බැදුම්කර සිද්ධිය මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුලු කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙවර දැනුම් දී ඇත්තේ අලුත් චෝදනාවන් යටතේ බව දැනගන්නට ඇත.
ඒ අනුව රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ 2016 වසරේ සිදුවූ බව කියන බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් බව පැවසේ.
ඉකුත් වතාවේ මෙම පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග දියත් වූයේ 2015 සිදුවූ බැදුම්කර නිකුතුව මුල්කරගෙනය.
2016 මාර්තු බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු ලබා ගැනීමට මෙසේ නියෝග කර ඇති බව පැවසේ.
ඒ අනුව අද (04) දිනයේදී බොහෝදුරට මෙම පිරිස අත්අඩංගුවට ගනු ඇති බව දැනගන්නට ඇත.










