මේක සෙල්ලං කතාවක් නෙමෙයි. ඇත්තටම මේ කතාවෙන් කලබල වෙන්නේ මුළු ලෝකයම. හේතුව අල්කයිඩා කියලා කියන්නේ මුළු ලෝකෙම බය කරන්නට සමත් වෙච්ච කණ්ඩායමක්. එහෙම කට්ටියක් ආයිත් ඔළුව ඉස්සුව කියන්නෙම බරපතළ අර්බුදයක්. මොකද අද වෙනකොට ඊට වඩා ත්‍රස්තවාදි කණ්ඩායම් බිහිවෙලා මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත් වෙලයි තියෙන්නේ. එක පැත්තකින් මේ කොවිඩ් අර්බුදයත් එක්ක ලෝකෙම බරපතළ ව්‍යසනයකට මුහුණ දීලා. සියල්ලන්ගේ අයි.එස්.අයි.එස්. වගේ ත්‍රස්තවාදී කණ්ඩායම ඉතාම පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා.
හැබැයි අල්කයිඩා කියලා කියන්නේ ලෝකයේ ප්‍රබල රටවල්වලට කිසිසේත්ම අමතක කරන්න බැරි නමක්. ඔසාමා බින් ලාඩන් නායකත්වය දරපු මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඇමෙරිකාව පෙන්ටගනයට සහ අනෙකුත් ගොඩනැඟිලිවලට එල්ල කරපු ප්‍රහාරය අදටත් කිසිවෙක්ට අමතක වෙලා නෑ. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් අල්කයිඩා යන නම අපිට වඩා ගැස්සෙන්නෙ බටහිර ජාතිකයන්.
හරි දැන් එතකොට මොකක්ද මේ අල්කයිඩා සෙල්ලම. මේ සෙල්ලම වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව. මේ කියන ප්‍රදේශය නිශ්චිත වශයෙන්ම කිව්වොත් කොටදෙණියාව. කොටදෙණියාව-මීරිගම මාර්ගය, එහෙම නැත්නම් මීගමුව-මීරිගම-කොටදෙණියාව හරහා වැටිලා තියෙන මාර්ගය අවහිර කරමින් වත්තෙමුල්ල කියන ගමේ ප්‍රදේශවාසීන් හදිස්සි විරෝධතාවක නිරත වෙනවා. ඒ යම් සිදුවීමක් සම්බන්ධයෙන්.
මේ ප්‍රදේශවාසීන් පැහැදිලිවම චෝදනා කරන්නේ පොලිසියට. ඔවුන් කියනවා අල්කයිඩා කියන කණ්ඩායමක් කොටදෙණියාව ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඔවුන් මිනිසුන්ට පහර දෙනවා, කපනවා, කොටනවා, තුවාල සිද්ධ කරනවා, හැබැයි පොලිසිය මේ සියල්ල දිහා බලාගෙන කරබාගෙන ඉන්නව කියල. ඒක ලංකාවෙ පොලිසියකට එල්ලවන බරපතළ චෝදනාවක්. ඒ වගේම සාමාන්‍ය කොටදෙණියාව පොලිසිය කියලා කියන්නේ මේ වගේ චෝදනාවලට නිතර ලක්වෙච්ච පොලිසියක්. ඇත්තටම ඒකට වරද කොටදෙණියාවේ පොලිසියද, එහෙම නැත්තම් ප්‍රදේශයද සම්බන්ධව අපිටත් අවුලක් තියෙනවා. එක කාලයක් තිබුණා ලංකාවෙ ප්‍රසිද්ධ කාටුන්වලට පවා කොටදෙණියාවේ පොලිසිය කියන එක ගාව ගත්ත. සූටින්-මාටින් එකේ පවා කොටදෙණියාව පොලිසිය විහිළුවට ලක් කළා.
කොටදෙණියාව පොලිසිය කියලා කියන්නේ විශාල මංකොල්ලයන් අල්ලපු අතිශය තීරණාත්මක ප්‍රදේශයක් ආවරණය කරන පොලීසියක්. ඔවුන් තමයි ප්‍රධානතම පළාත් දෙකක් වෙන වයඹ සහ බස්නාහිර මායිම එක පැත්තකින් ආරක්ෂා කරන්නෙ. මාඔය සතු සිද්ධවෙන වැලි ජාවාරම් ඒ හා ආශ්‍රිතව පස් ජාවාරම් මේ මිනිසුන්ට පැහැදිලිව හැප්පෙන්නවෙලා තියෙන තැන්. ඒ නිසා කොටදෙණියාව පොලිසිය කළුද, සුදුද කියන එක සම්බන්ධව එකපාරම අපිට නිගමනයන්ට එළඹෙන්නට බෑ. මේ කොටදෙණියාව පොලිසිය බරපතළ ලෙස චෝදනාවට ලක්වෙන්නේ සේයා සදෙව්මි ඝාතන සිදුවීමත් එක්ක. ඒ වෙලාවේ ඔවුන් කරපු සමහර අත්අඩංගුවට ගැනීම් සහ ඒ අවස්ථාවේ ක්‍රියා කරපු ආකාරය රටේ කතාබහට ලක්වුණා. ඒත් ඔවුන්ට ඒ වෙලාවෙ ඊට වඩා කළ හැක්කක් තිබුණද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි මේ සියල්ල අස්සේ අල්කයිඩා සිදුවීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසියට එල්ල වෙන්නේ බරපතළ චෝදනාවක්. අපිත් මේ වෙලාවේ ඉන්නේ ගින්නක් නැතුව දුමක් නොනඟිනවාය කියන විශ්වාසය එක්ක.
කොටදෙණියාව-වත්තමුල්ල කියන්නෙ ග්‍රාමීය ප්‍රදේශයක්. මේ පැතිවල ජීවත් වෙන්නෙ සාමාන්‍ය ගැමියො. ඒත් ඔවුන් යම් අධ්‍යාපනයක් තියෙන, යම් තේරුමක්, බේරුමක් තියෙන උදවිය. මේ අය නිතරම කොළඹත් එක්ක ගනුදෙනු කරන උදේ-හවා කොළඹ යන-එන මිනිස්සු. ඒ නිසා මේ ඉන්නෙ කිසිම දෙයක් නොතේරෙන මිනිස්සු නෙමේ.
‘එතකොට මොකක්ද මේ කතාව…’
මේ කතාව ගෑවෙන්නෙ අර මුලින්ම දරුවො කිහිපදෙනෙක් අතුරුදන් වීමේ කතාවත් එක්ක. දැනගන්න තියෙන විදියට මේ පවුලෙ දරුවො දෙන්නෙක් තමයි පෙර අතුරුදන් වීමේ කතාවට අදාළ වෙන්නෙ. ඔබට මතක ඇති දරුවො අතුරුදන් වෙනවා, ඒ අතුරුදන්වීම්වලට මාසයක් ගතවෙනවා, ඉන් පස්සෙ ඒ අය ගෙදර එනවා, මීරිගම ප්‍රදේශයේ සිටි විස්තරයක් ඔවුන් කියනවා. මේක තමයි ඒ කතාව. ඉතාම සරල පැහැදිලි කිරීම.
මේ කතාව එළියට එන්නෙ ඒත් එක්ක. හැබැයි ඒ අතර යම් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ මේ ගෙදර සහ එහි සිදුවෙන යම් යම් සිදුවීම් ගැන පොලීසියට දැනුම් දුන්නාය කියන නිවෙසකට පහර දීම. මේ පහරදීමට ලක්වෙන්නෙ අසල්වැසි නිවෙසක වයසක මවුපිය දෙපළක්. ඔවුන් රෝහල් ගතවෙනවා.
පහර දීමට ඉලක්ක වෙන්නෙ වෙනත් නිවෙසක්. සිදුවීම ගැන කියැවෙන විදියට ඉතාම පුංචි වයසෙ දියණියන් දෙන්නෙක්ව පැහැරගෙන යාමයි. ඔවුන් එන්නෙ ඒ මේ දරුවන්ගෙ පියා පොලීසියට යම් කිසි කාරණාවක් දැනුම් දුන්නාය කියලා.
මේ අල්කයිඩා ගෙදර සහ ඊට අදාළ සිදුවීම් ගැන කියවෙන්න පටන් ගන්නෙ ඒත් එක්ක.
ඒත් එක්කම මේ දරුණු ක්‍රියාකාරකම්වලට එරෙහිව විශාල විරෝධයක් ගම ඇතුළෙන්ම නිර්මාණය වෙනවා.
‘අල්කයිඩා ගෙදර?’
කියන්නෙ මොකක්ද කියන එකට සාධාරණ උත්තරයක් නෑ. මේ මිනිසුන්ගෙ අල්කයිඩා කියන නම මම හිතන්නෙ මේ ගමේ ඉන්න අය විසින් හදපු එකක්. ඒ මේ ක්‍රියාකාරකම් එක්ක ආපු එකක්.
‘ගමේ අය කියන්නෙ එහෙම’
ඔවුන් මේ ගැන කතා කරන තැන්වල කියවෙන්නෙ ඒ විදියට. මේ එකම නිවෙසක සහෝදරයන් පිරිසකගෙ ක්‍රියාකාරකම් බවයි කියන්නෙ. කොහොමද එහෙම වෙන්නෙ?
‘චීවරධාරියෙකුත් ඉන්නවා…’ කියලා කියැවිලා. ටික දවසින්… ’චීවරධාරීන් දෙන්නෙක් …’ ගැන කියවෙන්න පටන් ගන්නවා. එතකොට මොකක්ද මේ කල්ලිය. එකම පවුලෙ සහෝදරයෝ කිහිපදෙනෙක් මේ කල්ලියට අයිති බව කියැවෙනවා. මේ වෙනකොට මේ අය අතරින් කිහිපදෙනෙක් විතරක් අත්‍අඩංගුවට පත්වෙලා. නමුත් බොහෝ දෙනෙක් කියන්නෙ තවමත් මේ මාෆියාව අවසන් වෙලා නෑ කියලා.
‘මේ ගමේ මිනිස්සු දවල්ටවත් එළියට බහින්නෙ නෑ.’
‘දවල්ටත් දොරවල් වහගෙන ඉන්නෙ?’
ගමේ උදවිය රූපවාහිනී නාලිකා කිහිපයකටම කියලා තිබ්බෙ එහෙම. ඒක ඇත්‍තක් නම් මේ දේවල් මේ විදියට විසfඳනතුරු පොලීසිය පොල් ගෑවද කියලා අහන එකේ කිසිම අසාධාරණයක් නෑ. සාමාන්‍යයෙන් ලංකාවෙ මේ විදියට මතුවුණු හෝ මතුකළ කල්ලි කිහිපයක නම් අපිට මතකයි. හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට ඒ අතරින් කිහිපයක්ම නිකම්ම නිකම් කාඩ් බෝඩ් වීරයෝ.
‘හැබැයි එකක්…?’
මොකක්ද ඒ ඒක. මේ විදියට පාතාල කල්ලි නිර්මාණය වෙනවා. මේ නම ප්‍රසිද්ධ වීම කියන්නෙ පාතාලයේ හෝ පාතාල වෙසින් පෙනී ඉන්න අපරාධ කරන මෝඩයන්ට අතිශය වටිනා දෙයක්. මේ විදියට නම ප්‍රකට වීමත් එක්ක පළවෙනි පියවර විදියට වෙන්නෙ කප්පම් ගන්න එක.
‘මම අහවලා කතා කරන්නෙ…’
‘ලක්ෂ පහක් දීපං..’ කිව්ව ගමන්ම බොහෝමයක් ව්‍යාපාරිකයො බය වෙනවා. ඒ බයත් එක්ක නිකම්ම නමක් හැදෙනවා. ආයෙමත් ඒ නමත් එක්කම බයක් හැදෙනවා. අන්තිමට කොහේවත් සූකිරිබටිල්ලො ටිකක් වීරයෝ වෙනවා. හැබැයි මේ සෙල්ලමට අපේ ආරක්ෂක අංශත් වගකියන්නම ඕනෙ. අන්තිමට උන්ට සැලියුට් ගහන තැනකට ගමේ පොලීසිය ආවම, උන් නිකම්ම පිම්බෙනවා. ඒ වගේම බුලත්විටකට, බීඩියකට, සුරුට්ටුවකට දෙකට නැමෙන කාකි කෝට් තියෙනවා නම් ඒවා අස්සෙ ඉන්න එවුංව රෙදි ගලෝල ගෙදර පිටත්කරලා, ඒ සූට් එක අන්දන්න වෙළක ඉන්න පඹයෙක්ට. අඩු ගානෙ ගිරව් හරි බයවෙයි.
කොහොම නමුත් කොටදෙණියාවෙ අල්කයිඩාකාරයො කියන අය ගාව ආයුධ තිබුණාය කියලත් කියනවා. ඒ ආයුධ කියන්නෙ මන්නා, පිහි බවත් කියවෙනවා. පහුගිය සති අන්තයේ දැනගන්න ලැබුණ විදියය. මේ නිවෙසේ කිහිපදෙනෙක් වගේම ඊට පිටස්තර ජීවත්වෙන බාඳුරාගොඩ ප්‍රදේශයේ තරුණයෙකුත් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. මේ අයට තියෙන චෝදනා වෙන්නෙ පහරදීම් සහ බිය ගැන්වීම්. මේ සියල්ල මෙහෙයවන්නෙ කවුද ඒ පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එක ඉතාම ඉක්මනින්ම හෙළිදරව් වෙනතුරු අපි ඉන්නෙ ඉතාම උනන්දුවෙන්.
ජිවන පහන් තිළිණ










