අගමැති ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සුපර් බඩු දෙකක් උන්හ. එක් කෙනෙක් සංස්කෘතික ඇමැති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාය. හෙතෙම නියම සිංහල බඩුවකි. කතා කරන්නේ හෙවත් බණන්නේද හෙළුවෙනි. එමෙන්ම වනන්නේද හෙළුවෙනි. මම යනවා නොවේ මා යනවාය. මන්ද හෙතෙම හෙළයකු හෙවත් සුබැසියකු හෙවත් කුමාරතුංග මුණිදාස මහ හෙළයාගේ හෙළ හවුලේ ඇතුළතකු හෙයිනි. එසේම හෙළ හවුළේ මහ ටැඹක් වන් අරිසෙන් අහුබුදු සූරීන්ගේද ගෝලයකු බැවිනි. (මේ ලියුම්කරු හෙළ හවුලේ අයකැමි (භාණ්ඩාගරික) වශයෙන් අවුරුදු විස්සක් පමණ සිටි හෙයින් ඒ බැව් දන්නේය.)(Sri Lanka Latest News)
වි.ජ.මු.යැයි කෙටි සුරතල් නමින් හැඳින්වුවද ඇතැමුන් ඊට අරුත් දුන්නේ විජ්ජාවෙන් ජනතාව මුළා කරන වශයෙනි. සමාජශීලී ප්‍රජාහිතැති ජනමන පොබයන බස්බිණීමේ සූරයකු වූ හෙයින් ඔවුන් (ඔහු යන බහුඅර්ථ උක්තපදයේ ගෞරවනීය අනුක්ත පදය) වටා ගෙතුණු අරුතෙන් රෙසෙන් පිරුණු කතා බොහෝ වුවද පුහුදුන් දනන්ගේ සුපසන් පහන් සංවේගය උදෙසා මෙසේ එකක් කියන්නෙම්.
එතුමා හමුවීමට බොහෝ දෙනා අමාත්‍යාංශයට නිරන්තරයෙන් එන්නෝය. එසේ අවුත් තමන්ගේ වාරය පැමිණි විට තම ප්‍රශ්නය කියයි.
ටයි බැඳගත් මහත්වරුන් දෙතුන් දෙනෙක් තම අමාත්‍යාංශයට අදාළ ලිපිගොනුද අතේ තියාගෙන දවසක් ඇමැතිතුමා හමුවූහ. (මේ ලියුම්කරුද එදින ඒ අමාත්‍යාංශයට මොකක්දෝ මඟුලකට ගොස් අවස්ථාව එනතුරු සෙසු පිරිස සමග බලා උන්නේය.)
“ඇමැතිතුමා අපි එඩියුකේෂන් එකෙන්” මහත්තයෙක් තම ආයතනය කීවේය.
“මොකක් කීව” ඉංගිරිසි වචනය නොදත් සේ ඇමැතිතුමා ඇසුවේය.
“ඇමැතිතුමා අපි එඩියුකේෂන් එකෙන්”
“ඒකට කියන බොහෝම හොඳ සිංහල වචනයක් තියෙනව අධ්‍යාපනය කියලා” එතුමා වරද නිවරැදි කර දුන්නේය. විනාඩි හත අටකින් ඔවුන් ගියෙන් පෝලිමේ සිටි තවත් කීපදෙනෙක් වි.ජ.මු. ඇමැති හමුවූහ. ඊළඟට සිටි මහත්තයෙක් ගියේය.
“ඇමැතිතුමා මේක ඉලෙක්ටි්‍රසිටි බෝඩ් එකේ ප්‍රශ්නයක්”
“මොකෙන් කීව” වාඩිවී සිටි දහ පහළොවක් අබියස ඇමැතිතුමා උන් පුටුවේම ඉදිරියට නැමී විමසුවේය.
“ඇමැතිතුමා ඉලෙක්ටි්‍රසිටි බෝඩ් එකෙන්“
“ඒකට බොහෝ..ඕ..ම ලක්‍ෂණ සිංහල වචනයක් තියෙනව විදුලිබල මණ්ඩලය කියලා. මීට පස්සෙ එහෙම කියන්න”
ඊළඟ මහත්තයා ගියේය.
“ඇමතිතුමා මම කැවුතු සහෝදරයන්ගෙන්”
ඇමැතිතුමා තක්බීර් බැල්මක් හෙළුවේය.
“මොකෙං”
“කැවුතු සහෝදරයිංගෙං”
“ඒකට ඉංගිරිසියෙං කියන්නෙ මොකක්ද?”
“ඇමතිතුමා ලිවර් බ්‍රදර්ස්”
“ඒක එහෙම කියන්ඩ” ඇමැතිතුමා පුටු ඇන්දටම හේත්තුව කීවේය.
වි.ජ.මු.ගේ නියෝජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහත් ඔය ජාතියේම බඩුවක්ය. හැබැයි දෙන්නට දෙන්නා “අංමිටි” (එගේන්ස්ට්) තළන්නෝය. ඒක සීතල යුද්ධයක් විය. එක් අයෙක් කොළ කැඳයා වූවේය. අනිත් කෙනා සෙරෙප්පු සුපා කියනු ලැබුවේය.
ඒ.ජේ. ගිය ගිය තැනදී හත්පොළේම ගාගන්නේය. කියන්නේ මහ අමන කතාමය. තමන්ගේ කට පරිස්සං කරගන්නා ලෙසට ප්‍රේමදාස මහතා ඔහුට හත්අට වතාවක්ම අවවාදද කර තිබුණේය. ඒ වුණාට ප්‍රේමදාස මහත්තයාගේ හොඳම චක් ගෝලයයා. නියෝජ්‍ය ඇමැතිකමට ඉස්සර හිටියේ ටවර් හෝල් පදනමේ සභාපති ලෙසය. ඔහු එන බව හැතැප්මක් දුර තියා කියන්නට පුළුවන. මන්ද එන්නේ සුවඳ විලවුන් (සෙන්ට්) ගාගෙන නොව නාගෙනය. ඊට හේතුව මහා බ්‍රහ්මයාගේ සුන්දරතම නිර්මාණයට ඔහු ළැදි එමෙන් ගිජු හෙයින් පමණක් නොව වහවැටී උන් හෙයිනි.
අපේ රටේ මාධ්‍යවේදීන් පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යකරුවන් පවා ඔය තොරතුරු දන්නා බව පැවසිණි. ලස්සන ලලනාවන් සිටින රටකට නිල සංචාරයකට යාමට පෙරාතුව ද ලොක්කා කට පරෙස්සම් කරගන්නා ලෙසට ඒ.ජේ.ට කීවේලු. මෑන් ඒ රටට ගොස් ප්ලේන් එකෙන් බහින විටම
“සර් මෙහෙ හොඳ බ්‍රොදල් හවුස් තියෙවනවා” යැයි මාධ්‍යවේදියෙක් කීවේලු.
“මෙහෙ බ්‍රොදල් හවුස් තියෙනවද?” ඒ.ජේ.පෙරළා ඇසුවේලු.
“මෙහෙ බ්‍රොදල් හවුස් තියෙනවා”දැයි ගුවන් යානයෙන් බැස්ස හැටියේම අපේ බඩුව මාධ්‍යකාරයන්ගෙන් ඇසූ බවට පසුවදා එරටේ පුවත්පත්වල පළවී තිබුණේලු.
ඔය අපේ මහ ගෙදර ඉස්සර අයියලාගේ කටවල්වල හැටි සොබාවයය.
යූ.ඇන්.පී.ය 1970 දී ආසන අටකට බහින්නට හේදී ගොස් මැතිනිය බලයට පත් ආණ්ඩුවේ ජන රැල්ලට පොල් කෝම්බ පවා ගසාගෙන ආවේ යැයි ඇතැමෙක් කීහ.
වෑත්තෑවේ, බළල්ලෙ සහ උනම්බුවේ යන නම්වලින් හැඳින්වූ මහජන නියෝජිතයෝද ඒ අතර උන්හ.
“මේ සැරේ බලල්ලු, ඉත්තෑවො, කලවැද්දො හිටං ඇවිත් ඉන්නේ” යැයි ගාල්ලෙ විජයානන්ද දහනායක මහතා පැවසූ අන්දම මට අද වගේ තවමත් මතකය.
මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ භාගයක් බූරුවෝ යැයි වරක් විජයානන්ද දහනායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට තදවූ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව කෑකෝ ගෑ අතර ඒ කතාව ඉල්ලා අස්කරගන්නා ලෙසට කතානායකවරයා නියම කෙළේය.
“මම කියනව මේ සභාවෙ ඉන්න භාගයක් බූරුවො නෙමෙයි කියලා” බනිස් මාමා කීවේය. (විජයානන්ද මහතා අධ්‍යාපන ඇමැතිව සිටියදී පාසල්වලට බනිස් දුන් නිසා ළමයි ඔහුට බනිස් මාමා යැයි කීවෝය.)
ඔය පාර්ලිමේන්තු ඉතිහාසයේ රසබර කතාය. හැබැයි ඔයිට වැඩිය ගුටි ඇනගැනීම් ද තිබිණි.
වරක් බොක්සිංකාර මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු පඩිපෙළේදී මන්ත්‍රීවරයකුට පයින් කෙළපු විට ඔහු කොණ්ඩෑරුම් තුනක් ගැසුවේය. ගුටිකෑ තේමිස් මහතා වහාම දුවගොස් තම පක්‍ෂයේ ලොක්කා වූ අගමැති බණ්ඩාරනායක මහතාට පැමිණිලි කෙළේ “කොතළාවල මට ගැහුවා” කියමිනි. (තැපැල් පියුන් කෙනකු වූ තේමිස් මහතා බණ්ඩාරනායක මහත්තයාගෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය යටතේ මන්ත්‍රී ධුරයක් ලැබූවෙකි)
“තමුසෙ මොකක්ද එයාට කීවෙ?” අගමැති ඇසුවේය.
“මම හලෝ ජෝන් කීවා”
“මමවත් එයාට එහෙම කියන්නෙ නෑ. මම කියන්නෙත් සර් ජෝන් කියලා” බණ්ඩාරනායක මහතා කීවේය.
අනිත් චීනාඩිකාර මන්ත්‍රී අශෝක කරුණාරත්න මහතා අර වගේම පඩිපෙළේදී කොණ්ඩෑරුම් දෙක තුනක් රෝල් වෙන්නට වලපනේ මන්ත්‍රී ටී.බී.ඇම්. හේරත් මහතාට දුන්නේය.
වරක් වාසුදේව නානායක්කාර උන්නැහේ සෙංකෝලය උස්සාගෙන දිව්වේය.
දැන් නම් කොහෙත්ම නැතත් එදා (අතීතයේ) කරත්තකාරයන් සණ්ඩු වෙන විටත් ගුරුවරුන් සණ්ඩු වෙන විටත් ඒ දෙක අතර බරපතළ වෙනසක් විය. ගුරුවරුන් බැණගත්තත් කිසියම් සංවරයක් තිබිණි. කරත්තකාරයන් අතර එවැන්නක් නොවිණි. අම්මමෝ නැත.
පේමන්ට් බ්‍රදර්ස්ලා කටවහගන්න යැයි ඉංගිරිසියෙන් කියන්නේ Shut up your mouth යන්නය. එහෙත් විනිසුරුවරයකු කියන්නේ Hold your tounge නැතහොත් Check up your mouth ලෙසය. එමගින් අනාවරණ වන්නේ ඒ දෙවර්ගයේ හැදියාවය.
දොඩන බස සහ හැසිරීම් රටාව කෙනකුගේ චරිතය පමණක් නොව පෙළපත පවා කියයි. He has the degree not the pedigree යැයි ඉංගිරිසියෙන් කියන්නේ ඕකටය.
වෛශ්‍යාකර්මය කීවත් වේසකම කීවත් දෙකම එකය. කෙරෙන්නේ එකම දේය. වෛශ්‍යාව කීවත් වේසි කීවත් එකම කෙනාය. එහෙත් ක්‍රියාව කරන ආකාරයත් ක්‍රියාව කරන්නියගේ චර්යාවත් අතර අහසට පොළොව මෙන් වෙනස්කමක් ඇත.
ඈත අතීතයේ රාජ රාජ මහාමාත්‍යාදීහු පවා මසුරං දහස් ගණන් ගෙවා මේ ස්ථාන කරා ගියෝය. ජනපද කළ්‍යාණිලා එක් රැයකට මසුරං දහසක් ගත්තී යැයි සඳහනි. බුදුන්වහන්සේ විසින් වෙන්දේසි කරන ලද සේක් වූ සිරිමා නෝනා එවැන්නියක. මේ වනවිට ඉංගිරිසියෙන් Sex Workers ලෙසින් ගෞරවපූර්වකව හඳුන්වනු ලබන්නේ ද ඒ ඈයින්ය.
වාත්ස්‍යායනගේ කාමසූත්‍රයේ දැක්වෙන අන්දමට ගණිකා වෘත්තිය එක්තරා විශිෂ්ට විද්‍යාවකි. කාම විද්‍යාව යැයි කියන්නේ එහෙයිනි. ඔය ටික කීවේ ගණිකාවන් අතරත් වැදගත් ගණිකාවන් සිටින බව කීමටය.ඳා
එහෙත් ඔය කිසි දෙයක් නැති අංගනාවෝද සිටිති. “දුටහට ලිහන තනපට වෙසඹුවක ලෙසේ” යැයි කියන්නේ ඒ අයටය. උනට සිරියහන් ගබඩා අවශ්‍ය නැත. පාරේ ලයිට් කණුවකට හේත්තු වීම හොඳටම ප්‍රමාණවත්ය. ගම්වල ජනශූන්‍යයය. එහෙත් ලඳු කැලෑ බොහෝය. පඳුරු වැඩි නූස්ය. පඳුරු තළන්නියන් ලෙසට හඳුන්වන්නේද ඒ ජාතියේ බඩුය. පඳුරු වේසි යන පදය වහරට පැමිණ ඇත්තේද ඒ අනුවය.
ඔවුන්ගේ මානසික මට්ටම කතාකරන දේවලින් මැනගත හැකිය. නිරන්තරයෙන් නයිට්බසාර් ස්ථාපනය කිරීමට කියයි. ඉහළ ඉංගිරිසි වචනයෙන් එසේ කීවත් සාමාන්‍ය වහර පඩංගු කුටිය. පඩංගු කුටිවලට රිංගන බොහෝ දෙනා ගංජා ගසා යන්නෝය. ගංජා බිස්නස් එක ලාභජනක බව රටටම කියයි. එමගින් හොඳ ආදායම් ලබන බවද කියයි. නවීන පන්නේ වචනවලින් කීවත් ගංජා ගසා පඩංගු අස්සෙ රිංගීම ගැන ඒ ඇත්තීට හොඳ පළපුරුද්දක් ඇති බව නම් පේන හැඩයි.
ඉස්සර දුම්රියවල කුරුම්බා (වෑවර) විකිනුණේය. එසේ විකිණුනු කෝම්බා එළියට වීසිකළ කල වැස්සට වතුර පිරී කුණුවී පණුවන් ගසයි. අර නයිට් බසාර් ගංජා බිස්නස් ගැන කියන අම්මණ්ඩිලාගේ කටවල්ද අන්න ඒ වාගේ පණුවන් ගැසූ පොල් කෝම්බාවලට දෙවැනි නැත.
“විහිගුම් සුවඳ විහිදෙන කස්තුරි නිමල – උතුම් මුව නැබෙහි තැබි බඹු නැණ විකල” යැයි අලගියවන්න මුකවැටි ලියූ සුභාෂිතයේ කවියක දෙපදයකි.
ලෝකය මවද්දී බ්‍රහ්මයා මුවාගේ නාභියේ කස්තුරි තැන්පත් කෙළේ ඔහුට (බඹාට) පිස්සු හැදී සිටි නිසා යැයි අලගියවන්න මුකවැටි සුභාෂිතයේ එසේ සඳහන් කර ඇත.
එසේනම් පාර්ලිමේන්තු කොරිඩෝවේදී අමුතු බාසාවෙන් කෑගැසූ බාසාවෙලු ගලිබවුසර් ආචාරිලාගේ පඩික්කංවතීගේ මුඛ පද්මය මැවීමේදීද පිස්සු මහබඹා කටවල් දෙක උඩයට මාරුකර මවා ඇත්දැයි බුද්ධි මත්හු විමසා බලත්වා. එය වෛරසයක් වුවහොත් රටටම මහා ව්‍යසනයක් වියහැකි බැවිනි.
පාර්ලිමේන්තුව යනු මහජනතාවගේ පරමාධිපත්‍යයේ මුදුන්මල්කඩ බව නොදන්නෝ ඉන්නවා නම් ඒ ටික දෙනා ඉන්නේ ඔය පාර්ලිමේන්තුවේමය. එදා සිට මෑතක් වනතුරුම පාර්ලිමේන්තුව සැලකුණේ සත්කෙරෙන්තෝ, ගරුකෙරෙන්තෝ, මානෙංතෝ, පුජෙංතෝ යන මට්ටමේය.
එහෙත් දේවාලේ පහරන කපු මහත්වරුන්ද නැත්තේ නොවේ. උන් කපු මහත්වරුන්ට වඩා….කාපු මහත්තුරුය. ඒ මෑත යුගයේය. එකෙක් සෙංකෝලයට තැළුවේ දන්ත ධාතුන් වහන්සේට පහර දෙන ගානටය. තිරිසනුන් කියන්නේ මුන්ටය.
ඉන් අනතුරුව ඒ හා සමගාමීව ගාලෙන් පැන්න වැස්සියෝද ආවෝය.
ලෝකයේ ගෞරවනීය පළමු අගමැතිවරිය බිහිවූයේද අපේ පාර්ලිමේන්තුවෙනි. ආසියාවේ පළමු ජනාධිපතිවරිය බිහිවුණේද මේ කුඩා දිවයිනෙනි. විමලා කන්නංගර නෝනා හිටපු සෞඛ්‍ය ඇමැතිවරියකි. හරි සැරය. ඉහිං කනිං වැක්කෙරෙන්න පරම්පරාවේ සල්ලිය ඉඩංකඩංය. නීතිය අකුරටය. දවසක් ඇයගේ මහජන දිනයේදී මහජනයා හමුවෙමින් සිටි අතරතුරේ ඇගේ ආරක්‍ෂාවට සිටි මහත්තයෙක් දුම්වැටියක් ඉරුවේය. (ඒ කාලයේ මගී දුම්රිය මැදිරිවල පවා දුම් ඉරුවෝය.)
“දන්නවද කා ඉස්සරහද ඔය සිගරට් බොන්නෙ කියලා?” ඇය කඩාපැන්නාය. ඒ මහත්තයා වහාම දුම්වැටිය විසිකර පෑගුවේය. ඒ ඇය තම ඡන්දදායකයන්ට ගෞරව කළ අන්දමයි. දුම්වැටිය විසි කළ මහත්තයා ඇගේ මහත්තයාය. ස්වාමිපුරුෂයාය.
ඇය ගලිගමුවේ තම ඡන්ද කොට්ඨාසයේ වෙල් (කුඹුරු) උඩින් මඩකඩිති ඇළවල් පැන පැන යන විට අඩක් නිමකළ බෝක්කුවක් තිබිණි.
“ඇයි මේ අතර මග නැවතිලා?”
“මැතිනිය මේක කීප සැරයක් ගිලාබැස්සා. මේකට රත්තරං නිධන් වස්තුවක් තියන්න ඕනෑ කියල මතයක් තියෙනව. එහෙම නිධන් වස්තුවක් නැති නිසයි නැවතිලා තියෙන්නේ” ඇය අසල සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල සහකාර අමරසිංහ මහතා කීවේය. (ඔහු ඇයගේ ඡන්දායකයෙකි)
“ආ මේක තියල හෙට ඉඳල වැඩ පටං ගන්නව” ඇය තම අතේ තිබූ රත්තරං වළල්ල ගලවා දුන්නාය.
ඇය සිය ඡන්ද කොට්ඨාසයේ නැතිබැරි අය වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර මට මතක හැටියට කාමරයක් හෝ නිවෙසක් හෝ ඇය වෙන්කර ගත්තාය.
“මම මැරෙනකං ඉන්න ඕනෑ මගේ එවුං (ඡන්දදායකයන්) එක්ක” එංගලන්තයේ සිටි ඇගේ දරුවන් (වෛද්‍යවරුන්) ඇය කැටුව යාමට උත්සාහ කළත් ඇය ගියේ නැත. අන්තිමේ දී ඇය ඔත්පොළ වූ පසු ඔවුහු ඇය එංගලන්තයට ගෙන ගියෝය.
ඒ අපේ පාර්ලිමේන්තුවේ සිටි අපේ කාන්තාවෝය. කාන්තාවන් කීවාට හැමෝම කාන්තාවන් නොවන බව පොතපතේ තිබේ.
සොමා, සෝමා, ඛේමා, උත්පලවණ්ණා, බුජ්ජුත්තරා, යසෝදරා, මිගාර මාතා, රජ්ජුමාලා මේ ඔක්කෝම කාන්තාවෝය. එසේම චිංචි මානවිකාව අයත් වන්නේද කාන්තාවක් හැටියටය. ජ්‍යොතිෂයේ පෙන්නුම් කෙරෙන කාන්තාවන් සත්දෙනෙකි. ශ්‍රීයා බාරි, දාස බාරි, මාතු බාරි, චෝර බාරි, වධක බාරි, සහ භගිනි බාරි ඔවුහුය. මේ අනුව චරිත ස්වභාවයද වෙනස් වේ.
අපේ නෝනලා මොන ගණයට අයත් දැයි දන්නේ උඩ ඉන්නා දෙයියෝය. කාගෙදෝ හයියෙන් ඇය උඩවීසි බිමවීසි අල්ලන්නීය. ද්විත්ව පුරවැසි නඩුවේ දී තීන්දුව වනාහි පොලිසියට ඇය අත්අඩංගුවට ගැනීමේ බලය ඇති බවය. අර කාගෙදෝ හයිය නැතිදා ඇයට දුවන්න රට මදිය. මයිනලා ගෝඨලා සේය.
අපේ පාර්ලිමේන්තුවේ ගෞරවනීය කාන්තාවෝ සිටිත්. පාර්ලිමේන්තු නෝනලාගේ සංසදයක්ද තිබේ. රටේ කාන්තා අයිතිවාසිකම් ගැනද බොහෝ කාන්තා සංවිධාන ඇත්තේය. එහෙත් මේ දක්වාම ඒ එකදු කාන්තා සංවිධානයක් තබා එක කාන්තාවක් හෝ ඇය වෙනුවෙන් එක වචනයක් හෝ කතා නොකිරීම ඇගේ තරාතිරම ඇයටම මැන ගතහැකි හොඳම මිණුම් දණ්ඩකි.
චන්ද්‍රසේන මාරසිංහ










