පසුගිය දිනක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඊට පෙර දිනයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුරදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සමඟ වාදයක පැටලුණු බවත්, එහිදී තමන්ට පහර දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත්ය. ඒ හේතුවෙන් මේ පහරදීම සහ එම සිදුවීම අතර සම්බන්ධයක් ඇතැයි තමන් සිතන බවද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා සඳහන් කළේ මෙය කිසිසේත් පිළිගත නොහැකි චෝදනාවක් බවය.
තමන් කිසිදිනෙක තුවක්කු දේශපාලනයේ නිරත නොවන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පොලිසියෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
“කලින් දවසේ තිබුණු ජංගම සේවය අවසානයේ මන්ත්‍රීවරු සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයට ගිහින් එද්දි තමයි ඔය කියන මන්ත්‍රීවරයා බයිසිකලයෙන් වැටිලා අනතුරට පත් වෙලා තියෙන්නේ. ඒ මන්ත්‍රීවරයාට පහර දීමක් වෙලා තියෙනවා නම් ඒක මුලින්ම හෙළා දකින්නේ මම. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ.
මම තුවක්කු දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම දේශපාලන කෝන්තර පෞද්ගලික දේ හරහා පිරිමහන එකටත් මම කැමැති නැහැ. පහරදීමක් වුණා නම් ඒ වෙලාවෙම පොලිසියට කියන්න ඕනෑ නේ. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒ හින්දා මේ ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.
මේ පිළිබඳව අප මාරවිල පොලිසියෙන් කළ විමසීමේදී එහි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳ පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවය. අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමන්ට අනතුරක් සිදුවූ බවට පළමුව පැමිණිලි කර ඇති බවත්, පහර දීමක් සිදුවූ බවට මතකයක් ඇතැයි යනුවෙන් පැමිණිලි කර ඇත්තේ සිදුවීමෙන් දින දෙකකට පසුව වන බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේය.
නන්දන මුණසිංහ පළ කොට තිබූ වීඩියෝව…










