අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ලබාදුන් නඩු තීන්දුව සමපූර්ණයෙන් පහත පළවේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදීය
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මැතිතුමා ඉදිරිපිටදීය
නඩු අංකය : බී.80303/01/22
දිනය : 2023.01.31
නියෝගය
මෙම නඩුවේ පළමු සැකකරු වන මුදලිගේ වසන්ත කුමාර මුදලිගේ යන අය 2022/08/21 වන දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9 (1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන) පනතේ 2(1) (අ), (ඇ), (ඉ), (ඌ), (එ), 3(අ), (ආ) වගන්ති යටතේ වන වරදවල් අනාවරණය වී ඇති බවට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතාගේ 2022/11/17 දිනැති බී වාර්තාවක් සමග එදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අංක 8 අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්තුමිය විසින් බන්ධනාගාරගත කර ඇත.
ඉන් අනතුරුව 2022/11/23 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ අධිනීතිඥවරුන් දෙවැනි සැකකරුව අත්අඩංගුවෙන් මුදාහැරීමට නීතිපතිතුමා එකඟ බවට දැන්වීමෙන් අනතුරුව දෙවැනි සැකකාර හිමි ඇප මත මුදාහැර ඇත. 2022/12/12 වැනි දින පළමු සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දෙවැනි සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ නොවන බවට කරුණු දැක්වීමට දින ලබාගැනීමෙන් පසු ඒ සඳහා 2022/12/13 වැනි දිනට නියම කර ඇත.
2022/12/13 වැනි දින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සැලකිරීම් ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ රිමාන්ඩ් භාරයට පත්කළ යුතු වන්නේ එම පනත යටතේ නිශ්චිත වරදක් අනාවරණ වී ඇති අවස්ථාවකදී පමණක් බවත්, මෙම අවස්ථාවේදී නිශ්චිත වරද ඉදිරිපත් කිරීමේ වගකීම පැමිණිල්ල සතුවන බවත්, මුල් බී වාර්තාව මගින් පනතේ 2,3,5 වගන්ති යටතේ වන වරදවල් අනාවරණ වී නොමැති බවත්, ඒ අනුව පනතේ 7(2) වගන්තිය අනුව කටයුතු කිරීම සඳහා අධිකරණය සෑහීමකට පත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පුද්ගලයන්ගේ නිදහස සීමාකරනු ලබන සුවිශේෂ පනතක් වන බැවින් පුද්ගලයන්ගේ නිදහස සීමාකරන පනතක් අර්ථ නිරූපණය කළයුත්තේ ඉතා ප්‍රවේශමෙන් බවත්, පුද්ගලයන්ගේ නිදහස ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතු වන බවත් මෙම මුල් බී වාර්තාව මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ නිශ්චිත වරදක් අනාවරණය නොවන හේතුව මත 7(2) වගන්තිය යටතේ කටයුතු කිරීමට ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ බලයක් ඇති බවත් 7(2) වගන්තිය යටතේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් නොකරන ලෙසත් පළමු වැනි සැකකරු සම්බන්ධයෙන් 7(2) වගන්තිය යටතේ කටයුතු නොකර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පිළිතුරු සැලකිරීම් ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දක්වා සිටියේ ස්ථානයන් කීපයක් ආශ්‍රිතව සිදුකරන ලද විරෝධතාවයන්වලදී කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2 සහ 3 වගන්ති යටතේ වරදවල් අනාවරණය වී ඇති බවත්, විමර්ශන කටයුතුවලින් 60%ක ප්‍රමාණයක් අවසන් වී ඇති බවත්, 40%ක ප්‍රමාණයක් සිදුකිරීමට ඉතිරිව ඇති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සරලව කිරීමට අපහසු බවත්, විශාල මූල්‍ය බලයක් සංසරණය වී ඇති බවයි.
ඉන් අනතුරුව 2023/01/17 දිනට මෙම නඩුව කැඳවීම සඳහා නියම කිරීමෙන් පසු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර අංක 08 අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ මෙම නඩු කටයුත්ත තවදුරටත් පවත්වාගෙන යෑම සුදුසු නොවන බවට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලීමක් සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් ඒ සඳහා විරෝධතාව පළකර තිබුණද අතිරේක මහෙස්ත්‍රාත්තුමිය විසින් මම නඩු කටයුත්ත මා වෙත යොමුකරන ලදී. ඉන් අනතුරුව දෙපාර්ශ්වයම මින් ඉදිරියට මෙම නඩුව මා ඉදිරියේ කැඳවීමට එකඟතාව පළකළ බැවින් මා ඉදිරියේ ඉදිරි කටයුතු සිදුකිරීමට තීරණය කරන ලදී. ඒ අනුව පළමුවන සැකකරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම ලිඛිත දේශන ගොනුකිරීම සඳහා 2023/01/24 දිනටත්, නියෝගය සඳහා 2023/01/31 දිනටත් නියම කරන ලදී.
ඒ අනුව දෙපාර්ශ්වය විසින්ම කාර්යාලයට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලදී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කරමින් ඒ මගින් පහත සඳහන් කරුණු අධිකරණය වෙත සැලකර ඇති අතර මෙම පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2(1) (අ), (ඇ), (ඉ), (ඌ), (එ) සහ 3(අ), (ආ) යටතේ වන වැරැදි එකක් හෝ කිහිපයක් සිදුකර ඇති බව බැලූ බැල්මට පෙනෙන බවත් පළමු සැකකරු අත්අඩංගුවට ගනු ලැබූයේ එක් සිද්ධියක් සඳහා පමණක් නොව සිද්ධීන් 7කට අදාළව දේශීය හා ජාත්‍යන්තර කණ්ඩායම්වලින් ආධාර ලැබී රට අස්ථාවර අරාජික තත්ත්වයකට පත්කර තමුන්ට සිතැඟි පිරිස් පාලනයට ගෙන ඒමට සැකකරු කටයුතු කළේ දැයි විමර්ශනය කරන බව දැනුම් දෙන බවත් පළමු සැකකරුගේ කණ්ඩායමේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනාධිපතිවරයා පවා රටින් පලාගිය බවත් ආරක්ෂක නිලධාරීන්ද බියගන්වා රාජ්‍ය දේපළ අත්පත් කරගෙන ඒවාට අනර්ථය සිදුකර ත්‍රස්තවාදී කටයුතු සිදුකර ඇති බවත් පළමු සැකකරු විරෝධතා ව්‍යාපාර සඳහා පුද්ගලයන් ගෙන ඒම සඳහා ගැමුණු විජේරත්න නමැති සාක්ෂිකරුට මුදල් අවශ්‍ය තරම් ගෙවිය හැකි බවත් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා ලබාදෙන ලෙස දැන්වූ බවත් සහකාර පොලිස් අධිකාරිවරයකුට ‘උඹ දැනගනිං, උඹ මම හොඳට දන්නවා, උඹට වැඩි කාලයක් ඉන්න දෙන්නෙ නෑ, උඹලගෙ පවුලේ අයගෙනුත් එක්ක මේ පළිය ගන්නේ, පරිස්සමෙන් හිටපන්, උඹේ ළමයින්ටත් කියපන් පාරේ යනකොට පරිස්සමින් යන්න කියලා, කකුල් කඩනවා’ යනුවෙන් තර්ජනය කර ඇති බවත් විශ්වවිiාල ශිෂ්‍යයකු වන පළමු සැකකරු ඒ ආකාරයෙන් නීතිය හා සාමය ආරක්ෂ කරන නිලධාරීන්ට තර්ජනය කිරීම කෙතරම් බරපතළ තත්ත්වයක්ද යන්න වටහාගත හැකි බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිශ්චිත පුද්ගලයකුට සාපරාධී බියගැන්වීමක් සිදුකිරීම බරපතළ තත්ත්වයක්ද යන්න වටහාගත හැකි බවත් එය පැහැදිලිවම වරදක් වන බවත් මරණ තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් ‘මෝටිවේෂන් අප්පච්චි’ යනුවෙන් ප්‍රචලිත සාක්ෂිකරුද පළමු සැකකරුගේ මූලිකත්වයෙන් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට තමා එකඟ නොවීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් වූ බවත් පළමු සැකකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම් නිෂ්ප්‍රභ කරන ලෙසයි.
පළමු සැකකරු වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරිපත් කරමින් පළමු සැකකරු සම්බනධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ වීමට තරම් කරුණු නොමැති බවත් ඒ අනුව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් දැනටමත් සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරා ඇති බවත් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම බරපතළ නීති විරෝධී නිදහස සීමාකිරීමක් වන අතර එය පනත අවභාවිත කිරීමක් වන බවත් අවස්ථානුගත කරුණු යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර පළමු සැකකරුට ඇප නියම කරන ලෙසයි.
ඒ අනුව මේ අවස්ථාවේදී මා විසින් තීරණය කළයුතු වන්නේ මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ වන්නේද යන්න එනම් පළමු සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත දක්වා ඇති වැරැදි සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් කරුණු උද්ගතව තිබේද යන්නයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සම්මත කරගත් විශේෂ පනතක් වන අතර සාමාන්‍ය නීතියෙහි ඇති වැරැදි සඳහා දැඩි දඬුවම් දීම සහ ත්‍රස්තවාදීන්ට අදාළ වැරැදිවලදී සාමාන්‍ය විමර්ශන ක්‍රියාවලියෙන් වෙනස්, විශේෂිත විමර්ශන ක්‍රියාවලියක් හඳුන්වාදීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හඳුන්වා දීමේ අරමුණ වී ඇත.
මුලින්ම මා විසින් සලකා බලනු ලබන්නේ ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හඳුන්වා දීමේ අරමුණ, එය හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකය බලාපොරොත්තු වූ කරුණු, එම පනත කුමන අවස්ථාවල කුමන පුද්ගලයන්ට අදාළ කරගත යුතුද යන්න පිළිබඳවයි. ත්‍රස්තවාදය යන්නට ලබාදී ඇති අර්ථ නිරූපණයන්ද සමග සසඳා බලමින් පළමු සැකකරුට එරෙහිව මෙතෙක් ඉදිරිපත්ව ඇති කරුණු අනුව පළමු සැකකරු සම්බනධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ කරගත හැකිද යන්න පිළිබඳ මෙම නියෝගයේදී සලකා බැලිය යුතුව ඇත.
මෙම පළමු සැකකරු 2022/11/17 වැනි දින සිට රිමාන්ඩ් භාරයේ සිටින අතර ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සාක්ෂිකරුවන් 150 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව දන්වා තිබුණද සාක්ෂිකරුවන් හතළිස් එක්දෙනකුගේ ප්‍රකාශ ඇතුළත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක්ද 2023/01/17 වැනි දින ගොනුකර ඇත.
ඒ අනුව සැකකරු යම් වරදක් සිදුකරන ලද්දේ නම් එම කරන ලද වරද විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතට වැටෙන්නේද යන්න තීරණය කිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතට විශේෂයෙන් වැටෙන වැරදි මොනවාදැයි තීරණය කළ යුතුව ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදියා යන්න අර්ථ නිරූපණය කර නොමැති වීමයි. පනතේ පළමු කොටසේ ඇති සියලු වරදවල් සාමාන්‍ය නීතිය යටතේ වරදවල් වන අතර එම යම් වරදක් සාමාන්‍ය පුද්ගලයකු විසින් සිදුකළ විට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ චෝදනා නගන්නේ කුමන නිර්ණායක මතද යන්න කිසිදු ස්ථානයක සඳහන් නොවන අතර ත්‍රස්තවාදියා සහ ත්‍රස්තවාදී ක්‍රියාව යන්න මෙරටදී අර්ථ නිරූපණය කරමින් ලබාදෙන ලද නඩු තීන්දුවක්ද සොයාගැනීම අපහසු වී ඇත.
ඒ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදනයන්ද නිහඬ බව පෙනීයයි. ඒ අනුව කුමන පුද්ගලයකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන වැරැදි අදාළ වන්නේද යන්න තීරණය කිරීමේදී මෙරට නීතියේ කිසියම් ස්ථානයක ත්‍රස්තවාදය යන්න අර්ථ නිරූපණය කර ඇති ආකාරය සහ පනත පැනවීමේ අරමුණ ආදී සියල්ල සලකා බලා තීරණය කළ යුතු වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පළමු කොටසේ දක්වා ඇති වැරැදි සාමාන්‍ය නීතිය යටතේ වැරැදි බව පෙනීයන අතර ඒවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් වන අතර ඒ සඳහා වූ විශේෂ නීතියක් පනවනු ලැබූයේ කවර අරමුණකින්ද යන්න සලකා බැලිය යුතුව ඇත. ඒ අනුව පනත පැනවීමේදී ව්‍යවස්ථාදායකයේ තිබූ අරමුණ සලකා බැලීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 1979/07/19 වැනි දින හැන්සාඩ් වාර්තාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට අධිකරණ අමාත්‍යවරයා වූ කේ.ඩබ්ලිව්. දේවනායගම් මහතා විසින් පනත ගෙන ඒමේ අරමුණ පහත ආකාරයට විස්තර කර ඇත.
‘but in general it is a crime against society because, whatever may be the motive, one thing is common, they violate all laws of God and man.
Their prime motive is to terrorize people with personal injury of threat of fear of death to achieve their objective. This has been identified for some time in the Northern Peninsula and investigations have proved that there is an organization behind these activities’
තවදුරටත් එම හැන්සාඩ් වාර්තාවේ 1439 වැනි පිටුවේ පහත පරිදි දක්වා ඇත.
‘Provisions of the Bill, it is in nine Parts. Part 1 of the Bill deals with offences which are not new to the laws of this country. They are offences that already exist in the law. But under the special circumstances in which we are dealing with terrorists and the attendant consequences, this comes within the ambit of the special law where the punishment is enhanced.’
ඒ අනුව එහි පැහැදිලිව දක්වා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ (i) කොටසේ දැක්වෙන වැරැදි දැනටමත් පවතින නීතිය අනුව වැරැදි බවත්, ඒවා ත්‍රස්තවාදීන් විසින් සිදුකළ විට ඒ වැරැදි සඳහා වන දඬුවම් වැඩි කිරීම සඳහා මෙම විශේෂිත පනත ගෙන එන ලද බවත්ය.
තවදුරටත් අධිකරණය අමාත්‍යවරයා පනත හඳුන්වා දීමේදී පනතේ (ii) සහ (iii) කොටස් හඳුන්වා දීම සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට විස්තර කරන අතර, එහිදී පැහැදිලිව විස්තර කර ඇත්තේ, ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන අපරාධවල ස්වභාවය අනුව ඒවා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සාමාන්‍ය නඩු කාර්ය පටිපාටිය ප්‍රමාණවත් නොවන බැවින් විමර්ශන නිලධාරීන්ට සුවිශේෂ බලතල ලබාදෙමින් මෙම පනත හඳුන්වා දෙන බවයි.
එසේම මෙම පනත, ඒ වන විට වර්ධනය වෙමින් තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ගෙන එනු ලැබූ පනතක් බව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. ඒ අනුව ඒ අවස්ථාව වන විට පනත යොදාගත යුත්තේ කවරකුට එරෙහිවද යන්න ඉතා පැහැදිලිය.
මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ එවක විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් මෙම පනත මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවීම සම්බන්ධයෙන් විරුද්ධ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු විවාදයේදී කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම පනත යාපනය දිස්ත්‍රික්කයට පමණක් සීමා කරන ලෙසත්, එය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම බලපාන පරිදි පැනවුවහොත් එම පනත අහිංසක පුද්ගලයන්ට එරෙහිව යොදාගත හැකි බවත් ඒ අනුව පනතේ තිබෙන දැඩි වගන්තීන් එලෙස සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව යොදාගැනීම තුළින් එම පුද්ගලයන්ගේ නිදහස සීමාවිය හැකි බවත්ය.
යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ තනි පුද්ගලයකුට එරෙහිව මෙම පනත යොදාගැනීම සම්බන්ධයෙන් පනත නිශ්චිතව දක්වා නොමැති බැවින් ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදියා යන්න පනතේ නිශ්චිතව අර්ථ නිරූපණය කර නොමැති බැවින්ද එක් එක් පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම පනත අන්තනෝමතික ලෙස පොලිසි විසින් සමහර අවස්ථාවන්හිදී යොදාගන්නා බව පෙනීයයි. විශේෂයෙන්ම තමාට දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරයේ තැබිය යුතු පුද්ගලයන්ට මෙම පනත යටතේ ඉදිරිපත් කිරීමෙන් එම තැනැත්තාට නඩු විභාගය අවසන් වනතුරු ඇප ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාකිරීම මෙහිදී සමහර විමර්ශකයන් චේතනාන්විතව සිදුකරන බවද පෙනීයයි. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් තාවකාලිකව තහනම් කරන ලද සංවිධානයක් ලෙස නම්කරනු නොලැබූ පුද්ගලයන්ට එරෙහිව මෙම පනත යොදාගැනීමේදී කුමන නිර්ණායකයන් මත කටයුතු කළ යුතු වන්නේද යන්න සලකා බැලීමේදී එය පනත ගෙන ඒමේ අරමුණ අනුව සිදුකළ යුතු බව මනාව පැහැදිලි වේ.
ත්‍රස්තවාදය යන්නට මෙරදී හඳුනාගත හැකි එකම අර්ථ නිරූපණය 2019/04/22 දින මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද 2019 අංක 1 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) දැක්වෙන නියෝගයෙහි හඳුනාගත හැක. එහි,
‘ත්‍රස්තවාදය’ යන්නෙන්
(i) ජනගහනයක් බියගැන්වීමේ අරමුණ ඇතිව,
(ii) යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවi ලෙස හෝ නීති විරෝධී ලෙස පෙලඹවීමේ අරමුණෙන් යුතුව
(iii) එවැනි යම් ආණ්ඩුවක් ක්‍රියා කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව හෝ
(iv) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරී බවට හානි සිදුකිරීමේ අරමුණින් යුතුව’
(…………… සිදුකරනු ලබන වැරැදි එහි දක්වා ඇත.)
ඒ අනුව ත්‍රස්තවාදය යන්න ගැසට් නිවේදනය මගින් පැහැදිලි වන අතර ඉන් පරිබාහිර කිසිදු අවස්ථාවක මෙරට අර්ථ නිරූපණය අනුව ත්‍රස්තවාදය යන්න අර්ථ නිරූපණය කිරීමේ හැකියාවක් නොමැත. ඒ අනුව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පළමු කොටසේ දක්වා ඇති වැරැදි සිදුකිරීම සම්බන්ධයෙන් එම පනත අදාළ කරගත හැකි වන්නේ ත්‍රස්තවාදී අරමුණකින් යුතුව එම කොටසේ දැක්වෙන වැරැදි සිදුකළහොත් පමණි.
ඒ අනුව මෙම අවස්ථාවේදී මෙම පළමු සැකකරු ත්‍රස්තවාදී හිතවාදී අරමුණකින් යුතුව මෙම ක්‍රියාවන් සිදුකළ බවට හෝ පනත පැනවීමේ අරමුණෙහි සඳහන් ආකාරයට ත්‍රස්තවාදී ක්‍රියාවක නිරතවූ බවට හෝ කරුණු ඉදිරිපත් වී ඇද්ද යන්න පිළිබඳ සලකා බැලීමේදී මුල් B වාර්තාව, වැඩිදුර වාර්තා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව ඇතුළු වාර්තාවල සඳහන් ප්‍රකාශවලින් ත්‍රස්තවාදී අරමුණකින් මෙම පළමු සැකකරු කටයුතු කළ බවට පෙන්වීම සඳහා විමර්ශන නිලධාරීන් පුද්ගලයන් දෙදෙනකුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විශ්වාසය තබන බව පෙනීයන අතර ඒවා නම් ‘මෝටිවේෂන් අප්පච්චි’ නමැති අයකුගේ ප්‍රකාශයකින් අරගලය සාමකාමී වූ බවත්, පසුකාලීනව අරගලය ප්‍රචණ්ඩත්වයට පත්වූ බවත් සහ ගැමුණු විජේරත්න නමැති අයකුගේ ප්‍රකාශයකින් විදේශීය ත්‍රස්ත සංවිධානවලින් මුදල් ලැබෙන බව ප්‍රකාශ කිරීමත් වේ. ඒ අනුව එම ප්‍රකාශ තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පළමු සැකකරුට අදාළ වන්නේද යන්න සලකා බලමි.
දැනට මාස ගණනාවක සිට මෙම පළමු සැකකරු රඳවා තබාගනිමින් කරන ලද කිසිදු විමර්ශනයකදී එවැනි කිසිදු ත්‍රස්ත සංවිධානයකින් හෝ විදේශ සංවිධානයකින් ඔවුන්ට මුදල් ලැබුණු බවට කිසිදු කරුණක් අනාවරණ කරගෙන නොමැති අතර, එය ගැමුණු විජේරත්න නමැති අයගේ කිසිදු පදනමකින් තොර විමර්ශනයේදී මේ දක්වාම අනාවරණ නොවූ හා අනාවරණ කර නොගත් හුදු ප්‍රකාශයක්ම පමණක් වේ.
පළමු සැකකරු කලහකාරී සිද්ධීන්ට ක්‍රියාකාරීව සහභාගි වෙමින් එකී පහරදීමේ ක්‍රියාවන්ට, තර්ජනය කිරීමේ ක්‍රියාවන්හි නියැළුණු බවට කිසිදු කරුණක් මෙම ඉදිරිපත් වී ඇති එකම වැඩිදුර වාර්තාවක හෝ පිළිගත හැකි අයුරින් ඉදිරිපත් වී නොමැති බව පෙනීයයි. මෙම පළමු සැකකරු නායකත්වය ලබාදුන් අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුකාලීනව අරගලයට සම්බන්ධ වූ බවටත් අරගලය පසුකාලීනව ප්‍රචණ්ඩ වූ බවටත් මෝටිවේෂන් අප්පච්චි නමැති අය ප්‍රකාශ කළද අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට හෝ මෙම පළමු සැකකරු ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට හෝ අන් අයට ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ලෙස පළමු සැකකරු අණ කළ බවට හෝ ඔහු විසින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට උපදෙස් දෙමින් කටයුතු කළ බවට හෝ මෙම මෝටිවේෂන් අප්පච්චි නමැති අය ප්‍රකාශ කර නොමැති බව පෙනීයයි.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ එකී පනත පැනවීමේදී අරමුණු කරනු ලැබූ ත්‍රස්තවාදියකු යන්නට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් යන්නට අර්ථ නිරූපණය කිරීම සඳහා කරුණු මේ දක්වා ඉදිරිපත්වී නොමැති බව පෙනීයයි.
මීළඟට මා විසින් සලකා බලනු ලබන්නේ මෙම වාර්තා මගින් ඉදිරිපත් කර ඇති පනතේ දෙවැනි වගන්තියේ සහ තුන්වැනි වගන්තියේ සඳහන් වරදවල් සිදුකළ බවට, එනම් නඩු පැවරීමක් සිදුකිරීම සඳහා වන සාක්ෂි අනාවරණ කරගෙන තියේද යන්නයි. මුල් බී වාර්තාව සලකා බැලීමේදී එහි කිසිදු සාක්ෂි සම්පිණ්ඩනයක් අන්තර්ගත නොවන අතර විරෝධතාවන් 6ක් පිළිබඳ සංක්ෂිප්තයක් දක්වා ඇති අතර ඒවායින් කුමන අයෙකුට කුමන ආකාරයට අදාළ වරදවල් සිදුවූයේද යන්න පිළිබඳ කිසිදු කරුණක් අනාවරණ නොවන ඉතා අසම්පූර්ණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 115 වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූල නොවන අයුරින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් බව පෙනී යයි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2023/01/17 වැනි දින ඉදිරිපත් කරන ලද සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් එකී වරදවල් සම්බන්ධයෙන් මා වෙත කරුණු ඉදිරිපත් වී ඇද්ද යන්නයි.
මූලික වශයෙන්ම මෙම සැකකරු විසින් සිදුකරන ලද බවට සැකකරමින් ඉදිරිපත් කර ඇති 2(1) (අ) වගන්තිය යටතේ වන වරද පිළිබඳ සලකා බැලීමේදී එම වගන්තියේ දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණීය දණ්ඩනයෙන් හෝ අවුරුදු 7කට අඩු කාලයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ දඬුවම් කළ හැකි ක්‍රියාවක් වන යම් නිශ්චිත තැනැත්තකුගේ මරණය සිදුකරන්නා වූ නිශ්චිත තැනැත්තකු අපහරණයට කරන නැතහොත් පැහැරගෙන යන්නා වූ වෙනත් යම් පහරදීමක් හෝ එවැනි යම් තැනැත්තකුට සිදුකරන්නා වූ වරදවල් ලෙසයි. මෙහිදී නිශ්චිත තැනැත්තා යන්නෙන් පනතේ අර්ථ නිරූපණ වගන්තිය මගින් අර්ථ නිරූපණය කර ඇති අතර එහිදී නිශ්චිත තැනැත්තා වන්නේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මුල් අවස්ථා අධිකරණයන්හි විනිසුරුවරුන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්, පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන සභිකයන්, ජනාධිපති කොමිෂන් සභා සාමාජිකයන්, ජූරි සභිකයන්, අධිකරණ නිලධරයන්, සන්නද්ධ පොලිස් හමුදා මහජන සාමය පවත්වාගෙන යෑමට සිටින හමුදාවල අයවලුන් අදහස් කරනු ලබන අතර එවැනි තැනැත්තන් මරණය සිදුකිරීමක් හෝ ඔවුන් අපහරණය කිරීමක් කළ බව වේ.
මේ පිළිබඳ සලකා බැලීමේදී ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් පසෙකට ඇදගෙන යෑමක් පිළිබඳ පො.සැ. 32142 හේවාගමගේ සෙවිරත්න නැමැති නිලධාරියා ප්‍රකාශ කර ඇති බව 2023/01/17 වැනි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව ඉදිරිපත් කර ඇත. එවැනි ක්‍රියාවක් සිදුව තිබුණා නම් එය පනතේ 2(1) (අ) වගන්තිය යටතේ නිශ්චිත පුද්ගලයකුව අපහරණය කිරීමක් වන අතර එය 2(1) (අ) වගන්තිය යටතේ වරදවල් බවට පත්වෙයි.
ඒ අනුව එම නිලධාරියාගේ මෙම ප්‍රකාශය මා සලකා බලමි. 2023/01/17 වැනි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ ඉදිරිපත් කර ඇති එම නිලධාරියාගේ ප්‍රකාශයේ දක්වා ඇත්තේ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියකු එම ස්ථානයෙන් පසෙකට ඇදගෙන යනු ලැබුවේ වසන්ත මුදලිගේ ඇතුළු පිරිස විසින් බව තමා හඳුනාගත් බවත්, එය ඔහු රාත්‍රී පුවත් නරඹන විට හඳුනාගත් බවයි. මෙම නිලධාරියාම එම සිද්ධියට අදාළව තලංගම පොලිස් ස්ථානය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවකට අදාළව එනම් A4දරන සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නඩු වාර්තාවේ ප්‍රකාශ කර ඇත්තේ වසන්ත මුදලිගේ නමැති අය එම ස්ථානයේ සිටි බවට පමණක් වන අතර ඔහු එවැනි පොලිස් නිලධාරීන් ඇදගෙන යෑමේ ක්‍රියාවකට සහභාගි වූ බවට ප්‍රකාශ කර නොමැත.
මෙම පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (අ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට එම ස්ථානයේ සිටි කිසිදු සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් සමගින් අනාවරණය නොවන අතර මෙවැනි විරෝධතාවන් පවතින අවස්ථාවේදී ඉතා විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිටින ස්ථානයක එවැන්නක් සිදුවීම වෙනත් කිසිදු නිලධාරියකු දැක ඒ පිළිබඳ ප්‍රකාශ කර නොමැති බව පෙනීයන අතර එවැනි ඇදගෙන යෑමට ලක්වූ කිසිදු නිලධාරියකු තමා එවැනි ඇදගෙන යෑමට ලක්වූ බවට ලබාදෙන ලද ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කර නොමැති බව පෙනීයයි. තවද කිසිදු රූපවාහිනී හෝ සමාජ මාධ්‍යයක හෝ පළමු සැකකරු එවැනි පොලිස් නිලධාරියකු ඇදගෙන යෑමේ ක්‍රියාවකට සහභාගි වන බවට වන දර්ශනයක් ඇති බවට වන කිසිදු දර්ශනයක්ද ඉදිරිපත් කර නොමැත. ඒ අනුව මෙම පොලිස් සැරයන්වරයාගේ ප්‍රකාශය 2022/06/16 වන දින වන විටම සටහන් කර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශය ලබාදීමට ප්‍රථම ඔහු මුල් අවස්ථාවේදීම ලබාදෙන ලද ප්‍රකාශයට වඩා එකිනෙකට වෙනස් පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට හැඟෙන අයුරින් මෙම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දෙන ලද ප්‍රකාශය සටහන් කර ඇති බව පෙනීයයි.
ඒ අනුව මෙම නිලධාරියා විසින් මුල් අවස්ථාවේදීම පළමු සැකකරු එවැනි නිලධාරීන් ඇදගෙන යෑම පිළිබඳ ප්‍රකාශ නොකිරීමෙන්ම මෙම ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු මාස ගණනාවක් රඳවා තබාගැනීමෙන් අනතුරුව ඔහුව තවදුරටත් රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දෙක 2(1) (අ) වගන්තිය යටතේ වරදක් ඔහු විසින් සිදුකර ඇති බව පෙන්වීම සඳහා නිර්මාණය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිවම පෙනීයයි.
ඒ අනුව 2(1) (අ) වගන්තිය මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් අදාළ වන බවට මෙම කිසිදු සාක්ෂි සම්පිණ්ඩනයේ සඳහන් සාක්ෂිකරුවකුගේ ප්‍රකාශ මගින් අනාවරණ නොවන අතර ඒ අනුව 2(1) (අ) වගන්තිය මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් අදාළ නොවන බවට තීරණය කරමි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2(1) (ආ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බව අනාවරණ වන්නේද යන්නයි.
2(1) (ආ) වගන්තිය මගින් දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණීය දණ්ඩනයෙන් අවුරුදු 7කට නොඅඩු කාලයක බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි ක්‍රියාවක් වන මේ පනත යටතේ වන වරදකට සාක්ෂිකරුවකු වන යම් තැනැත්තකුගේ මරණය සිදුකරන්නා වූ අපහරණය කරන්නා වූ නැතහොත් පැහැරගන්නා වූ වෙනත් යම් පහරදීමක් හෝ එවැනි තැනැත්තකුට සිදුකරන්නා වූ ක්‍රියාවන් පිළිබඳවයි. මේ පිළිබඳ අවධානය යොමුකිරීමේදීද එවැනි ක්‍රියාවකට මෙම පළමු සැකකරු සම්බන්ධ වූ බවට එනම් ඔහු ක්‍රියාකාරීව සහභාගි වූ බවට කිසිදු සාක්ෂිකරුවකුගේ සාක්ෂි මගින් අනාවරණ නොවන අතර ඔහු එවැනි වරදක් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වූ බවට අනාවරණ නොවන බව මෙම සාක්ෂි සම්පිණ්ඩනය වාර්තාව සලකා බැලීමේදී පැහැදිලිවම පෙනීයයි. ඒ අනුව පනතේ 2(1) (ආ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට අනාවරණ නොවන බැවින් පනතේ 2(1) (ආ) වගන්තිය මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් අදාළ නොවන බවට තීරණය කරමි.
2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් අනාවරණ වන්නේද යන්න පිළිබඳ මා පසුවට සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර එය දීර්ඝ වශයෙන් සලකා බැලිය යුතු තත්ත්වයක් වන බැවින් ඒ පිළිබඳ පසුව සටහන් කිරීමට තීරණය කරමි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2(1) (ඉ) වගන්තිය යටතේ වරදක් පිළිබඳ අනාවරණ කර ඇද්ද යන්න පිළිබඳ සලකා බැලීමේදී 2(1) (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ ආණ්ඩුව හෝ යම් දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක රාජ්‍ය සංස්ථාවක හෝ යම් බැංකුවක සමුපකාර සංගමය සමුපකාර සමිතියක දේපළකට හෝ වෙනත් රජයේ දේපළකට අනර්ථය සිදුකරන්නා වූ ක්‍රියාවක් කළ බවයි.
මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව සලකා බැලීමේදී මෙම පළමු සැකකරු විරෝධතා ව්‍යාපාරයක් සඳහා සහභාගි වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති නමුත් ඔහු එවැනි දේපළවලට පහරදීමේ ක්‍රියාවක් සඳහා ඍජු හෝ වක්‍ර ආකාරයෙන් සහභාගි වූ බවට කිසිදු ඇසූ දුටු හෝ පරිවේශනීය සාක්ෂියක් ඇති බවට කිසිදු කරුණක් අනාවරණ නොවේ. විශාල පොලිස් නිලධාරීන් හා සිවිල් සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවකගේ ප්‍රකාශ සටහන් කර ඇති නමුත් එවැනි කිසිදු පොලිස් නිලධාරියකු හෝ සිවිල් සාක්ෂිකරුවකු මෙම පළමු සැකකරු එවැනි දේපළ කඩාබිඳ දැමීමේ පහරදීමේ ක්‍රියාවන්හි නියැළෙමින් අනර්ථකාරී ලෙස හැසිරුණු බවට කිසිදු සාක්ෂියක් මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් අනාවරණ කර නොමැති බව පෙනීයයි. ඒ අනුව 2(1) (ඉ) වගන්තිය ද පළමු සැකකරු සම්බන්ධයෙන් අදාළ නොවන බවට තීරණය කරමි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2(1) (ඌ) වගන්තිය සම්බන්ධයෙන් වන වරදක් මෙම බී වාර්තාව හෝ වැඩිදුර වාර්තා මගින් අනාවරණ වන්නේද යන්නයි. මෙම වගන්තිය මගින් දක්වා ඇත්තේ කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලබන වචන මගින් සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජන මගින් හෝ අන් ආකාරයකින් සාහසික හෝ විවිධ ජන කොටස් ැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික වෛරය නැතහොත් ජාතිවාදී අසංගතය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදි හැඟීම් ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නා වූ ක්‍රියාවන් කළ බවය. කිසිදු සාක්ෂිකරුවකුගේ සාක්ෂි මගින් මෙම පළමු සැකකරු වාර්ගිකයන් අතර හෝ ආගමික කණ්ඩායම් අතර ජාතිවාදය හෝ අසන්තතිය නැතහොත් දුර්වේතනික එදිරිවාදිකම් හැඟීම් ඇතිවන අයුරින් එනම් ආගම්වාද හෝ ජාතිවාදී අයුරින් කිසිදු ප්‍රකාශයක් කළ බවට හෝ ඔහු එවැනි ආකාරයන් ජාතීන් අතර හෝ ආගම් අතර වෛරය වපුරුවන අයුරින් කටයුතු කළ බවට කිසිදු සාක්ෂිකරුවකුගේ සාක්ෂි මගින් අනාවරණ නොවේ. ඒ අනුව 2(1) (ඌ) වගන්තිය ද අදාළ කරගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් මා වෙත ඉදිරිපත් වී නොමැති බව පෙනීයයි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2(1) (එ) වගන්තිය මගින් දක්වා ඇති වරදක් අනාවරණ කරඇද්ද යන්නයි. යම් මහා මාර්ගයක වීථියක පාරක වෙනත් යම් පොදු සථානයක නැතහොත් යම් මහාමාර්ගයක් වීථියක් පාරක් වෙනත් පොදු ස්ථානයක් මත නැතහොත් යම් මහාමාර්ගයකට වීථියක පාරකට වෙනත් පොදු ස්ථානයකට යාබදව පිහිටි යම් පුවරුවක හෝ වෙනත් යම් කිරීමකට දැක්වෙන වචන නිරූපණ හෝ අකුරු කිසිවක් නීත්‍යනුකූල බලයක් නොමැතිව මකන්න වූ විච්ඡේදනය කරන්නා වූ විරූප කරන්නා වූ වෙනත් අන්දමකින් අයථා ලෙස දෙයක් කරන්නා වූ ක්‍රියාවක් කිරීම අදහස් වේ. මෙම පළමු සැකකරු කිසිදු වීථියක හෝ මාර්ගයක ස්ථානයක කිසිදු පුවරුවක ඇති වචන මැකීමක්, විච්ඡේදනය, ඡේදනය කිරීමක්, විරූප කිරීමක් හෝ වෙනත් අන්දමකින් අයථා ලෙස යම් දෙයක් කිරීමක් කළ බවට කිසිදු සාක්ෂිකරුවකුගේ ප්‍රකාශ මගින් අනාවරණ නොවන බව පෙනීයයි. ඔහු එවැනි ක්‍රියාවක් කළ බවට අඩු තරමින් කිසිදු කැමරා සටහනක දර්ශනයක් හෝ එවැන්නක් ඇති බවට හෝ කිසිදු කරුණක්ද අනාවරණ වී නොමැත. ඔහු එවැනි ක්‍රියාවන් සිදුකිරීම සඳහා වෙනත් අයට උපදෙස් ලබාදීමක් කළ බවට හෝ එවැනි ක්‍රියාවක් කිරීමේදී ඔහු ඒවා වර්ධනය වන අයුරින් කටයුතු කළ බවටද කිසිදු කරණක් ඉදිරිපත් වී නොමැත. ඒ අනුව 2(1) (එ) වගන්තිය අදාළ කරගැනීම සඳහා වන කිසිදු සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක්ද මෙම කිසිදු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක මා වෙත ඉදිරිපත් වී නොමැති බව පෙනීයයි.
මීළඟට සලකා බලනු ලබන්නේ 3(1) (අ) වගන්තිය සහ 3(1) (අ) වගන්තිය යටතේ වරදවල් අනාවරණ කවන්නේද යන්නයි. වරදක් කිරීමට සූදානම් වීමක් වශයෙන් ක්‍රියාවක් කරන්නා වූ වරදක් කිරීමට අනුබල දෙන්නා වූ කුමන්ත්‍රණය කරන්නා වූ අනුශාසනා කරන්ා වූ පොළඹවන්නා වූ ක්‍රියාවක් ඒ අනුව සිදුකර තිබිය යුතුව ඇත. මා ඉහතින් සාකච්ඡා කළ පරිදි මෙම පනත යටතේ වන එහි දෙවැනි වගන්තියේ සඳහන් කිසිදු වරදක් සිදුකිරීම සඳහා ක්‍රියාකාරීව හෝ වක්‍ර ලෙස හෝ සහභාගි වූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති අවස්ථාවේදී ඔහු ඒවාට අනුබල දීම කුමන්ත්‍රණය කිරීම හෝ ඒවාට සහභාගි වීම යන කරුණු සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් අනාවරණ නොවන බව පෙනීයයි.
මෙම පළමු සැකකරු මාස ගණනාවක් තිස්සේ රඳවා තබාගනිමින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් කුමන්ත්‍රණය කිරීම, අනුශාසනා කිරීම සහ අනුබල දීම සිදුකළ වෙනත් කිසිදු තැනැත්තකු අනාවරණ කරගත් බවට කිසිදු කරුණක් මෙම වාර්තාවල අන්තර්ගත නොවේ.
තවද මෙම පනත යටතේ වරදක් සිදුකිරීම සඳහා එනම් දෙවැනි වගන්තිය යටතේ වරදවල් සිදුකිරීම සඳහා එකී ක්‍රියාවන් කළ බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වන අතර එවැනි ක්‍රියාවන් සඳහා ඔහු ක්‍රියාකාරීව සහභාගි වූ බවට එනම් ඔහු එකී ක්‍රියාවලියේදී අදාළ වරදවල්වල කායික අංගය සඳහා සහ එකී මානසික අංගය සහිතව ක්‍රියා කළ බවට සාක්ෂි මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් මා වෙත ඉදිරිපත් වී නොමැති බව පෙනීයන බැවින් 3(1) (අ) සහ (ආ) වගන්තිවල සඳහන් වරදවල් පිළිබඳ මා වෙත අනාවරණ වීමක් නොවන බවට තීරණය කරමි.
මීළඟට සලකා බලනු ලබන්නේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් පිළිබඳ අනාවරණ වී ඇද්ද යන්නයි. මෙහිදී 2(1) (ඇ) වගන්තිය යටතේ නිශ්චිත තැනැත්තකුට හෝ (ආ) ඡේදයෙහි දී සඳහන් සාක්ෂිකරුට සාපරාධී බියගැන්වීමක් සිදුකරන්නා වූ ක්‍රියාවක් සිදුකරන අවස්ථාවේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකරනු ලැබේ.
මෙහිදී නිශ්චිත තැනැත්තකු යන්න අර්ථ නිරූපණ වගන්තියේ දක්වා ඇති අතර මෙහිදී මෙම ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව සලකා බැලීමේදී නිශ්චිත තැනැත්තකුට තර්ජනය කිරීමක් සහ ඔහුට සාපරාධී බියගැන්වීමක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නමැති අයකුට පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී සිදුකරන ලද විරෝධතාවකදී බැණවැදීමක් සහ තර්ජනය කිරීම් පිළිබඳ ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් 2023/01/17 වැනි දින ඉදිරිපත් කරන ලද සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත. එහිදී අදාළ රොද්‍රිගු නමැති සහකාර පොලිස් අධිකාරිවරයාට ‘උඹ දැනගනිං, උඹ මම හොඳට දන්නවා. උඹට වැඩි කාලයක් ඉන්න දෙන්නෙ නෑ, උඹලගෙ පවුලේ අයගෙනුත් එක්ක මේ පළිය ගන්නේ, පරිස්සමෙන් හිටපන්, උඹේ ළමයින්ටත් කියපන් පාරේ යනකොට පරිස්සමින් යන්න කියලා, කකුල් කඩනවා’ යනුවෙන් තර්ජනය කළ බවට ප්‍රකාශ කළ බව එම ප්‍රකාශ උධෘතයේ සඳහන්ව ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයකු යනු මෙම පනත යටතේ නිශ්චිත තැනැත්තකු වන අතර එවැනි නිලධාරියකුට සාපරාධී බියගැන්වීමක් සිදුකළ අවස්ථාවේදී එය පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් බවට පත්වේ.
නිලධාරියා මෙම ප්‍රකාශය මා සෙසු ප්‍රකාශයන් හා සලකා බලමි. එම නිලධාරියාගේ ප්‍රකාශය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදීමට පෙර එම නිලධාරියාම එම සිද්ධිය සම්බන්ධයෙන්ම කොළඹ කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවකට අදාළව ප්‍රකාශයක් ලබාදී ඇත. එම ප්‍රකාශය අඩංගු නඩු වාර්තාවA3 වශයෙන් පළමු සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි එම ප්‍රකාශය සලකා බැලීමේදී මෙම පළමු සැකකරු එවැනි බැණවැදීමක් සිදුකර ඔහුට සාපරාධී බියගැන්වීමක් සිදුකළ බවට ඔහුගේ ප්‍රකාශයේ කිසිදු සඳහනක් නොමැති බව පෙනීයයි.
ඔහුට පළමු සැකකරුගෙන් එවැනි බියවැද්දීමක් සිදුවූවා නම් ඔහු රාජ්‍ය නිවේදිත නිලධාරියකු වශයෙන් ප්‍රකාශ කිරීමට ලැබෙන මුල්ම අවස්ථාවේදී එවැන්නක් ප්‍රකාශ කිරීමකින් තොරව මෙම සැකකරු මාස ගණනක් අත්අඩංගුවේ තබාගැනීමෙන් අනතුරුව මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහාම 2023/0101 වැනි දින මෙම ප්‍රකාශය සටහන් කර ඇති බව පෙනීයයි.
එම ප්‍රකාශය පිළිබඳ මාගේ අවධානය තවදුරටත් යොමුකිරීමේදී A3 දරන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සෙසු පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයන් ඇතුළත් වන අතර එහි සියලු පොලිස් නිලධාරීන්ද මෙම පළමු සැකකරු විසින් මෙවැනි බැණවැදීමක් හෝ සාපරාධී බියගැන්වීමක් ස.පො.අ. රොද්‍රිගෝ නිලධාරියාට හෝ වෙනත් කිසිදු නිලධාරියකුට කළ බවට ප්‍රකාශ කිරීමක් සිදුකර නොමැති බව පෙනීයයි.
එහිදී අංක 8 වශයෙන් සඳහන් කර ඇති පොලිස් කොස්තාපල් 92366 ධනංජය නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ සුදු ටීෂර්ටය සහ සුදු කලිසමක් ඇඳ රැවුල වවා හිසේ රෙදි පටියක් බැඳ මාර්ග බාධකයේ බැරියර් ඇදදමා පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවයි. ඔහුගේ ප්‍රකාශයේදීම මෙම චූදිත එම ස්ථානයේ සිටි බවට ප්‍රකාශ කරන නමුත් ඔහු එවැනි බැණවැදී බියගැන්වීමේ ක්‍රියාවකට සහභාගි වූ බවට ප්‍රකාශ කර නොමැත.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම පො.කො. 69844 උදයංග පෙරේරා නමැති නිලධාරියාද කොළ හා සුදු බතික් ටීෂර්ටය හා කොට අළු පාට කොට කලිසම හැඳ දුඹුරු පාට සයිඩ් බෑගය දමා සිටි කෙට්ටු උස අයකු පොලිසියට තර්ජනය කරමින් සිටි බව ප්‍රකාශ කර ඇති නමුත් පළමු සැකකරු එවැනි තර්ජනයක් කළ බවට ප්‍රකාශ කර නැත. මෙම සාක්ෂිකරුවන් තිදෙනාම එකම සිද්ධියේ සමීපයේ සිටි දුටු තැනැත්තන් වේ.
ඒ අනුව මෙම සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගෝ නමැති නිලධාරියාගේ 2023/01/01 වන දින කරන ලද ප්‍රකාශයේ මෙම පළමු සැකකරු ඔහුට තර්ජනය කිරීමක් කරමින් සාපරාධී බියගැන්වීමක් කළ බවට වන ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව සැකකරුවකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බව මා වෙත පෙනීයන අතර ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් මෙම සැකකරු විසින් කරන ලද බවට වන මෙම ස.පො.අ. රොද්‍රිගෝ නිලධාරියාගේ මෙම ප්‍රකාශය කිසිදු විශ්වසනීයත්වයෙන් තොර පසුව නිර්මාණය කර මෙම සැකකරුව දීර්ඝකාලීනව බන්ධනාගාරගත කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිවම පෙනීයන හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් ඒ අනුව අනාවරණ නොවන බව පෙනීයයි.
මෙම 2023.01.17 දිනැති සාක්ෂි සම්පිණ්ඩනය වාර්තාව තවදුරටත් සලකා බැලීමේදී ස්ථානාධිපති කොට්ඨාස බුද්ධි අංශය නුගේගොඩ පොලිස් පරීක්ෂක චින්තක වටවල නමැති අයකු තමාට සිදුවූ දැල් වැටකට හේත්තු කර බලහත්කාරය පෑමක් සහ කමිසයෙන් සහ මුඛ ආවරණයෙන් ඇද කොණ්ඩයෙන් අල්ලා ඔහුව සොලවා අවහිර කිරීමක් පිළිබඳ කළ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.
එම ප්‍රකාශයේ ඔහු සඳහන් කර ඇත්තේ ‘ඔවුන් තමා සමග ගැටලුවක් ඇතිකර ගනීවි යැයි හැඟී ගිය හෙයින් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට උත්සාහ කිරීමේදී තමාව එම ස්ථානයේ තිබූ දැල් වැටකට හේත්තු කර බලහත්කාරය හා අවහිර පෑම කළ බවත්, තමාගේ කමිසයෙන් සහ පැලඳ සිටි මුඛ ආවරණය ඇද දැමූ බවත් කොණ්ඩයෙන් අල්ලා ඔළුව සෙලවූ බවත් එම අවස්ථාවේ ඔවුන්ට නායකත්වය දෙමින් සිටියේ වසන්ත මුදලිගේ බවත්ය.’
මෙවැනි ආකාරයට මෙම නිලධාරියාට ඔහුගේ කමිසයෙන් සහ පැලඳ සිටි මුඛ ආවරණයෙන් ඇද කොණ්ඩෙන් අල්ලා ඔළුව සෙලවීමක් සිදුකරනු ලැබුවා නම් එය පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් බවට පත්වේ. මෙම නිලධාරියාගේ මෙම ප්‍රකාශය සලකා බැලීමේදී සැකකරු වෙනුවෙන් A4 වශයෙන් ලකුණු කර ඉදිරිපත් කරන ලද මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කරුණු වාර්තා කරමින් ඉදිරිපත් කර ඇති බී වාර්තාව වැදගත් ලේඛනයක් බව පෙනීයයි.
එම බී වර්තාවේ මෙවැනි නිලධාරියකුට මෙවැනි දැල් වැටකට හේත්තු කර පහරදීමක් පිළිබඳ හෝ ඔහුගේ කොණ්ඩෙන් අල්ලා ඔළුව සෙලවීමක් කළ බවට හෝ ඔහුට පහරදීමක් කළ බවට හෝ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව පෙනීයයි.
එම බී වාර්තාව 2022.06.16 වැනි දින එනම් සිද්ධියෙන් දින 6කට පසු ඉදිරිපත් කර ඇති අතර මෙම සාක්ෂිකරු එවැනි ප්‍රකාශයක් දින හයකට පසුවවත් තලංගම පොලිසිය වෙත හෝ වෙනත් පොලිස් ස්ථානයක් වෙත හෝ සිදුකර නොමැති බව පෙනීයයි.
මෙම A4 දරන නඩු වාර්තාව තවදුරටත් සලකා බැලීමේදී ඉන් පසුව ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවල හෝ මෙම නිලධාරියාට දැල් වැටකට හේත්තු කර බලහත්කාරය පෑම හෝ අවහිර පෑමක් කිරීම හෝ කමිසයෙන් සහ මුඛ ආවරණයෙන් ඇදදැමීමක් හෝ කොණ්ඩෙන් අල්ලා ඔළුව සෙලවීමක් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත. මෙම නිලධාරියාට මෙවැනි ක්‍රියාවක් සිදුකිරීම දුටු වෙනත් කිසිදු සාක්ෂිකරුවකු ද ඉදිරිපත් වී නොමැත. ඔහු කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටින අවස්ථාවක ඔහුව හඳුනන කිසිදු අයකු එවැනි ක්‍රියාවක් විශේෂයෙන්ම නොදුටු බව විශ්වාස කළ නොහැක. ඒ අනුව මෙම නිලධාරියාට මෙම පළමු සැකකරු ඇතුළු කණ්ඩායම ඔහුට බලහත්කාරය පෑම කළ බවටත් වන ඔහුගේ මෙම ප්‍රකාශය මෙම පළමු සැකකරු මාස ගණනක් රඳවා තබාගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2(1) (ඇ) වගන්ති යටතේ වන වරදක් ඔහු විසින් සිදුකර ඇති බව පෙන්වීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පනත අවභාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බව පෙනීයයි.
මෙම 2023.01.17 වැනි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව සලකා බැලීමේදී සා.පො.අ. කොළඹ මධ්‍යම iv විජයමුනි අසිත පුෂ්පාංග ද සිල්වා යන අයගේ ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර එහි කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුමෙන් ඇදගෙන යෑමට උත්සාහ කර පහරදීමට උත්සාහ කළ බවත්, උ.පො.ප. සිල්වා සමග ඔවුන් මුදවා ගැනීමට සිල්වා නිලධාරියාට පහරදී මෙගාෆෝනයට පහරදී අලාභ සිදුකර තමාගේද නිල ඇඳුමෙන් ඇද තල්ලු කළ බවත් කොටුව ස්ථානාධිපතිගේ නිල කබායේ උරහිස් ලාංඡන සහ බොත්තම් කැඩීගොස් හිස්වැසුම්ද ගැලවී වීසිවී තිබූ බවත් වසන්ත මුදලිගේ අධිකරණ නියෝගයද නොතකමින් කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් මෙහෙයවමින් උසිගැන්වීම් සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රකාශය සලකා බැලීමේදී මෙම සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව සමග ඉදිරිපත් කර ඇති උ.පො.ප. සුමිත් ද සිල්වා ස්ථානාධිපති දූෂණ මර්දන වැටලීම් කොටුව පොලිස් ස්ථානය යන නිලධාරියාගේ ප්‍රකාශය වැදගත් ප්‍රකාශයක් බව පෙනීයයි.
එම නිලධාරියාගේ ප්‍රකාශයේදී තමාට එවැනි පහරදීමක් සිදුවූ බවක් හෝ තමාගේ අතේ තිබූ මෙගාෆෝන් එකක් උදුරාගෙන එයට අලාභ හානි කිරීමක් පිළිබඳ හෝ ස.පො.අ. විජයමුනි අසිත පුෂ්පාංග ද සිල්වා නිලධාරියාගේ නිල ඇඳුමෙන් ඇද තල්ලු කිරීමක් කළ බවට හෝ ප්‍රකාශ කර නොමැත.
උ.පො.ප. සුමිත් ද සිල්වාගේ ප්‍රකාශය තවදුරටත් සලකා බැලීමේදී මෙම පළමු සැකකරු එම ස්ථානයේ සිටි සෙසු පිරිස් වටකරගත් අවස්ථාවක පසුපසට ගිය බව ප්‍රකාශ කර ඇති නමුත් ඔහු සහකාර පොලිස් අධිකාරිවරයාට කිසිදු බලහත්කාරපෑමේ ක්‍රියාවකට හෝ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසිදු බලහත්කාරය පෑමේ ක්‍රියාවකට, සුමිත් ද සිල්වා නිලධාරියාට සාපරාධී බලහත්කාරයපෑමේ ක්‍රියාවකට හෝ සහභාගි වූ බවට ප්‍රකාශ කර නොමැත.
දෙදෙනා එකම ස්ථානයක් ආසන්නයේ එකිනෙකාට සමීපයේ සිටින්නා වූ පුද්ගලයන් වන අතර මේ අනුව ඔවුන් දෙදෙනා එකිනෙකට පරස්පර ආකාරයෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන්ම මෙම සහකාර පොලිස් අධිකාරිවරයා මෙම නඩුව සඳහා නිර්මාණය කිරීම සඳහාම මෙම ප්‍රකාශයන් ලබාදී ඇති බව පෙනීයන අතර මේ පිළිබඳ තවදුරටත් අවධානය යොමුකිරීමේදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති A2 දරන කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාව හා වැඩිදුර වාර්තා සලකා බැලීමේදී එහි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සම්පිණ්ඩනයේදී කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙම පළමු සැකකරු ඔහුට සාපරාධී බලහත්කාරය පෑමේ ක්‍රියාවක් කළ බවට ප්‍රකාශ කර නොමැති බව පෙනීයයි.
එම A2 දරන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවේද මෙවැනි සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිල ඇඳුමෙන් ඇදීමක් පිළිබඳ කිසිදු කරුණක් ඉදිරිපත් වී නොමැත. ඒ අනුව මෙම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශය හා උ.පො.ප. සිල්වා නමැති නිලධාරියාගේ ප්‍රකාශ මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් මෙම පළමු සැකකරු විසින් සිදුකර ඇති බව අනාවරණ නොවන අතර ඒ මගින්ද අනාවරණ වී ඇත්තේ මෙම පළමු සැකකරු මෙම පනත යටතේ බන්ධනාගාරගත කිරීම සඳහා මෙම නිලධාරියා විසින් මෙම ප්‍රකාශය පසුව නිර්මාණය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රකාශයක් වන බවයි.
ඒ අනුව මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2(1) (ඇ) වගන්තිය යටතේ වරදක් අනාවරණ නොවන බවට තීරණය කරමි. ඒ අනුව මෙම පළමු සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2 හෝ 3 වගන්ති යටතේ වරදවල් අනාවරණ නොවන බවට තීරණය කරමි.
මීළඟට මා විසින් සලකා බලනු ලබන්නේ මෙවැනි බී වාර්තාවක් හෝ වැඩිදුර වාර්තා මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදවල් අනාවරණ නොවන අවස්ථාවේදී මා කවර ආකාරයකට ක්‍රියාකළ යුතුද යන්නයි.
මෙවැනි ඉතාම ප්‍රබල පනතක් යටතේ වන වරදක සැකකරුවකු ලෙස යම් අයකු සම්බන්ධයෙන් අ.න.වි.සං. පනතේ 115 වගන්තිය යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවක අධිකරණය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපරිමාධිකරණයන් විසින්ද මාර්ගෝපදේශ ලබාදී ඇත.
මෑතකදී තීරණය වූ Udaya Prabath Gammanpila VS. M.D.C.P. Gunathilake and Other SCFR 207/2016 නඩුවේදී ගරු ශ්‍රීපවන් අගවිනිසුරුතුමා පහත පරිදි මහෙස්ත්‍රාත්වරයකු කටයුතු කළයුතු ආකාරය ප්‍රකාශ කර ඇත.
‘When a ‘B’ report is filed, the magistrate has to apply his judical mind to the said Report and give appropriate direction the police if further investigations are necessary. The magistrate shall not make orders mechanically without applying his judical mind’
ඒ අනුව බී වාර්තාවක් ඉදිරිපත් වී ඇති අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයකු සිය අධිකරණ මනස භාවිත කරමින් එම බී වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් නියමිත මඟපෙන්වීම් සිදුකරමින් කටයුතු කළයුතු බවත්, යාන්ත්‍රිකව ක්‍රියාකරමින් අධිකරණමය මනස භාවිත නොකර කටයුතු නොකළ යුතු බවයි. ඒ අනුව මෙම ගම්මන්පිල නඩු තීන්දුව මගින්ද බී වාර්තාවක ඇති කරුණු පිළිබඳ අධිකරණමය මනස භාවිත කරමින් අධිකරණමය ක්‍රියාවක නිරත වීම මහෙස්ත්‍රාත්වරයකු විසින් සිදුකළ යුතු බව පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයද දක්වා ඇත.
තවද ඉතාම මෑතකදී තීරණය කරන ලද Meettage Piyaseeli VS AG CPA/63/21 නඩුවේදී ගරු අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මැතිනිය තීරණය කරනු ලැබූයෙ අ.න.වි.සං. පනතේ 115(1) වගන්තිය යටතේ වන වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී සැකකරුවකු බන්ධනාගාරගත කිරීමට හේතුවන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල සාරාංශයක් ඉදිරිපත් කළ යුතු බවයි.
‘Therefore it is very clear that the investigative officer must submit a synopsis of the statement recorded if any for the magistrate to ascertain any reason if any to remand the suspect’
එහිදී එතුමිය තවදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරිපත් කර ඇති බී වාර්තාව අදාළ සාක්ෂි සාරාංශයන් අඩංගු නොවන අවස්ථාවේදී එය නීතියට අනුකුල නොවන වාර්තාවක් වන බවයි.
ඒ අනුව පෙනීයන්නේ බී වාර්තාවේ සහ වැඩිදුර වාර්තාවල වරදක් පිළිබඳ අනාවරණ නොවන අවස්ථාවක මහෙස්ත්‍රාත්වරයකු සැකකරුවකු බන්ධනාගාරගත කිරීමේ නියෝග නිකුත් කිරීම උපරිමාධිකරණයන් විසින්ද දිගින් දිගටම දෝෂසහගත බව පිළිගනිමින් නියෝග නිකුත් කර ඇති බවයි.
ඒ අනුව මෙම අවස්ථාවේදී ඉහතින් දැක්වූ පරිදි මෙම පළමු සැකකරු සම්බන්ධ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ වරදක් අනාවරණ වී නොමැති අවස්ථාවක විමර්ශකයන්ගේ ඉල්ලීම් අනුව තවදුරටත් බන්ධනාගාරගත කළයුතුද යන්න සලකා බලමි.
මේ පිළිබඳ සලකා බැලීමේදී,
Danny VS Siriniaml de Silva, Inspector of Police Station Chilaw and Others (2001) 1 SLR 29, Bandaranayake CJ. යන නඩු තීන්දුවේ පහත උධෘතය වැදගත් බව පෙනීයයි.
‘I must express my concerns over magistrate issuing orders of remand, machanically simply because the police want such orders made.’
මෙහිදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය දක්වා ඇත්තේ මහෙස්ත්‍රාත්වරයකු විසින් යාන්ත්‍රිකව පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාව මත බන්ධනාගාරගත කිරීමේ නියෝග නිකුත් කිරීම අවධානයට ලක්කළ යුතු බවයි. මේ අනුව සැකකරුවන් බන්ධනාගාරගත කිරීමේදී අධිකරණයන් ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුව ඇත.
මෙම Danny VS Siriniaml de Silva, Inspector of Police Station Chilaw and Others නඩුවේදී සාකච්ඡා කරන ලද Mahanama Thilakaratne VS. Bandula Wickramasinhe (1999) 1 SLR 372 නඩු තීන්දුවේදී තීරණය කරනු ලැබූයේ මහෙස්ත්‍රාත්වරයකු විසින් විමර්ශකයන් සහ අභිචෝදකයන්ගේ මනදොළ සන්සිඳීම සඳහා යමකු බන්ධනාගාරගත කිරීමේ නියෝග නිකුත් නොකළ යුතු බවත්, පුද්ගලයකු බන්ධනාගාරගත කිරීම අධිකරණමය කාර්යයක් වන බවත් එවැනි ක්‍රියාවකදී මහෙස්ත්‍රාත්වරයකු ඔහුගේ අධිකරණමය මනස එම කාර්යය සඳහා යොමුකරමින් ඔහුගේ නිදහසට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් පියවර ගතයුතු බවයි.
එම නඩු තීන්දුවේ උපුටනය පහතින් දක්වමි.
‘Magistrate should not issue remand orders to satisfy the Sardonic pleasure of an appointed incestigator or prosecutor.
Remanding person is a judicial act and such a magistrate should bring his judical mind to bear on that matter before depriving a person of his liberty.’
තවද Dayananda VS. Weerasinhe and Others (1983) 2 SLR84 නඩු තීන්දුවෙ සාකච්ඡා කරන ලද පහත උධෘතයේ සඳහන් තත්ත්වය මෙම අවස්ථාවේදී අවධානයට යොමුකළ යුතුව ඇත.
‘It must be remembered that when a person is remanded he is deprived of his personal liberty during the duration remand period and a person who is remanded is entitled to know the reasons why he is so remanded. Magistrates should be move vigilant and comply with the requirements of the law when making remand orders and not act as a rubber stamps.’
පුද්ගලයකු දීර්ඝකාලීනව රිමාන්ඩ් භාරයට පත්කිරීමේදී ඔහු දීර්ඝකාලීනව රිමාන්ඩ් භාරයට පත්කිරීමට හේතුව ඔහු දැනගත යුතු බවත්, මහෙස්ත්‍රාත්වරයකු නීතියේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමුකරමින් බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමේදී කටයුතු කළ යුතු බවත්, රබර් මුද්‍රාවක් සේ ක්‍රියා නොකළ යුතු බවයි.
තවද එමිල් රංජන් එරෙහිව නීතිපති CA Bail 19/2008 නඩුවේදීද තීරණය කරනු ලැබූයේ විමර්ශන සඳහා සහාය දැක්වීම වශයෙන් පෙත්සම්කරු රක්ෂිත භාරයට පත්කරන ලෙස ඉදිරිපත්ව ඇති කරුණු සැලකිල්ලට ගත නොහැකි කරුණක් වන බවයි.
ඒ අනුව මෙම අවස්ථාවේදී මෙම පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ වන තැනැත්තකු බවට ප්‍රමාණවත් කරුණු (සාක්ෂි) ඉදිරිපත් වී නොතිබීමත් සමග ඔහු විසින් එම පත යටතේ වරදක් සිදුකර ඇති බව අනාවරණ නොවීමත් මත ඔහුව තවදුරටත් බන්ධනාගාරයේ තැබීම සඳහා වන කිසිදු කරුණක් මා වෙත ඉදිරිපත් වී නොමැති බවත් පෙනීයයි. ඒ අනුව මෙම පළමු සැකකරු වන මුදලිගේ වසන්ත කුමාර මුදලිගේ යන අය මෙම නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කරමි.
ප්‍රසන්න අල්විස්,
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්,
ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය – කොළඹ.
2023.01.31