‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ දෙමළ කොටි සටන්කාමීන්ට අවි ආයුධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන ගණනින් මුදල් රැස් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව ස්විට්සර්ලන්තයේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ. ‘දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සහාය දැක්වීම සඳහා 1990 දශකයේ අග භාගයේදී සහ 2000 වසරේ මුල් භාගයේදී ස්විට්සර්ලන්තයේ වෙසෙන ජනතාවගෙන් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 15ක් (ඩොලර් මිලියන 15.02ක්) එකතු කරගත් බවට මෙම පුද්ගලයන්ට එරෙහිව චෝදනා නගා තිබෙනවා. මෙම විත්තිකරුවන් ස්විට්සර්ලන්තයෙන්, ජර්මනියෙන් සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයන් යැයි ප්‍රකාශ වී තිබෙනවා. අපරාධ සංවිධානයකට අනුබල දීම හෝ එවැනි සංවිධානයක සාමාජිකයන් වීම, වංචා සිදුකිරීම, ව්‍යාජ සහතික කිරීම් සිදුකිරීම මෙන්ම මුදල් විශුද්ධිකරණයද සම්බන්ධයෙන් මෙම අධි චෝදනා එම පුද්ගලයන්ට එරෙහිව ගොනුකර ඇති බව ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය නිවේදනය කර ඇත. නීතිපති කාර්යාලය මෙම විත්තිකරුවන්ගේ නම් හෙළිකර නැතත් එම පිරිස ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානයකට අයත් සාමාජිකයන් යැයි ප්‍රකාශ කර ඇත. ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය විසින් සිදුකරන ලද පුළුල් පරීක්ෂණයකින් මේ බව අනාවරණ වී ඇත. ෆෙඩරල් අපරාධ අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනෙනු ඇත…’
කුමක්ද මේ කතාන්දරය? මෙම වගතුග මෙලෙසම ඉංග්‍රීසි බසින් පළ කෙරෙන්නේ 2016 වසරේ ජූලි 20 වැනිදා ප්‍රකාශිත රොයිටර් මාධ්‍ය සේවයේ පුවතක් හරහාය. ස්විට්සර්ලන්තයේ නීතිපතිවරයා විසින් මෙසේ පවරන ලද නඩුව එවක මහත් ආන්දෝලානාත්මක කතාන්දරයක් විය. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිමාවී වසර 07ක් ගිය තැනදී පැවරුණු මෙම නඩුව සඳහා සම්පූර්ණයෙන්ම මැදිහත්ව තිබණේ ස්විට්සර්ලන්තයේ රජයයි. මෙම පුවත කියවන විට ඔබට පෙනෙන එහි සඳහන් ඇති දෙමළ සංවිධානයේ නාමය හොඳින් කියවා බලන්න. මෙම සංවිධානය නම්, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවයි. විත්තිකරුවන් 13 දෙනා අයත් වන්නේ මෙම සංවිධානයටය. අද ඔබට වසර 07කට පෙර සිදුවූ මෙම සිදුවීම ලියා තැබුවේ සුවිශේෂ හේතුවක් නිසාය. එනම් මෙයට දින කිහිපයකට පෙරදී අපේ රට තුළින් අසන්නට ලැබුණු නවතම පුවතක් හේතුවෙනි. මෙම වත්මන් රජය මෙයට දින කිහිපයකට පෙරදී ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරා සංවිධාන 06කට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබීය. එම සංවිධාන 06 ඇතුළත් ලැයිස්තුවේ එක් ප්‍රධානතම සංවිධානයක් ලෙස ඉහත සංවිධානයේ නාමයද දක්නට හැකිය.
‘කලකදී වහ කලකදී රහ වෙනවාලු’ යැයි අපගේ පැරැණි ජනවහරේදී අපූරු කියමනක් පැවැසුවේ නිකම් කට කහනවාට නොවේ. මේ අනුව ලොව ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් අද ශ්‍රී ලංකාවේ රජයට ‘වහ නොවී රහ වීම’ මෙම අපූරු වගතුගයි. මෙය ඉහත තහනම ඉවත් කරන ලද එක් සංවිධානයක යම් කතාවක් පමණි. ස්විට්සර්ලන්තයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරනු ලැබූ මෙම නඩුවේ විත්තිකාර පාර්ශ්වය වූ ‘ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව’ (World Tamil coordinating committee) යනු ස්විට්සර්ලන්තයේදී ස්ථාපිත කර තිබෙන දෙමළ ඩයස්පෝරා සංවිධානයකි. එම රටෙහි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව 50,000කට අධික වන අතර, එම බහුතරයක් පිරිස මෙම සංවිධානයේ සාමාජිකයන් වෙයි. මෙම පිරිස අතර 2009 ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය අවසානයේදී මෙරටින් පැනගිය දෙමළ කොටි සංවිධාන ක්‍රියාකාරිකයන්ද රැසක් වෙයි. නඩුව පවරා ඇත්තේ මෙවැනි ක්‍රියාකාරිකයන් 13 දෙනකුට එරෙහිවය. ස්විට්සර්ලන්තයේ දණ්ඩ නීති සංග්‍රහයේ 260 වැනි වගන්තිය යටතේ (Swiss penal code article 260) මෙම සුවිශේෂ නඩුව ගොනුකර තිබිණි. දැන් එසේ නම් මෙම නඩුවට පසුව සිදුවූයේ කුමක්ද?
මෙම නඩුවේ අපූරු කතාව ඇසෙන්නට ගත්තේ 2018 වසරේදීය. එනම් නඩු වාර කිහිපයක් පැවැති නඩුව 2018 වසරේදී අවසාන වූයේ චූදිතයන් 13 දෙනාම නිදොස් කොට නිදහස් කරමිනි. අපරාධ නීතිය යටතේ නිසි සාක්ෂි නැතැයි ප්‍රකාශ කරමින් තීන්දුව ලබාදුන්නේය. එකල මෙම නඩුව අත්තනෝමතික ලෙස ජයග්‍රහණය කරවීම සඳහා ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින් ඩොලර් මිලියන 04ක (එකල රුපියල් කෝටි 12ක් පමණ) අතිවිශාල මුදලක් වැයකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඩොලර් මිලියන 15කට අධික මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකික කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් උදෙසා වංචනිකව උපයාගෙන තිබුණු බව ප්‍රකාශ විය. කෙසේ හෝ දෙමළ කොටි ක්‍රියාකාරිකයන් එසේ උපයාගත් මුදලින් අතිවිශාල මුදලක් නැවත වැය කරමින් නඩුවෙන් සාර්ථක ලෙස ජයග්‍රහණය කළේය.
වසර 30ක් පුරා ශ්‍රී ලංකාව අතිමහත් විනාශයකට පත්කළ LTTE කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන මුළු මහත් ලෝකයම දැනුවත් අතර, එම වගතුග මෙහි ලියන්නට අවශ්‍ය නැත. කෙසේ හෝ පසුගියදා රජය කොටි ඩයස්පෝරාව තහනම ඉවත් කිරීම යනු වර්තමානයේදී ඉතා ආන්දෝලානාත්මක විෂයක් බවට පත්වී ඇත. මෙලෙස පසුගියදා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ විදෙස් රටවල තිබෙන ප්‍රබල දෙමළ ඩයස්පෝරා සංවිධාන 06ක සහ පුද්ගලයන් 316ක් වෙත ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන ලදී. මෙම තහනම ඉවත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආරක්ෂක අමත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට්ටුවක් මගිනි. මින් පෙර ඉතා දීර්ඝ කාලයක් පුරා මෙම සංවිධානවලට සහ පුද්ගලයන්ට එරෙහිව තහනම පනවා තිබිණි. විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී මෙවැනි තහනමක් පනවා තිබිණි. ඉහත සංවිධානවලට අමතරව තවත් දෙමළ ඩයස්පෝරා සංවිධාන 15කට පමණ රාජපක්ෂ රජය සමයේදී එම තහනම පනවා තිබිණි. කෙසේ හෝ වර්තමානයේදී දෙමළ ඩයස්පෝරා සංවිධාන පමණක් නොව මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයකටද මෙවැනි තහනමක් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබේ. පසුගියදා තහනම ඉවත් කෙරුණු දෙමළ ඩයස්පෝරා සංවිධාන 06 ගැන එකිනෙක කරුණු විමසා බලමු. මෙම සංවිධානවල නාමයන් පමණක් බොහෝ රාජ්‍ය ප්‍රකාශන සහ මාධ්‍යවල සඳහන්ව තිබුණද එම සංවිධානවල නිසි වගතුග සඳහන්ව නැත. එහෙයින් ‘මව්රට’ පාඨකයන් උදෙසා අප එම වගතුග සොයා බලා ලියා තබමු.
බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය (British Tamils Forum – බි‍්‍රටිෂ් ටැමිල්ස් ෆෝරම්)
මහා බි්‍රතාන්‍යය (එංගලන්තය) තුළ ස්ථාපිත කර තිබෙන ලෝකයේ ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානවලින් එකකි. මෙය 2006 වසරේදී ආරම්භ කරන ලද සංවිධානයක් වන අතර බි්‍රතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනයා 1,25,000ක පමණ ප්‍රමාණයක් මෙහි සාමාජිකත්වය දරති. දැනට බි්‍රතාන්‍යය තුළ ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලක්ෂ 02කට අධික පිරිසක් වාසය කරති. දෙමළ ජනයාගේ විවිධ සුබසාධන කටයුතු මෙන්ම කොටි ත්‍රස්ත සංවිධානය ක්‍රියාකාරීව පැවැති සමයේදී එම සංවිධානයට බොහෝ සහාය දක්වා ඇත. විශේෂයෙන්ම කොටි සංවිධානයේ කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ චෝදනා ලබා ඇත. එහෙයින් ශ්‍රී ලංකා රජය විසින් මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කොට තහනම් කරනු ලැබීය. කෙසේ හෝ 2015 වසරේදී යහපාලන රජය විසින් එම තහනම ඉවත් කරන ලද අතර, නැවත 2021 වසරේදී රජය විසින් එම තහනම පනවන ලදී. පසුගිය වසර ගණනාවක් පුරාම ශ්‍රී ලංකා රජයන්ට එරෙහිව මහා බි්‍රතාන්‍යය තුළ විශාල උද්ඝෝෂණ මාලාවක් පවත්වනු ලබන්නේ බි්‍රතාන්‍ය දෙමළ සංසදය විසිනි.
කැනේඩියානු දෙමළ කොංග්‍රසය (Canadian Tamil Congress) කැනේඩියන් ටැමිල් කොංග්‍රස්)
කැනඩාව තුළ ස්ථාපිත කර තිබෙන ලෝකයේ ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානයකි. 2000 වසරේදී ආරම්භ කරන ලද මෙම සංවිධානයේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලක්ෂයකට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරයි. LTTE කොටි සංවිධානයට ඉතා ප්‍රබල ලෙස උදව් උපකාර කළ සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා රජයෙන් චෝදනා ලබා ඇත. LTTE සංවිධානයේ පෙරගමන් සංවිධානයක් ලෙසට කැනේඩියානු දෙමළ කොංග්‍රසය දෝෂාරෝපණයට ලක්ව ඇත. ශ්‍රී ලංකාව තුළ තමිල් ඊළාම් දේශයක් පිහිටුවීම සඳහා කොටි සංවිධානයට විවිධාකාර අයුරින් ආධාර උපකාර සිදුකර ඇතැයි චෝදනා ලබා ඇත. කැනඩාව තුළ සිදුකෙරෙන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සියල්ලක්ම පාහේ සංවිධාන කරනු ලබන්නේ කැනේඩියානු දෙමළ කොංග්‍රසය මගිනි. සුවිශාල මූල්‍ය සංචිතයක් හිමි ඉතා ධනවත් දෙමළ ඩයස්පෝරා සංවිධානයක් ලෙසට ප්‍රකටය.
ගෝලීය දෙමළ සංසදය (Global Tamil Forum – ග්ලෝබල් ටැමිල් ෆෝරම්)
මෙම සංවිධානයේ ශාඛා ලෝකයේ රටවල් කිහිපයකම පිහිටුවා ඇත. විශේෂයෙන්ම යුරෝපයේ රටවල් කිහිපයක් තුළ මෙය ඉතා ක්‍රියාකාරීව කටයුතු කරයි. ඒ ඒ රටවලට අදාළව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේදී දෙමළ ජනතාවට යුද අපරාධ සිදුකෙරුණේ යැයි චෝදනා නඟමින් යුක්තිය ඉල්ලා සටන් වදින ප්‍රකට සවිධානයකි. මහා බි්‍රතාන්‍යයේදී මෙ සංවිධානය එරට ප්‍රධානතම දේශපාලනික පක්ෂ දෙක වන ලේබර් (කම්කරු) පක්ෂය සහ කොන්සවේටිව් පක්ෂය සමග බොහෝ සමීපව කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට ජාත්‍යන්තරය සමග ඉතා සමීපව කටයුතු කරන සංවිධානයක් ලෙස කරුණු ප්‍රකාශ කරයි. එම සංවිධානයේ නිල කොඩියේ ඇත්තේද ‘තමිල් ඊළාම්’ රාජ්‍යයේ රතු සහ කහ යන වර්ණ දෙක වෙයි.
ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව (World Tamil Coordinating Committee)
ස්විට්සර්ලන්තයේ ස්ථාපිත කර තිබෙන ඉතා ප්‍රබල දෙමළ ඩයස්පෝරා සංවිධානයකි. මෙම ලිපියේ ආරම්භයේදී ලියා තැබූ නඩුවට මූලික වූ සංවිධානය වෙයි. ස්විට්සර්ලන්තය තුළ LTTE කොඩි සංවිධානය නියෝජනය කළ සංවිධානය ලෙසට චෝදනා ලබා ඇත. එසේම LTTE සංවිධානයේ ක්‍රියාකාරකම්වල සිටි පුද්ගලයන් රැසක් මෙම සංවිධානයේ ප්‍රධාන තනතුරු සහ සාමාජිකත්වයෙහි සිටින බවට කරුණු හෙළිවී ඇත. ඉතා විශාල අරමුදල් සම්භාරයක් හිමි සංවිධානයකි.
ඕස්ටේරිලියානු දෙමළ කොංග්‍රසය (Australian Tamil Congress – ඕස්ටේරිලියන් ටැමිල් කොංග්‍රස්)
ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාපිත කර තිබෙන ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානයකි. එරට තුළ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනයා 50,000කට ආසන්න වූ ප්‍රමාණයක් මෙම සංවිධානයේ සාමාජිකත්වය උසුලයි. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය තේමා කරගෙන සෑම වසරකම දෙමළ ජන සංහාරය (ඝාතනය) සිහිකිරීම නමින් විශාල සැමරුම් උත්සවයක් ඔස්ටේ්‍රලියාව තුළ පැවැත්වීමට මෙම සංවිධානය කටයුතු කරයි. ශ්‍රී ලංකා රජය එම විනාශයන් සිදුකළේ යැයි දෝෂාරෝපණය කරමින් අනෙකුත් විවිධ ජාතීන්ද දැනුවත් කරයි. පසුගිය කාලයේ එනම් 2021 ජනවාරි 08 වැනිදා වත්මන් රජය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ තිබුණු දෙමළ ජනතා ‘මුල්ලිවයික්කාල්’ ස්මාරකය රාජ්‍ය හමුදා මගින් විනාශ කර දැමීමට එරෙහිව බලවත් විරෝධයක් ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය විසින් දක්වන ලදී.
ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය (Tamil Eelam Peoples Assembly – ටැමිල් ඊළාම් පීපල්ස් එසෙම්බ්ලි)
2009 වසරේදී ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධය නිම වීමෙන් පසුව ආරම්භ කරන ලද දෙමළ ඩයස්පෝරා සංවිධානයකි. නෙදියවාන් නමැති LTTE හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයා විසින් මෙම සංවිධානය නිර්මාණය කරන ලදී. ලෝකයේ රටවල් කිහිපයකම ශාඛා පිහිටුවා ඇත. LTTE කොටි සංවිධානයේ පැවැති විශාල ධන සම්භාරයක් සහිත අරමුදල් පසුකාලීනව පරිපාලනය කළේ නෙදියවාන් ප්‍රමුඛ පාර්ශ්වය විසින් බව පැවැසෙයි. මේ නිසා දැනට මෙම සංවිධානය සතුව සුවිශාල ඩොලර්, පවුම් අරමුදල් සංචිතයක් ඇතැයි ප්‍රකාශ වෙයි.
දැන් ඔබට මේ වටපිටාව හොඳින් පැහැදිලි වනවා ඇතැයි සිතමි. කෙසේ හෝ පසුගිය කාලයේ මෙවැනි දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් වෙත තහනමක් පනවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1,373 යටතේය. 2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාලාවේ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට අදාළව එම තහනම නොහොත් අසාදු ලේඛනගත කිරීම සිදුකරනු ලබයි. මෙලෙස අසාදු ලේඛනගත කර තිබූ සංවිධාන සහ පුද්ගලයන් එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදුකළ අලුත් දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ විදේශ කටයුතු අමාත්‍යාශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව මෙම තහනම ඉවත් කිරීම සිදුකර ඇති බවයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීමේ යෙදී සිටීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇති සංවිධාන සහ පුද්ගලයන් පිළිබඳ නොකඩවා සිදුකරනු ලබන නිරීක්ෂණයන් සහ අධ්‍යයනයන්ගෙන් පසු එම සංවිධාන හෝ පුද්ගලයන් හෝ අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම හෝ නව සංවිධාන හෝ නව පුද්ගලයන් හෝ අලුතින් අසාදු ලේඛනයට ඇතුළත් කරන බව රජය ප්‍රකාශ කර සිටියි. මෙය කාලානුරූපීව සිදුකරනු ලබන නිල ක්‍රියාවලියක් බවද රජය අවධාරණය කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙය සිදුකරයි. කෙසේ හෝ පසුගියදා සමාජයේ ආන්දෝලනයට තුඩුදුන් මෙම සිදුවීම පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින්ද නිවේදනයක් නිකුත් කර ඇත. එහි මෙසේ පැහැදිලි කරයි.
‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII පරිච්ඡේදය යටතේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වැනි දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදී. එමගින් ත්‍රස්තවාදය මැඬලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සාමාජික රටවල් වෙතද පවරා ඇත. ඒ අනුව 2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 මැයි මස 15 දිනැති අංක : 1758/19 අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත් කර ඇත. ඉහත නියෝග ශ්‍රී ලංකාව තුළ ක්‍රියාතමක කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාගෙන් විමසා නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරනු ලැබ ඇත. 2022/08/01 දින ප්‍රකාශිත 2291/02 ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තළදී ආරම්භ කළ අතර, ඒ අනුව රට තුළ හෝ රටින් පරිබාහිරව ජීවත් වන හෝ ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී සංවිධාන පිළිබඳ සොයාබැලීම සිදුකරන ලදී. මේ සෑම කාර්යයකම අවසන් තීන්දුව නිසි බලධරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලබයි. ඒ අනුව දීර්ඝ අධ්‍යයනයකින් පසුව 2022/08/01 දින අංක 2291/2 ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී….’
කෙසේ හෝ රජය මෙවැනි තීරණයක් මගින් පැහැදිලිවම බලාපොරොත්තු වන්නේ රජය සහ ඩයස්පෝරා සංවිධාන අතර යම් මිත්‍රත්වයක් ගොඩනගාගැනීම යැයිද රාජ්‍ය පාර්ශ්වයෙන් යම් අදහස් දැක්වීමක් කර තිබිණි. එසේම එවැනි ක්‍රියාවලියක් මගින් ඩයස්පෝරා සාමාජිකයන් සතු සුවිශාල ධන සම්භාරයන්ද මෙරටට විදේශ විනිමය ලෙසින් ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමක්ද පෙනෙන බැව් තවත් පාර්ශ්වයක් ප්‍රකාශ කර තිබිණි. දැනට ලෝකයේ රටවල් රැසක සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30ක් ඉක්මවන බව ප්‍රකාශ වන අතර මොවුන් සතුව අතිවිශාල ධන සම්භාරයක් ඇත. ශ්‍රී ලාකික රජයේ ඩයස්පෝරා තහනම මත මොවුන් පසුගිය දශක එකහමාරක පමණ කාලයක සිට තමන්ගේ ධනය ශ්‍රී ලංකාවට ගෙන ආවේ නැත. පසුගියදා නිමලන් විශ්වනාදන් නමැති ඩයස්පෝරා නායකයකුද ශ්‍රී ලංකාවට පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට විදේශ ඩයස්පෝරාවන් කැමැත්තෙන් සිටින බවයි. ඔහු ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ විදේශ ණය මුදල් සියල්ලම ගෙවා දැමීමේ හැකියාවක් දෙමළ ඩයස්පෝරාව සතු බවයි. එනම් ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ණය ප්‍රමාණය වන රුපියල් ටි්‍රලියන 17ක මුදල පවා ගෙවා දැමීමට හැකි වත්කම් මෙම ඩයස්පෝරාවන් සතු බවයි. මෙය විටෙක සත්‍යයක් වන්නට ඉඩ ඇත. එනම් ශ්‍රී ලංකා වාර්ගික යුද්ධයේදී කොටි ත්‍රස්තයන්ට ආයුධ ලබාගැනීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළේද මෙම ඩයස්පෝරාවන්ය. එහෙත් දැන් යුද්ධය අවසන්ව ඇති හෙයින් ඔවුන්ට එම සාමාජික මුදල් ඩොලර් බිලියන ගණනින් ඉතිරිව ඇත. එහෙත් මේ රජයට එම මුදල් ඔවුන් ලබාදෙන්නේද?
ප්‍රියන්ත හෙට්ටිගේ