මේ දම් දීපේ ලෝකෙන් උතුම්ම රට. ඉන්දියන් සාගරයේ මුතු ඇටය. වෙලාවකට මේක තමයි තිදසපුරය. බණ කියනවා, බණ ඇහෙනවා, වෙහෙර විහාර පන්සල් ඉදිවෙනවා. බොදු බැති සිතින් කරන පින්කම්වල සීමාවක් නෑ. එහෙන් පිච්ච මල් පූජා තියනවා. තව වෙලාවකට රෝස මල් පූජා තියනවා. චෛත්‍යවලට ඇඳන් පූජා කරනවා. වෙහෙර විහාර පලතුරුවලින් වැහිලා යනවා. අපේ මිනිස්සු එළිවෙනකන් පිරිත් කියනවා. හැම රේඩියෝ චැනල් එකකම එළිවෙනකන් පිරිත් කියනවා. උදේට පිරිත් දානවා. රූපවාහිනී නාලිකා පටන්ගන්නෙම පිරිත් දාලා. පෝය දවස පුරා බණ ඇහෙනවා. බණම විතරක් කියන නාලිකාම තුන හතරක් බිහිවෙලා තියෙනවා. ඒ නාලිකාවල අයිතිකාර හාමුදුරුවරු එළිවෙනකන් බණ කියනවා. මේ සියල්ල අස්සේ අපට මේ මනෝරම්‍ය දීපය ගැන රස රස කතන්දර කියන්න පුළුවන් වෙනවා. දැන් අපි ඉන්නේ ඉතා ගුණයහපත් මිනිස්සුත් එක්ක. අපි දැන් ඉන්නේ දිව්‍ය ලෝකයක් වගේ තැනක. මේ ලෝකෙ ඉන්න මිනිස්සු හැමෝම දැන් දෙවියෝ හා සමානයි. පවු කරන්නේ නෑ. වැරැදි කරන්නේ නෑ. අනෙක් අයට රිද්දන්නෙ නෑ. අපි බලාපොරොත්තු වෙච්ච ලෝකය නිදහසින් අවුරුදු 75කට පස්සේ අපට උදාවෙලා. ඉතින් අපි සතුටින් මේ ලිපිය කියවමු.
දැනටමත් ඔබට ඔබ ගැන ගොඩක් ආඩම්බර නම් ඔබ මේ රටේ ඉපදිච්ච එක ගැන විනාඩි කිහිපයක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. වියළි දණ්ඩකට වුණත් පණ එන්න පුළුවන් මහපොළවක් තියෙන්නේ. බැලූ බැලූ තෙක් මානයේ නිල්ල නිලන කෙත් වතු යායවල්. නුවරඑළියේ පිපිච්ච රෝස මල්, පහතරට ඈතින් ඈතට තියෙන වනස්පතීන්ගේ හෙවණ ලත් මහා වනාන්තර. ඒවායේ අලි ඇතුන් නිදැල්ලේ සැරිසරනවා. යාල කැලේ පුංචි මුවපොව්වෝ දහස් ගණනක් ඔබ එනතුරු මඟ බලාගෙන ඉන්නවා. එක පැත්තක මොනර නැටුම්. අනෙක් පැත්තේ ගිරා මලිති සවුදම්. මේ හැම දේ අස්සේ අපි මේ රටේ ඉපදිච්ච එක ගැන අපූරු ගීතයකින් ඉතිරි කොටස ආරම්භ කරමු.
‘මේ රට මගෙ රට
මා ඉපදුණු රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට’ ඒකද මේ වෙලාවේ ඔබ හිතන්නේ හොඳම ගීතය කියලා? එහෙම නැත්නම්,
‘මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි’ කියන ගීයද මේ වෙලාවෙ වඩාත්ම ගැළපෙන ගීය කියලා ඔබ හිතන්නේ? ඒ දෙකෙන් එකක් ඔබට පුළුවන් මේ ලිපිය කියවන අතරතුරේ පසුබිමෙන් ඇහෙන්න යූටියුබ් එකෙන් වාදනය කරගන්න. ඒ තරම්ම සුන්දරයි මේ කතන්දරය.
මේ දම් දීපේ මේ වෙනකොට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ තුන්දෙනෙක්ම තැන් තැන්වල මරලා දාලා. ඒ තුන්දෙනාගෙන් එක් කෙනකුගේ මරණය සම්බන්ධයෙන් විතරයි අපට හරියටම හේතුව හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එක්කෙනෙක් නම් මැරිලා තියෙන්නේ ඉන්දුනීසියාවේදී. උන්දෑ මැරුණේ කොහොමද කියලා අපි දන්නේ නෑ. ලංකාවේ හිටපු ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෙක් කොළඹ නගරේ මැද්දේ තියෙන මහ කනත්තේ මරලා දාලා. පරීක්ෂණය එහෙට යනවා මෙහෙට යනවා. බහුබූත කියනවා. පත්තරවල එක එක විකාර පළවෙනවා. ඒ අස්සේ මේ මිනිසා මැරුවේ කවුද, මැරුණේ කොහොමද කියන එක හොයාගන්න විදියක් නෑ. වෙලාවකට කියනවා ඒ මනුස්සයා මැරිලා තියෙන්නේ සියදිවි හානිකරගෙන කියලා. මේවා නෙයිනාඩගම්. ඒ අස්සේ අපේ රටේ තැන් තැන්වල බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන සී.සී.ටී.වී. දර්ශන ඕනෙ තරම්. කඩයක බඩු විකුණ විකුණ ඉන්නකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා. පාරේ යමින් ඉන්නකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා. තරුණයෙක් ගේ පිටිපස්සේ කපලා කෑලි කෑලිවලට කපලා මරලා දානවා. මේ ඔක්කොම වෙන්නේ අපේ රටේ. මේ විදියට වෙච්ච මරණ ගණන කීයක්ද කියලා අපට හිතාගන්නවත් බෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමන්ගෙම විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවක්ව දෙනෝදහක් ඉන්න කොළඹ නගරයේ ප්‍රධාන වීදියක් අසල තිබෙන රේස් කෝස් පිටියේදී මරලා දානවා. මේ මරණ සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට අරගෙන මොනවා කළත් අපේ රටට මෙහෙම වුණේ කොහොමද? ඒ ගැන හිතන්න සහ හොයන්න ඕනෙ. නීතියට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වරදකරුවන් අත්අඩංගුවට ගන්න. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න පුළුවන්කම තිබුණත් ඒක එහෙම කරන්නේ නෑ. කෝ මේ රටේ නීතිය? කෝ මේ රටේ හමුදාව, පොලිසිය? ප්‍රශ්නයක් වුණා නම් පාරට බැස්සා නම් උද්ඝෝෂණයක් කළා නම් අන්න ඉන්නවා පොලිසිය. අන්න ඉන්නවා හමුදාව. වසන්ත මුදලිගේ කිව්වේ ඇත්තද බොරුද කියන එක නෙවෙයි. හැබැයි වසන්තලා එළියට බැස්ස ගමන්, වසන්තව අත්අඩංගුවට ගන්න හමුදාවෙන් පොලිසියෙන් බැටෑලියන් පිටින් එළියට බහිනවා. හැබැයි ඉතින් මේ වගේ එක වීදියක් මුරකරගන්න අපේ රටේ ආරක්ෂකයන්ට බැරිවෙලා තියෙනවා. ප්‍රධාන වීදියක තරුණියක්ව මරන්න මිනිස්සු බය නැතිවෙලා තියෙනවා. පාරේ යන එන ගමන් තුවක්කුවක් අරන් ඇවිල්ලා ඔළුවට වෙඩිතියලා යන මට්ටමට අපේ රට දියුණු වෙලා තියෙනවා. චිකාගෝ නෙවෙයි මේ ශ්‍රී ලංකාව.
අපේ රටේ වීදියක් වීදියක් ගානේ හන්දියක් හන්දියක් ගානෙ පොලිසිය දාලා තියෙන්නේ. මීට අවුරුදු 10කට කලින් තිබුණු පොලිසි ගානට වඩා දැන් තියෙන පොලිසි ගාන 50%කින් 60%කින් වැඩිවෙලා. ඇත්තටම ලංකාවෙ තිබුණු පොලිසි ගණන පිළිබඳ අපට හරි අවබෝධයක් එන්නේ පහුගිය කාලෙ තිබුණු තෙල් ප්‍රශ්නෙත් එක්ක. මොකද ඕ.අයි.සී. මහත්තුරුන්ට තෙල් දෙන්න ඕනෙ වෙච්ච පොලිසි ගාන තමයි ඒ වෙලාවෙ හරියට හොයාගන්න පුළුවන්. ඒ කතන්දරේ පැත්තකින් තිබ්බාම, ඉස්සර මිනිස්සු බැංකු කැඩුවා. දැන් බැංකු කඩනවා නෙවෙයි මිනිස්සු ඒ.ටී.එම්. මැෂින් උස්සගෙන ගෙදර අරන් යනවා. ඉතින් මේ තත්ත්වෙට ලංකාව පත්වුණාට පස්සේ තව මොන බයිලාද අපි කතා කරන්නේ කියලා හිතාගන්න වෙනවා. එක පැත්තකින් නුවර බැංකුවක ඒ.ටී.එම්. මැෂින් එක අරගෙන ගියා. මුලින්ම අරගෙන ගියේ ගම්පොළ බැංකුවක ඒ.ටී.එම්. මැෂින් එක. ඒක සල්ලිත් එක්කම උස්සගෙන ගියා. ඒ සිදුවීම ගැන පරීක්ෂණ තාමත් කෙරීගෙන යනවා. ඊට පස්සේ කුරුණෑගල ඒ.ටී.එම්. මැෂින් එකටත් කට්ටිය වැඩේ දීලයි තිබුණේ. කුරුණෑගල මෙහෙම දෙයක් කළේ කවුද කියන එක ගැන කතා කරද්දී සමහරු නම් ප්‍රසිද්ධ දේශපාලකයකුගේ නමකුත් කියනවා, ඊට වඩා හොරෙක් කුරුණෑගල නෑ කියලා. ඉතින් ඒවා බොරු කතා කියලයි අපි නම් හිතන්නේ. ඒගොල්ලෝ එහෙම බැංකුවක් හොරකම් කරන්න තරම් බංකොලොත් වෙලා නෑ. මොකද හේතුව බැංකු හය හතක සල්ලි ඒගොල්ලන්ගේ එකවුන්ට්වල තියෙනවා. හොරකමක් ගැන කලින් කියවුණාට මේ වගේ ඒ.ටී.එම්. මැෂින් එකක් හොරකම් කරන්න තරම් ඔය දේශපාලකයො පහළට වැටෙන්නෙ නෑ කියලයි අපි නම් හිතන්නේ. කොහොම වෙතත් මේ වෙනකොට තත්ත්වය ඉතා නරක අතට හැරිලා තියෙන්නෙ කියන එක නම් අපට කියන්න පුළුවන්. ලංකාව රටක් විදියට කොහෙද යන්නේ කියලා හිතාගන්න බෑ.
ඒ අස්සේ අපූරු ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය භාරව හිටපු ඩී.අයි.ජී. මහත්තයගෙ ගෙදරට අවුරුදු 17ක කොල්ලෙක් පැනලා ලක්ෂ 17ක රත්තරන් හොරකම් කරගෙන ගිහිල්ලා කියලා. දැන් මේ තත්ත්වෙට රට පත්වුණේ කොහොමද? පාරක බයිසිකලයක් නතර කරලා යන්න බෑ. ඕනෙම කෙනෙක් දන්නවා පාරේ නවත්තලා යන බයිසිකලයක් හොරකම් කරන්න ගතවෙන්නේ තත්පර ගානයි කියලා. ඒවා කෑලිවලට කඩලා විකුණන එක සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් ඇතුළත සිද්ධ වෙනවා. බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් රථ ඕනෙම එකක් හොරකම් කරන තැනට රට පත්වෙලා තියෙන්නේ. හොරු බෝවෙලා, හොරු වැඩිවෙලා, රට විනාශ වෙන තැනට පත්වෙලා තියෙද්දිත් අපි දැන් වෙන වෙන ජොලි කතා කිය කියා ඉන්නවා. ඒ අස්සේ අපේ රටේ මිනිස්සු තැන් තැන්වල මැරෙනවා. දරුවෝ මැරෙනවා. මවුපියෝ දරුවන්ව මරලා දානවා ණය ගෙවාගන්න බැරුව. කන්න නැතුව මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ. වෛද්‍යවරු රට අතහැරලා ගිහිල්ලා. වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරු දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි වෙනත් රටවල. ගුවන් ගමන් සම්බන්ධව ඉන්න නිලධාරීන් කිහිප දෙනාගෙන් වැඩි පිරිසක් දැන් ඉන්නේ ලංකාවෙන් පිටවෙන්න බලාගෙන. සමහර රෝහල්වලට බෙහෙත් නෑ. ඒ රෝහල් වැහිලා යන තත්ත්වයට පත්වෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය අවම පහසුකම් ටිකවත් දැන් මේ රටේ නෑ. ඒ සියල්ල ඒ විදියට තියෙද්දී මේ හොරු බෝවෙච්ච, අපරාධකාරයෝ වැඩිවෙච්ච, කොයි වෙලාවෙ අපරාධයක් සිදුවෙයිද කියලා හිතාගන්න බැරි තත්ත්වෙක තියෙන, ගෙදර දොර වහගන්න බැරි වුණොත් මොකෙක් හරි පැනලා තියෙන දෙයක් හොරකම් කරගෙන යන, පාරක චේන් එකක් කරාබුවක් දාගෙන යන්න බැරි තැනට අපේ රට විනාශ වෙලා. පාරෙදි චේන් එකක් කඩාගෙන යන එක විතරක් නෙවෙයි, කනේ තියෙන කරාබු දෙක කන් කපලා අරගෙන යන තැනට රට පත්වෙලා ඉවරයි. දරුවෙක් වඩාගෙන අම්මා යද්දී, දරුවා වඩාගෙන ඉන්න අම්මාගේ බෙල්ල කපලා චේන් එක අරගෙන යන තරම් අපේ රටේ මිනිස්සු හොරු බවට පත්වෙලා. අම්මා පාරේ වැටිලා මියගිහිල්ලා. යන්තම් ඇවිදගන්න පුළුවන් දරුවා අඬ අඬා පාරේ ඇවිදින එක ගැන ප්‍රවෘත්ති අපි දැක්කා. මේක එහෙම රටක් බවට පත්කළේ කවුද? මේ රටේ ආරක්ෂාව කෝ? රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳ කවුද සැලකිලිමත් වෙන්නේ? උද්ඝෝෂණයක් කළාට පස්සේ, වැඩවර්ජනයක් කළාට පස්සේ, පිකටින් එකක් කළාට පස්සේ එළියට බහින පොලිසියට පුළුවන් නම් කියන්නකො මහත්තයෝ මේ රටේ ආරක්ෂාව ගැන හොයලා බලන්න. මේ රටේ පාරවල්වල සිද්ධ වෙන අපරාධ නවත්තන්න. පාරේ සිද්ධ වෙන අපරාධ සම්බන්ධව මේ ලිපිය ලියනකොට ලියුම්කරු උත්සාහ කළා ඒවායෙ ලැයිස්තුවක් ලියන්න. හැබැයි එහෙම ලැයිස්තුවක් ලියන්න ගියා නම් මේ ලිපිය ලියන්න වෙන්නේ නෑ. මේ ලිපිය පිටු හය හතක ලිපියක් බවට පත්වෙනවා ඒ නම්ගම් එක්ක ලියන්න ගියා නම්.
ගාල්ලෙදී ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් හොරකම් කළා සුද්දො වගයක්. ඒකට ලංකාවෙ මිනිස්සුත් සම්බන්ධයිනේ. ඒ නිසා මේ සියලු අපරාධවල ලැයිස්තු හදන්න බෑ දැන්. එහෙම ලියන්න ගියා නම් ලිපිය දිග වැඩි වෙනවා. ඒ තරම් අපරාධ වැඩියි. මේවා එක්දහස් නවසිය ගණන්වල සිදුවෙච්ච අපරාධ නෙවෙයි. 2020, 2021, 2022ත් නෙවෙයි. මේ 2023 වෙච්ච අපරාධ. 2022 අග භාගයෙත් අපරාධ විශාල ප්‍රමාණයක් සිදුවුණා. ඒක ඇත්ත. රටේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. රටක ආර්ථික ප්‍රශ්න වැඩිවෙනකොට අපරාධ වැඩිවෙන එක ඉතා සාමාන්‍ය දෙයක්. සල්ලි නැති වුණාම මිනිස්සු අපරාධ කරනවා වැඩියි. ඒත් අපි කියන්නේ මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන මීට වඩා සැලකිල්ලෙන් හිතුවේ නැත්නම් ඔබත්, අපත් විතරක් නෙවෙයි අපි හැමෝම අනාරක්ෂිතයි.
සමාවෙන්න තිදසපුරේ ගැන ලිපිය කියවන්න ඔබ ආවා නම්. මේ තමයි තිදසපුරේ ගැන අලුත්ම කතාව. ඒ නිසා අපි දැන් කියන්න ඕනේ මෙන්න මේ තිදසපුරේ ගැන කතන්දරේ.

ජීවන පහන් තිළිණ










