මත්පැන් සහ බියර් අලෙවිය 40%කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවී ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.
අලෙවිය පහත වැටීමට හේතුවී ඇත්තේ මිල අධිකවීම බව නිෂ්පාදන සමාගම් පෙන්වා දී ඇත.
ඒ අනුව ජුනි සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවට වාර්තා වේ.
මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මත්පැන් ඉල්ලුම පහත වැටීම පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත් විණි. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.
සුරා බද්ද රුපියල් 2000කින් අඩුකරන ලෙස නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
මත්පැන් මිල අධික වීම නිසා ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති බවද මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද වාර්තාවක් නිකුත් කර ඇති අතර නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව රෝගී වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය බරද වැඩිවිය හැකි බව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවලදී අවධානය යොමුකර තිබේ.
lankasara










