හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. නිකන් කිව්වේ. මොකද දෙල්කඳ පොළ ගැන කතාකරනකොට එහෙම එකක් කියලා පටන්ගත්ත නම් හොඳයි කියලා හුතුණා. ඉස්සර අපේ ගම්වල කෝළම්, නාඩගම්, සොකරි වගේ ඒවා පෙන්නනකොට රාත්‍රියේ පළවෙනි කාර්තුව එතරම් රහ නෑ. එහෙන් මෙහෙන් බෙර ගහලා අඩියක් පොළොවෙ ගහලා නැටුමකින් ගැයුමකින් තමයි පළමු කාර්තුව ගතවෙන්නේ. හැබැයි දොළහ එක දෙක තුන වෙනකොට අඹ විදමන එහෙම පටන් අරගන්නවා. අඹ විදමන හරි රස වැඩක්. කුණු කතා එහෙමත් කියනවා. ඒවා කියන්නේ මිනිස්සු හිනස්සවන්න. නරක කතා නෙවෙයි. අපේ පාර්ලිමේන්තුවෙ කියන තරම්ම කුණුහරුප නෙවෙයි. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ අහිංසක කුණුහරුප, දෙපිට කැපෙන කතාවක් දෙකක් එක්ක අඹ විදමන ඉවර වෙලා එළිවෙන ජාමෙ වෙනකොට වැඩේ රහට යනවා. තැන් තැන්වල පාවෙලා වගේ හිටපු අය ටක්ගාලා ඇහැ ඇරලා බලනවා. නිදි කිර කිරා හිටපු අය නිදිකිරිල්ල පැත්තකට දාලා ඇස් පිහලා බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි කියන්නේ එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කියලා. මේක කිව්වේ නිකන්.
මීට අවුරුදු සිය ගානකට කලින් කෝට්ටේ රාජධානිය පැවැති කාලේ ගැන තමයි මේ කියන්නේ. කෝට්ටේ රාජධානිය පැවැති කාලෙ කොළඹ ආශ්‍රිතව තමයි එහි බොහෝ කටයුතු සිදුවුණේ. හැබැයි කොළඹ නෙවෙයි, කෝට්ටේ තමයි රාජධානිය පිහිටුවලා තිබුණේ. කෝට්ටේට, රාජගිරිය, නුගේගොඩ වගේ පැති ළඟයි. ඒ නිසා මේ රාජධානියට අදාළ සමහර කටයුතු සිද්ධ වෙන්නේ මේ මේ තැන්වල. හැබැයි කෝට්ටේ ප්‍රධාන රාජධානිය තියෙනකොට නුගේගොඩ වගේ පැතිවල තිබිලා තියෙන්නේ වනාන්තර. ඒ කාලෙ එහෙමනෙ. වනාන්තර ආශ්‍රිතව තිබිච්ච නුගේගොඩ, දෙල්කඳ, මහරගම වගේ ප්‍රදේශ ඒ කාලෙ පාවිච්චි කරලා තියෙන්නේ රාජ ද්‍රෝහීන් සහ අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දෙන කැලෑ රොදක් සහිත ප්‍රදේශයක් විදියට. මේ වනාන්තර ප්‍රදේශය පිහිටා තිබිලා තියෙන්නේ දෙල්කඳ. දෙල්කඳ ගැන අපි අද නිතර කතා කරන නිසයි මම එහෙම කියන්නේ. මේ කැලෑව තුළට අරගෙන ගිය අපරාධකරුවන්ගේ හිස ගසා මරාදැමීමේ නීතියක් ඒ කාලෙ තිබිලා තියෙනවා. වනාන්තරයට අරගෙන ගියා, හිසගසා මරා දැම්මා, මළ සිරුර සහ හිස කැලේට දැම්මා, රාජපුරුෂයො ආපහු රජ මාලිගාවට ආවා. දැන් ඔය රාජපුරුෂයො ඉස්සර, අපේ දැන් ඉන්න රාජකීය පුරුෂයො වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. පස්සෙ පස්සෙ ක්‍රමයක් හදාගත්තලු දෙල්කඳට අරගෙන ගිහිල්ලා හිසගසා දාන අපරාධකරුවො අතරමඟදි රාජපුරුෂයන්ට කීයක් හරි දීලා පැනලා යන්න. මේ කතාව රජ්ජුරුවන්ට ආරංචි වුණාට පස්සේ මේ නීතියෙ අලුත් වෙනසක් කළාලු. වරදරුවන්ගෙ ඥාති ඇවිල්ල රාජපුරුෂයන්ට සල්ලි දීලා බෙල්ල කපන එක නතර කරනවා කියන ආරංචිය රජ්ජුරුවන්ට ගියාට පස්සේ රජ්ජුරුවො පොඩි වැඩක් කරලා තියෙනවා. ඒ තමයි හිස ගසාදමන ලද අපරාධකරුගෙ හිස අරගෙන එන්න ඕනේ රාජ මාලිගාවට. ඒ කියන්නේ දෙල්කඳ පොළ ප්‍රදේශය අනාදිමත් කාලයක ඉඳලා හිසගසා දැමීම් වගේ කටයුතුවලට භාවිත කරපු තැනක්ලු.
ඒකත් කිව්වේ නිකන්.ඔය නිකන් කතා දෙක තුනක් කියලා දෙල්කඳ පොළ කිව්ව ගමන් මතක් වෙන්නේ ‘දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා… වාගේ සින්දු ගොතා කියලා බැලුවා…’ කියලා සින්දුවක්. ලංකාවෙ පොළකට සින්දුවක් කියලා තියෙනවා නම් එහෙම පොළවල් තියෙන්නේ දෙක තුනයි. මේ පොළ එහෙම එකක්. දෙල්කඳ පොළ අලුතෙන් හැදුවෙ මහින්ද මහත්තයගෙ කාලෙ. විවෘත කරන්න බැසිල් රාජපක්ෂ මහත්තයත් ගියා. ඒ ගිය වෙලාවෙ සුසිල් ප්‍රේමජයන්ත මත්තයත් එයත් එක්ක හිටියා. දෙල්කඳ පොළ කියලා කියන්නේ ලංකාවෙ තියෙන ප්‍රසිද්ධම පොළක්. සාමාන්‍යයෙන් දෙල්කඳ පොළෙන් හොයාගන්න බැරි දෙයක් නෑ කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නුගේගොඩ අවට ඉන්න, මහරගම අවට ඉන්න බම්බලපිටිය, කොල්ලුපිටිය, මේ වටපිටාවෙ ඉන්න ගොඩක් අය මේ පොළට එනවා. ලංකාවෙ ඉන්න ප්‍රධාන මැති ඇමැතිවරු, දේශපාලකයො, කලාකාරයො හැමෝම දෙල්කඳ පොළේදි මුණගැහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙල්කඳ පොළට ගියාම ඔබට කැමැති ඔබ ප්‍රියකරන නළු නිළියො විශාල ප්‍රමාණයක් මුණගැහෙනවා. ඒගොල්ලොත් පොළේ යනවා. කඩේ යනවා නම් පොළේ යන්න බැරිකමක් නෑනෙ. නේද? දේශපාලකයොත් පොළේ යනවා. ඒගොල්ලො ගැනත් කියන්න තියෙන්නේ ඒකයි. ඒගොල්ලො කඩේ යන කට්ටියනෙ. ඉතින් කඩේ යන කෙනකුට පොළේ යන්න බැරිකමක් නෑනෙ. අපි මේ කඩේ යන එකවත්, පොළේ යන එකවත් නරකයි කියලා කියනවා නවෙයි. හැබැයි වැඩේ තියෙන්නේ කඩේ ගියාට පස්සේ සීනි කිරන්න පුරුදු වෙනවනෙ. කඩේට ගිහිල්ලා සීනි කිරන්න ගත්තට පස්සේ ටික දවසකින් කඩේ කට්ටිය එකතු වෙලා පයින් ගහලා එළවනවා. ඊට පස්සේ එක එක කතන්දර කියලා වැඩක් නෑ. මොකද කඩේ යනවා කියලා කියන්නේ ටික දවසක් ගිහිල්ලා නතර කරන්නම වෙන වැඩක්. ඕවා ඉතින් කට කහනවට කියන කතා. කලබල වෙන්න කාරි නෑ. කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක වතාවක් දෙල්කඳ පොළට ගියා. ඒ ගියේ මේ විදියටම පොඩි දේශපාලනික කාරණාත් එක්ක. එතකොට බලාගෙන ගියාම අපේ රටේ දේශපාලකයො වැඩි පිරිසක් දෙල්කඳ පොළට ගිහිල්ලා තියෙනවා. බන්දුල ගුණවර්ධනලා, මහින්දානන්දලාත් මේ දෙල්කඳ පොළේදි කතාබහට ලක්වෙච්ච කට්ටිය. දෙල්කඳ පොළ අලුතෙන් හදලා, අලුත් තැනකට ගියාට පස්සේ දෙල්කඳ පොළේ තිබුණු පැරැණි ගති නැතිවෙලා ගියා. වතාවක් මොනිකා රුවන්පතිරණ කියන ප්‍රකට කිවිඳියගෙ කවි පොත් සියල්ලම දෙල්කඳ පොළ ඉස්සරහ දාලා විකුණලා තිබුණා.
ලංකාවෙ ඉන්න ඉහළම දේශපාලකයො නිතර දෙල්කඳ පොළට යන එන එක සාමාන්‍යයෙන් දෙල්කඳ පොළේදී ප්‍රභූවරු මුණගැහෙන එක හැමෝම දන්න කාරණාවක්. එතකොට මේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයට දෙල්කඳ පොළේදි මොකක්ද ඇත්තටම වුණේ? දෙල්කඳ පොළට ගිය සුසිල් ප්‍රේමජයන්ත් මහත්තයා හදිසියෙම තමන්ගෙ කණ්ඩායමේ කිහිප දෙනකුව විවේචනය කරනවා. මේ විවේචනය කිරීම ඔහුට තනතුරු තාන්න මාන්න සියල්ල පැත්තකට දාලා ත්‍රීවිල් එකකින් ගෙදර යන තැනට පත් කළාද යන ප්‍රශ්නය තියෙනවා. ඇත්තටම දෙල්කඳ පොළේදි ඔහු විවේචනයට ලක්කරනවා මේ රටේ තියෙන දේශපාලන, ආර්ථික යම් යම් කාරනා ටිකක්. මේ විදියට දේශපාලන ආර්ථික කාරණා විවේචනය කරන අය අතර ඉන්නෙ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා විතරක් නෙවෙයි. විමල්, උදය, වාසු, විදුර වික්‍රමනායක මේ අය විවිධ තැන්වලදී ආණ්ඩුවෙ යම් යම් කාරණා විවේචනයට ලක්කරලා තියෙනවා. හැබැයි එහෙම විවේචනයට ලක් කරලා වාසු නම් එක වතාවක් කෙළින්ම කියලා තිබුණා, ‘අනේ අපි ගෝඨාභය මහත්තයා අතහැර දාලා යන්නෙ නෑ, මේ අපේ ජනාධිපතිතුමා…’ කියලා.
සමහර විට සුසිල් මහත්තයට ඕක කියන්න අමතක වෙච්ච නිසා ගෙදර යන්න වුණාද දන්නෙත් නෑ. කොහොම නමුත් මේ මොහොතේ පවතින දේශපාලන ක්‍රමය ඇතුළේ ආණ්ඩුව විවේචනය කරපු එකම ඇමැතිවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයා හෝ දේශපාලනඥයා හෝ ආණ්ඩුවේ පිලට අයිති අය අතර ඉන්න එකම කෙනා සුසිල් ප්‍රේමජයන්ත විතරක් නෙවෙයි. තිස්ස කුට්ටිආරච්චි නම් පහුගිය දවසක නෙවෙයි, මේක මේ පොළේදි ඇතිවෙච්ච සිද්ධියක ප්‍රතිඵලයක් නෙවෙයි, බුද්ධි අංශ තොරතුරු මත ගන්නා ලද තීරණයක්ය කියලා. නමුත් වැඩේ තියෙන්නේ මේ කතන්දර පිළිගන්න අමාරු මේක තිස්ස කුට්ටිආරච්චි කියපු නිසා. කොහොම නමුත් මේ වතාවෙත් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා නම් කියන්නේ, ‘මං පොළේදි ගත්ත ලොතරැයියක් ඇදුණා’ කියලා. මේ හැම දේශපාලන හුටපටයෙදිම දෙල්කඳ පොළ පැටලෙනවා. දෙල්කඳ පොළ විශේෂ වෙනවා. දෙල්කඳ පොළ මැදි වෙනවා. හැබැයි අදත් දෙල්කඳ පොළ වෙනද වගේම තියෙනවා.
දෙල්කඳ පොළට ලොකු ප්‍රසිද්ධියක් එකතු කරමින් විවිධ කතන්දර විවිධ දේවල් තැන් තැන්වල කියැවෙනවා. ලංකාවෙ මේ තරම්ම දේශපාලන පොරපිටියේ, නැත්නම් දේශපාලන කතාබහ අතර කියැවෙන වෙන පොළක් නෑ. ඒ වගේම නොමිලේ වෙළෙඳ දැන්වීම් පළකරගත හැකි, නොමිලේම අලෙවි ප්‍රවර්ධනය කරගත හැකි වෙනත් පොළක් ලංකාවෙ නෑ කියලයි අපට හිතෙන්නේ. ඒ නිසා දෙල්කඳ පොළ හැම පැත්තකින්ම විශේෂයි. දෙල්කඳ පොළේ හිසගසාදැමීමේ කතාව අපි කිව්වේ නිකමට. අපරාධකරුවන් අරගෙන ගිහින් දෙල්කඳ පොළ අසල ඉස්සර තිබුණු කැලෑවෙ මීට කලිනුත් හිස ගසාදැමීමට භාවිත කළා කියලයි කිව්වේ. මේ වතාවෙ, දැනුත් වනාන්තර නැතත් කෝට්ටේ රාජධානිය නැතත් දෙල්කඳ පොළට යන සමහර අයට තමන්ගෙ බෙල්ල දන්දෙන්න වෙනවද කියලා ලියුම්කරුට අවසානෙදි හිතෙනවා.
ජීවන පහන් තිළිණ










