• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සක්විතියි-සිහින කුමරයි, ගාමිණීයි-විජයයි ඇත්තටම ගහගත්ත දවස! ඒක මාර දවසක් I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive, Heart, News
Reading Time: 13 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා මෙදා දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරු දෙක (The Most Famous Sri lankan Mega Stars) ගාමිණී ​ෆොන්සේකා හා විජය කුමාරතුංගය. සිනමා ක්ෂේත්‍රයේ එදත් අදත් තරු රැසක් වරින් වර පහළ වූ අතර, ඇතැම් තරු කාල​යාගේ ඇවෑමෙන් නිවී ගිය අයුරු අප දැක ඇත්තෙමු. ඒ කලක් සිනමාව එකලු කළ තරු මිස සුපිරි තරු නොවේ.(Sri Lanka Latest News)

මෙරට පහළ වූ සුපිරි නළුවන් දෙදෙනා නම් 1936 වසරේ මාර්තු 21 වැනිදා උපත ලබා 2004 වසරේ සැප්තැම්බර් 30 වැනිදා මියගිය සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා හා 1945 ඔක්තෝබර් 09 වැනිදා උපත ලබා 1988 වසරේ පෙබරවාරි 16 වැනිදා මියගිය කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංගය.

සන්දේශය, දෛවයෝගය, පිරිමියෙක් නිසා, දස්කොන් චිත්‍රපටවල රඟපෑ ගාමිණී ෆොන්සේකා සුපිරි තරුවක් ලෙස මුදුන් පෙත්තට පැමිණියේ 1962 තිරගත වූ ‘රන්මුතු දූව’ චිත්‍රපටයෙනි. ගැටවරයෝ, චණ්ඩියා, ධීවරයෝ, සූර චෞරයා, සූරයන්ගෙත් සූරයා, හතරදෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, කස්තුරි සුවඳ, සදහටම ඔබ මගේ යන ගාමිණී රඟපෑ චිත්‍රපට නිසා ඔහු ජනප්‍රියත්වය තහවුරු කළේ පිට පිටම ජනප්‍රිය සරසවි සම්මාන ​අටක් දිනාගෙනය.

ගාමිණී නිසා විජය කුමාරතුංගයන් නළුවකු වීමට සිහින මැවූ බව අපට කියා තිබිණි.

‘මම චිත්‍රපට නළුවකු වීමට සිතුවේ ගාමිණී ෆොන​්සේකාට එදා තිබූ ආකර්ෂණය නිසාය. කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලයේ එතකොට මට වයස අවුරුදු 17ක් විතර ඇති. කටානේ මහා පරිමාණයේ සංගීත සංදර්ශනයක් පැවැත්තුවා. නත්තල කිට්ටුව. ලංකාවේ හිටිය ජනප්‍රිය ගායක ගායිකාවෝ ජෝති, මිල්ටන්, එම්.එස්., රුක්මණී, ඇන්ජලීන් සින්දු කියන්න ආවා. මේ ප්‍රසංගයේ ප්‍රධාන අමුත්තා ලංකාවේ අසහාය නළුවා ගාමිණී ෆොන්සේකා.

එදා කටාන ජනතාව ඔහුට දැක්වූ සැලකිලි, ගෞරවාදර දැක්කම මමත් කවදා හෝ නළුවෙක් වී ජනතාව අතර ජනාදරය ලබාගන්නවා යැයි පුංචි සිතුවිල්ලක් හිතට ආවා. රඟපෑ​මේ ආරම්භයේ බීජය මා සිතට ආවේ එදා…’

‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය, ජනප්‍රිය නළුවකු ලෙස ප්‍රකට වූයේ ‘හතර දෙනාම සූරයෝ’ හා ‘තුෂාරා’ චිත්‍රපට හරහාය.

ගාමිණී හා විජය මුල්වරට එකට රඟපෑවේ ‘හතර දෙනාම සූරයෝ’ (1971) චිත්‍රපටයේය. මේ චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ශ්‍රියානි අමරසේන වූ අතර, විජයගේ පෙම්වතිය වූයේ මාලිනී ෆොන්සේකාය. එහෙත් ගාමිණී හා මාලිනී ඊට පසු නිධානය, සහනය, එදත් සූරයා, අදත් සූරයා, ආදරේ හිතෙනව දැක්කම, සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, හොඳයි නරකයි, කස්තුරි සුවඳ, සැණ​කෙළිය චිත්‍රපටවල රඟපෑ අතර විජය හා මාලිනී හතරදෙනාම සූරයෝ, සමනළ කුමරියෝ, මේ දෑස් කුමටද, ආදරේ හිතෙනව දැක්කම, තුෂාරා, හත්දිනක් තරු, හොඳම වෙලාව, දාහකින් එකෙක්, සුසී, සැණකෙළිය යන චිත්‍රපටවල රඟපෑහ.

මේ කාලය වනවිට ගාමිණී හා විජය සමීප හිතවතුන් වූ අතර, ගාමිණී විජයට ගුරු උපදේශ දීමට තරම් ළෙංගතු විය. ගාමිණීගේ වචනවලින්ම එය සටහන්ව ඇත්තේ මෙසේය.

හන්තානේ කතාවෙන් පසු විජය කරා බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ අවධානය යොමුවිණි. ඉඳහිට විජය මා හමුවීමට පැමිණීම සිරිතක් කොට තිබිණි. මෙකල ඔහු සතුව හොන්ඩා මෝටර් සයිකලයක් විය. ඔහු මෙහි නැගී අධිවේගයෙන් මහ පාර තරණය කරනු මා කිහිප විටක්ම දැක ඇත.

ඊළඟට මා කළේ අංගවිකල වුණු නළුවන් චිත්‍රපට ප්‍රධාන චරිත රඟපෑමට තේරෙන්නේ නැති බව මතක් කරදී ඔහුගේ මෝටර් සයිකලය විකුණා දමා කාරයක් ගැනීමට ඔහු පෙලඹවීමයි. දින කිහිපයකට පසු ඔහු දුරකතනයෙන් මා වෙත පැවැසුවේ, මෝටර් සයිකලය ඉවත් කළ බවත්, වොක්ස්වැගන් රථයක් මිලට ගත් බවත්ය.

ගාමිණී, විජයට දුන් තවත් උපදෙසක් මම දනිමි. එනම් නළුකමේ ආයුෂ ඉතා කෙටි බවත්, ඉතාම කලාතුරකින් තමන්ගේ දක්ෂතාවත්, කැපවීමත් මත එය දික්විය හැකි බවත්ය. වෘත්තියේ ගරුත්වය ද එහි නියැළෙන්නන්ගේ හැසිරීම් තුළින් රැකෙන බවය.

විශේෂයෙන් එකල සමහර නළු නිළියන්ගේ ගති පැවතුම් නිසා මුළුමහත් නළු නිළි වෘත්තියටම කැළැල් ඇති වේගෙන යනු දුටු නිසා එවැනි දේවලින් වැළකී සිටිය යුතු බව ඔහුට සිහිපත් කර දුන්නේය.

‘වැඩිකල් යන්නට පෙර ක්‍රිකට් පිටියකදී ඔහු තළන්නට, පෙළන්නට සූදානම් වූ පිරිසම ඔහු වටා රොක් වී එකට කන බොන අයුරු මම දුටුවෙමි. තවත් කෙටි කලකදී විජය කුමාරතුංගයන්ගේ ජනප්‍රියත්වය වැඩිවීමත් සමග ඔහුගේම චිත්‍රපටවල එම පිරිස් අවශේෂ සහ සහාය රැඟුම් දක්වනවා දුටුවෙමි. තවත් කලෙකදී එම පිරිස්ම ගණනින් වැඩි වූ අතර, ඔවුන් විසින් විජය කුමාරතුංගයන් නොමඟ යවනවා ද දුටුවෙමි….’ ගාමිණී කියා තිබුණේය.

‘පූජිත ජීවිත’ (පස්වැනි වෙළුම 1994)

එක්තරා දිනක ගාමිණී තමාගේ ප්‍රථම රංගනය ගැන විජයට කියනු අප අසා සිටියේ කුහුලකිනි.

විජයගේ පහරකින් ගාමිණීගේ තොල පිපිරිලා ලේ ආවා… විරසකව සිටි ගාමිණී හා විජය එක් කළේ කෙහෙළිය රඹුක්වැල්ල. විජය හා ගාමිණී මුලින්ම එකට රඟපෑවේ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ. දෙදෙනා විරසක වෙන්නේ කේළාම් හා වැරැදි අවබෝධ නිසා. සැණකෙළියේදී මාලිනී ගාමිණීට උපහාස, අපහාස කරයි. විජය සිර අඩස්සියේ සිටියදී විඳින දුක ගාමිණී ජනපතිට කියයි.

එක්තරා ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙක් මා ප්‍රධාන චරිතය රඟපෑ පළමුවැනි චිත්‍රපටයේ මගේ රඟපෑමට උසුළු විසුළු කළ බව විජය මතක තියාගන්න. එවැනි අවස්ථා ඔයාට නොලැබීම ගැන සතුටු වෙන්න. ඒ චිත්‍රපටයේදීම ප්‍රධාන නිළියට පෙම්බැඳි එම චිත්‍රපටයේ කොටස්කරුවකු එක්තරා සටන් ජවනිකාවකදී මැරවර චරිතය රඟපෑ තවත් නළුවකු ලවා මට ඇත්තටම පහර දුන්නා.

එසේ කළේ චිත්‍රපටවල නළුවන් චිත්‍රපටයේ සටන් කලාව ඔවුනට ඇත්ත වශයෙන්ම සාමාන්‍ය දිවියේදී එම දේ කළ නොහැකි බව අර නිළියට පෙන්වීම සඳහායි. මා කළේ පටිගත කරමින් තිබූ චිත්‍රපට ජවනිකාව පසෙක තිබියදී ජවනිකාවෙන් පිට යමක් එම දර්ශනයට එකතු කිරීමයි. එනම් මා තරම් එකහමාරක් විශාල මැරයා චිත්‍රාගාරයෙන් පිටතට ඔසවා ගෙනගොස් වතුර පොවා ප්‍රකෘති සිහිය ලබාදෙන්නට සැලැස්වීමයි. මම මේ කතාව විජයට කිව්වේ තාම ළාබාල වියේ සිටින ඔයාට හැම දේකටම එඩිතරව මුහුණ දෙන්නට පාඩමක් හැටියට…’

එහෙත් 1973 පමණ වන විට ගාමිණී හා විජය විරසක වීමට හේතු සාධක මතුවීමට පටන් ගත්තේය. කේළම්, වැරදි අවබෝධ මේවාට බලපෑවේය. ඒ විරසකය ‘සැණකෙළිය’ චිත්‍රපටයේ රඟපෑ දර්ශනයකින් පුපුරා ගියේය. එහි විශේෂ අවස්ථාවක් වූයේය. එය සටන් දර්ශනයක් විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ විමලදාස පෙරේරා කියන්නේ එය සිනමාවේ ඇත්තටම ගහගත්ත සටන් දර්ශනයක් හා සමානව කෙරුණු එකක් බවය.

‘සැණකෙළිය’ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ කානිවල් එකක සිදුවන ආදර කතාවකි. එය ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය වූ ‘සතුට’ පත්‍රයේ පළවූ හර්බට් රංජිත් පීරිස් කතාව ලියා චිත්‍රපටයට නැගූ සැණකෙළිය චිත්‍රකතාව ඇසුරින් නිපද වූ චිත්‍රපටයකි. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූයේ විමලදාස පෙරේරාය. කතාව, තිර නාටකය දෙබස් හා සම අධ්‍යක්ෂණය හර්බට් රංජිත් පීරිස් ගෙනි.

සැණකෙළි බිමක සේවය කළ කාර්මිකයන් දෙදෙනකු වූ ප්‍රියන්ත (ගාමිණී ෆොන්සේකා) හා සම්පත් (නවනන්දන විජේසිංහ) මිතුරන් දෙදෙනෙකි. සැණකෙළිය සංවිධානය කරන ධනවතකුගේ දියණිය තරංගනී (මාලිනී ​ෆොනේසේකා) හා ඇගේ යෙහෙළිය (ශ්‍රියානි පෙරේරා) ගැන මිතුරන් දෙදෙනාගේ සිත යොමුවෙයි. දිනක් තරංගනීගේ වටිනා පෑනක් නොදැනුවත්වම බිම වැටෙයි. ප්‍රියන්ත එය අහුලා ගනී. මෙය තරංගනීගේ මෝටර් රථය පදවන රියැදුරා දකී. ඔහු මේ බව පොලිස් කොස්තාපල්වරයකුට දන්වයි. ඔහු පැමිණ ප්‍රියන්තගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරයි. ඔහු කියන්නේ පෑන තමාගේ බවය.

තරංගනී කැඳවා විමසන විට ඇය කියන්නේ පෑන තමාගේ නොවන බවය. ප්‍රියන්ත සැණකෙළියේ අවන්හලක සිටින ඉරෝමි (ෆරිනාලායි) හා සබඳතාවක් ඇති කර ගනී. ඒත් ප්‍රියන්තගේ හිත තරංගනී වෙත දිවයයි. සමාජ තලයෙන් ඉහළ ඇය ඔහු වරෙක ප්‍රතික්ෂේප කරයි. අපහාස, උපහාස කරයි. සැණකෙළි බිමට එන රෝහිත (විජය කුමාරතුංග) ධනවත් තරුණයකු වන අතර, තරංගනීගේ ද හිතවතෙකි. මිතුරෙකි. ඔහු ඇය ගැන බලාපොරොත්තුවෙන් සිටී. රෝහිත හා ඔහුගේ මිත්‍ර පිරිස විනෝදකාමීන්ය. මත්ලෝලීන්ය.

රෝහිතගේ පිරිස නොයෙක් අවස්ථාවල ප්‍රියන්ත හා සම්පත් සමග සැණකෙළි භූමියේ ගැටුණේය. ඒ ගැටුම උත්සන්න වෙන්නේ තරංගනීගේ සිත ක්‍රමයෙන් ප්‍රියන්ත වෙත ​යොමුවීම නිසාය. එතෙක් තරංගනීගේ අපහාස, උපහාස හා සමච්චල්වලට ලක්වී මානසික වධයකට ලක්වූ ප්‍රියන්තට ඇගේ ආදරය හිමි වීම රෝහිතට වැදුණු මරු පහරක් වෙයි. රෝහිත හා පිරිස ප්‍රියන්තට දරුණු ලෙස පහරදෙයි. වරෙක ප්‍රියන්ත හා රෝහිත මුහුණට මුහුණ ගහගනිති. අවසානයේ තරංගනීගේ හදවත දිනාගන්නේ ප්‍රියන්තය.

සැණකෙළිය සම්පූර්ණයෙන්ම රූපගත වී ඇත්තේ හැඳල විජය චිත්‍රාගාර​යේදී අලුතින් ඉදිවූ සැණකෙළි බිමකය. ගාමිණී හා විජය මුහුණට මුහුණ සටන් කරන දර්ශනය රූගත වන අවස්ථාව වන විට මේ දෙදෙනාගේ විරසකය උච්ච අවස්ථාවක තිබිණි. මේ දර්ශනය හැඳල විජය චිත්‍රාගාරය පිටුපස ක්‍රීඩාංගණයේදී රූගැන්වී ඇත. මේ දර්ශනය රූගත කළ කැමරා ශිල්පියා වූයේ ඇම්.වී. හේමපාල (තලේ) ය.

‘මට මේ දර්ශනය කිසිදා අමතක වන්නේ නැහැ. හැඳල විජය චිත්‍රාගාරයේ කාර් පාක් එක තියෙන එළිමහනේදී මේ දර්ශනය ගත්තේ. ඒක රාත්‍රී දර්ශනයක්. සාමාන්‍යයෙන් සටන් දර්ශනයකදී එයට සහභාගි වෙන නළුවන් හැකි තරම් පරෙස්සමෙන් ඒ අවස්ථා රඟපාන්නේ. ඒ අතරතුර ඇත්තටම පහරක් දෙකක් වදින අවස්ථා තියෙනවා. විජය හා ගාමිණී අතර සටන් දර්ශනයක් චිත්‍රපටයක එන්නේම නැහැ.

මොකද මේ දෙන්නම වීර චරිත රඟපෑවේ. මේ දර්ශනය ඉන් විශේෂිත එකක්. සාමාන්‍යයෙන් විජයගේ අත් දිගයි, ගාමිණීට වඩා. මේ සටන් දර්ශනය කරන කොට මේ දෙදෙනා අමනාපයකින් සිටි බව අපි දැන සිටියා. විජයගේ එක පාරකින් ගාමිණීගේ තොල පිපිරිලා, තොල දතක් වැදී හිල් වුණා. එයින් ලේ ගලන්න පටන් ගත්තා. අපි ෂූටිං නවත්තලා අයිස් කැට ගෙනත් තොලට තිබ්බා. විජය ගාමිණී ගාවට ඇවිත් මෙහෙම කිව්වා. ‘I’am Sorry Gamini’ කිව්වා. ඒක හෘදයාංගමව විජය කිව්ව එකක්.

‘Thats all Right’ ගාමිණී කිව්වා.

පැයකට පමණ පසු ගාමිණී, ‘තලේ අර සීන් එක කන්ටිනිව් කරමු’ කිව්වා.

‘ගාමිණී මහත්තයා තව ටිකක් ඉමුද?’ මම ඇහැව්වා. අධ්‍යක්ෂ විමලදාස පෙරේරාත්, නිෂ්පාදක සෑම් පෙරේරාත්, ගාමිණීට ප්‍රතිකාර කරන්න රෝහලකට ගෙනියන්න උත්සාහ කළත් ගාමිණී එයට කැමැති වුණේ නෑ.

‘තලේ, මගේ මුහුණේ ඉදිමුණු පැත්ත කවර් කරලා ෂූට් කරන්න’ ගාමිණී මට කිව්වා.

ගාමිණීයි විජයගෙයි සටන් දර්ශනය මම කැමරාගත කළේ තුවාල වී ඉදිමී තිබූ පැත්ත කවර් කරලා. මේ සටන් දර්ශනයේ මා දැක්ක විශේෂය නම් ගාමිණී විජයට තුවාල නොවන ලෙස පහර දීම. ඒක ගාමිණීගෙන් මා දුටු විශේෂ ලක්ෂණයක්. ඇත්තටම හිතලා මතලා ගහන පහරවල් ගැන අත්දැකීම් රැසක් ගාමිණීට තිබුණා. ඒක උසස් මානුෂික ගතියක්…’ තලේ කීවේය.

තලේ එහෙම කියනකොට මට මතක් වුණේ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය. ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ ගාමිණී හා හෙක්ටර් ඒකනායක අතර මුහුණට මුහුණ දී කළ සටන් දර්ශනයක් ගැනය. හෙක්ටර් කොල්ලුපිටියේ ශාන්ත මයිකල් විද්‍යාලයේ බොක්සිං ශූරයාය. ගාමිණී ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ බොක්සිං ශූරයාය. රන්මුතුදූවේ සටන් දර්ශනය ස්වභාවිකව ඇත්තටම ගහගැනීමට ඉඩදී චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙන්ම කැමරා ශිල්පියා වූ මයික් විල්සන් ඔවුන් වටා කැමරාව ගෙන යමින් ඒ සටන් දර්ශනය රූගත කළ බවය. එහෙත් ගාමිණී හා හෙක්ටර්ගේ මිත්‍රත්වයට එය බාධාවක් නොවීය.

‘සැණකෙළිය’ චිත්‍රටයෙන් පසු ගාමිණී හා විජය කලක් එක චිත්‍රපටයේ රඟ නොපෑහ. චිත්‍රපට ප්‍රේක්ෂකයෝ මේ දෙදෙනා එකට රඟපානු නැරඹීමට පුලපුලා බලා සිටියෝය.

ගාමිණී හා විජය ‘සැණකෙළිය’ චිත්‍රපටයෙන් පසු නැවත ප්‍රධාන චරිතවලට යොදාගෙන චිත්‍රපටයක් නිපදවීමට මහනුවර තරුණ ව්‍යාපාරිකයකුට 1981 වසරේදී අවශ්‍ය විය. ඔහු නමින් කෙහෙළිය රඹුක්වැල්ල විය. පසුකලෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ද විය. අද මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

‘මම මේ කාලයේ ලංකාවේ සිටිය ළාබාලම චිත්‍රපට නිෂ්පාදකවරයාය. ගාමිණී හා විජය මගේ මිත්‍රයෝය. මම දවසක් ගාමිණීට කිව්වා මම චිත්‍රපටයක් කරන්න කැමැතියි. ඒක අධ්‍යක්ෂණය කරන්නත් ප්‍රධාන චරිතයක් කරන්නත් ඔබට පවරනවා. මම කැමැතියි දයා රාජපක්ෂගේ ‘සක්විති සුවය’ කියන චිත්‍රකතාව තෝරාගන්න කියලා.

‘ඉතින් අපි කරමු.’ ගාමිණී කිව්වා.

‘මේ චිත්‍රපටයේ තිස්ස මඩුගල්ල කියන චරිතයට අපි විජයව තෝරාගමුද? එයා තමයි මේකට ගැළපෙන්නේ.’ ‘හොඳා. ඒක තමුන්ගේ කැමැත්තක්.’

ගාමිණී සරල පිළිතුරක් දුන්නා. මම ඊළඟට විජයට ටෙලිෆෝනයෙන් කතා කළා.

‘විජය මම සක්විති සුවය කරනවා. ගාමිණී අධ්‍යක්ෂණය කරන්නේ බකට් හැරීගේ චරිතය. විජයට මේ චිත්‍රපටයේ රඟපාන්න චරිතයක් තියෙනවා. තිස්ස මඩුගල්ලගේ චරිතය.
‘ප්‍රශ්නයක් නෑ කෙහෙළිය රඟපාමු’ විජය කිව්වා.

කෙහෙළිය රඹුක්වැල්ල නම් තරුණ නිෂ්පාදකයා ගාමිණී හා විජය නැවත සිනමා රාමුවකට එක් කරන්නේ සක්විති සුවයෙනි. විජය එතෙක් චිත්‍රපටයකට අය කරන මුදලට වඩා දෙගුණයක් මේ සක්විති සුවයට ලබාගත් බව විජය අපට කියා තිබුණි. ගාමිණී හා විජය එකට රඟපෑම විශේෂයෙන් ගාමිණී අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක ගාමිණී සමගම රඟපෑම ඔවුන් දෙදෙනා විරසක කිරීමට උඩගෙඩි දුන් බොහෝ දෙනකුට වැදුණු බලවත් පහරක් විය.

එපමණක් නොව විජය 1983 වසරේ ජනප්‍රිය නළුවා ලෙස සරසවි සම්මාන ලබා එය 1988 වසර දක්වා අඛණ්ඩව ලබාගත්තේය. 1984 අගෝස්තු 18 වැනිදා මරදානේ ටවර් රඟහලේ ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපට උළෙලක් පැවැති අවස්ථාවේ එහි විශේෂ ආරාධිතයකු ලෙස පැමිණි විජයට ගාමිණී තම ගෙලෙහි තිබූ මල් මාලාව පලඳවා ‘මේ මගේ මල් මාලාව ලැබිය යුත්තේ මට නොවෙයි විජයට’ කීවේය.

මා විසින් 1986 වසරේ ගාමිණී ෆොන්සේකාගේ පනස් වැනි ජන්ම දිනය වෙනුවෙන් සංස්කරණය කළ ‘හෙළ සිනමාවේ සක්විති’ කෘතිය දොරට වැඩීමේ උත්සවයේ විජය, ප්‍රේමදාස අගමැතිවරයා ඉදිරියේ කළ කතාව මොහු ගාමිණීට දුන් ඉහළම ඇගයීම විය. ‘මා ඇත්තටම නළුවෙක් වුණේ ගාමිණී නිසයි. ගාමිණී ලියූ ගීතත් මම ගයා තියෙනවා…’ යැයි ඔහු කී​වේය.

විජය සිර අඩස්සියේ තබාගෙන සිටියදී ගාමිණී ඔහු වෙනුවෙන් ජයවර්ධන ජනාධිපතිවරයා හමුවූ පුවත අපට ගාමිණී කීවේ මෙලෙසය.

‘රජය විජය අත්අඩංගුවට ගනු ලැබීම මට සැලකර සිටියේ ටෝනි රණසිංහයි. විජය වකුගඩු අසනීපයෙන් පෙළෙන බවත්, සිර කූඩුව තුළ විඳින්නට සිදුවූ දුක් ගැහැට නිසා ඔහුගේ තත්ත්වය තවත් අසාධ්‍ය විය හැකි බවත්, කෙසේ හෝ රාජ්‍ය නායකයාට ආයාචනය කර මුදාගත යුතු බවත් ටෝනි කියා සිටියා. මේ පිළිබඳ හිටපු රාජ්‍ය නායකයන් හමුවේ මා සාකච්ඡා කළ අතර, දින දෙක තුනක් ඇතුළතදී රාජ්‍ය නායකයා චන්ද්‍රිකා මැතිනිය කැඳවා කරුණු විමසා තේ පැන් සංග්‍රහයක් කර විජය වහාම යුද හමුදා රෝහලට පිටත් කර යවනු ලැබුවා.

සිර අඩස්සියෙන් නිදහස් වී විජය දිනක් මා හමුවන්නට පැමිණ ස්තුති කළා. ඔහු එදා කතා කළේ තමා පසුගිය වකවානුව තුළ උගත් පාඩම් ගැනය. පුහු මිනිසුන් ගැනය. විශ්වාසය තැබිය නොහැකි මිතුරන් ගැනය. හයි හත්තිය තිබෙද්දී කිට්ටු වෙන, වැටුණු කල පස්ස හරවන, දෙපයින් ඇවිදින සමහර තිරිසනුන් ගැනය. එහෙත් පොදු දුප්පත් ජනතාවත්, ඔවුන් තුළ තිබෙන ගුණවත්කමත්, පෙරට වඩා අද අගයන බවත් ඒ තුළින් දිවියේ තවත් ශක්තියක් තමන් දුටු බවත් ඔහු පුන පුනා කීවා.

විජය කුමාරතුංගයන් 1988 පෙබරවාරි 16 වැනි දින ඝාතනය වීමෙන් පසු ඔහුගේ දේහය බැලීමට මම කීප වරක්ම නිවෙසට ගියෙමි. මා දෙවැනි වර යන විට ඔසී අබේගුණසේකර, ප්‍රේමසිරි පෙරේරා, සරත් කෝන්ගහගේ හා බන්දුල පද්මකුමාර කතාකරමින් සිටියහ.

ඔසී මා පැමිණි බව දැක බන්දුල මා වෙත එව්වේ අප තිදෙනා මෙන්ම කෝන්ගහගේ ද ආනන්දයේ ඉගෙනුම ලබන කාලයේ සිට මිතුරන් වීම නිසාය. ප්‍රේමසිරි ද මා උපන් කොස්ගස්හන්දියේම මිතුරකු නිසාය.

‘ඔයා ආපු එක ​හොඳයි. අපි අවමංගල්‍ය කටයුතු ගැන කතාකරමින් සිටියේ’ බන්දුල මා සමග කතා කරමින් අනෙක් අය ළඟට ගෙන ගියේය.

‘අපි තීරණය කළා විජය ගැන කලාකරුවන් වෙනුවෙන් කරන කතාව ගාමිණීට දෙන්න. ගාමිණී ඔයාගේ යාළුවා නිසා මේ වැඩේ ඔයා බාර ගන්න’ ඔසී හා බන්දු මට කීහ.

‘ඒක හොඳම යෝජනාවක්. ඒ වුණාට ඒ සඳහා ගාමිණීට ආරාධනය කළ යුත​්තේ චන්ද්‍රිකා නෝනා. ඉතුරු ටික මට සම්බන්ධිකරණය කළ හැකියි’ මම කීවෙමි.

ඒක ඇත්ත. අපි රංජිත් එක්ක චන්ද්‍රිකා ළඟට යමු’ ප්‍රේමසිරි පෙරේරා කීවේය. චන්ද්‍රිකා මහත්මිය විජයගේ දෙණ අසල පුටුවක වාඩි වී සොවින් බරව සිටියාය. බන්දුල ඇයට කාරණය පැහැදිලි කළේය.

‘ඔව් රංජිත් කියන එක හරි. ඔයාම මට ගාමිණීව ටෙලිෆෝන් එකෙන් සම්බන්ධ කර දෙන්න’ චන්ද්‍රිකා මහත්මිය මට කීවාය.

‘ගාමිණී අයියා, චන්ද්‍රිකා නෝනට කතා කරන්න ඕනෑලු…’ මම කීවෙමි.

‘හොඳයි එයාට දෙන්න…’

චන්ද්‍රිකා මහත්මිය අවමංගල්‍ය උ​ළෙලේදී කලාකරුවන් වෙනුවෙන් කතාවක් කරන ලෙස ගමිණීට ආරාධනය කළාය.

ගාමිණී එය ආදරයෙන් හා විජයට සෙනෙහසින් එම කතාව භාරගත් බව මම හොඳාකාරවම දනිමි.

විජය මියගොස් වසර 20ක් පිරීමට තෙමසකට පෙර දිනක් එවක අමාත්‍යවරයකුව සිටි ජීවන් කුමාරතුංග මට ටෙලිෆෝනයෙන් කතාකොට හිටපු ජනාධිපතිනිය චන්‍්ද්‍රිකා මහත්මියට මා හමුවිය හැකි දැයි ඇසීය. එය විජය කුමාරතුංගයන්ගේ 20 වැනි ගුණ සැමරුම වෙනුවෙන් ග්‍රන්ථයක් ලිවීමට බවද ජීවන් ඇමැතිවරයා මට කීවේය. විජය ගැන මට කළ හැකි උපකාරයක් කිරීමට ලාභ ප්‍රයෝජනයක් නැතිව කිරීමේ පරමාර්ථයෙන් මම හිටපු ජනාධිපතිනිය හමුවීමට ගියෙමි. මේ 2008 වසරය. එදා එහි සිටි පිරිස අතර චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරද විජයගේ ලේකම් ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත හර්මන් වීරසූරිය ද වූහ.

‘ඔයානේ විජය ගැන මට වඩා දන්නේ… විශේෂයෙන් චිත්‍රපට ලෝකයේ නිළි පෙම්වතියන් ගැන නේද පද්මසිරි’ හයියෙන් කියා සිනාසුණාය. එතුමියගේ කාරුණික ආගන්තුක සත්කාර ලබමින් අප කිහිපවරක්ම නිදහස් මාවතේ නිවෙසේදී හමුවී මෙම​ කෘතිය සැලසුම් කළෙමු. ඒ හැම අවස්ථාවකම පද්මසිරි කොඩිකාරත්, හර්මන් වීරසූරියත් මට සහාය දුන්හ.

අපි ලහි ලහියේ චන්ද්‍රිකා මහත්මිය ළඟ තිබූ වටිනා දුර්ලභ පින්තූර ද, මා සතුව තිබූ විජය රඟපෑ චිත්‍රපට පින්තූර ද එක් රැස් කළෙමු. මම ලහි ලහියේ විජයගේ කුඩා කල සිට චිත්‍රපට ජීවිතය ගැන තොරතුරු අළලා දිවා රාත්‍රී නොතකා අපදාන කෘතිය රචනා කළ අතර, ලියූ හැම කඩදාසියක්ම තිලකා පොඩිමැණිකේ විසින් පරිගණක අකුරුකරණය කළාය. කෘතිය ලිවීමෙන් පසු චන්ද්‍රිකා මහත්මියගේ අදහස වූයේ විජයගේ ළමා කාලය හා පාසල් කාලය ගැන මා ලියූ පරිච්ඡේද කිහිපයත් ආගමික නායකයන්, දේශපාලනඥයන්ගේ විශේෂ පණිවුඩ සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසින් පළකොට අපදාන කෘතිය ඊළඟ වසරේ නිකුත් කරන බවය. එය ලියා තවත් වසර දහයක් ගතවුවද එය පළකිරීමට නොහැකි විය. ඉතා ඉක්මනින් එය විජයගේ ආදරණීය රසික රසිකාවියන්ට තිළිණ කිරීමට හැකි වේවායි සිතමි.

(උපුටා ගැනීම ලංකාදීප)

SendShareShare
Previous Post

විපක්ෂයේ විධායක සභාව රැස්වෙයි! ස්වාධීන මාධ්‍ය විනාශ කරන්න ආණ්ඩුව අරන් එන ‘විකාශන අධිකාරී පනත’ පරද්දන්න ඒකමතිකව තීන්දු කරයි! 1997ත් මේ විදිහෙම ආපු පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

IPL ඉවරයි I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.