තියෙන මේ කුණුදිය පර්වතය සක්‍රීය ගිනි කන්දක් විදියට ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන දේ ඉතිහාස කතා අතර අපිට අහන්න ලැබෙනවා. හරියටම කිව්වොත් මේ පර්වතය මුදුනෙන් ලෝදිය ගලා යෑමක් සිද්ධ වෙලා තියෙනවා කියලයි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ නිසාම මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ ජනප්‍රවාද ගොඩනැගිලා තියෙනවා.
රාවණාගේ බෑණනුවන් වූ ඔරිචි නමැති යක්ෂයාගේ වාසස්ථානය පිහිටලා තිබ්බේ මේ කුණුදිය පර්වතය ආසන්නයේ කියලයි සඳහන් වෙන්නේ. ඒ නිසාම නිරන්තරයෙන් ලාවා ගලන කුණුදිය පර්වතය ඔරිචි යක්ෂයාට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුණා කියලත් කියැවෙනවා. ඒ නිසා ඔරිචි රාක්ෂයා රාවණා හමුවට ගිහිල්ලා මේ ගිනි කන්ද සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීලා තියෙනවා.
ඉන් පස්සේ රාවණා රජතුමා ඔරිචිගේ දැනුම්දීම මත ගිනි කන්දක් විදියට සක්‍රීයව පැවැති කුණුදිය පර්වතය නිරීක්ෂණය කරන්න ඒ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. රාවණා රජතුමා කල් තියාම දකිනවා මේ ගිනි කන්ද මහාපරිමාණයෙන් පුපුරා ගියොත් මුළු සමනල අඩවියම විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන දේ. ඒ නිසා දුරදක්නා චේතනාව නිසාම එතුමා ගිනි කන්ද නිශ්ක්‍රීය කරන්න සුවිශේෂ යාගයක් සිදුකරන්න සියලු කටයුතු සූදානම් කරනවා.
ඉතින් මේ ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට යාගය සිදුකරලා තියෙන්නේ රාවණා රජතුමාමයි. මේ යාගයෙන් පස්සේ කුණුදිය පර්වතයේ ලෝදිය උණුදිය බවට පත්වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසාම ඒ කාලසීමාවෙ මේ කලාපයේ උණුදිය පර්වතය විදියට ජනතාව හඳුන්වන්න පටන් ගත්තා. නමුත් වර්තමානය වන විට මේ සුවිශේෂ ස්ථානය කුණුදිය පර්වතය කියලයි හඳුන්වන්නේ.
අතීතයේ තිබුණු ගිනි කන්දක් සම්බන්ධයෙන් මේ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරු, පදනමක් රහිත කතාවක් විදියට කෙනෙක්ට හිතන්න අවස්ථාව වැඩියි. නමුත් යම් යම් සාක්ෂි සාධක සලකා බලද්දී, ඒත් එක්කම මේ වටා ගෙතුණු මිථ්‍යා මතිමතාන්තර පිළිබඳ අවධානය යොමු කරද්දී අනිවාර්යයෙන්ම කුණුදිය පර්වතයක් තිබුණා කියන දේ ගිනි කන්දක් පිළිබඳ යම් කිසි විශ්වාසයක් ජනතාව අතර ඇතිකරන්න හේතුවක් වෙලා තියෙනවා.
එහෙම කරන්න ප්‍රධාන සාක්ෂියක් තමයි මේ කුණුදිය කන්ද පාමුල එදා ඉඳන් අද දක්වාම ජනාවාස කිසිවක් ස්ථානගත වෙලා තිබුණා කියලා කිසිම සාක්ෂියක් නැති එකක්. ඉතින් සමනල අඩවිය කියන්නේ සුවිශේෂ ස්ථානයක් නිසාම බහුතරයක් ඉතිහාසඥයන්ගේ අවධානය මේ කලාපයට යොමුවීමත් සාමාන්‍ය දෙයක්.
මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ අදහස්වලට අනුව සමනල අඩවිය ආශ්‍රිතව කොයි තරම් පර්යේෂණ සිදුකළත් කුණුදිය පර්වතය ආශ්‍රිතව පැරැණි ජනාවාස කිසිවක් ඔහුටත් හමුවෙලා නෑ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ කුණුදිය පර්වතය ගිනි කන්දක් ලෙස ඒ කාලයේ සක්‍රීයව පැවැතුණු නිසා ඒ අවට කලාපය තුළ ජන ශූන්‍ය බවට ඒ කාලයේ ඉඳන්ම පත්වෙලා තියෙන්න ඇති කියලයි. ඒ වගේම කුණුදිය පර්වතයේ තිබුණු දැඩි රශ්මිය හේතුවෙන් ඒ අවට කලාපයේ ගෙවුඩ නමැති මැණික් විශේෂයක් නිර්මාණය වූ බවටත් ජනප්‍රවාද අතර සඳහන් වෙලා තියෙනවා.
සමනල අඩවිය පිහිටා තියෙන්නේ රුවන්පුර කලාපයේ කියන එක. බහුතරයක් දෙනා දන්න කතාවක්. රුවන්පුර නැත්නම් රත්නපුර වැඩි වශයෙන් ප්‍රසිද්ධ මැණික්වලට. මේ ආකාරයෙන් වැඩි වශයෙන් රත්නපුර අවටින් මැණික් විශේෂ හමුවීම රාවණා යුගයේ විදාරණය වුණු මේ කුණුදිය පර්වතයේ බලපෑම නිසා සිද්ධ වෙනවා කියලයි සමහර ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේකට විද්‍යාත්මක පදනමක් සහිතව අවධානය යොමු කළොත් මැණික් කියන පාෂාණය නිර්මාණය වන ආකාරය පිළිබඳ අපට ඉතා කෙටි අවධානයක් දෙන්න පුළුවන්.
පොළොව අභ්‍යන්තරයේ තියෙන ලාවා සහ ඒ අවට පරිසරයේ ඇති උෂ්ණත්වය සහ පීඩනය සමග සිදුවෙන දීර්ඝකාලීන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියටයි මැණික් නිර්මාණය වෙන්නේ. ඒ වගේම පොළොව මතුපිටට පැමිණෙන ලාවා ඝනීභවනය වෙලා විවිධාකාරයේ ඛනිජ බවට පරිවර්තනය වෙලා මේ ඛනිජ වර්ෂාවන් හෝ වෙනත් ස්වභාවික සංසිද්ධීන් හේතුවෙන් වෙනත් ස්ථානවලට පරිවහනය සිදුවෙනවා.
මේ ආකාරයෙන් පරිවහනය වුණු සමහර ඛනිජ මැණික් බවට කාලයක් එක්ක පත්වෙනවා. මේ සාක්ෂි සාධක මත මෙන්න මේ ප්‍රදේශයේ ලාවා ක්‍රියාත්මක වීම හේතුවෙන් මැණික් නමැති පාෂාණ වර්ගය වැඩි වශයෙන් නිර්මාණය වෙන්න ඇති කියලයි අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. ඒ වගේම පැරැණි පුස්කොළ පොත්වල සඳහන් වන කාව්‍ය රචනාවකට අනුව, ඒ රචනාවක එක පද පේළියක ‘ලෝදිය එදා ඉතිරුණු දිය කන්ද’ කියලා මේ කුණුදිය පර්වත ප්‍රදේශය හඳුන්වා දීමත් එක්ක කුණුදිය පර්වත ප්‍රදේශය පිළිබඳ අපට අදහසක් ගන්න පුළුවන්.
ඒ වගේම භූ විද්‍යාත්මකව පදනම් වන හේතු කාරණා පිළිබඳ අවධානය යොමු කළොත් වසර දහස් ගණනකට කලින් ගිනි කඳු විදියට පැවැතිලා පසුකාලයකදී නිශ්ක්‍රීය බවට පත්වුණු ලෝකයේ ස්ථාන රැසක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් ඇමෙරිකා එක්සත් ජනපදනයේ හවායි දූපත් අවට කලාපයේ ගිනිකඳු පද්ධතීන් කිහිපයක්ම මේ වන විට අක්‍රීයව තිබීම අපට උදාහරණ විදියට සලකන්න පුළුවන්.
ඉතින් ලංකාව කියන මේ සුවිශේෂ භූමියෙත් මේ වගේම සංසිද්ධියක් මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව අපට දැකගන්න ලැබීම පුදුමයට කරුණක් වෙන්නේ නෑ. මුලින් සඳහන් කළ විදියට අඩු වැඩි වශයෙන් අතීතයේදී අපිටත් ලෝකයට ඇතිවුණු සමහර දරුණු ගණයේ ස්වභාවික විපත් ඇතිවෙලා තියෙනවා. ඉතින් ගිනි කඳු විදාරණය වීමක් ගැන තියෙන විශ්වාසය අපට බැහැර කරන්න බෑ.
Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි.










