නාපාන පේමසිරි නාහිමියෝ සජිත්ගේ අත්දෙක අල්ලගෙන ආශිර්වාද කරයි…
සසුනට අරුණින් 12වැනි චෛත්‍යත් සසුනට…
‘රමණීයං උදේනි චේතිය
රමණීයං ගෝතමකං චේතියං’
(උදේනි චෛත්‍යය රමණීයයි
ගෝතමකං චෛත්‍යය රමණීයයි)(Sri Lanka Latest News)
චෛත්‍යය හෙවත් ස්ථූප පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින්ම එවක දේශනා කොට ඇත්තේ එසේය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදීම චෛත්‍ය ඉදිකර තිබේ. සැරියුත්, මුගලන් දෑගසව්වන් ගේ ශාරීරික ධාතු නිදන්කර චෛත්‍ය ඉදිකිරීම බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත සිදුවිය.
දඹදිව මෙන්ම ලක්දිව චෛත්‍ය නිර්මාණය ආරම්භ වූයේද බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදීමය. උන්වහන්සේට ප්‍රථම දානය පිළිගැන්වූ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ ඔවුන්ට ලැබුණු කේශධාතු නිදන් කොට තිරියායේ ස්ථූපයක් කළහ. එය ගිරිහඬු සෑය නමින් හැඳින්වෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි මස ලක්දිවට වැඩම කළහ. එම අවස්ථාවේදී සුමන දෙවියන්ට පරිත්‍යාග කරන ලද කේශධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදිකළේය.
එය සත් රියනක් උස විය. එයින් පසුව සරභූ නම් රහතන් වහන්සේ ගෙන එන ලද බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව නිදන් කර දොළොස් රියනක් උසට බැඳවීය. නැවත එය චූලාභය රජතුමාගේ කාලයේදී තිස් රියනක් උසට බඳවන ලදී. ගැමුණු රජතුමා එය අසූ රියනක් උසට නැංවූයේය. පසු කාලයේදී චෛත්‍ය අභ්‍යන්තරයේ තිබුණු චිත්‍ර කිහිපයක්ද සොයාගැනිණි.
බුදුරජාණන් වහන්සේ තෙවැනි වර කැලණියට වැඩියහ. එහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි මිණිපළඟ තැන්පත් කොට මණිඅක්ඛිත නා රජු චෛත්‍යයක් ඉදිකරවන ලදී. අද කැලණි වෙහෙර නමින් හැඳින්වෙන්නේ එයයි. මෙම චෛත්‍ය ධාන්‍යාකාර හැඩයෙන් යුක්තය.
ලක්දිව ඉදිකරන ලද පැරැණිම චෛත්‍යයන් මේවාය. නමුත් ලක්දිව ඉදිකරන ලද පැරැණි ඓතිහාසික චෛත්‍යය වශයෙන් සලකනු ලබන්නේ ථූපාරාම චෛත්‍යයි. ක්‍රි. පූ. 307 දී දේවානම් පියතිස්ස රජතුමා විසින් මෙය ඉදිකරන ලදී. එය කුඩා ස්ථූපයකි. උස අඩි 68කි. වට අඩි 194කි. සුමන සාමණේරයන් විසින් සක්දෙව් රජුන්ගෙන් ලබාගත් සිළුමිණි සෑයේ තිබූ අකු ධාතුව ගෙනැවිත් මෙහි නිදන් කළ බව සඳහන් වෙයි. පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පෙරහන්කඩය, කෝණාගමන බුදුරජාණන් වහනසේගේ පටී ධාතුව සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නානකඩ ද ඒ ඒ කාලවලදී මෙම ස්ථානයේ කරවනද චෛත්‍යවල නිදන් කර ඇත. මෙම ස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩසිටියහ.

ක්‍රි. පූ. 207 – 197දී දේවානම් පියතිස්ස රජතුමාගෙන් පසු පැමිණි උත්තිය රජතුමා මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යය කරවන ලදී. එය මිහිඳු හිමි හා දේවානම් පියතිස්ස රජතුමා මුල්වරට හමු වූ ස්ථානයයි.
උත්තිය රජ දවස මිහිඳු හිමියෝ මිහින්තලයේ දී අපවත් වූහ. රජු එම දේහය අනුරාධපුරයට ගෙන්වා ආදාහනය කර (ඉසිභූමංගන්) භෂ්මාවශේෂ අනුරාධපුරයේදී ද, සෑගිරියේ ද, තවත් ස්ථාන කිහිපයකද චෛත්‍ය ඉදිකළහ. අම්පාර – රජගලද මිහිඳු හිමිගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යයක් ඇත. උත්තිය රජ දවස හත්ථාලක ආශ්රමයේ වැඩසිටි සඟමිත් තෙරණියෝ අපවත් වූහ. රජතුමා ථූපාරාමයට නැගෙනහිර චිත්ත ශාලාව අසල එතුමිය ආදාහනය කරවා එහි චෛත්‍යයක් කළහ.
ක්‍රි. පූ. 186 – 161 දක්වා රෝහණ දේශය පාලනය කළ කාවන්තිස්ස රජතුමා තිස්සමහාරාමය කරවන ලදී. මෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇත. පසුකාලීනව සොයාගත් සෙල් ලිපියකට අනුව එහි බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව නිදන් කොට තිබෙන බව කියැවේ. චෛත්‍යය වට අඩි පන්සිය පනහකි. උස අඩි එකසිය අසූවකි.
මෙයින් පසුව චෛත්‍යය ඉදිවන්නේ ක්‍රි. පූ. 161දීය. ඒ දුටුගැමුණු රජ දවසය. අනුරාධපුරයේ එතුමා ඉදිකරවන ලද මිරිසවැටියේ එතුමාගේ සධාතුක ජය කුන්තය නිදන් කොට ඇත. මෙහි උස අඩි පනස් හතරකි. විෂ්කම්භය අඩි එකසිය විස්සකි.
මහාථූපය නමින් හැඳින්වෙන රුවන්මැලි සෑය දුටුගැමුණු මහ රජතුමා ඉදිකරන ලද විශාලම චෛත්‍යයයි. මෙම ස්ථානයේ තෙලඹු ගසක් විය. එහි ස්වර්ණමාලි දෙව්දුව වාසය කළාය. මෙම ස්ථානයේ පෙර බුදුවරුන් මෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ ද සමාධි සුවයෙන් වැඩසිටියහ. රජතුමා එහි තිබූ තෙලඹු ගස ඉවත්කර එතැන දෙව්දුවගේ නමින් ස්වර්ණමාලි චෛත්‍යය ඉදිකරවීය. මෙහි දඹදිව රාම ග්‍රාමයෙන් ගෙන ආ සර්වඥ ධතු නිදන් කර ඇත. ගැබෙහි නොයෙක් සිතුවම් සහ රූකම් ද කරවා ඇත. විශ්කම්භය අඩි 294කි. උස අඩි 300කි. බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.
නැවත විශාල චෛත්‍ය නිර්මාණය වන්නේ වළගම්බා රජ දවසය. ක්‍රි. පූ. 103 – 77 එතුමා දක්ෂිණ චේතියත්, උත්තර විහාරය නමින් හැඳින්වූ අභයගිරියත් කරවන ලදී. ගජබා රජ දවස අභයගිරිය විශාල කරවන ලදී. ඒ අනුව පාද විෂ්කම්භය අඩි 325ක් විය. උස අඩි 350කි. මෙය මහා ථූපයට වඩා විශාලය. ක්‍රි. ව. 07 – 19 දී මහා දාඨික මහානාග රජු මිහින්තලයේ මහා ස්ථූපයක් ගොඩනංවන ලදී. එහි විෂ්කම්භය අඩි 136කි. මෙය මිහින්තලයේ ඉදිකළ කණ්ඨික චෛත්‍යයට වඩා අලංකාරය.
මහසෙන් රජතුමා ක්‍රි.ව. 274 – 301 දී ජේතවනාරාමය ඉදිකරන ලදී. මෙය මහා ස්ථූපයට වඩා විශාලය. පාද විෂ්කම්භය අඩි 367කි. උස අඩි 232කි. අනුරාධපුරයෙන් පසු පොළොන්නරු යුගයේ දාගැබ් ඉදිවිය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ භද්දවතී බිසව විසින් ක්‍රි. ව. 1153 – 1187 කිරි වෙහෙර කරවන ලදී. මෙහි පාද විෂ්කම්භය අඩි 89කි. එතුමාගේ තවත් දේවියක් වූ රූපවතී බිසව පබළු වෙහෙර කරවා ඇත. එය දැනට නටබුන් වී පවතී. මහා පරාක්‍රමබාහු රජතුමා ආරම්භ කළ දෙමළ මහා සෑය අතරමඟ නතර කරදැමූ එකකි. ඉදිවූයේ නම් එය ආසියාවේ විශාලම දාගැබ වන්නට ඉඩ තිබිණි.

ක්‍රි. ව. 1182 – 1196 දී නිශ්ශංක මල්ල රජතුමා ද විශාල දාගැබ් ගොඩනැංවීය. ඒ රන්කොත් වෙහෙරයි. එහි පාද විෂ්කම්භය අඩි 186ක් විය. එයින් පසුව බෞද්ධ ශිෂ්ටාචාරය පිරිහෙන්නට වූයෙන් විශාල දාගැබ් ගොඩනැංවීම අතරමඟ නැවතිණි.
දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සංකේතය ලෙස පිළිගැනුණේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයයි. ස්වකීය කෘෂිකර්මාන්ත කටයුතු දියුණු කරගැනීම උදෙසා යමක් නිර්මාණය කළ අතීත මුතුන් මිත්තන් එයින් ගොඩකෙරෙන පස්වලින් ගඩොල් කපා දාගැබ් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්ය. ඒ අනුව ගත්කල දාගැබ ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් ද අපේ රටේ මිනිස් ජීවිත සමග වෙළී පැවැතිණි.
වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ‘සසුනට අරුණ’ සංකල්පය ආරම්භ වන්නේ ඔය අතරය. එම ව්‍යාපෘතිය හරහා එහි පළමු පියවර ලෙස චෛත්‍ය නොමැති විහාරස්ථාන 25ක් තෝරාගෙන ඒවායේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා 25ක් ඉදිකිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළේ 2018 වසරේදීය. පෞද්ගලික දානපති ආධාර උපකාර මත චෛත්‍ය රාජයාණන් වහන්සේලා 25ක් ඉදිකිරීමට ද ඔහු තීන්දු කළේය. මෙහි දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික්කයකට චෛත්‍ය 04 බැගින් දිස්ත්‍රික්ක 25හි චෛත්‍ය 100ක් ඉදිකිරීම එම වැඩසටහනේ තවත් ඉලක්කයක් විය.
එය ලේසි පහසු කාර්යයක් නොවේ. මේ සඳහා ඔහු කිසිදු රාජ්‍ය අරමුදල් යොදා ගත්තෙ නැත. අනුරාධපුර, නාච්චදූව, ශ්‍රාවස්තිපුර, ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේදී මංගල චෛත්‍යයට මුල්ගල තබමින් මෙම වැඩසටහන ආරම්භ වූයේ 2018 ජුනි 23 වැනිදාය. එතැන් සිට මේ වනවිට තේනගම පුරාණ විහාරස්ථානය, විතාරංදෙණිය, තංගල්ල., ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, උත්සන්න, වැලිපටන්විල, අම්බලන්තොට., ප්රබෝධාරාම විහාරස්ථානය, චිත්‍රාගල, අම්බලන්තොට., ශ්‍රී විජයරාම විහාරස්ථානය, හඳුගල, මාතර., ශ්‍රී ස්වර්ණජයන්ති විහාරස්ථානය, 04 ඇළ, ශ්‍රාවස්තිපුර, අනුරාධපුරය.
ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, කු.ග. 05, දකුණු ඉවුර, ලුණුගම්වෙහෙර., ජිනේන්ද්‍රාරාමය, පුහාඹුගොඩ, දොඩම්ගොඩ., විවේකාරාම විහාරස්ථානය, මනාජ්ජාව, අම්බලන්තොට., ශ්‍රී පරම නන්දරාම විහාරස්ථානය, මැද්දෙකන්ද, බලංගොඩ., ශ්‍රී විජයරාම විහාරස්ථානය, පන්වන්කුඹුර, ගෝණවිල., ශ්‍රී ආනන්දාරාමය, මුලන, නාගොඩ, ගාල්ල., ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානය, කොරකහයාය, සියඹලාගස්හේන යන විහාරස්ථාන 12 තුළ මේ වනවිට චෛත්‍ය ඉදිකොට අවසන්ය.
‘රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම උත්කර්ෂවත් ලෙස පවත්වමු යැයි මීට වසරකට පෙර හිතවතුන් පිරිසක් මට යෝජනා කළා. ඒ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 30කට වැඩි ඇස්තමේන්තුවක් මට ඉදිරිපත් කළා. දිවංගත මගේ පියාණන් ඉෂ්ට සිද්ධ කළ සේවය පිළිබඳ පොත් මුද්‍රණය කිරීම, ඒවා රට පුරාම බෙදාහැරීම සහ ඒ මහතා පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ආදී කාරණා එහි ඇතුළත්ව තිබුණා.
මේ පිළිබඳ මා හොඳින් සිතා බලා එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. එහිදී මට එකවරම මතකයට නැඟුණේ මා කුඩා කල මගේ පියාණන් සමගින් ගම් උදාවක් පාසා ගමන් කරන විට සෑම ගම් උදාවකම දිස් වූ අලංකාර චෛත්‍ය රාජයාණන් වහන්සේයි. මගේ පියාණන් සිදුකළ සුවිශාල සේවය පිළිබඳ පොත් මුද්‍රණය කිරීම හා චිත්‍රපට නිර්මාණය කිරීම වෙනුවට සම්බුදු සසුනේ සුරක්ෂිතභාවයට චෛත්‍ය රාජයාණන් වහන්සේලා නොමැති සම්පත් ඌනතාවයෙන් පෙළෙන විහාරස්ථාන සොයාගෙන ගොස් ඒවායේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා ඉදිකිරීම වඩාත් සුදුසු යැයි මා තීන්දු කළා…’
සිය චෛත්‍යය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේ එවැන්නකි. එතැන් සිට විවිධ බාධක මධ්‍යයේ චෛත්‍යය 12ක් මේ වන වනවිට ඉදිකොට සසුනට පූජා කොට අවසානය.
‘විශේෂයෙන්ම මට මතකයි සසුනට අරුණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙරාතුව මම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා. ඒ වගේම අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සසුනට අරුණ ගැන දැනුම් දෙන්න උන්වහන්සේව බැහැදකින්න ගියා. මම තරමක් ඈතින් වාඩි වුණාම උන්වහන්සේ මට කතා කරලා කිව්වා ඈත වැඩීයි, ළඟට ඇවිත් වාඩි වෙන්න කියලා.
ඊට පස්සේ උන්වහන්සේ මගෙන් ඇහුවා මොනවද දැන් කරන්නේ කියලා. මම කිව්වා සසුනට අරුණ වැඩසටහන ආරම්භ කරනවා කියලා. උන්වහන්සේ මගෙන් අහපු ප්‍රශ්නෙ තමයි කොහොමද ආණ්ඩු බලයක් නැතිව මේවා කරන්නෙ කියලා. මම කීවා විපක්ෂයේ ඉඳගෙන හරි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මම කළ හැකි සියල්ල කරනවා කියලා. මම කිව්වා මූලිකවම මේකෙ වැඩකටයුතු ආරම්භ කරන්නේ රුපියල් 50,000ක පුංචි අරමුදලක් විහාරස්ථානයට ලබාදීලා කියලා. ඒක අහපු අපේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ දෑතම අල්ලලා ඒකට ආශීර්වාදය ලබාදුන්නා.
ඊට පස්සේ මම අමාත්‍යවරයෙක් බවට පත් වුණාම අපේ ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ හමුවෙලා මම කිව්වා මට දැන් වෙනදාට වඩා කිසියම් ශක්තියක් තියෙනවා. දැන් මගේ ඉලක්කය සසුනට අරුණ වැඩසටහන හරහා චෛත්‍ය 1125ක් ඉදිකිරීම කියලා. ඒ මොහොතෙත් නායක හාමුදුරුවෝ මගේ අත්දෙක අල්ලලා ඇහුවා මෙච්චර ප්‍රමාණයක් චෛත්‍යය ඉදිකරන්න පුළුවන්ද කියලා. මම කිව්වා ගරු මහා මහනායක මාහිමිපාණන් වහන්ස, මේක හරි අමාරුයි, දුෂ්කර ඉලක්කයක්.
නමුත් ව්‍යාපෘතිය කොහොම හරි මං පටන් ගන්නවා කියලා. මගෙන් ඇහුවා මොකක්ද සැලැස්ම කියලා. මම කීවා පළමු වසරේ දිස්ත්‍රික්කයට එක බැගින් චෛත්‍ය 25ක්, දෙවැනි වසරේ දිස්ත්‍රික්කයකට චෛත්‍ය 04 බැගින් චෛත්‍ය සීයක්. තුන්වැනි වටේ අමාරු ඉලක්කයක්. ඒ කියන්නේ දිස්ත්‍රික්කයකට චෛත්‍යය 40 බැගින් චෛත්‍යය දහසක්. ඒ මොහොතේ අපේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ අත්දෙක අල්ලා මට ආශීර්වාද ලබාදුන්නා…’ නාපාන පේමසිරි නාහිමි අණුස්මරණ චෛත්‍යය සසුනට පූජා කරන දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වූයේ ලෝකයේ විශාලතම චෛත්‍යය හෝ ලංකාවේ විශාලතම චෛත්‍යය ඉදිකරන්නට නොවේ. ඔහුට අවශ්‍ය වූයේ රට පුරා චෛත්‍ය නොමැති විහාරස්ථානවල චෛත්‍යය ඉදිකිරීමය. විහාරස්ථානයක් දකින ඕනෑම බෞද්ධයකු තුළ සුවිශේෂ පහන් හැඟීමක් දනවන්නට චෛත්‍යයට හැකියාව තිබේ. එවන් සංකේත නොමැති විහාරස්ථාන විශාල ප්‍රමාණයක් රට පුරා ඇති අතර ඒ අවශ්‍යතාව සැපිරීම සජිත්ගේ අරමුණ විය.
නමුත්, පහුගිය වකවානුවේ රාජපක්ෂලාට අවශ්‍ය වූයේ ලොකුම දේ කරන්නටය. තමන් වටා පැතිරී ඇති දැවැන්ත බලයට මුවාවී ඔවුහු සිය අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කළහ. අනුරාධපුරයේ පිහිටි සඳහිරු සෑය නිර්මාණය කිරීම ද එවැනි කටයුත්තකි.
පුරාවිද්‍යාත්මක අතින් ගත්තද මිල කළ නොහැකි වටිනාකමක් සහිත අටමස්ථානය කේන්ද්‍ර කොටගෙන අනුරාධපුර පූජා නගරය පිහිටුවා ඇති අතර එම සුවිශේෂ සංවේදී කලාපය තුළ සඳහිරු සෑය ඉදිකරනු ලැබීය.
මුලින්ම ‘රණවිරු සෑය’ නමින් හැඳින්වූ මෙහි නම පසුව ‘සඳ හිරු සෑය’ ලෙසින් වෙනස් කරන ලදී. ජනාධිපතිවරයාගේ අදහසට මෙරට මධ්‍යස්ත මතධාරී ජනතාව, භික්ෂුන්වහන්සේලා, පුරාවිද්‍යාඥයන් දැඩි විරෝධය පාන්නට විය. චෛත්‍යයක් ඉදිකිරීම අත්‍යාවශ්‍යම නම් එය දිවයිනේ වෙනත් තැනක ඉදිකරන ලෙසත් අනුරාධපුර පූජා නගරයේ පෞරාණික වටිනාකම් සලකා මේ ඉදිකිරීම නොකරන ලෙසත් ඔවුහු පැවැසූහ. එහෙත් යුද සෙබළුන් සිහිකර චෛත්‍යයක් කරවීමෙන් සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමට වෙන වාසිය දත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ උපදෙස් තැකුවේ නැත.
මුල් යුගයේ රජයේ සැලසුම වූයේ රුවන්වැලි සෑයේ උස වන අඩි 299ට වඩා උසකින් යුතුව නව චෛත්‍ය ඉදිකිරීමය. ඊට පූජා නගරයෙන්ම බිම්කඩක් ඉල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලකිරීම නිසා නිලධාරීහු බරපතළ අර්බුදයකට මුහුණ දුන්හ. කෙසේ වෙතත් එවක පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ මහාචාර්ය සෙනරත් දිසානායක ආණ්ඩුවේ ඉල්ලීමට එකඟ වූයේ නැත. සාමාන්‍ය ජනයා අතර පැතිර යන්නට වූ මතය වූයේ අටමස්ථානයට නුදුරුව තවත් චෛත්‍යයක් ඉදිකර අටමස්ථානය නවමස්ථානයක් බවට පත්කිරීම වස් වදිනා ක්‍රියාවක් බවයි.
තවත් පාර්ශ්වයක් පැවසූයේ ඉපැරැණි ස්ථූප සහ විශ්ව ශක්තිය අතර සම්බන්ධතාවන් පවතින බැවින් මේ ඉදිකිරීමෙන් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. අතීත රජ දරුවන්ට රුවන්වැලි සෑයට වඩා උස චෛත්‍යයක් ඉදිකළ හැකිව තිබූ මුත් අප්රකාශිත සුවිශේෂ කරුණක් නිසා අනුරාධපුරයේ වෙනත් චෛත්‍යයක් ඉදිනොකරන්නට ඇති බව ඔවුහු පැවැසූහ. පුරාවිද්‍යාඥයන්ගේ විද්‍යාත්මක විශ්ලේෂණ නොතැකුවද දේශපාලනඥයෝ වස් වැදීම, අපල උපද්‍රවවලට බොහෝ බිය වන්නෝය. එකී බිය මුසු සිතිවිලි සහ මහාචාර්ය සෙනරත් දිසානායකගේ දැඩි විරෝධය නිසා පූජා නගරයෙන් බැහැරව රුවන්වැලි සෑයට වඩා උස අඩුව සඳ හිරු සෑය ඉදිකරන තැනට ආණ්ඩුවට පසුබසින්නට සිදුවිය.
යුද්ධයක් සමරන්නට ලෝකේ කොහේවත් චෛත්‍ය ඉදිව නැති බවත් එවැන්නක් ඉදිකිරීම නිෂ්ඵල දෙයක් බවත් එවක මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ. එහෙත්, අටමස්ථානයට සඳහිරු සෑය ද එක් කරමින් නවමස්ථානයක් බවට පත් කිරීමට රාජපක්ෂලා කටයුතු කළහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිකිරීම් ආරම්භ කළද සඳහිරු සෑයේ ඉදිකිරීම් බලාපොරොත්තුවූ පරිදි නිමකරන්නට ඔහුට නොහැකි විය. හැබැයි වැඩි දවසක් යන්නට කලින් මහින්ද රාජපක්ෂට සිය පුටුව අහිමි විය. ප්‍රතිවාදියා වූයේ ඔහුගේම පක්ෂයේ මහ ලේකම්වරයාය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ යටතේ සසුනට අරුණ හරහා ක්‍රියාත්මක වන්නේ රටේ චිරාත් කාලයක් මුළුල්ලේ පවත්නා උතුම් සාරධර්ම සපිරි දේශයක් උදෙසා ශිෂ්ටසම්පන්න චින්තන රටාවක් ගොඩනැගීමේ මෙහෙවරය.
ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ‘ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන්ද පිදුම් ලබන්නට තරම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු වන්නේ ඔහු සිදුකරන මේ ප්‍රායෝගික ක්‍රියාවලිය නිසාමය.
පුබුදු උදයංග










