ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ රැස්වීමේදී ඊට කැදවා ඇති පිරිස සම්බන්ධයෙන් සහ එහි සාකච්ඡා වී ඇති කරුණු සම්බන්ධයෙන් යම් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
ඒ පොහොට්ටුව නියෝජනය කරමින් ඊට සහභාගී වූ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට එරෙහිව අදහස් දැක්වීමත් සමගය.
මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ට සහ පොහොට්ටුවේ නායකයන්ටද දිස්ත්‍රික් නායකයන්ටද ආරාධනා කොට තිබිණ.
මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවක් ලෙස සියලු පක්ෂ එක්ව ඉදිරියේදී ශක්තිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැදවා තිබූ බවකි.
කෙසේවෙතත් ඊට විරෝධය පළ කොට ඇති පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටුව බැවින් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් සියලු පක්ෂ සමග නොව පොහොට්ටුව සමග දේශපාලන වශයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවකි.
ජනාධිපතිවරයාට කැබිනට් රැස්වීම, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආදිය කැදවීමේ හැකියාවක් තිබුණද පොහොට්ටු නියෝජිතයන් කැදවීමේ හැකියාවක් නැති බවත්, ආණ්ඩුවේ කටයුතු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් පොහොට්ටුව කැදවා සාකච්ඡා කළ යුතු බවත් එහිදී සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත.
මෙහිදී ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් පැමිණ සිටි නිමල් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත්තේ එජාපයද, පොහොට්ටුවද යැයි නොසිතා සියලු දෙනා එක්ව ආණ්ඩුව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය.
නමුත් ඊටද විරෝධය පළ කොට ඇති සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩු බලය ඇත්තේ පොහොට්ටුවට බැවින් ආණ්ඩුව ශක්තිමත් කරන කටයුතු සම්බන්ධයෙන් පොහොට්ටුව සමගම සාකච්ඡා කළ යුතු බවකි.
Ranil Wickramasingha Pohottuwa Sagara kariyawasam










