මෙන්න 10…
2024 අයවැය යෝජනා ඔබට බලපාන්නේ මොන විදියටද කියන එක ගැන ඔබ ගොඩක් අවධානයෙන් ඉන්න බව අපි දන්නවා. 2023 නොවැම්බර් මාසේ 13 වැනිදා මුදල් අමාත්‍යවරයා විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලංකාවේ 78 වැනි අයවැය ලේඛනය තමයි ඉදිරිපත් කරන්නේ.(Sri Lanka Latest News)
ඉතින් මේ අයවැය ලේඛනයේ ගොඩක් දේවල් කතා කළා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම, ගිග් ඉකොනොමි එකක් ගැන කතා කළා, ඩිජිටල් ඉකොනොමි එකක් ගැන, ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කතා කළා. ඒ වගේම අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ කොයි විදියටද කියන එක ගැනත් කතා කළා. ඉතින් මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය තුළින් බදුවලට එල්ල වන බලපෑම ගැනයි. මේ බදුවලට වෙච්ච බලපෑම ප්‍රධාන මාතෘකා 10ක් යටතේ කතා කරන්න අපි සූදානම්.
පළමු කාරණාව විදියට ගන්නේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය, එහෙමත් නැත්නම් Tax Identification Number (TIN). 2023 මැයි මාසේ 31 වැනිදා ආපු ගැසට් නිවේදනයට අනුව පුද්ගලයන් කණ්ඩායම් 14ක් නම්කරනවා අනිවාර්යයෙන්ම ටැක්ස් ෆයිල් ඕපන් කළ යුතු අය විදියට. ඒ විතරක් නෙවෙයි 2024 ජනවාරි පළමුවැනිදා ඉඳලා අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි හැමෝටම TIN එකක් තියෙන්න ඕනේ කියලා. මේ අයවැය ලේඛනයේ කියනවා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් තියෙනවා නම් ඒකෙ කොපියක් ඉදිරිපත් කළ යුතු අවස්ථා හතරක් ගැන.
ඒකෙ පළමු අවස්ථාව තමයි ජංගම ගිණුමක් විවෘත කරන අවස්ථාව. ඔබට වාණිජ බැංකුවකින් ජංගම ගිණුමක් විවෘත කරන්න අවශ්‍ය නම් එහිදී ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයේ පිටපතක් බැංකුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි ඔබ ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලනවා නම් ඒ අවස්ථාවේදීත් ඉල්ලුම්කරු විදියට ඔබ මේ TIN සහතිකයේ පිටපතක් ඉදිරිපත් කරන්න වෙනවා.
තුන්වැනි කාරණය තමයි ඔබ මෝටර් රථයක් මිලට ගන්නවා නම් හරි, මෝටර් රථයේ බලපත්‍රය අලුත් කරන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම TIN එකේ පිටපතක් ඉදිරිපත් කරන්න වෙනවා. හතරවැනි කාරණය තමයි ඉඩමක් හරි ඉඩමක හිමිකම ලියාපදිංචි කරන්න යනකොට ගැනුම්කරු විදියට ඔබ මේ TIN එකේ පිටපතක් දෙන්න වෙනවා. මේ අවස්ථා හතරේදීම ඔබ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් අරගෙන තියෙන්නම ඕනේ මේ වැඩ ටික කරගන්න නම්. මේක තමයි අයවැය යෝජනාවක් විදියට මෙවර ඉදිරිපත් වෙලා තියෙන්නේ.
අපි බලමු බදු සම්බන්ධයෙන් දෙවැනියට ඉදිරිපත් කරලා තියෙන යෝජනාව මොකක්ද කියලා. ඔබ යම් ආයතනයක සේවය කරනවා නම්, යම් අවස්ථාවල ඔබට ඒ ආයතනයෙන් හිඟ වැටුප් ලැබෙනවා. උදාහරණයක් විදියට ඔබේ රැකියාව යම් හේතුවක් නිසා තාවකාලිකව අත්හිටුවනවා. හැබැයි ඒ අත්හිටුවූ කාලයට අදාළ හිඟ වැටුප ඔබට ලැබෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔබ ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕනෙ. සමහර වෙලාවට අවුරුදු 10ක විතර හිඟ වැටුපක් ඔබට ලැබෙන අවස්ථාවක මේ අලුත් ටැක්ස් එක යටතේ විශාල මුදලක් ගෙවන්න සිදුවෙනවා. මෙන්න මේක සංශෝධනය කරන්න ඕනෙ කියන එක තමයි මේ යෝජනාවේ තියෙන්නේ.
වැට් බද්ද ගැන මේ අයවැයේදී සංශෝධන කිහිපයක් දක්වලා තියෙනවා. වැට් ඉන්වොයිස් එකේ ආකෘතිය නිශ්චිතව දැක්වීම සඳහා අවශ්‍ය සංශෝධන දක්වනවා කියලා. ඒ කියන්නේ ෆෝමැට් එක ඉදිරියේදී වෙනස් කරන්න පුළුවන්. එකතු කළ බදු පනතෙම දක්වලා තියෙනවා මොන වගේ දේවල්ද ඉන්වොයිස් එකේ තියෙන්න ඕනේ කියලා. ඒක සංශෝධන කරන එක ගැන තමයි මේ පළමු යෝජනාවේ තියෙන්නේ.
දෙවැනි කාරණාව විදියට තියෙන්නේ බදු ගෙවන්නන් සමාන කාලසීමාවන් හිදී බදු වාර්තා ගොනුකරන පරිදි බදු අයවන කාලසීමා කියන එක නිර්වචනය කරනවා කියලා. මෙතැනදී ගැටලුවක් මතුවෙනවා සමහර කෙනකුට වැට් රිටර්න් එක මාස්පතා වෙන්න පුළුවන්. තවත් කෙනකුට කාර්තුවකට වරක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ සම්බන්ධව නිශ්චිත නිර්වචනයක් දෙනවා කියන එක තමයි මේ යෝජනාවල තියෙන්නේ. ඒ වගේම තුන්වැනි යෝජනාව විදියට තියෙන්නේ එකතු කළ අගය මත බදු අනුපාතය ඉහළ නංවන්න.
දැනටමත් අපි දන්නවා 2024 ජනවාරි 01 වැනිදා ඉඳලා වැට් බදු අනුපාතය 18% දක්වා වැඩිකරනවා කියන එකට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. මෙවර අයවැය යෝජනාවලත් ඒක තහවුරු කරලා තියෙනවා. අවසාන වශයෙන් දක්වලා තියෙන්නේ මේ වැට් ඉන්වොයිස් ඉදිරිපත් කරනකොට පොයින්ට් ඔෆ් සේල්ස් කවුන්ටර්ස්වලින් මේ විදියට ඉන්වොයිස් නිකුත් කරන්න අවශ්‍ය පහසුකම් සපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි මේ යෝජනාවේ දක්වලා තියෙන්නේ.
වැට් සම්බන්ධව සංශෝධන කිහිපයක් තමයි මෙවර යෝජනා වෙලා තියෙන්නේ. මේ ටික ක්‍රියාත්මක වුණොත් තවදුරටත් වැට් සම්බන්ධ එකතු කිරීම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොඩක් පහසු වෙයි කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් බදු සම්බන්ධව උනන්දු වෙන ඔබට මේ තුන්වැනි යෝජනා ගොඩක් වැදගත් වේවි. දේශීය ආදායම් නිලධාරීන් ඇවිල්ලා ඔබේ ව්‍යාපාරික ස්ථානයේ යම් තොරතුරක් ඉල්ලනවා. ලිඛිත සාක්ෂි ගෙනල්ලා දෙන්න කියලා ඔබට කියනවා. මේ සඳහා ඔබට ලංකාව ඇතුළත නම් මාස 06ක්, රටින් පිට නම් මාස 09ක කාලයක් ඔබට ලැබෙනවා.
අපි මෙහෙම හිතුවොත්, ඔබ මේ සාක්ෂි දේශීය ආදායම් නිලධාරීන්ට දෙන්නේ නැතුව ඔබ කෙළින්ම ගිහින් බදු සම්බන්ධ අභියාචනා කොමිෂන් සභාවට ඉදිරිපත් කළොත් එහෙම දෙන එකේ බල රහිත කරලා තමයි මේ යෝජනාව තියෙන්නේ. තවත් විදියකට කියනවා නම්, ඔබෙන් දේශීය ආදායම් නිලධාරීන් බදු විගණනයකදී තොරතුරක් ඉල්ලුවොත් ඒ තොරතුර ඔබට දෙන්න වෙනවා. එහෙම නැත්නම් ටැක්ස් ඇපීල් කමිෂන් එකට ගිහිල්ලා මේ තොරතුර දෙන්න බෑ. ඒ නිසා මේකත් යෝජනාවක් විදියටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔබ බදු සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් මේ යෝජනාවත් ඔබට ගොඩක් වැදගත් වේවි. මේ දේ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වෙනවා ඇත්තේ දේශීය ආදායම් නිලධාරීන්ට මේ තොරතුරු ලබාගැනීමේ පහසුව වැඩිකරන එක.
හතර වැනි කාරණාවත් ඔබට ගොඩක් වැදගත් වේවි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙන්දේසියකදී ඔබ මැණිකක් විකිණුවොත්, ඒ සම්බන්ධ වාර්තාවක් ඔබ අනිවාර්යයෙන්ම ගොනුකරන්න ඕනේ. මේ යෝජනා එනකන්ම මෙහෙම වාර්තාවක අවශ්‍යතාවක් 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතේ තිබුණේ නෑ. එතැන තිබුණේ 2.5ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් අඩු කරන්න ඕනේ, එහෙම අඩු කළා නම් එය බද්දෙන් නිදහස් කියලා. දැන් තියෙන සංශෝධනය අනුව මේ නිදහස් වීම ගන්නවා නම් ඔබ මේකට අදාළ වාර්තාවක් භාරදෙන්න ඕනේ. ඉස්සර නම් මේ වගේ දෙයක් විකිණුවා නම් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලියුමක් ගේන එක ප්‍රමාණවත් වුණාට, දැන් ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔබ අනිවාර්යයෙන්ම වාර්තාවක් ගේනන ඕනෙ කියන එක මතක තියාගන්න.
ඔබ යුනිට් ට්‍රස්ට්වල එහෙම ආයෝජනය කරලා තියෙනවා නම් මේ පස්වැනි යෝජනාව බොහෝ වැදගත් වේවි. යුනිට් ට්‍රස්ට් එකේදී යුනිට් හෝල්ඩර්ස්ලා ඉන්නවා. මේකෙ සාමාන්‍ය නීතියට අනුව ඒකක භාර ආයෝජනය කරපු පුද්ගලයන් තමයි ටැක්ස් එක ගෙවන්න ඕනේ. හැබැයි මේ ටැක්ස් එක ගෙවන්න යුනිට් ට්‍රස්ට් එක අවශ්‍ය විස්තර ටික අදාළ යුනිට් ට්‍රස්ට් හෝල්ඩර්ට දෙන්න ඕනේ. මේක විධිමත් කරන්න තමයි මේ යෝජනාවේ තියෙන්නේ. මේ යෝජනාවට අනුව යුනිට් ට්‍රස්ට් එක මේ යුනිට් හෝල්ඩර්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරියේදී ගයිඩ් ලයින් එකක් දෙයි. ඒ අනුව යුනිට් ට්‍රස්ට් හෝල්ඩර්ගේ ආදායම්වලට ඇතැම් විට බදු ගෙවිය යුතුයි. සමහර ඒවාට ගෙවන්න ඕනෙ නෑ.
හයවැනි කාරණාව කිව්වාම ඔබ අනිවාර්යයෙන්ම බයවේවි. ඒක තමයි බදු වාර්තා භාර නොදෙන අයට නඩු පවරනවා කියන යෝජනාව. දැනටමත් පනතේ තියෙන වගන්ති යටතේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීම කරන්න පුළුවන් වුණත් වෙනම නඩු පැවරීම සඳහා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපරාධ නඩු පැත්තට යන්නේ නැතුව සාමාන්‍ය නඩුවක් පවරන්න පුළුවන් විදියට මේ නීති හැදෙන්න තමයි යන්නේ. ඒ නිසා ඔබ බදු වාර්තා හරියට භාරදෙන එක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්කම තියෙනවා.
ඔබ බදු සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් නම් මේ හත්වැනි යෝජනාව ඔබට බොහෝ වැදගත් වෙනවා. මේ යෝජනාවේ යම් යම් අපැහැදිලි තැන් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, 2017 අංක 24 දරන පනතේ 18 වැනි වගන්තිය. ඒකෙ කියන්නේ ‘තින් කැපිටලයිසේෂන්’ කියලා. ඒකෙදී වෙන්නේ පොලිය අඩුකරන කොට තියෙනවා යම් යම් සීමාවන්. මේ සීමාවන් සම්බන්ධ පැහැදිලි කිරීම් තවදුරටත් වැඩිකරන්න ඕනෙ කියලා මේ යෝජනාවේ තියෙනවා. ඒ වගේම 67 වැනි වගන්තියේ තියෙන්නේ ඉන්ෂුවරන්ස් බිස්නස් ගැන. ඒකෙදීත් යම් යම් පැහැදිලි ලබාදීමට අවශ්‍යයි කියලා සඳහන් වෙනවා. 163 තියෙන්නේ කෝට් ප්‍රොසීඩින්ග්ස්. ඒ කියන්නේ ඔබට නීතිමය ගැටලු තිබුණොත් යම් පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ කියලා තමයි මේ යෝජනාවේ තියෙන්නේ.
මේ යෝජනා තුනම ගැන එක එක්කෙනාට විවිධ තර්ක කිරීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනස් වෙනස් විදියට අර්ථ දක්වන්න පුළුවන්. ඒ නිසාම මේකෙ සංශෝධනයක් කරන්න ඕනෙ කියලා තමයි මේ යෝජනාවේ දක්වලා තියෙන්නේ.
අපේ රටේ ආදායම් එකතු වෙන ආයතන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගේම සුරාබදු දෙපාර්තමේන්තුවටත් විශේෂ තැනක් හිමිවෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙවර අයවැයේ යෝජනා ගණනාවක් තියෙනවා. අටවැනි කාරණාව විදියට අපි කතාකරන්න යන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ යෝජනා ගැනයි. පළමු යෝජනාව තමයි, ඔබ මත්පැන් අලෙවිය සඳහා බලපත්‍රයක් ලබාගන්න නම් දැන් තියෙන ක්‍රමවේදයට අනුව දීර්ඝ වැඩපිළිවෙළක් තියෙනවා. විවිධ ලේඛන අරගෙන ඉදිරිපත් කරන්න ඕනේ. විවිධ තැන්වලට යන්න ඕනේ. ඒ නිසා එම ක්‍රියාවලිය ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට කරන්න තමයි මේ පළමු යෝජනාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් මුද්‍රණය කිරීමේදී යම් වංචාවන් සිදුවෙන්න ඉඩ තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කරන්නත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණා 8ක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඒකෙ පළමු කාරණාව තමයි විවිධ වර්ගයේ බලපත්‍ර සඳහා අදාළ වන මාර්ගෝපද රීතීන් විධිමත් කිරීම. ඒ වගේම නිෂ්පාදන තොග සහ සිල්ලර බලපත්‍ර සඳහා වෙන වෙනම බලපත්‍ර කොන්දේසි සහ අවශ්‍යතා හඳුන්වා දීම. ඒ වගේම සුරාහල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාහල් අථාර්කික ලෙස පැතිර පැවැතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කිරීම.
ඒ විතරක් නෙවෙයි, නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යවත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වා දීම කියලා යෝජනාවකුත් තියෙනවා. සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ නියමයන් සංශෝධනය කිරීම, මෘදු මත්පැන් බලපත්‍ර සඳහා නිසි ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, කර්මාන්තය තුළ විනයානුකූලභාවය හැකි ඉහළම මට්ටමින් පවත්වාගෙන යාම, සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නිර්මාණ සහ අධීක්ෂණ අංශයක් සහ අවදානම් කළමනාකරණ අංශයක් පිහිටුවීම, මූලික පරිපාලන කාර්යයන්ට අදාළව ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) හඳුන්වා දීමටත් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව විධිමත් කරන්න ඉහත යෝජනාවලට අමතරව තවත් යෝජනා කිහිපයක් දක්වලා තියෙනවා. ඒවා තමයි, නීති විරෛා්ධී රා කර්මාන්තය අධෛර්යවත් කරමින් රජයට වැඩි ආදායමක් ලබාගත හැකි වන පරිදි රා ටෙන්ඩර් ක්‍රමය සංශෝධනය කිරීම, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා පරිපාලන ගාස්තුවක් හඳුන්වා දීම කියන කාරණා.
මීට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා කිහිපයකුත් තියෙනවා. ඒවත් ඔබට වැදගත් වේවි.
- දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන රා සහ සියලු ආකාරයේ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ගුණාත්මකභාවය පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ හඳුන්වාදීම.
- බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම.
- විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නව මත්පැන් නිෂ්පාදන සඳහා වන ආයෝජන දිරිගැන්වීම.
- තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම.
- සුරාබදු ආදායම් කළමනාකරණයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ නාස්තිය සහ දූෂණ අවදානම අවම කිරීමට, 2024 ඔක්තෝබර් මස අවසානය වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා වන ආදායම් පරිපාලන පද්ධතිය (RASED) හඳුන්වා දීම.
- මත්පැන් කර්මාන්තයෙහි පර්යේෂණ සහ සංවර්ධන, නිෂ්පාදන නව්‍යකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, අපනයන දිශානතිය සහ ආනයන ආදේශනය දිරිගැන්වීම.
- බීඩි කර්මාන්තය බීඩි කර්මාන්තයේ බදු එකතු කිරීම සහ බලාත්මක කිරීම ශක්තිමත් කිරීම.
ඔබට පේනවා ඇති ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයිති බීඩී, රා, දේශීය විදේශීය මත්පැන් කියන හැම නිෂ්පාදනයක්ම වඩාත් හොඳින් පරිපාලනය කිරීම අරමුණු කරපු යෝජනා කිහිපයක් තමයි මෙවර අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒ වගේම අවසාන යෝජනාව විදියට තියෙන්නේ රේගු දෙපාර්තමේන්තුවේ මූලික පරිපාලන කාර්යයන්ට අදාළව ප්‍රධාන පරිසාධන දර්ශක (KPI) හඳුන්වා දීමටත් යෝජනා කරලා තියෙනවා. 10 වැනි යෝජනාව විදියට රේගු දෙපාර්තමේන්තුව තවදුරටත් සංවිධානය කරන්න, තවදුරටත් ක්‍රමානුකූලව හදන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා.
ඉතින් මේ හැම යෝජනාවකින්ම උත්සාහ කරලා තියෙන්නේ අදාළ අංශ විධිමත් කරන්න කියන එක ඔබට පේනවා ඇති.
හැබැයි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේවා අයවැය යෝජනා විතරයි. අයවැය යෝජනා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ මේක මේ විදියටම ක්‍රියාත්මක වෙනවා කියලා. මේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ. ඊට පස්සේ මේක පනතක් විදියට ඇවිල්ලා ඊට පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවා ක්‍රියාත්මක වෙන දිනයන් ටික අයවැය යෝජනාවල දක්වා තියෙනවා. එහෙම වුණත් හරියටම පනතක් විදියට ආවට පස්සේ තමයි මේකෙ බලපෑම ඔබට හොයාගන්න පුළුවන් වෙන්නේ.
Tax Advisor යූටියුබ් නාලිකාවට වරලත් බදු උපදේශක විරාජ් හේනේගෙදර මහතා ඉදිරිපත් කළ වීඩියෝවකින් උපුටා ගන්නා ලද්දකි










