‘චීනය, ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යනු ලබන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් අවංක සහ අව්‍යාජ එකක් නොවන බවයි අපට පෙනී යන්නේ. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් රටවල් සමග ඇති මිත්‍රශීලී සබඳතාවට හානි කිරීමට චීනය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින හොඳ හිත සහ මිත්‍රත්වය ක්‍රිස්තු පූර්ව කාලයේ පටන් පැවැත එන්නක්. ඒ බව චීනයේ පාහියන් භික්ෂුව සිය දේශගවේෂණ චාරිකා සටහන්වලදී පැහැදිලි කර තිබෙනවා. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී මුහුණපෑ ඕනෑම ප්‍රශ්නගත අවස්ථාවකදී චීනය නොපැකිලව ශ්‍රී ලංකාවට සහාය දුන්නා. එසේම ශ්‍රී ලංකාවද ඕනෑම අවස්ථාවකදී චීනය වෙනුවෙන් පෙනී සිටියා. එසේ දශක සහ සියවස් ගණනාවක චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය එක්තරා කනගාටුදායක මාවතකට පිවිසුණේ පසුගිය වසර 20ක් වැනි කාලයක් තුළදියි. එනම් චීනයේ විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථික උපායමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මත ‘එක් තීරයක්-එක් මාවතක්’ ජාත්‍යන්තර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග දෙරට අතර පැවති මිත්‍රශීලී සබඳතා අමිහිරි යථාර්ථයක් බවට පත්වුණා. මෙසේ දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතාව මෙරට ජනතාවගේ ජීවිත පරදුවට තබා චීනය ලෝක බලවතා වීමට යන ගමන වෙනුවෙන් යොදාගෙන තිබීම කනගාටුදායක කරුණක්. චීනය ලෝක බලවතා වීමේ අභිලාෂයෙන් ගෙනයන අරගලය තුළින් වර්තමානයේදී කලාපයේ සහ ලෝකයේ සාමයද බිඳවැටෙමින් තිබෙන අතර, එහෙයින් ශ්‍රී ලංකාවේ ජනතාවද එහි වින්දිතයන් බවට පත්වී තිබෙනවා…’
කුමක්ද මේ අතිශය බැරෑරුම් ශ්‍රී ලංකා-චීන කතන්දරය? මෙම යථාර්වාදී සත්‍ය වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට හරියටම වසරකට පෙරදීය. එනම් 2022 වසරේ මුලදී එවක ආණ්ඩු බලය හිමිව තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දැනට මෙම රජයේදී කැබිනට් අමාත්‍ය ධුරයක්ද දරන, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ලියා තැබූ එක්තරා සුවිශේෂ ලිපියකින් මෙම වගතුග හෙළිවිණි. ඔහු එවිට මෙම ලියවිල්ල ලියා යොමුකළේ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින් වෙතය. චීන-ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් යථාර්ථය ගැන ඔහු මෙම ලිපිය චීන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණේය. මෙම ලිපිය ඉතා ප්‍රබල හේතු සාධක සහිතව ඉදිරිපත් කළ එකක් වන අතර එහි කරුණු කාරණා 45කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වූයේය. එහි අඩංගු යම් තවත් කරුණු කිහිපයක් ගැන පමණක් සැකෙවින් සොයා බලමු. ඔහු තවදුරටත් කරුණු අවධාරණය කරන්නේ මෙසේය.
‘දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට සහයෝගය ලබාදෙමින් සිටින ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ටේ්‍රලියාව සහ තවත් යුරෝපීය රටවල් සමග ශ්‍රී ලංකාවට ඇති මිත්‍රශීලී සබඳතාවට හානි කිරීමට චීනය කටයුතු කර තිබෙනවා. 2005 වසරේදී හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 580ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළද ඒ සඳහා ගෙවා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,285ක් වෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය දෙන සංවිධාන සහ රටවලින් 1%කට හෝ ඊට අඩු පොලී අනුපාතයන් යටතේ ණය ලබාගැනීම සිදුකළද පළමු වරට 6%ක් ඉක්මවන පොලී අනුපාතයන් මත ණය ලබාගෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. අධික පොලියක් යටතේ එලෙස ණය ලබාගැනීම සිදුකර ඇත්තේ චීන සමාගම් එවැනි ගනුදෙනුවලදී යම් පාර්ශ්ව වෙත අධික ලෙස කොමිස් මුදල් ලබාදීම නිසායි. එලෙස එකල ශ්‍රී ලංකා රජය අධික ලෙස ණය ලබාගනිමින් හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, කොළඹ නෙලුම් කුලුන වැනි සුවිශාල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළා. එහෙත් එයින් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වූයේ නොරොච්චෝලේ බලාගාරය පමණයි. මෙසේ අතිවිශාල ව්‍යාපෘති සඳහා ණය ලබා දෙමින් චීනය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකළා. ඒ නිසා චීනයට අවශ්‍ය විදියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමටත් කටයුතු කළා. එමගින් ලෝක බලවතා වීමට යන ගමනේදී ශ්‍රී ලංකාව තවත් එක් යුද පිටියක් බවට පත්කර ගැනීම චීනයේ අරමුණ වුණා. එකල රජය මහා ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම් හරියට සිදු නොකර චීනය වෙතම එවැනි ටෙන්ඩර් ලබාදුන්නා. එදා හම්බන්තොට ගවිසුම්වලට විරුද්ධ වීම නිසා මගේ කැබිනට් අමාත්‍ය ධුරය පවා මට අහිමි කළා…’
එම ආන්දෝලනාත්මක වගතුගෙහි තවත් බොහෝ තොරතුරු අන්තර්ගතව ඇතත්, ඒවා සියල්ලක් මෙහි ලියන්නට ඉඩක් නැත. රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධව කටයුතු කරමින් සිටින විටදී චීනයේ ජනාධිපති ෂී ජින්පින් වෙත ලියූ එම ලිපිය සැබෑ ලෙසම ආන්දෝලනාත්මක ලියැවිල්ලකි. මෙලෙස චීනය සහ හම්බන්තොට ගැනද කරුණු ඇතුළත් එම ලිපිය ගැන අද තොරතුරු ලියා තැබුවේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙර ඇසුණු තවත් අලුත්ම චීන කතාවක වගතුගකි. මෙයට දින කිහිපයකට පෙර වත්මන් රාජ්‍ය පාර්ශ්ව විසින් අසන්නට ලැබුණු පුවතක් වූයේ නැවත වතාවක් චීනය විසින් හම්බන්තොටදී ආරම්භ කිරීමට යන අලුත්ම මහා ව්‍යාපෘතියක වගතුගකි. පසුගිය වසර 03ක පමණ කාලය තුළදී චීනය වෙතින් අපට එතරම් කතාන්දර අසන්නට නොලැබුණේය. එය විටෙක කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේය. එසේම එම කාලය තුළදී ප්‍රබල ලෙස ජන අරගලයන්ද පැවැතියේය. දැන් එසේ නම් මෙලෙස අපට අසන්නට ලැබෙන වගතුග කුමක්ද?
විදේශ රටවලට අපනයනය ඉලක්ක කරගත් සුවිශාල තෙල් පිරිපහදුවක්, චීනයේ ආයෝජනය යටතේ හම්බන්තොටදී ආරම්භ කිරීමට යන පුවත එය විය. මෙම මහා චීන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මේ වන විට මූලික කටයුතු සිදුකෙරෙමින් පවතියි. මෙම පුවත පසුගිය දිනවල බොහෝ විශාල ආන්දෝලනයක් රට තුළ ඇති කළ අතර, එහිදී බොහෝ පාර්ශ්ව ඒ ගැන කතා කළේ එවැනි ව්‍යාපෘතියක් ගැන කෙසේ විනිවිදභාවයක් තිබේද යන්න ගැනය. එනම් ශ්‍රී ලංකා රජය සහ චීන රජය කෙතරම් විශ්වසනීය අයුරින් එම කටයුත්ත සිදුකරන්නේ දැයි යන පැනය විය. මේ අනුව පසුගිය වසරේ සිට මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුවද එහි කෙළවරක් වෙත පැමිණ ඇත්තේ පසුගියදාය.
2023 පෙබරවාරි 24 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ‘ඉදිකිරීම, අයිතිකර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම’ (Built, Own and Operate) යන පදනම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. මෙහිදී අපනයනය ඉලක්ක කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට රජය සැලසුම් කළේය. මේ අනුව එම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා සුදුසු ආයෝජකයන් සොයා ගැනීමට ටෙන්ඩර් කැඳවීම රජය විසින් සිදුකරනු ලැබීය. එහිදී මේ සඳහා විදේශීය රටවල් 05ක් සහ එක් ශ්‍රී ලාංකික සමාගමක්ද ඉදිරිපත් විය. එම සමාගම් 06 මෙසේ ප්‍රකාශයට පත්විය.
★ චීනයේ China Petroleum and Chemical Corporation (SINOPEC). මෙය සිංහල බසින් ‘සිනෝපෙක්’ ලෙසින් හඳුන්වයි.
★ සිංගප්පූරුවේ Vitol Group of Singapore පුද්ගලික සමාගම.
★ මැලේසියාවේ Petrichor Capital Sdn පුද්ගලික සමාගම.
★ නයිජීරියාවේ Grant and Shearer සමාගම.
★ ඉරානයේ Matin Tejarat Co. Ltd සමාගම.
★ ශ්‍රී ලංකාවේ ‘දන්දෙණිය ඉංජිනේරු සහ වෙළෙඳ සමාගම (Dandeniya Engineering).
මේ ආකාරයට ඉහත සමාගම් 06 ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේය. මෙම සමාගම් අතරින් විදේශීය සමාගම් දෙකක් හැරෙන්නට අනෙක් සමාගම් 04ම ටෙන්ඩරයට සුදුසුකම් නැති බැව් ප්‍රකාශ විය. එනම් මෙම ටෙන්ඩර් අතරින් මුල් ස්ථානයේ සිටින්නේ චීනයේ ‘සිනෝපෙක්’ ආයතනය බව කරුණු ප්‍රකාශ විය. චීනය වෙත මෙම ටෙන්ඩරය ලබාදීමට මෙතෙක් අවසාන තීරණයක් ගෙන නැතත් බොහෝ දුරට එම වාසනාව හිමිවන්නේ චීනයට බව පැවසෙයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට, තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු මගින් අගැයීම් සිදුකර, සුදුසු අයැදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කරන බව අවධරණය කර ඇත. මෙම සමාගම්වලට අදාළ සමාගම් පැතිකඩක් පසුගිය වසර තුනක වාර්ෂික ප්‍රගති වාර්තා, මූලික ව්‍යාපෘති යෝජනාවක් සහ සමාන ව්‍යාපෘතිවල ප්‍රගති සහ අත්දැකීම් වාර්තාද ඉදිරිපත් කිරීමට උපදෙස් ලැබී තිබිණි. එසේම සමාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද අතීතයේදී පෙන්නුම් කළ කළමනාකරණ විශේෂඥතාව සහ සමාගමේ මූල්‍යමය හැකියාව පිළිබඳ ලේඛනමය සාක්ෂිද මෙම පටිපාටිය සඳහා අදාළ විය. මෙය සංකීර්ණ ක්‍රමවේදයක් විය.
මෙම වටපිටාවේදී ඉහත අපනයන ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතියට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් 06 ගැන මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද යම් සමීක්ෂණයක් සිදුකර ඇත. එහිදී බොහෝ වැදගත් කරුණු රැසක්ම දැනගැනීමට ලැබී ඇත. මෙහිදී සොයාගැනීමට හැකිවී ඇති සුවිශේෂ වගතුගක් වූයේ නයිජීරියාවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති Grant and Shearer නමැති සමාගම මේ වන විට තම ව්‍යාපාර කටයුතු නවත්වා ඇති බවයි. අන්තර්ජාලය පිරික්සීමේදී අපට පෙනී යන්නේ එවැනි සමාගමක් නයිජීරියාවේ ලාගෝස් අගනුවර පිහිටුවා ඇති බවයි. එහි අයිතිකරුවන් සහ අනෙකුත් ප්‍රධානීන්ගේ නම්ගම්ද එහි දක්නට හැකිය. මෙම නයිජීරියානු සමාගම කලක සිට අප්‍රිකාවේ සිට විවිධ ඛනිජ ලෝහ වර්ග අපනයනය කිරීම සිදුකර ඇත. අප ‘මව්රට’ පුවත්පත සිදුකරන ලද අන්තර්ජාල සමීක්ෂණයක් මගින්ද පෙනී ගියේ එම සමාගම දැනට කිසිදු වෙළෙඳ කටයුත්තක නිරතව නැති බවය. එසේම එම සමාගම කිසිදු කාලයක ඛනිජ තෙල් ව්‍යාපාරයේ කටයුතු නොකළ බවද පෙනී ගියේය. මෙම තත්ත්වය ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද පසුගියදා ප්‍රකාශ කර සිටියේ එම නයිජීරියානු සමාගමේ ලිපිනය යොදා ඇත්තේ ලාගෝස් නගරයේ මුඩුක්කු වීදියක බවයි. ශ්‍රී ලංකාවෙන් මුදල් සොරකම් කරගෙන ගිය යම් රාජ්‍ය සහ පුද්ගලික පාර්ශ්ව විසින් මෙසේ ව්‍යාජ ලිපිනයන් යොදා ගනිමින් නැවත ශ්‍රී ලංකාවේ සම්පත් කොල්ලකෑමට සැරසෙන බව ඔහු පවසා සිටියේය.
මේ අතර ටෙන්ඩර් යොමුකර ඇති මැලේසියාවේ Petrichor Capital Sdn සමාගම සතුව මේ වන විට නිසි මූල්‍ය වත්කම් නැති බව හෙළිවී ඇත. එනම් ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ ඔවුන් සතුව ඇත්තේ පවුම් 55,000ක පමණ ඉතා අල්ප මුදලක් බවය. මෙහිදීද හෙළිව ඇති අනෙක් රහසිගත කරුණ නම් මෙතරම් අල්ප ධනවත්කමක් ඇති සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කළේ ඇයිද යන්නය. මේ අතර ඉරානයේ Matin Tejarat සමාගම පුළුල් ලෙස විවිධ ද්‍රව්‍යයන් ආනයනය සිදුකළද ඛනිජ තෙල් ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු පළපුරුද්දක් ඔවුන් සතුව නැති බව පැවසෙයි. එසේම Marka Invest නමති සමාගමටද ඇත්තේ ඉඩම් දේපළ ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුද්ද මිස ඛනිජ තෙල් කටයුතු ගැන ඔවුන්ට අවබෝධයක් නැත.
මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යයට පැමිණ සිටින්නේ මෙතැනදීය. එනම් ඉහත මහා ව්‍යාපෘතිය හිමිකර ගැනීම සඳහා මේ වන විට සුදුසුකම් ඇති සමාගම් දෙකක් ලෙස පිළිගෙන ඇත්තේ චීනයේ SINOPEC සමාගම සහ සිංගප්පූරුවේ Vitol Group සමාගමය. එහිදීද මෙරට රාජ්‍ය පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ ඒ සඟා වඩාත්ම සුදුසුකම් ඇත්තේ චීනයේ SINOPEC වෙත බවය. ‘ගොනා පොල් පැළය කන්නට හදන හැටි’ ගැන කියැවෙන උපමාව සිහියට නැගෙන්නේ මෙතැනදීය. ඒ අනුව වත්මන් රජය මෙම ව්‍යාපෘතිය චීනයේ සමාගමට ලබාදෙනු ඇතිය. මෙහි තවත් දීර්ඝ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ SINOPEC චීන නියෝජිතයන් අතර පැවැත්විණි. මෙම සමාගමට සම්බන්ධ ශ්‍රී ලංකා උපදේශකවරයා විසින් පසුගියදා විදේශ මාධ්‍යයකට තම අනන්‍යතාව ප්‍රකාශ නොකර ප්‍රකාශයක් ලබාදී තිබිණි. එහිදී ඔහු පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය හම්බන්තොට ජාත්‍යන්තර වරායට ආසන්න වර්ග කිලෝමීටර් 1.6ක විශාල ඉඩමක් තම සමාගමට ලබාදෙන බවය. එසේම මෙම ව්‍යාපෘතිය මගින් දිනකට 100,000ක (ලක්ෂයක) ප්‍රමාණයක ඛනිජ තෙල් බැරල් නිෂ්පාදනය කරනු ලබන බවය.
හම්බන්තොටට මෙසේ මහා ධන නිධානයක් හිමිවනු ලබන SINOPEC නමැති චීන සමාගම වසර 23ක් පැරැණි සම්පූර්ණයෙන්ම චීන රජයට අයිති රාජ්‍ය සමාගමකි. මෙහි 2022 වසරේ ආදායම පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 483ක් වෙයි. ලෝකයේ රටවල් රාශියක ඔවුන්ගේ ව්‍යාපෘති ඇති අතර මුළුමහත් සේවක සංඛ්‍යාව 3,74,791ක් යැයි පැවසෙයි. මෙම සමාගම කටයුතු කරන්නේ ඛනිජ තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ පමණි. අද චීනය නැවත අපේ සම්පත් කොල්ලකෑමට වාසනාව හිමිකර ගෙන ඇත. අවුරුදු දෙක තුනකට පසු චීන රතු මකරා නැවත අඬුපඬු දිගු කරමින් ශ්‍රී ලංකාවේ සම්පත් ගිලගන්නා ආකාරය ඉතා අපූරුවට පෙනෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ










