සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම සිදුවන වංචා දූෂණ හා අක්‍රමිකතාවන් පිලිබඳ ජනාධිපති කොම්ෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර වරදකරුවන් හඳුනාගෙන ඇතත් මේ වන තෙක්ම ඔවුන් ඒ තනතුරුවලම රැඳී සිටිමින් කටයුතු කිරීම තුළ සෞඛ්‍ය ඇමතිවරයාවරයා තවදුරටත් මාධ්‍ය සංදර්ශන දමමින් රැවටිමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. Sri Lanka Latest News
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව පවසන්නේ ඖෂධ කළමනාකරණයේ දී තමන් අතින් එකම එක වංචාවක් හෝ සිදුවී ඇතිි බව ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල 02 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශයේ අනතුරුවය.
ඖෂධ ගෙන්වීම ඇතුළුව සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන අක්‍රමිකතාවන් සෙවීම හා ඒවා අදාල අංශවලට පැමිණිලි කිරීම හරහා සිදුව ඇත්තේ තම සංගමයේ සාමාජිකයින්ගේ ශ්‍රමය හා කාලය විනාශ වීම පමණක් යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
විෂය භාර ඇමතිවරයාට ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් එය කළ යුතුව තිබුනේ රෝහල්වල උග්‍ර ඖෂධ හිගයක් පවතින කාලයේදී රෝගීන් ඖෂධ නොමැතිව මියගිය අවස්ථාවන්වලදී යැයිද හෙතෙම කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පැටලුණු නූල් බෝලයක් බැවින් මෙය නිරවුල් කරගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද වෛද්‍ය විජේසිංහ පැවසුවේය.
කෙසේ නමුත් ප්‍රසම්පාදනයේ ගැටලුව GMOA පමණක් සඳහන් කරන දෙයක් නොවන බවත් පසුගිය මැයි මාසේ එළිදැක්වූ විගණකාධිපති වාර්තාවේ පවා මෙම ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව ගැන පැහැදිලි කර තිබෙන බවත් ඔහු කීවේය.
ඉල්ලා අස්වීමේ තීරණය ගන්නවා නම් ඇමතිවරයාට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවත්, සමහර ඖෂධ සමාගම් හෝ පුද්ගලයන් සම්බන්ධව විගණකාධිපති වාර්තාවේ තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කර අලාභ සිදුකළ තැනැත්තන්ගෙන් නැවත මුදල් අයකර ගැනීමේ නිසි ක්‍රමවේදයක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.










