ගීතා කුමාරසිංහ, එහෙමත් නැත්නම් ගීතා සමන්මලී කුමාරසිංහ කියන්නේ නොම්මර එකේ අති දක්‍ෂ නිළියකි.
තවත් විදියකට කියනව නම් ඕනෑම පදයකට අනුව විවිධ චරිත අනුසාරයෙන් තම හැකියාවන් හරි අපූරුවට රඟපාන ඇසූ පිරූ තැන් සපිරි චරිතාංග නිළියකි.
70 දශකය අගභාගයේ තරුණ කොල්ලන් වාගෙම මැදිවියේ පිරිමින්ද ගීතා කුමාරසිංහ කියන නිළියට පිස්සු වැටුණු ආකාරය ගැන මරු කතාන්දර ඒ දවස්වල සරසවි පත්තරේ පිටු අතර හරි අගේට ලියැවිණි. කෙතරම් අගේද කියනවා නම් පුන පුනා කියවන්නට තරම්ම ඒ කතන්දර හරි සුන්දරය.
මන්ත්‍රිවරියක ලෙස බෙන්තර පෙදෙසින් පැමිණ පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තුරුම ගීතා සිනමා පුවත්පත්වල විචිත්‍රවත් කතා මැවුවාය.
පසුගි දවසකද සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ගීතා කුමාරසිංහ ගැන ඕපාදූපයක් පළවිය.
එය උණුසුම් පුවතකි,
හැබැයි… ඒ උණුසුම් පුවත චිත්‍රපටයක් ගැන නම් නෙවේය…
එය චිත්‍රපට දර්ශනයකට සමීප සත්‍යය සිදුවීමකි..,
ඒ සත්‍ය සිදුවීමෙහි කතා නායිකාව වන්නේ ගීතා කුමාරසිංහය..,
සිදුවීමට මුල්වන අනෙකා දුෂ්ට චරිතයකි..,
සරලවම ගමේ තාලෙට කියනව නම්.,එහි සිරස්තලය, ‘කොට කනත්තේ වඩු කීර්ති පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ නිවෙස ඉදිරිපසට පැමිණ පරුෂ වචනයෙන් බැන වදියි.., යන්නය.
සාමාන්‍ය ගම්වැසියකුගේ එහෙමත් නැතිනම් තමාට කතිරය ගැසූ ඡන්දදායකයකුගේ දෝස් මුරයට බයේ මන්ත්‍රිතුමිය ඌරගස්මංහන්දිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැමුවාය.
ඇත්තටම සිදුවූයේ කුමක්ද..?
හැමදේම කලින් මේ ගැන යම් විමසීමක් කරන්නට අප ඌරගස්මංහන්දියේ පොලිසියට දුරකතන ඇමැතුමක් දුන්නේ, වඩු කීර්තිගේ බැනවැදීමට ගියේ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ එම පොලිසියේම පැමිණිල්ලක් දමා තිබූ හේතු නිසාය.
නමුත්..,
කියන්න කනගාටුයි, අපේ උත්සාහය එතැනදී ව්‍යර්ථ විය. තුන් වතාවක් ඕ.අයි.සී. මහත්තයාගේ ජංගම දුරකතනයට ඇමැතුම් දුන්නද එතුමා ඒ පිළිබඳව යමක් පවසන්නට මැළිවිය. පළමු වතාවේ එතුමා..,
‘මම ටිකක් බිසී.., උදේ 09.00ට ගන්න..,
යැයි කියා සම්බන්ධතාවය බිඳ දැමුවේය.
දෙවැනි වතාවට, ඒ පෙබරවාරි 24 දාම උදේ 9.00ට ගන්නා විට ඔහු ඉන්ක්වෙයාර් එකක යැයි කීවේය.
තුන්වැනි වතාවට ගත්ත මොහොතේ ඕ.අයි.සී. තැන කීයේ..,
‘මම මේ ගැන කතා කරන්න වෙනත් නිලධාරියකු දෙන්නම් විනාඩි දහයකින් ගන්න කියලාය.
එයට පසුව ඔහුගේ දුරකතන අංකය ඩයල් කළ කිහිප වතාවෙම ඇසුණේ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ගැයෙන උපහාර ගීතය පමණය.
ඒ උත්සාහය අතහැර දැමූ තැන ‘පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ සෙල්ෆෝනයට කතා කරන්නට අප උත්සාහ ගත්තෙමු.
‘අනේ කෙල්ල.., උදේ දහයෙන් පස්සේ ගන්න හොඳ ළමයා වාගේ…’
ඒ ඇගෙ ලාලිත්‍ය හඬය.
කොච්චර වුණත් මන්ත්‍රීතුමිය ඕ.අයි.සී. මහතා මෙන් පොරොන්දු කඩ නොකළාය. හරියටම දහයයි කාලට ගන්නා විට ඈ කතාබහට සූදානම්ව සිටියාය.
මොකක්ද මැඩම් මේ වුණාය කියන්නේ…?
වැල්වටාරම් නැතිවම අප මාතෘකාවට බැස්සෙමු.
ඒකනෙ අනේ… අහක යන මරාල…
ඇත්තටම මොකක්ද වුණේ කියන්නකො කෙටියෙන්ම..?
ඔය කියන දවසේ උදේ… මම සාලෙට වෙලා ඉඳගෙන ඉන්නකොට මම දැක්කා මනුස්සයෙක් මිදුලේ එහා මෙහා යනවා…
ගාඩ් එකේ කවුරුත් හිටියෙ නැද්ද ඒ වෙලාවේ..?
හැමෝම එවේලේ විලේ එක ඇතුළේ… ඉඳලා තියෙන්නේ… කොහොම හරි වඩුකීර්ති කියන හාදයා ඉස්තෝප්පුවට ඇවිදින් මට කෑගහන්න ගත්තා.
මොනවගේ වචනද වඩුකීර්ති කිව්වේ..?
එයා කිව්වා… මට ණය දෙන්න තමා බැරි අනෙක් හැමෝටම ලොකු ලොකු වැඩකරගන්න දීලා කියලා.
ඇත්තටම ඔබ එහෙම ණය දෙනවද ගම්වැසියන්ට..?
ඔව්… චක්‍ර ලේඛනයක් යටතේ ස්වයං ව්‍යාපාර කරන අයට රජයෙන් එහෙම ණය දෙනවා… හැම වසරකම සුදුසුම දෙතුන් දෙනෙකු සොයා සුදුස්සක් කරනවා.
ඔය කියන වඩු කීර්ති ණය ලැබීමට තරම් නොවන කෙනෙක්ද..?
ඔව්… වඩු කීර්තිගේ පුතා බැංකු නිලධාරියෙක්. වඩු කීර්තිත් පිටරටක රක්‍ෂාව කරලා වාහනයක් එහෙම ගත්ත නෙකෙක්. ඔහු ඉන්නේ හොඳ ගේ දොරකයි. අනෙක ඔහුට ගෙදර මිදුල පැත්තකින් වඩු මඩුවක්ද තිබුණා.
හිතලා බලන්න එහෙම කෙනෙකුට මොනවටද දෙන්නෙ කියලා. අනෙක ඔහු ණය ඉල්ලන්නේ ‘ලෑම්ප්ෂෙඩ්’ කර්මාන්ත ශාලාවක් හදන්නයි. එච්චර ලොකු ව්‍යාපාරවලට කොහොමද රජයේ අනුග්‍රහය යටතේ සිදුවන චක්‍රලේඛනවලින් ණය පාස් කරන්නේ.
ඒ මනුස්සයට මම ඒක පහදල දුන්නා දවසක්. යම් අවස්ථාවක සුදුසු යමක් කරන්නම්ය කියලත් කිවුව. හැබැයි ඔහු ඒ කිසිවක් තේරුම් ගෙන නැහැ මම හිතන්නෙ.
වඩු කීර්ති ඔබේ නිවෙස අසල වෙසෙන අසල්වැසියෙක්ද..?
ඔහු ජයන්ති නම් අයකුගේ නිවෙස අසල වෙසෙන අයෙක්. ජයන්ති කියන්නේ පසුගිය අවුරුද්දේ චක්‍රලේඛ ණයක් යටතේ ණය සහන ලබාගෙන දැනට තුනපහ වර්ග අලෙවි කරන ස්වයං රැකියාවක නියැළෙන කාන්තාවක්. එම ව්‍යාපාරය සඳහා ඇයට මිරිස් මෝල ලබා දුන්නේ මමයි. ණය වරයක් තමාටත් ලබා දෙන්නැයි වඩු කීර්ති කලබල වුණේ එම සිදුවීමෙන්.
වඩු කීර්ති ඔබට පරුෂ වදනින් බැන වැදුණු බව ඔබ පැමිණිල්ලේ සටහන් කළා..?
ඔව්… ඔහු ඉතාම අවිනීත ලෙස බැනවැදුණා. ඔහු කී සමහර වචන මාධ්‍යයකවත් පළකිරීමට සුදුසු නැති තරම් පහත් මට්ටමක තිබුණා.
එවැන්නක් වෙනතුරු ආරක්‍ෂක භටයන් බලා සිටියාද..?
ඔවුන් සිටියේ ඔවුනට තනාදී තිබෙන නිල කුටියේ. ඒ කුටිය තිබෙන්නේ මගේ නිවෙසට අඩි 15ක් පමණ එහායින්. කලබලය ඇහිලා ඔවුන් දුවගෙන එනවිට වඩු කීර්ති කලබලයෙන් දිවගොස් බයික් එකට නැඟගත්තා.
ඔහු ඔබට මරණීය තර්ජන එල්ල කළාද..?
මරනවා කියා තර්ජනය කළා නම් එය සාමාන්‍ය බැනවැදීමක් වෙනවා. නමුත් ඔහු කී පහත් කතා කිසිදුම කාන්තාවකට අහන් ඉන්න වටින කතා නෙවෙයි. ඒ වේදනාවටමයි පොලිසියට ගියේ.
ඔබේ පැමිණිල්ල අවැසි ක්‍රියාකාරිත්වය ඔබට ලැබුණාද..?
ඔව්… ඌරගස්මංහන්දියේ ඕ.අයි.සී. පැමිණ කැමරා පරීක්‍ෂා කළා. තව මොන සාක්‍ෂිද? වඩු කීර්තිව අත්අඩංගුවට ගන්න මේ දර්ශන හොඳටම ඇති යැයි ඔහු කිව්වා.
ඒ තරමට සාක්‍ෂි තිබියදී ඔබට අපහාස කළ වඩු කීර්තිට විරුද්ධ පැමිණිල්ල පහුවදාම අස්කර ගත්තේ ඇයි..?
එය සිදුවූයේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදහත් වීම මතයි. උන්වහන්සේ මම කුඩා කල සිටම අපේ පවුලේ ගෞරවය දිනූ ස්වාමීන් වහන්සේ නමක්.
සිදුවීම වූදා රාත්‍රියේ උන්වහන්සේ පස්වරු හතට පමණ මා හමුවීමට පැමිණ සිටියේ වඩු කීර්තිගේ දුව සහ බිරිය සමගයි. ඔහුගේ තරුණ දියණිය මා හමුවේ හඬා වැටුණා. තාත්තාව අත්අඩංගුවට ගන්න එපා කියා… ඇත්තෙන් ‘කුසුමරුක්කාරමේ හාමුදුරුවොත්’ ඊට මැදිහත්ව සිටි නිසා ඒ දැරිවිගේ කන්නලව්ව මට අහක දාන්න බැරි වුණා. පහුවදා උදේම මම ඕ.අයි.සී.ට කෝල් කරළ පැමිණිල්ල අස්කර ගන්නවා කියලා.
දිගුකාලීනව ඔබට පාක්‍ෂිකව සිටි වඩු කීර්ති හිටිහැටියේ මෙසේ පරලවීම ගැන ඔබට සැකයක් හිතෙන්නේ නැතිද..?
ඇයි නැත්තේ… මේ සිදුවීම පසුපස යම් කුමන්ත්‍රණයක් තියෙන බව මට කොහොමත් දැනුණා.
ඔබ සැකකරන්නේ දේශපාලන හතුරුකමක් ගැනද..?
එයත් එකක්… ඒ වාගෙම තවත් යමක් මෙතැන තියෙනවා. මීට ඉහත කී මගේ ළඟ සේවය කළ යම් පුද්ගලයෙක්. මගේ ලේකම් ඔහුය යන නම පාවිච්චි කරමින් ගමේ තරුණයන්ට පිටරට යවන බව කියමින් මුදල් වංචාවක් සිදුකර තිබුණා.
ඒ පිළිබඳව තදින් දොස් පවරා මම ඔහුව සේවයෙන් පහ කළා. වඩු කීර්තිගේ අසල්වැසියෙක් වූ ඔහු ඒ තරහට මට විරුද්ධව ඔහු පාවිචිච් කළා වෙන්නත් පුළුවන්.
විරුද්ධ දේශපාලන හතුරුකමට ඔබ සැක කරන්නේ කා ගැනද..?
විරුද්ධ දේශපාලන පක්‍ෂයක් ගැන නෙවෙයි මම සැක කරන්නේ මගේ සැකය තියෙන්නේ මගේම පක්‍ෂයේ අය ගැනයි. මගේ පක්‍ෂයේම මට විරුද්ධව බොහෝ කැපිලි කෙටිලි තියෙනවා.
එයට හේතුව හැටියට ඔබ දකින්නේ..?
ඊර්ෂ්‍යාව… වෙන මොනවද.. ඊර්ෂ්‍යාව තමයි. ඔවුන් තුළ වැඩිපුරම තියෙන්නේ. හිතලා බලන්න, 2010 ඉඳන්ම මම පක්‍ෂයේ සංවිධායක ධුරය දරනවා. තුන්පාරක් පක්‍ෂයෙන් තරග කළා. දෙපාරක්ම පාර්ලිමේන්තුවට තේරුණා.
එච්චරට එක්ස්පීරියන්ස් තිබිලත් අපේ පක්‍ෂ සංවිධායකයන් සලකන්නේ තනතුරු දෙන්නේ එයාලට කුලියට කහින අයටයි.
එතැනින් ගියාම අපේ පක්‍ෂයේ පාර්ලිමේන්තුව තුළ කාන්තා සංවිධානයක් තියෙනවා. කවදාවත් එහි තනතුරක් වෙනුවෙන් අපට හිමිකමක් නැහැ. එහි කාරක සභාවක් නැහැ. තනතුරුවලට යමෙක්ව පත්කරන්නේ එයාලමයි. සංවිධායකවරුත් එයාලා, තනතුරු දරන්නෙත් එයාලා. හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි හැමදාමත් එහි සදාකාලික සභාපතිනි.
එහි ලේකම්ලා උප සභාපතිලා වන්නේ හැමදාමත් පවිත්‍රාට කහින අයමයි. අපිව තියන් ඉන්නේ එයාලගේ වහල්කම් කරන්න. සංවිධායක කමිටුවේදී අරක කළාද, මේක කළාද, ඇයි මේ විදියට නොකළේ කියලා මහ ලොක්කො වගේ එයා අපට අණ කරනවා.
කියන්න ලැජ්ජයි ඇත්තටම ඕවා ගැන… මට නම් ඔය තනතුරු වැඩකුත් නැහැ. මම හැමදාමත් වැඩ කළේ මගේ පක්‍ෂයේ දියුණුවටයි. අදටත් මේ මොහොතෙත් කරන්නේ ඒකයි.
මේ දවස්වල මම ජපන් ආයෝජකයෙක් සමග අපේ අක්කර එකසිය පනහක වගුරක් ගැන ගනුදෙනුවක කටයුතු කරනවා.
එයාලා ඒක මගෙන් ඉල්ලනවා. යුරෝ මිලියන තුන්දහසකට එයාලට ඕනෑ ඒ වගුරුබිම ගොඩ කරලා කාමර සියයක ලොකු හෝටලයක් හදන්නයි.
මට ඕනෑ කරන්නේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේ බෙන්තර දියුණු කරන්නයි. හෝටල් ව්‍යාපෘතිය හරහා ගමේ කී දාහකට රස්සා ලැබෙනවද. බෙන්තර ගමට වුණත් එය මොනතරම් ආයෝජනයක්ද. අපි එහෙමයි පක්‍ෂය හරහා අපේ යුතුකම කරන්නේ. කුලියට කැහැලා ලොකු ලොක්කන්ට කඹුරලා මහ ලොකු පුටුවක වාඩිවෙන කලාවක් මගේ දේශපාලන තුළ නැති බව මම ආඩම්බරයෙන් කියනවා.
දැන් වඩු කීර්තිගේ සංසිද්ධිය මෙතැනින් අවසානද..?
ඔව්… එහි සියල්ල අවසන්. ආයෙම ඒ ගැන කතා අවශ්‍ය නැහැ.
තවත් යමක් කියන්න ඕනෑ. මම දේශපාලනයට ආවෙත් සිනමාවේ නම තිබ්බෙත් කවුරුත් වාගේ කාටවත් පන්දම් අල්ලලා නෙවෙයි. මගේම උත්සාහයෙන් මගේම කැපකිරීම් තුළින්. අන්න ඒ කාරණය පාර්ලිමේන්තුවේ ඉන්න කොයි නෝනලත් දන්නවා. ඒ හින්දා තමයි මට කැපිල්ල දාන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සිය කතාබහට තිත තැබුවේ එහෙමය.
හිතන්නට යම් කරුණු කිහිපයක් වේ..,
ඌරගස්මංහන්දියේදී ඕ.අයි.සී. මහත්තයා ‘මව්රට’ට උත්තර බඳින්න පසුබට වූයේ ඇයි…?
ආරක්‍ෂක නිලධාරීන් සිටින බංගලාවකට පැමිණ වඩු කීර්ති වැනි සාමාන්‍ය ගම්වැසියෙකුට මන්ත්‍රිවරියකට පරුෂවදනින් බැන වැදීමට තරම් නිදහස ලැබුණු ආකාරය ගැන ඇත්තේ ගැටලුවකි.
අනෙක… වඩු කීර්තිට විරුද්ධව මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ දැමූ පැමිණිල්ල ඒතරම් ඉක්මනට අස්කර ගැනීමට යුහුසුළු වීමද එක අතකට පුදුමකාරය.
ඒ ‘පුදුමය’ තුළ ඇත්තේ ඇගේ උතුම් මනුස්ස ගුණය පමණක්මද..?
දමයන්ති ප්‍රනාන්දු










