නවීන විද්‍යාවෙන් සනාථ කරගත නොහැකි බොහෝ දේ “මිථ්‍යා” වශයෙන් බැහැර කළ නොහේ. එහෙත් විවාදාත්මක බව නම් සැබැවි. ගුප්ත විද්‍යාවද එවැන්නකි. මානව සංහතිය ආරම්භයේ පටන්ම මානව චිත්ත සන්තානයේ උපන් අනවබෝධ ගුප්ත හැඟීමද පරිණාමය වී අතු ඉතිලා මහා රූක්‍ෂයක් සේ පරපුරෙන් පරපුරට යුගයෙන් යුගයට අවුත් විද්‍යාවක් බවටද පත් වූයේය. සෑම කර්මාන්තයක්ම ආරම්භ කිරීමේදී ඈත අතීතයේ සිටම අවම වශයෙන් පහනක් දල්වා ගුප්ත බලවේගවලින් පිළිසරණ පැතීමේ චාරිත්‍රය නවීන විද්‍යාව කොපමණ දියුණු වුවත් වර්තමානයේ පවා අනුගමනය කරන්නේ ඇයි? කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමේදී දෙවියන් යැද පහන් දල්වා පිළිසරණ පැතූවෝ ඉන් නොනැවතී වාරි කර්මාන්තයේ දී ‘නර බිලි’ පවා දුන්හ. ජලාශවලට ‘බිලි’ ගන්නවා යැයි කියන්නේ එබැවිනි. වාරි කර්මාන්තය ‘අධ්‍යාමික’ සංස්කෘතියකි. එමෙන් බලවේගයකි.
අපේ වාරි කර්මාන්තයද ඊජිප්තුවේ පිරමීඩ් හා සමානය. එමෙන්ම ගුප්තය. වාරි කර්මාන්තය ගුප්ත විද්‍යාව හා තදින්ම බැඳී තිබේ. ඒ සඳහා ඕනෑ පදම් සාධකද දැක්විය හැකිය. ‘නුවර කලාවිය’ ප්‍රදේශයේ පැරැන්නෝ ඒ කතා කීමට රුසියෝය. (නුවර කලාවිය යනු අනුරාධපුරේ නුවරවැව කලාවැව සහ පදවියේ පදවි වැව යන වැව් දියෙන් ගොවිතැන් බත් කෙරෙන කලාපයයි.) කලාවැව සහ ධාතුසේන රජ, මින්නේරි වැව සහ කඩවර මෙන්ම බුලතා විසින් ඉදිකළ අමුණ ගැනද සලකා බලත්වා.
මහා පරාක්‍රම සමුද්‍රය ඉදිකළ මහා පරාක්‍රමබාහු රජතුමා (12 වැනි සියවස) ‘ජජ්ජරා’ නදියේ (දැදුරු ඔය) තුන් පොළකින් බැඳ ඇළ මාර්ග තුනක් ඉදිකර ප්‍රථම වාරි කර්මාන්තය ආරම්භ කළ බව ඉතිහාසගතය. එතුමාට වසර 850කට පෙර මහසෙන් රජතුමා ‘මහාගල්ලක’ වැව ඉදිකළේය. මේ වැව ‘මාගල්වැව’ ලෙස වර්තමානයේ හැඳින්වේ. පිහිටා ඇත්තේ නිකවැරටිය නගර ආසන්නයේය.
කිඹුල්වානා ඔය සහ හක්වටුනා ඔය හරස් කර අමුණක් ඉදිකළ පරක්‍රමබාහු රජතුමා ඇළ මාර්ගයක් ඔස්සේ මහාගල්ලක වැවට ජලය සැපයූ බව ඉතිහාසයේ විස්තෘතය. මහා පරාක්‍රම බාහු රජතුමා දැදුරු ඔය හරස් කර ප්‍රථමයෙන්ම ඉදිකළ අමුණ “කොට්ඨ බද්ද ”අමුණ ලෙස හැඳින්වේ.
මේ අපේ වාරි කර්මාන්තයේ ආරම්භක කාලවකවානුය.
බුදු දහමට අනුව කෙනකුගේ ඊළඟ ආත්මභාවයේ උපත මරණ මංචකයේ සිටින්නාගේ අවසාන ‘චුති චිත්තයට’ අනුව සිදුවන්නකි. එය ගුප්ත සහ භූත විද්‍යාවන්හිදීද උගැන්වෙන්නකි.
‘භෛරව’ (බහිරව) ධන නිධාන වැව් අමුණුවලට අරක්ගත් භූතාත්මයයි. උහු නොඋස්ය. මිටිය. තරය. වාමනයකු සේය.
භෛරවට නියමිත පුද පූජා නොපවත්වා නිධන් වස්තූන් ගත නොහැක්කේය. ඊට හේතුව පැරැන්නන් දේපොළ ධන නිධාන වැව් අමුණු ආරක්‍ෂා කිරීමට භෛරවට කැපකර (භාරකර) ඇති බැවිනි.
හෙතෙම සිය රාජකාරිය අකුරටම ඉටුකරන්නේමය. ඔහු ධනය වස්තුව උපාදානය කර උපන්නේය. (සිවුරක් කෙරෙහි උපාදානයෙන් අපවත්වූ භික්‍ෂුන් වහන්සේ කෙනකුන් ‘ඉණිකුණකු’ වී සිවුරකම උපන් කතාව උදාහරණ කොට දක්වමි.)
කිසියම් රජ කෙනකු අප්‍රසිද්ධ (රහසිගත) ස්ථානයක ධනය (රන්, මුතු, මැණික්) නිධන් කරන කල්හි දුගියකු ද කැඳවාගෙන ගොස් ‘නිධන් වස්ත’ ස්ථානගත කර (ගොඩගසා) ඒ සියල්ල භාරකිරීමට ඒ දුගියාට පෙන්වයි.
“මේ ඔක්කොම උඹටයි. ඒව භාරගන්න දණ ගහල වැඳපං” යැයි අණ කළ කල්හි.
කිසිදු දිනෙක නොදුටු වස්තුවක් තමාට ලැබීම ගැන සිහි එළවාගත නොහැකිවන ඒ තැනැත්තා ඒ කෙරෙහි ඇති කරගන්නා උපාදානයෙන් (තෘෂ්ණාවෙන්) දණ නමා වඳියි. ඒ අවස්ථාවේදී හෙතෙම ඝාතනයට ලක්වන්නේය.
යම් ධනයක් (නිධානයක්) භෛරවයාට කැපකරතැයි කියන අන්දම භූත විද්‍යාවේ ඉගැන්වෙන්නේ එපරිද්දෙනි. වැව් අමුණු ද ඒ අන්දමින් කැපකර ඇති බවට අනන්ත අප්‍රමාණ මුඛ පරම්පරානුගත කතා (ජනකතා) ද තිබේ. ඒවා ලඝුකොට නොසලකා හැරීමටද නොහැකිය.
මේ ටික සඳහන් කළේ වාරි කර්මාන්තය ආවට ගියාට කළ යුත්තක් නොවන බව කීමටය.
වත්මන් ආණ්ඩුව ‘වාරි සෞභාග්‍යා’ නමින් වැව් 5,000ක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි. එවැනි දේ අගේ කළ යුතුය. මහජනයා බණින්නේ මෙවැනි දෑ නොකරන නිසාවෙනි.
මහාචාර්ය පානබොක්කේ පවසන අන්දමට අපේ රටේ වැව් 15,000ක් හඳුනාගෙන තිබේ.
අතීත රාජ සමයේ සිටම කලින් කල ඒ වැව් පුනරුත්ථාපනය හෙවත් ප්‍රතිසංස්කරණය කළ බැවින් වැව් පුනරුත්ථාපන ව්‍යාපෘති අපට අරුමයක්ද නොවේ.
දැනට වසර දහ පහළොවකට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන යුගයේදීද වැව් දහසක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරැඹිණි.
(ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඇඹිලිපිටියේ ඉදිකළ වැව ඇයගේ නමින් ‘චන්ද්‍රිකා වැව’ ලෙස නම් කෙරුණු බවද සඳහන් කළ යුත්තකි).
ඒ, එම ආණ්ඩුවේ පාර්ශ්වීය පක්‍ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් රාජකාරි කළ සමයේ දීය. ඒ සමයේ වැව් හෑරීම හෙවත් ගැඹුරු කිරීම ප්‍රධාන විය. පාරිසරික හේතූන් නිසා පහත් වී තුබූ වැව් ‘බැමි’ යළිදු සකස් කළ බවද සැබැවි.
වැව් ගැඹුරු කිරීම යනු ඒ වැව්වල තැන්පත් වූ රොන් මඩ ඉවත් කිරීමය. රොන් මඩ තැන්පත් වන්නේ වැවට ජලය ගලා එන ජල පෝෂක ප්‍රදේශයෙන් වැවට එකතුවන පාංශු (පස්) තැන්පත් වීමෙනි. රොන් මඩ ඝනත්වය ඉහළ යන විට වැවේ ජල ධාරිතාව පහළ මට්ටමකට වැටේ. එවිට ගොවිතැනට අවශ්‍ය ජල ප්‍රමාණය අඩුවේ.
(මාතලේ දිස්ත්‍රික්කයේ වැවක් අලුත්වැඩියාවකට (1984 දී පමණ) හිස් කළ විටෙක එහි ‘වාන’ අසල රොන්මඩ ඝනත්වය අඩි 45ක් බව එවකට මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන වාරිමාර්ග ඉන්ජිනේරුවරයා මේ ලියුම්කරු සමග පැවැසීය. එමතුද නොව වික්ටෝරියා වැනි ජලාශවල මේ වන විට එකතුවී ඇති රොන් මඩ ඉවත්කිරීමට වැයවෙන පිරිවැයෙන් එවැනි ජලාශ දහයක් පමණ ඉදිකළ හැකි බවද හෙතෙම විස්තර කෙළේය.)
සම්මානනීය මහාචාර්ය මද්දුමබණ්ඩා පවසන අන්දමට වැව් පුනරුත්ථාපනය කළ පමණින්ම අපේක්‍ෂිත සාර්ථකත්වය ඉටුකරගත හැකි නොවේ. ඒ සඳහා රොන්මඩ තැන්පත්වීම අවම කිරීමටද ක්‍රමෝපායන් යෙදිය යුත්තේමය.
රොන්මඩ තැන්පත් වීමට ප්‍රධාන හේතුවක් නම් වැව් තාවුල්ලේ සහ ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමය. පරිසර අහිතකර මිනිස් ක්‍රියාකාරකම්ය. (පොළාන්නරුවේ සහ නිකවැරටිය ප්‍රදේශවල වැව්තාවුල්ලේ පමණක් නොව වැව් බැම්මේද මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ ඉදිකෙරී තිබේ.)
මහාචාර්ය මද්දුමබණ්ඩා මහතා පවසන අන්දමට වාපී කර්මාන්තය විද්‍යාවක් පමණක් නොව වැවකට අත තැබීමද විද්‍යාවකි. මන්ද එමගින් අනිටු ප්‍රතිඵල අත්විය හැකි බැවිනි. (මේ පිළිබඳ ඉන්ජිනේරු සම්මන්ත්‍රණයක දී කරුණු දැක්වූ විටෙක “මොකක්ද ඔය කියන රොකට් විද්‍යාව?” යනුවෙන් ඒ පිරිස් තමාට අවඥාවෙන් කතා කළ බවද මහාචාර්යවරයා කීය.)
ඒ අන්දමින් දුරදිග නොබලා මැදවච්චියේ වැවක බැම්ම අඩියක් ඉස්සීමෙන් සිදුවූයේ වැව් දියෙන් වගා කෙරෙන වපසරියට අයත් ‘ඇතාකඩ’ ඇතුළු ගම්මාන ගණනාවක් ‘ගිල්මට’ යටවීමය.
චීනය, ඉන්දියාව සහ තායිවානය ආදී රටවලද වැව් ඉදිකර තිබේ. එහෙත් අපේ අතීත වාරි තාක්‍ෂණය නවීන වාරි තාක්‍ෂණයටද යොදුන් ගණනක් ඉදිරියෙන් තිබිණි. උදාහරණ යෝධ ඇළේ සැතපුමට අඟලේ ජල බැස්මය. පැරැන්නන් ඉදිකළ ‘සොරොව්’ය.
ලංකාවේ වැව් දුටු පෘතුගීසීන් එබසින් දිය කඩිති හඳුන්වන ටැංකි යන :ඕබන* වචන යෙදුවේය. ලංදේසි සහ ඉංගිරිසීහුද ඒ මඟම ගියහ.
එහෙත් ඔවුන් පමණක් නොව වර්තමානයේ පවා වැඩිදෙනකු වැව් ගැන නොදන්නා දේ බොහෝය. පළමුවැන්න වැවක් යනු තනිව පිහිටි ඒකක් නොවන බවය. හුදකලාව ඉදිකළ එකක් බවය. එය සාවද්‍ය මතයකි.
මහාචාර්ය මද්දුමබණ්ඩා මහතා ඒ පිළිබඳ විස්තර කරන අන්දමට වැවක් තවත් වැව් ගණනාවකට එකිනෙකට සම්බන්ධය. එක වැවකින් බැහැර වන ජලය තවත් වැවකට ගලායයි. එයින් බැහැර වන ජලය ඊට ඈඳුණු තවත් වැවකට යොමුවේ. ඒ අනුව වැව් ගණනාවක් එකට බැඳී තිබේ. එය කැස්කේඩ් සිස්ටම් එකකි. එම ක්‍රමයට ‘එල්ලංගාව’ යන වචනය භාවිත කෙරෙතත් ඉන් නිවැරදි අර්ථ කථනයක් නො කෙරේ. ඊට බොහෝ දුරට සමාන පදය ‘පොකුරු’ යන්නය.
අනුරාධපුරයේ ඇති වැව්වලින් 85%ක්ම එකට එකක් සම්බන්ධය. ඒ සඳහා හොඳම උදාහරණය තිසා වැව, අභය වැව සහ බුලන්කුලම යන වාපී ත්‍රිත්වයේ සම්බන්ධතාවයි. එක වැවකින් බැහැර වන ජලය ඊළඟ වැවට යයි. එයින් නික්මෙන ජලය අනෙක් වැවට යයි. ඒ චක්‍රීය ක්‍රමයටය.
මේ පද්ධතිය කෙවොස් ආරාවුල් පද්ධතිය ලෙසින්ද හැඳින් වේ.
මේ වන විට අපේ රටට ආවේණික මේ පද්ධති ක්‍රමය භාවිත කරමින් මිහින්තලේ මහ කිරින්දේගම වැව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් යොදාගෙන වර්තමාන ‘වාරි සෞභාග්‍යා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
-චන්ද්‍රසේන මාරසිංහ










