දේශපාලකයෝ සම්බන්ධයිලු…
පොලිසිය සම්බන්ධයිලු…
අතීතයේ පාතාලය යැයි කී සැණින් අපට සිහිවූයේ ගැඹුරු හෙලක් වුවත් අද තත්ත්වය ඊට වෙනස්ය. වර්තමානයේ පාතාලය (Sri Lankan underworld) කී සැණින් පොඩි එකකුගේ සිතේ පවා ඇඳෙන්නේ මුහුණ පුරා රැවුල වවාගෙන අතේ පයේ පච්ච කොටාගත් මැරයකුගේ රුවකි. ඒ තරමට පාතාලය සහ අපරාධකරුවන් එකට බැඳී ඇත්තේය. ඊට අමතරව ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරම් සියල්ල මෙහෙයවන්නේද මෙකී පාතාලයමය. ඉන්ද නොනැවතෙන පාතාල මැරයෝ තවත් බොහෝ දේ කරන්නෝය. පැහැර ගැනීම, කුලියට මිනීමැරීම වැනි අපරාධ පසුපස ඉන්නේ ද මේ පාතාලයමය. මේ සියල්ල ශ්‍රී ලංකාවේ පොලිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාබලා එළිකර ගත් දේ මිස අප සොයාගත් ඒවා නොවේ.
නීතිය සහ සාමය පිළිබඳ වගකිවයුත්තෝ පවසන ආකාරයට මෙකී පාතාලය මර්දනය කිරීම ලේසි පාසු නැත. ඊට හේතුව පාතාලය ලංකාවේ වුවත් එය ක්‍රියාත්මක වන්නේ ඩුබායි හෝ වෙනත් විදේශ රටක සිට වීමය. ඒ රටවල සිට කෙරෙන පාතාල මෙහෙයුම් අපට මෙහේ සිට වළක්වන්නට නොහැක. ඒ රටවල සිටිනා පාතාල මැරයන් මෙහේ සීති ගනන් ගාන්න්වෙදනැත. එහෙයින් අපට සිදුවන්නේ ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර එම පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට සුදුසු රටවල උදව් ගැනීමටය. එවැනි උත්සාහයන් සාර්ථක කරගැනීම එතරම් පහසු නොවන්නේ ඒ රටවල ක්‍රියාත්මක නීතිරීති නිසාය.

කෙසේ හෝ වේවා විදෙස්ගත පාතාල සාමාජිකයන් ඉඳහිට නීතියට කොටුවී මෙරටට පටවන අවස්ථා නැත්තේද නොවේ. ඊට මෑත භාගයේදී දිය හැකි හොඳම උදාහරණය නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙරටට ගෙන ඒමය. ඒ සිදුවීමේ උණුසම යන්නටත් පෙර තවත් නම්දැරූ පාතාල සාමාජිකයෙක් ප්‍රංශයේදී අත්අඩංගුවට පත් වන්නේය. ඒ රත්මලානේ ‘කුඩු අංජුය’. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය ඇතුළු අපරාධ සෑහෙන ගණනකට වගකිව යුතු බවට පොලිසිය චෝදනා කරන කුඩු අංජු තවමත් ලංකාවට ගෙනැවිත් නැති අතර ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
කුඩු අංජු මෙරටට ගෙන ඒම හෝ නොඒම අනාගතය තීරණය කරනු ඇත. එහෙත් මීට පෙර පාතාල සාමාජිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නට මෙරට පොලිසිය සමත් විය. ඒ සියල්ලෝම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරාමට සහ මිනිස් ඝාතනවලට ඍජුව සම්බන්ධ බවට පොලිසිය චෝදනා නැගුවේය. ඔවුන්ට මිනිස් ඝාතන සහ කප්පම් ගැනීම සඳහා චෝදනා එල්ල විය. එහෙයින් මේ පාතාල නායකයන් අත්අඩංගුවට ගත් සෑම අවස්ථාවකදීම මෙරට ජනයාට යම් තරමක අස්වැසිල්ලක් දැනුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම යම් තරමකට අඩුවනු ඇතැයි කියාය. නැතහොත් මිනිස් ඝාතන ඇතුළු දාමරික ක්‍රියා සඳහා වගකිවයුත්තන්ට දඬුවම් හිමිවේය යන හැඟීම ඔවුන් තුළ තිබූ නිසාය.
වැඩි ඈතට නොගොස් මෙම මාතෘකාවට ප්‍රවේශයක් ගත හැකි ළඟම අවස්ථාව ලෙස 2015 ජනවාරි මාසය දැක්විය හැක. ඒ, ලංකාවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස බෞතීස්ම කර තිබූ සමන්ත කුමාර නොහොත් ‘වෙලේසුදා’ පාකිස්තානයේදී අත්අඩංගුවට පත්වන්නේ එම මාසයේ වීම නිසාය. එවක වෙලේ සුදා හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහමොළකරු ලෙසය. පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ වූවෙක් ලෙසය. ඔහු අත්අඩගුවට පත්වීමෙන් ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මුළුමනින්ම අකර්මණ්‍ය කර තොග සිල්ලර වෙළෙන්දෝ සියල්ලන්ම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි එවක ආරක්ෂක ප්‍රධාන්නීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළවිය.
වෙලේ සුදා අත්අඩංගුවට පත්වීමට සාපේක්ෂව මෙරට මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමද ඉහළ යන ලදී. රටේ විවිධ ස්ථානවල සහ ඉන්දු-ලංකා මුහුදු සීමාව තුළ සිදුකළ වැටලීම් ප්‍රමාණයද ඉහළ යන ලදී. වෙනදා ග්‍රෑම් ගණනින් අසුවූ කුඩු ඒ දවස්වල අසුවූයේ කිලෝ විස්ස විසිපහ ගණනින්ය. ලංකාව ඉක්මණින්ම මතින් තොර කලාපයක් වනු ඇතයි රට වැස්සෝ බලාපොරොත්තු වූහ.
අවසානයේ වෙලේසුදා අධිකරණය හමුවට පමුණුවන ලදී. නඩු විභාගය අතරතුර වෙලේ සුදාගෙන් වරප්‍රසාද ලබාගත් කලාකරුවන් පිළිබඳවද තොරතුරු කරළියට එන ලදී. ඒ අනුව මතද්‍රව්‍ය ජාවාරම්කරුවෝ යනු විහිදුණු සබඳතා ජාලයක් සහිත පිරිසක් බව රටට පැහැදිලි විය. අවසානයේ වෙලේ සුදාට නඩු පැවරූ අතර එහි තීන්දුව 2015 ඔක්තෝබර් 14 වැනිදා ලබාදෙන ලදී. එම තීන්දුවෙන් ඔහුට මරණ දඬුවම හිමිවිය. පුදුමය වනුයේ එම තීන්දුව නොවේ. මන්ද යත් එවක පැවැති නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟ තබාගැනීම මරණීය දණ්ඩනය හිමිවන තරමේ වරදක් වූ බැවිනි.
රටට මත්ද්‍රව්‍ය ගෙන ආ ‘ගෝඩ්ෆාදර්’ ලෙස හඳුන්වා දුන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවෙක් ලෙස රටට පැවැසූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට නඩු පවරා තිබුණේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05ක් ළඟ තබාගැනීම වෙනුවෙනි. එම හෙරොයින් ප්‍රමාණයද ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සොයාගත් එකක් නොවේ. සැබැවින්ම වෙලේ සුදා ගස් යැවූ තීන්දුව ලබාදී තිබුණේ 2008 දෙසම්බර් 04 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේදී කළ අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධවය.
මේ සිදුවීම කන්දක් විළිලා මී පැටවකු ප්‍රසූත කිරීමට දෙවැනි නොවේ. රට වටේට කිලෝ ගණනින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් ඒ සියල්ල වෙලේ සුදාගේ බවට හැඟවෙන සංදර්ශන පවත්වමින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස අභිෂේක කර තිබූ වෙලේ සුදා වැන්නකුට හෙරොයින් ග්‍රෑම් 7කට නඩු පැවරීම යනු මහා විහිළුවක් විය. වෙලේ සුදා හිරේ ගියද ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම එක කෙස් ගසකින් වෙනස් වූයේ නැත. වෙනදා මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. ඊට අමතරව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද බව කී තොරතුරු මත වෙනත් කිසිවෙක් අත්අඩංගුවට ගත් බවට වාර්තාවක්ද නැත.
වෙලේ සුදා ගැන මතකය මැකී යද්දී අනෙක් පසින් නැගී ආවේ මාකඳුරේ මධුෂ්ය. සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් රටම හඳුනාගෙන සිටියේ අංක එකේ පාතාල නායකයෙක් ලෙසිනි. මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා එල්ලවී තිබූ මධුෂ් දිගු කලක සිට මෙරටින් පලාගොස් ඩුබායිහි දිවි ගෙවමින් සිටියේය. එහි සිට ලංකවේ පාතාලය මෙහෙයවූ ඔහු, 2019 පෙබරවාරි මස හතර වැනිදා හෝ ඊට ආසන්න දිනයක අත්අඩංගුවට පත්වනුයේ එරට හෝටලයක පැවැති සාදයක් අතරතුරේදීය.
එහිදී අත්අඩංගුවට පත්වනුයේ මාකඳුරේ මධුෂ් පමණක් නොවේ. තවත් නම්දැරූ පාතාල සාමාජිකයෙක් වන කෙසෙල්වත්තේ දිනුක ඇතුළු තවත් කිහිපදෙනෙක් මධුෂ් සමග අත්අඩංගුවට පත්වන්නේය. ඒ අතර ප්‍රකට ගායකයෙක් වන අමල් පෙරේරාද විය. ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ මධුෂ් ලංකාවට පිටුවහල් කරන්නට එරට බලධාරීන් තීරණය කරන්නේ ඔහුගේ නීතිවේදීන්ගේ බලවත් විරෝධය මධ්‍යයේය. මධුෂ්ගේ ජීවිතයට තර්ජන ඇති බව නීතිවේදීන් පෙන්වා දුන්නද එරට අධිකරණය මධුෂ් ලංකාවට පිටුවහල් කළේය.

ලංකාවේ පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙසින් සහ කලාපයේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස හැඳින්වූ මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමග ලාංකේය මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකු පදාසක් අහෝසි වී යනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වූහ. එමෙන්ම ඔහුට එල්ල වී තිබූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ චෝදනාවලට නඩු පවරනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වූහ.
ලංකාවට රැගෙන ආ මධුෂ් අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදමුත් මාස 18කට අධික කාලයක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙරට දේශපාලනඥයන් 80කට ආසන්න ගණනකගේ නම්ගම් හෙළිකරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවා පැවැසීය.
ඊට අමතරව විපක්ෂ මන්ත්‍රීවරු මේ බව පාර්ලිමේන්තුවේදී පවා පැවැසුවා මතකය. ඒ අනුව හෙට අනිද්දා ප්‍රබල දේශපාලනඥයන් රැසක් වැලිකඩ හෝ බෝගම්බර යකඩ කූරු ගනින්නට යනු ඇතැයි මෙරට ජනයා බලාපොරොත්තු වූහ. එහෙත් මධුෂ් පොලිස් අපරාධ විමර්ශන ඒකකය භාරයේ සිටි කාලයේ මේ එකදු දේශපාලනඥයකුගෙන්වත් ප්‍රශ්න කිරීම සිදුවූයේ නැත. අවම වශයෙන් කටඋත්තරයක්වත් සටහන් කරගත්තේ නැත. මධුෂ් අත්අඩංගුවේ පසුවෙද්දීද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම නතර වූයේ නැත.
එහෙත් පොලිසිය ඇතුළු වගකිවයුත්තෝ පැවැසුවේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු පොලිස් අත්අඩංගුවේ පසුවන බවය. කෙසේ හෝ 2020 ඔක්තෝබර් 20 වැනි දින මධුෂ් පොලිසිය සමග මාලිගාවත්ත නිවාස සංකීර්ණය වෙත යන්නේ එහි සඟවා ඇතැයි කී මත්ද්‍රව්‍ය කිලෝ 22ක් අත්අඩංගුවට ගන්නටය. එහෙත් ඒ මධුෂ්ගේ අවසාන ගමනම වන්නේය. කොහෙන්දෝ මතුවූ නාඳුනන තුවක්කුකාරයෙක් මධුෂ්ගේ සිරුර පසාරු වෙන්නට වෙඩිතබා ඔහු මරාදැම්මේය. මධුෂ් මරා නිවීහැනහිල්ලේ පලාගිය තුවක්කුකරු අදටත් සොයාගෙන නැත.

ලංකාවේ පාතාලයෙන් මාකඳුරේ මධුෂ් එලෙස මැකීයාම අන් අයට කෙසේ වෙතත් ඔහු නම් හෙළිකළ දේශපාලනඥයන්ට නම් මහා නිදහසක් වන්නට ඇත. මධුෂ්ගේ භූමිකාව එලෙසින් නිමාවී ගියද ලංකාවේ මත්ද්‍රව්‍ය හෝ පාතාල ක්‍රියාකාරකම් නතර වූයේ හෝ අඩු වූයේ නැත. ඇත්තටම ලංකාවේ පාතාලය මෙහෙයන්වන්නේ කවුරුන්දැයි මේ වන විටත් සිතාගැනීමට නොහැකිව තිබූ කාරණාවක් විය. නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කරළියට ඒන්නේ මේ අවස්ථාවේදීය. ලංකාවෙන් පලාගොස් මෙරට පාතාලය මෙහෙයවූ හරක් කටා අත්අඩංගුවට ගැනීම මෙරට පොලිසියට සැබෑ අභියෝගයක් විය. හරක් කටා වෙනුවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වන්නේ මෙවන් පසුබිමකය.
රතු වරෙන්තු නිකුත්ව සිටි හරක් කටා මැලේසියාවේදී අත්අඩංගුවට පත්වුවද උදර්පන නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පෙර එරට බලධාරීන් ඔහු මුදා හැරියේය. එදා ඒ ආකාරයෙන් ගැලවී පැනගත් නඳුන් චින්තක නොහොත් හරක් කටා මීට දෙමසකට පෙර යළිත් අත්අඩංගුවට පත්වනුයේ මැඩගස්කරයේදීය. ඒ, කෝටිපති ව්‍යාපාරිකයන් ලෙසින් එරට ආයෝජන අවස්ථා සොයා බලමින් සිටියදීය.
හරක් කටා සමග පානදුරේ සලිඳු රත්නායක හෙවත් කුඩු සලිඳු ඇතුළු තවත් සිවුදෙනකු පමණ අත්අඩංගුවට පත්විය. බොහෝ අපහසුතා මැද එම පිරිස මෙරටට ගෙන ඒමට හැකිවිය. දැන් පොලිසිය පවසන පරිදි මහමොළකරු අන් කවුරුත් නොව නඳුන් චින්තක නොහොත් හරක් කටාය. ලංකාව පුරා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට අදාළ ජාලය මෙහෙය වීම ඇතුළු පාතාල ක්‍රියා ගණනාවක් කර ඇත්තේ ඔහු විසිනි. ඊට අමතරව ඔහුගේ කීමට මිනිස් ඝාතන කිහිපයක්ම කළ වෙඩික්කරු බූරූ මූණාද දැන් සිටින්නේ අත්අඩංගුවේය. එහෙත් තවමත් ලංකාව පුරා මත්ද්‍රව්‍ය අලෙවියේ අඩුවක් නැත. වෙඩිතැබීම් සහ මිනිස් ඝාතනද තවමත් රට පුරා සිදුවෙමින් තිබේ. ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියකාරකම් ගැන වැදගත් තොරතුරු ලබාදුන් බව පැවැසුවද ඒ ඔස්සේ අත්අඩංගුවට ගත් හෝ ප්‍රශ්න කළ කෙනෙක්ද නැත.
තවත් නමගිය පාතාල කෙරුමෙක් වන කංජිපානී ඉම්රාන්ද මෑතකදී ලංකාවේ පොලිස් ඇස වසා ඉන්දියාවට පලාගියේය. දිගු කලක් බන්ධනාගාරගතව සිටි ඔහුට ඇප ලබාදුන් දිනයේදීම ලංකාවෙන් ඉන්දියාවට පලාගිය කංජිපානී දැන් ඉන්නේ පාකිස්තානයේ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ලංකාවේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන තවත් මහ මොළකරුවෙක් ලෙස හඳුන්වන රත්මලානේ කුඩු අංජු ප්‍රංශයෙන් මතුවනුයේ මේ ඊයේ පෙරේදාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා ඝාතනය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති කුඩු අංජුද රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවෙකි.
ගොනා කෝවිලේ රෙහා සමග ඇතිකරගත් ගැටුමක් නිසා රටින් පලාගොස් සිටින ඔහු ප්‍රංශ පොලිසියට කොටුවන්නේ නොසිතූ ආකාරයෙනි. ඒ ඔහුගේ බිරිඳ සමග හදාගත් ආරවුලක් නිසාය. ඇය එරට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අංජු අත්අඩංගුවට ගන්නට එරට පොලිසිය කටයුතු කර ඇත. තම සැමියා රතු වරෙන්තුකරුවෙක් බව පොලිසියට හෙළිකර ඇත්තේද ඇය විසිනි.
කුඩු අංජු තවමත් ප්‍රංශයේය. ඔහු ශ්‍රී ලංකාවට ගෙන ඒම එතරම් පහසු වනු නැත. ඊට හේතුව ඔහු එරට දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමය. අනෙක් කරුණ ශ්‍රී ලංකාවේදී සැකකරුවන් ඉතා අනාරක්ෂිත බව මේ වන විට ලෝකය පිළිගැනීමය. හෙට අනිද්දා අංජු මෙරටට ගෙනාවත් නැතත් ඔහු ඉන්නේ ප්‍රංශ පොලිසියේ අත්අඩංගුවේය. එහෙත් තවමත් ලංකාවේ පාතාල ක්‍රියාකරකම් යන්තමටවත් අඩුවී නැත.
නිර්මාල් දේවසුරේන්ද්‍ර










