2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුවේ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම් මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් 2023 වසරේ මාර්තු මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙම වාර්තාව නිකුත් කර තිබුණා. වාර්තාවට අනුව 2023 වසර තුළදී පළමුවරට අමෙරිකානු ඩොලර් බිලියනක් ඉක්මවා ගිය වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 වසරේ මාර්තු මාසයේදී යථා තත්ත්වයට පත්ව තිබෙනවා. මාර්තු මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා 2%කින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි කියන්නේ.
2023 වසරේ මාර්තු මස අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ යාම හේතුවී තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීමයි.
මේ අතර මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේ දී උත්සව සමයේ ඇතිවු ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ මාර්තු මසදී මෙරටට එවූ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
2023 වසරේ මාර්තු මස අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කියනවා. චින මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වෙනවා. එහෙත් එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත්ව සිදුවන බවයි සඳහන් වන්නේ.
මාර්තු මසදී දේශිය විදේශ විනිමය වෙළෙඳපොලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 451ක ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බව සිය වාර්තාව මගින් මහ බැංකුව පෙන්වා දෙනවා.
මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 125,495ක් ලෙස සටහන් වු අතර වසරේ ගතවු මාස තුනක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබුණා. මාර්තු මසදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනියෙන් බව පැවසෙනවා.











