පහුගිය දවස්වල දේශපාලන විපර්යාස කීපයක්ම රටේ සිදු විය. ඒවා අතර සමහර ඒවා කතාබහට ලක් වුණේ ඒවායේ අමුතු ස්වරූපය නිසාය. මේ ඒ සමගම සමාජ ගත වූ පින්තූර කතාවකි. එහි පෙර ලතා සහ පසු කතා මේ සමග අමුණා තිබේ.
තම නිල නිවෙසේ කෙටි කෑම ආදිය වෙනුවෙන් පසුගිය වසර සඳහා රුපියල් ලක්ෂ 3කට අධික මහජන මුදල් අවභාවිත කළේ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
පසුගිය වසරේදී ඇය විසින් නිල නිවෙසට කෙටි කෑම ඇතුළු ආහාර පානාදිය සඳහා ජනතාවගේ මුදලින් රුපියල් 318645ක මුදලක් ඇය වැය කර ඇතැයි හෙළිවී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වියදම් පිළිබඳව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසින් ලබා ගත් තොරතුරුවලට අනුවය.
එම මුදලින් චීස් සඳහා පමණක් රුපියල් 68185ක් වැය කර ඇතැයි ද සඳහන් වේ. රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල නිවාසයට වායුසමීකරණ යන්ත්‍ර 14ක් සවිකර ඇති බවට ද එහිදී අනාවරණය වී තිබේ.
මෙය අප විසින් දක්නා ලදුව ලියන ලද්දක් නොවන අතර මෙය 2021 වසරේ ඔක්තෝබර් මස පළ වූ වාර්තාවකි.එහි සත්‍ය අසත්‍ය බව පිළිබඳ අප විශ්වාස තබන්නේ ඒවා ප්‍රසිද්ධ වාර්තා නිසාය.
ලක්ෂ 57ක් වියදම් කොට ඉදිකරන්නට ගිය වැසිකිළියක් ගැන ද පහු දිනක ඇයටම චෝදනා එල්ල විය.
“නගරාධිපතිගේ නිල නිවෙස කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පෞරාණික ගොඩනැගිල්ලක්. මම ඒකේ ජීවත් වෙන්නේ නෑ. මට ලස්සන ගෙයක් තියෙනවා. මම ඒකේ ජීවත්වෙන්නේ. මේ ගොඩනැගිල්ල විතරක් නෙමෙයි කොළඹ නගරයේ ඓතිහාසික වටිනාකමක් තියෙන සියලු ගොඩනැගිලි නැවත පිළිසකර කිරීමට මම යෝජනා කළා.. වාස්තු විද්‍යාඥයින්ව ගෙනල්ලා. මොකද සැඟවිලා තියෙන පෞරාණික ගොඩනැගිලි කඩලා විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් වෙනවයි කියලා ආපු චෝදනා නිසා.
නගරාධිපති නිල නිවෙසේ අඩුපාඩු ගොඩාක් තිබ්බා. උඩ තට්ටුවේ ලෑලි පොළොවල්, තරප්පුපෙල අබලන් වෙලා තිබුණේ. පොළොව අන්තිමටම ජරාජීර්ණ වෙලා. මේ අලුත්වැඩියාවන් සියල්ලම මුදල් කමිටුවට දැම්මා. මමමයි තීරණය කළේ කොන්ත්‍රාත් පදනමට නොදී අපේ කර්මාන්ත අංශයට දෙන්න. සියලු අලුත්වැඩියාවන් සඳහා මිලියන 5.2ක් තමයි තිබුණේ වියදම.
ඒකෙන් වැසිකිළි හයක් හතක් තියෙනවා ඔය ගෙදර. ඒකට ගිහින් තියෙන්නේ මිලියන 1.3යි. මිලියන 1.7කට වැඩිය වියදම් වෙන්නේ පොළොව අලුත්වැඩියා කරන්න. මේක මුළු ගණනම එකතු කරලා වැඩියෙනුත් එකතු කරලා තමයි සමාජජාල මාධ්‍යවල ගියේ. ඒ ගැන මම කනගාටු වෙනවා. මේක මගේ දෙයක් නෙමෙයි.. ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමක් කරන්නේ.”
නගරාධිපතිනිය ඒ පිළිබඳ මෙසේ දිගු අදහසක් දක්වා තිබුණේය.
දැන් ආයෙත් එහෙම ලෙඩක් වැටුණේය. ඒ කෑම මේසයක් ගැනය. නගරාධිපතිනිය සුපිරි කෑම මේසයකින් සංග්‍රහ කර තිබුණේ නත්‍තලටය.
එය ලක්ෂ ගණනක සංග්‍රහයක් බව පැහැදිලිය. එහෙම සල්ලියක් මෙහෙම වෙලාවක නාස්ති කිරීම බොහෝම නරකය. එය මහජන මුදල් නම් එය බරපතළ අකටයුත්තකි. එසේ නොමැතිව එය පුද්ගලික මුදලකින් වුවද නාස්ති වෙන්නේ රටේ මුදල්ය. මේ ලක්ෂ තුනහමාරක මුදලකට අම්මෙක් දරු දෙනෙනාට වස පෙවූ රටය. එහෙව් ණයක් ගෙවා දමන්නට මේ කෑම මේසයේ ඉවත දානා කොටසට වුව හැකි විය හැක. ඒ නිසා මෙහෙම සල්ලි නාස්ති නොකර ඉන්නවා නම් හොඳ. අනික වගකීමක් සහිත අය වගකීම් විරහිතව වැඩ කරනා එක අසාධාරණය.
හැබැයි එකක් අමතක නොකළ යුතුය. මේ රටේ ප්‍රධානතම පළාත් පාලන ආයතනයේ ලොක්කිගේ කෑම මේසයයි. ඒක ටිකක් ලොකු වෙන එකේ ප්‍රශ්නයක් නැත. කොහොම නමුත් ඕනෑම එකක දෙපැත්තක් තිබේ.

ජීවන පහන් තිළිණ










