හීනටිගල හිමියන් ලක්හඬට ඇවිත් කරපු හෙළිදරව්ව…
ලාංකිකයෝ විදියට කතරගම වන්දනාව කියලා කියන්නේ අපි බොහොම භක්තියෙන් යන ගමනක්. කට වරද්දා නොගෙන, බොහොම ගෞරවයෙන් පේවෙලා යන්න ඕනෙ ගමනක් විදියටයි කතරගම වන්දනාව අපි සලකන්නේ. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව මේ කතරගම වන්දනාවට සෑම තරාතිරමකම අය සම්බන්ධ වීම විශේෂත්වයක් විදියට දකින්න ලැබෙනවා.(Sri Lanka Latest News)
සියලු ජාතීන්ට අයත් විවිධ ආගම් නියෝජනය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉතා ගෞරවයෙන් වන්දනා කරන, ස්කන්ධ කුමාර, කඳ සුරිඳු හෙවත් කතරගම දෙවියන් වැඩසිටිතැයි කියැවෙන කතරගම පුදබිම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන්නට පූජ්‍ය හීනටිගල ඉන්ද්‍රවංශ ස්වාමින්වහන්සේ පසුගියදා කටයුතු කළා. ‘ලක්හඬ’ ගුවන් විදුලියේ ‘සිංහරාව’ වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ කතරගම දෙවියන් කතරගම පුදබිමේ නොමැති බවත්, උන්වහන්සේ දේවත්වය ඉක්මවා යෑම පිණිස වනගත පෙදෙසක ධ්‍යාන වඩමින් සිටින බවයි.
එසේම පූජ්‍ය හීනටිගල ඉන්ද්‍රවංශ හිමියන් එම සාකච්ඡාව අතරතුරදී උන්වහන්සේගේ එකල ගුරු හිමියන් වූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් (වර්තමානයේ සිරි සමන්ත්‍රභද්‍ර හිමියන්)ගේ ඇතැම් ක්‍රියාවන්ද දැඩි ලෙස විවේචනයට ලක්කළා. පූජ්‍ය ඉන්ද්‍රවංශ ස්වාමින්වහන්සේගේ මෙම සාකච්ඡාව ‘ලක්හඬ’ යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.
අද කතරගම දෙවියන් කතරගම දේවාලේ නැහැ. ඒක මගේ පුද්ගලික මතය. ඒක කතරගම දේවාලේ කපුමහත්වරු මා එක්ක තරහා වෙන්න එපා. මගේ මතය ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවා. කතරගම දෙවියන් අද දේවත්වයේ ඉඳගෙන, ඉන් ඔබ්බට යන්න දැහැන් වඩනවා. සෝතාපත්තියට පත්වෙච්ච උත්තමයන්වහන්සේ නමක් කතරගම දෙවියෝ කියන්නේ. සාමාන්‍ය දෙවි කෙනෙක් නෙවෙයි.
එතුමා ආර්ය ශ්‍රාවකයන්වහන්සේ නමක්. කතරගම දෙවියෝ ගැන විශ්වාසයක් තියෙනවා, උන්වහන්සේ ඔක්කම්පිටියේ බවුන් වඩනවා කියලා. කතරගම දේවාල භූමියේ උන්වහන්සේගෙ පිළිමෙ තියෙනවා. පිළිමෙකට වුණත් වඳින්න වඳින්න, ගලකට වුණත් මහා පිරිසක් වඳින්න වඳින්න චිත්ත ශක්තියක් ගිහින් අවශෝෂණය වෙනවා. පිළිම සිද්ධි වෙනවා, බලවෙනවා කියලා කියන්නේ ඒකට. සමහර විට කතරගම දෙවියන්ගේ දේව පිරිවර මණ්ඩලයේ ඉන්න පිරිවර ඇවිල්ලා එතැන පින් අනුමෝදන් වෙනවා වෙන්නත් පුළුවන්.
අපේ හාමුදුරුවනේ බොහෝ බැතිමතුන් කැබිලිත්තටත් යනවා නේද?
ඔව්. නමුත් කැබිලිත්තෙත් උන්වහන්සේ නැහැ. දෙවියෝ ඉන්න ඕනෙ මනුෂ්‍ය ලෝකෙ නෙවෙයි නේ. ඔබතුමිය නෑගෙදරකට ගියා නම් කෙටි කාලයකට, නෑගෙදර පදිංචි වෙන්න වුවමනාවක් නෑනේ. තමන්ගේ ගෙදරට යනවනේ. දෙවියන්ගේ ආශීර්වාදය යම් යම් තැන්වලදී ලැබුණාම, ඒකෙන් ප්‍රසාදයට පත්වුණාම මිනිස්සු දෙවියෝ මෙතැන ඉන්නවා කියන දෘෂ්ටිගත වීමට යනවා. එතකොට මෙතැනම තමයි දෙවියෝ ඉන්නේ කියලා හිතනවා.
හැබැයි තව තැනකදීත් හම්බවුණාම එතැනත් ඉන්නවා කියලා අල්ලා ගන්නවා. නමුත් ඇත්තටම කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ බුදුන් සරණ ගිය දෙවි කෙනෙක්. උන්වහන්සේ දැනට දැහැන් වඩනවා සකෘදාගාමී තැනට යන්න. සෝතාපත්තියට පත්වෙච්ච දෙවි කෙනෙක් ගෞතම බුද්ධ ශාසනය නිමා වෙන්න පෙර අනිවාර්යයෙන්ම රහත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ. සෝතාපන්න වෙච්ච දෙවි කෙනෙක් ආයෙමත් මනුෂ්‍ය ලෝකෙ මනුෂ්‍යයෙක් වශයෙන් උපදින්නෙත් නෑ. මොකද මනුෂ්‍ය මවකට, පියෙකුට දාව සෝතාපන්න වෙච්ච බබෙක් ලැබෙන්න විදියක් නෑ.
සෝතාපත්ති බබ්බු නෑනේ. සෝතාපන්න වෙලා ගියාම දිව්‍ය ලෝකෙ තමයි උපදින්නේ. සෝතාපත්ති දෙවි කෙනෙක් ඕපපාතිකව උපදිනවා. අවසානයේදී බ්‍රහ්ම ලෝකෙක හෝ දිව්‍ය තලයකදී එයා රහත් වෙලා ඒ ක්ෂණයේම පිරිනිවන්පාන්න ඕනේ. ඒකට හේතුව තමයි දිව්‍ය ලෝකෙ රහතන්වහන්සේලා නෑ. රහතන්වහන්සේලා ඉන්නේ මනුෂ්‍ය ලෝකෙම විතරයි. මොකද සංඝරත්නය දිව්‍ය තලවල නෑනේ. ඉන්නෙ මනුෂ්‍ය ලෝකෙ විතරයිනේ.
ඒ නිසා දැනට කතරගම දෙවියෝ සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ කරලා සකෘදාගාමී අනාගාමී ස්වභාවයට පත්වෙන්න දැහැන් වඩනවා. දැහැන් වඩනවා කියන්නේ මන්ත්‍ර ජපකරන එකක් නෙවෙයි. සිත පුහුණු කරනවා සද්ධර්මයත් සමග. මේ වෙද්දීත් හැම දවසකම සියලු සක්වලකම ගෞතම බුද්ධාඥාව පැතිරුවා වූ සියලු ලෝක ධාතුන්වල ඉන්න සෝතාපත්තියට පත්වෙච්ච, අනාගාමී ස්වභාවයට පත්වෙච්ච සියලුම දිව්‍ය මණ්ඩලවල අය ධර්ම සාකච්ඡා කරනවා. අපි කොහොමද අපි මේක මෙහාට යන්නේ කියලා, ඊළඟ ඵලය ලබාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්.
ගෞතම බුදුන් වහන්සේ ජීවමානවම ධර්මය ශ්‍රවණය කළ ඇත්තොත් ඒ අතර ඉන්නවා. අපට බුදුන්වහන්සේ ලොව පහළ වෙලා අවුරුදු 2600ක් වුණත් දිව්‍ය ලෝකවල ක්ෂණයක් දෙකක් වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ ධර්ම දේශනාවක් කරද්දී ආරාධනාවක් කරනව නේ,
‘සමන්තා චක්කවාලේසු – අත්‍රාගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුණිරාජස්ස – සුනත්තු සග්ග මොක්ඛදං’ කියලා. ඒ මුනීන්ද්‍රයන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනුෂ්‍ය ලෝකයේ කොහෙන් හෝ ඇසෙනවා නම් මිටි කළ අතක් දිගහරිනවා වගේ ක්ෂණයකින් ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ධර්ම ඥානය වැඩි කරගෙන නිවන් මඟට අවශ්‍ය සාධක හොයනවා. එහෙම නැතුව පෙරහැර බලන්නවත්, ඔළුබක්කො නටනවා බලන්නවත් අවශ්‍යතාවක් කතරගම දෙවියන්ට නෑ. නිවන් දැකීම ඒකායන අරමුණ කරගත්ත කෙනකුට මියුසිකල් ෂෝ එකක් බලන්න වුවමනාවක් නෑනේ. මොකද ඒවා අතහැරලානේ තියෙන්නේ.
ඒකායනෝ මග්ගෝ – එක මගක් තෝරගනියව්. එක මග තුළ ආයෙමත් පාරවල් කපන්න බෑනේ. ලබු ගෙඩියයි, පුහුල් ගෙඩියයි, අර ජෑම් එකයි ඔක්කොම හදන්න බෑනේ. කොස් ගෙඩියේ වහල්ල කෑවත්, කොස් ඇටේ පළාගෙන කෑවත් හිත් ඇදීමකුත් නෑනේ. එතකොට දෙවියන්ටත් වඩා මළ පෙරේතයි. ඒ පෙරේතකමේ සීමාවක් තියෙන්න ඕනනේ. කාපල්ලා, කාපල්ලා කියනවා. වැල ගෙඩිය අතින් කඩනවා මළ පෙරේතයෝ වගේ.
ඒ කියන දේම තමාගේ රෙද්ද පල්ලෙන් බේරෙනවනේ. හිත්වැදීමක් නැතිවුණාම උන්මත්තකභාවයට පත්වෙනවා. ආශ්වාදයේ අනන්තයට ගියාම පේන්නෙම ආශ්වාදය විතරයි. හැබැයි ඕක දිරවන්න වෙන්නේ අවුරුදු 60ක් 70ක් වෙලා නාකිවෙලා එක්තැන් වුණාම අමු උන්මත්තක ස්වභාවයට පත්වෙනවා. එතකොට ඒ වැල ගහ තව කෙනෙක් කනවා දැක්කම උහුලගන්න බෑ. අන්තිමේදී ඕකටම අධිගෘහිත මහා කුම්භාණ්ඩයෙක් වෙයිද කවුද දන්නේ? ඕනම කෙනකුට ඕක තමයි වෙන්නේ. වැල ගෙඩියත් අල්ලගෙන, හරක්ගෙන් කිරිත් දොවනවා, චීස් හදනවා.
ධනිය ගෝපාල කියලා සූත්‍රයක් තියෙනවා. මහා හරක් බානක් ඉන්නවා. ඒ හරක් බාන අරගෙන ධනිය ගෝපාල සින්දුවක් කියනවා මහී ගඟ එහාපැත්තේ ඉඳන්. මට මෙච්ච හරක් පට්ටියක් ඉන්නවා, කිරි දොවන දෙන්නු මෙච්චර ඉන්නවා, මට කන්න තියෙනවා, මට හොඳ බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, වැස්ස වැහැපන් කියලා කියනවා. බුදුන් වහන්සේ රෑ දොළහට විතර ගඟේ එහා පැත්තේ ඉඳන් කියනවා මට හරක් බානකුත් නෑ, ගව පට්ටියකුත් නෑ. දොවන්න කිරිත් නෑ කියලා.
අඹ වනයක් පූජා කළානේ බුදුන් වහන්සේට එක් අවස්ථාවක. ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියන්න තිබුණනේ ‘ආනන්ද හොඳ අඹ වාරේ, චට්නි දාමුද? මේක හොඳ ප්‍රඩක්ට් එකක් වෙයි’ කියලා. ඕක තේරුම් ගන්න බැරි නම් අපේ මිනිස්සු ඉන්න තැන මොකක්ද? විලි ලැජ්ජයි. මේවට ගහන්න පුළුවන්. ගැහුවට සත්‍යයට හානියක් වෙන්නේ නෑ.
ඔබවහන්සේ පුන පුනා කියන්නේ බුදුන්වහන්සේගේ විමුක්ති මාර්ගය වෙන එකක් කියලද?
ඔව් වෙන එකක්. පුද්ගල භෞතික මාර්ගය වෙන එකක්. බුදුන්වහන්සේගේ විමුක්ති මාර්ගය කියන්නේ තවත් එකක්. ඒක සසර නැවැත්ම වෙනුවෙන්. යමෙක් ජීවනෝපාය වෙනුවෙන් උනන්දු වෙනවා නම් ඒ සඳහා අරහත් ධජය භාවිත නොකරන්නේ, අරහත් ධජය තියෙන්නේ මඩ ගාගන්න නෙවෙයිනේ. අපට හමුදා යුනිෆෝම් එකක් දාගෙන පුළුවන්ද වෙන දේවල් කරන්න? එතකොට ඒ ඇඳුම අවභාවිත කිරීමක්නේ.
ඕනෑම ආයතනයක ව්‍යුහයක් තියෙනවනේ. ඒ වගේ සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ එක එක්කෙනාට එක එක දේවල් කරන්න බෑ. ඒකෙ තියෙනවා යම් රටාවක්. ලෝකෙම පිළිගන්න දෙයක් තමයි චීවරය කියන එක. ඒක එක එක්කෙනාට අවශ්‍ය දේවල් කරන්න බෑ.
දේවත්වයට පත් වුණාම කතරගම දෙවියන් දැහැන් වඩනවා මම අනිවාර්යයෙන්ම සම්බුද්ධ ශාසනය නිමාවෙන්න කලින් නිවන් පසක් කරගන්නවා කියලා. බුදුන් වහන්සේගේ අවසාන අවවාදය මහණෙනි අප්‍රමාදී වෙන්න කියන එකනේ.
අප්‍රමාදීව කෙහෙල් කැන් එකතු කරන්න කිව්වෙත් නෑ, අප්‍රමාදීව ජෑම් හදන්න, චට්නි හදන්න කිව්වෙත් නෑ, අප්‍රමාදීව බිත්තර වී හොයන්න කිව්වෙත් නෑ, සසරෙන් නික්මෙන මගක් හොයාගන්න කියලයි කිව්වේ. ආනන්ද හාමුදුරුවෝ අඬනකොට කිව්වා අඬන්න එපා, නුඹට මා දකින්න ඕනෙ නම්, මගේ ධර්මය දකින්න කියලයි කිව්වේ. නැත්නම් මගේ පිළිමයක් හදාගෙන ඒ තුළින් මාව දකින්න කියලා කිව්වේ නෑ. මේවටත් මොළේ පෑදෙන්නෙ නැත්නම් හොයම් ජූස් එකම තමයි දෙන්න ඕනේ.
කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු තවත් දිව්‍ය සමූහයා නිරන්තරයෙන් බලනවා දේවත්වයේ දැන් ඉඳලා ඇති වෙලා. දිව්‍ය සැප විඳලා ඒක අලුයම ලූ කෙළ පිඬක් තරම් වැදගත්කමක් නෑ. නන්දන උයනයි, දිව්‍යාංගනාවොයි දැකලා දැකලාම එපාවෙලා. එහෙම එකේ තවත් මොකටද ඕකෙ පැද්දී පැද්දී ඉන්න යන්නේ. ඇත්තටම කතරගම දෙවියන් සහ දිව්‍ය සමූහයා දැහැන් වඩනවා සෝතාපත්ති ස්වභාවයේ ඉඳන් ශ්‍රී සද්ධර්මය සේවනය කරලා, ගෞතම බුද්ධ ශාසනය නිමා වෙන්න කලින් මම කෙසේ රහත් වී මේ භව ගමන දේවත්වයෙන් කෙළවර කරගතයුතුයි කියලා.
මෙච්චර කල් ආපු මනුෂ්‍යත්වය තුළත්, දේවත්වය තුළත්, බ්‍රහ්මත්වය තුළත් තිබෙන්නේ අනවරත දුක් සහිත ගමනක්. ඒ ගමන මේ දේවත්වයෙන්ම කෙළවර කරගත යුතුයි කියලා උන්වහන්සේලා හිතනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා ‘දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ’ කියලා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඇතුළු සියලු ලෝක අවසානයේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ දුක මතමයි. චට්නි එක හරිගියේ නැත්නම් කේන්ති යනවා.
ජෑම් එක හරිගියේ නැත්නම් කේන්ති යනවා. ඒක විකුණුනේ නැත්නම් කේන්ති යනවා. කියන එක පිළිගත්තේ නැත්නම් කේන්ති යනවා. ඉතින් දුකනේ. අවසානේ රෑට නින්ද යන්නෙත් නෑ. එහා කුඹුර හරක් කනවද දන්නෙත් නෑ කියලා කල්පනා කරනවා. සැතපෙන්නවත් පුළුවන්ද නිදහසේ? කෝ නීවීම? අඩු ගානේ ගිහියෙක් විඳින භෞතික නිවීමවත් සැනසීමත් කෝ?
සැකසුම-චානක ලියනගේ










