හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජාප පාක්ෂිකයන්ගේ කරමතින් බලයට පැමිණ එම පාක්ෂිකයන්ට කළ අසාධාරණය මුල් කොටගෙන මේ වනවිට දෙවියන් සහ සොබාදහම විසින් දඩුවම් ලබා දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.
සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිපය අද පොහොට්ටුව හමුවේ බලුකුක්කන් ගාණට වැටී ඇති බවත්, නාමයෝජනා ඉල්ලා අද ඔවුන්ට පොහොට්ටුව පසුපස යාමට සිදුව ඇති බවත්, අද සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ පොලොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රොෂාන් රණසිංහ මහතා බවත් මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
මීට අමතරව එදා දේශප්‍රේමය පිළිබදව කතා කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායම අද උතුරු නැගෙනහිරට 13 වන සංශෝධනයට එහා ගිය බලතල ලබාදීමක් පිළිබදව කතා කරන බව කී මන්ත්‍රීවරයා කිසිදු දිනක එජාපය දේශපාලන වාසි තකා ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සා නොමැති බවත් සදහන් කර සිටියේය.
එමෙන්ම ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක බහුතරයක් ජන්දය දුන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට බව කියා සිටි මරික්කාර් මහතා එම ජනවරමට අනුව යමින් ආණ්ඩුව එම ගිවිසුම අත්සන් නොකළ යුතු බවද කියා සිටියේය.










