අම්බලමේ පිනා පිනා – වළං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා – ඒකට මට හිනා හිනා
මේ සරල සුමග, සුමට, මටසිලුටු (පැදියක් නොව) අරුතෙන් රසෙන් අගනා “කවිය” මේ රටේ පැල්පතේ සිට මහා මන්දිරය දක්වා ස්ථානගතව වෙසෙන අය අතුරින් නොදන්නා කෙනකුන් වේ නම් හෙතෙමේ ඊයේ උපන් බිලිඳකු වන්නේමය. එය එතරම්ම ජන ජීවිතය හා බැඳී පවත්නා එකකි. එහෙත් එහි සැඟවුණු අරුත දන්නෝ කීදෙනෙක් වෙත්ද?
“පිනා” වනාහි කුසල් විඥානයක් සහිතව කල්ප ගණනාවක කාලයක් තිස්සේ සංසාරයේ සැරිසරන සත්වයෙකි (මානවයෙකි). දීර්ඝ ගමනක යෙදෙන්නන්ගේ තාවකාලික නැවතුම්පොළ අම්බලමය. අවසානයක් නැති සංසාර ගමනේ යෙදී සිටින පිනා නමැති සත්වයා මේ ආත්මයේදී ද “ජීවිතය” නම් වූ මේ තාවකාලික අම්බලමට ආවේය. (උපන්නේය)
හෙතෙම නිකන්ම නිකන් හිස් අතින් ආවා නොව හට්ටි, මුට්ටි, ඇතිලි, නෑබිලි, මඩක්කු, අප්පල්ල පිරුණු වළං කදක් ද කරගසාගෙන ආවේය. ඒ අම්බලම අසල ගොනෙක් හෙවත් “වෘෂභ” රාජයෙක් සිටියේය. ඌ සියලු තණ කොළ (වල්) කා නසා (විනාශ කර) පිරුණු කුසින් සංතෘෂ්ටියෙන් යුතුම සිටියේය.
යථෝක්ත වළං කද යනු “කෙස්, ලොම්, නිය, සහ දත්” (කේසා, ලෝමා නඛා, දන්තා) සහිත “පංචස්කන්ධයයි (ඇස, කන, නාසය, දිව, සිරුර). “තණ” යන පදය “තෘෂ්ණාවට”ද යෙදේ. තණකොළ නමැති තෘෂ්ණාව කා විනාශ (නැති) කළ එකම “වෘෂභ රාජයා” වනාහි අප මහ බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ දම්දෙසා මේ පුණ්‍යවන්තයාගේ යළි යළි ඉපදීම සදන පංචස්කන්දය (උපත) නසා සසරින් එතෙර කළහ. නොහොත් නිවන් දැක්වූහ.
මේ කවිය “අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්භිසං” යන උන්වහන්සේ බුද්ධත්වය ලබා දේශිත පළමු “උදාන” වාක්‍යය සරලව ව්‍යංගව විස්තර කිරීමකි.
මහා සාගරයක් බඳු අර්ථ සැඟවුණු මෙවන් පැදිවලින්, වැකිවලින්, සහ කියමන්වලින් පිරුණු අපේ “ගැමි” සාහිත්‍යය ‘මිණි ආරකි’. (මැණික් නදියක් හෙවත් ආකරයකි).
කුඩා කල අපට මාපිය වැඩිහිටියන් විසින් කියා දෙන ලද මෙවන් තවත් ව්‍යංගාර්ථ වැකියකි. “අත්තෙන් අත්තට පනින කුරුල්ලා – බිමට වැටෙන කොට “චෝරු කුරුල්ලා” යන කියමන. එය අපට පැවසුවේ පුංචි අවධියේ අප විසින් තේරුම් කරනු ලැබිය යුතු වූ “අලියා නොයන මග, අලියා නොකන දල්ල” කුමක්දැයි යන පුංචි පුංචි “තේරුම්” විසඳන සමයේදීය.
අහසින් වැටෙන දිය බින්දුවක් ගසක ඉහළ අත්තකින් පහළ අත්තකටත් අනතුරුව මහ පොළොවටත් වැටී විනාශ වන අන්දම එම තේරුමේ විසඳුමය. කෙතරම් උඩ සිටියත් බිමට වැටී නැසෙන බව එමගින් ගම්‍ය කෙරේ. කොතරම් ජගතකු, බලවතකු, ලොක්කකුට වුවත් ඒ සිද්ධාන්තය පොදුය. “අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී” යන සේ තැනති කියමනක් (ප්‍රස්ථාව පිරුළක්) ද ඇත. ඉහළක සිටින්නාට සේම අත්තෙන් අත්තට පනින්නාටද ඒ ධර්මතාව ගැළපේ. අත්තෙන් අත්තට පනින්නෝ බොහෝය. ඒ අතරින් වඳුරන්, රිළවුන් ප්‍රමුඛ පෙළේය. උන් පනින්නේ හොඳ හොඳ පල (ගෙඩි) සෙවීමටය. ගෙම්බෝද පනින්නෝය. එහෙත් ඒ කවර හේතුවක් නිසා දැයි යන්න නම් කිව නොහේ. පනින්නන් වාලේ පනිනවාටද විය හැකිය. ගිලෙන නැව්වලින් පනින මුසිකයෝ ද (මීයෝ) සිටිත්. එය වෙනම කතාවකි.
එහෙත් ගෙම්බෝ ඉබාගාතේ පැන්නත් පනින ගමන් උඩපිනුම් බඩපිනුම් ද ගසති. ඒවා “උඩවීසි බිමවීසි” සේම “කරණම්” ලෙසින් ද හැඳින් වේ.
අපේ දේශපාලනඥයෝද ඉහළම මට්ටමේ කරණම්කාර පනින්නෝය. ඔවුන් පනින්නේ තාන්න මාන්න, ඇමැතිකම්, සල්ලි, වරදාන සහ වෙනත් ලාභ ප්‍රයෝජන උදෙසාය. ඒ සඳහා උපහැරණ ඕනෑ පදම්ය. ගෙවත්තේ ගෙඩිය හැරදමා වෙනත් හොඳ හොඳ ගෙඩි (ගඩාගෙඩි) සොය සොයා යන්නෝද පනින කොට්ඨාසයේ සිටිති. ඒ ගෙඩි පමණක් නොව ඉන් පලු(බෑ)ද සෙවීමට විය හැකිය.
සදා මිතුරන් සහ සතුරන් දේශපාලන ක්‍ෂේත්‍රයේ නැත. එහෙත් ඔළු පළාගැනීම්, පුටු කඩාබිඳ දැමීම් පමණක් නොව මිරිස් කුඩු ගසාගැනීම් සිදුවුවත් “බලවර්ධනය” උදෙසා පමණක් ඒ සිද්ධාන්තය අකුරක් හෝ ඇලපිල්ලක්, ඉස්පිල්ලක් පවා නොවැරදීම සිදුවේ.
එසේම ඒ පැනිලි “දෑත් ශක්තිමත් කිරීම” සඳහා යන බව සර්ව පිත්තල සහ අයිසිං කිරීමේ පද යොදා විග්‍රහ කෙරේ. ඒ නිසා පනින්නන් වඩාගැනීමට අනෙක් පාර්ශ්වය දෑත් දිගුකර සිටිත්. වඩාගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින්නන් දෑත් දිගුකර සිටින්නේ “වරෙල්ලා වරෙල්ලා, මේං උඹලාට” කියමින් රුපියල් කෝටි ගණන් අඩංගු නෝට්ටු මිටි පේන්නම වන වනාය.
රන්ජන් රාමනායකට ද 2019 මැතිවරණ සමයේදී රුපියල් කෝටි හැටපහක මිටියක් වැනුවේය. හැබැයි පැන්න පසු පිනුම් අප්පුලාට “වෙල්ල හැළිය” නොවරදවාම ලැබේ. (වෙල්ල හැළිය යනු පෙර කල ඇඳුම්වල කුණු කහට යැවීම සඳහා යම් යම් ඖෂධ යොදා රෙදි තම්බන ලොකු හැළියකි.) ඒ රෙදි සෝදන්නටය.
නමට “මනුස්සයලා” වුවත් අමනුස්සයන්වත් නොකරන අන්දමේ තිරශ්චීන ක්‍රියා පනින්නන්ට සුළු දේවල්ය. රිළවුන් වඳුරන් සේම හොඳ හොඳ කාජ්‍ය (කෑම) භෝජ්‍ය (බීම) සොයා ඒ පැත්තටත් මේ පැත්තටත් පනින අපේ දේශපාලනඥයන්ට රිළවුන් වඳුරන් යන පද දෙකට වඩා යෙදෙන්නේ “ගෙම්බො”යන පදයයි.
පොඩි ළමයින්ගේ උසුරුවට අනුව ගෙම්බා නොව “ජෙම්බා”ය. ඇත්ත වශයෙන්ම ඒ දේශපාලකයින් ගෙම්බාට සමාන කෙරෙන්නේ පනින නිසා පමණක් නොවිය හැකිය. ඒ බැව් පරීක්‍ෂණවලින් ද සනාථවී ඇති සේය. ඒ සමානත්වයට කාරණාව ගෙම්බන් සහ දේශපාලනඥයන් යන දෙවර්ගයම නිරන්තරයෙන්ම “බකබක” ගාන හෙයිනි. ගෙම්බන් එසේ බකබක ගාන කල තල්ලේ (උගුර සමීපය) සිට උගේ දෙපා කඳට සවිවන ස්ථානය දක්වාම ගැහේ. (චලිත) කට දෙපැත්තට පළල්වේ.
පිනුම් ගහන්නටම උපන් සතෙක් සිටියි. ඒ “පිනුම් අප්පු” නොහොත් “හාවා”ය. එහෙත් අපේ අර කියන උදවියට “හාවා” යන පදය යෙදෙන්නේ නැත. ඌ අහිංසක උතුම් සතකු බැවිනි. උගේ උතුම්කම නිසාම “සා” රූපය සකා (සක්දෙවි) විසින් සඳමඩලේ අඳින ලද්දේය. අපේ “උන්නැහේලාගේ” නම් ගොත් විස්තර නම් වැසිකිළි බිත්තිවල පවා දිගට හරහට ලියැවේ.
බකබකයන් අතරින් “හැල ගෙම්බන්” විශේෂවේ. අපේ දේශපාලනඥයන් සිනාවෙන විටද අර අන්දමින්ම බඩේ රැලි බෙල්ලට එනතෙක්මද, පිට මුදුනේ මොල්ලියක් සේ මතුවූ මස් ගුළිය නැටවෙන තෙක්මද සිනාසේ. කටද දෙපැත්තේ කං (කන්) දෙක දක්වාම ව්‍යාප්ත වේ. ඒ සමානත්වය නිසා අපේ උදවියට ඒ නම උචිත බව පැහැදිලිය.
සංඝයා වහන්සේලා රුවන් (මැණික්) කෙතක් බඳු යැයි කියැවෙන සඟරුවන් කෙත පළාතේ ඒ පැත්තෙන් මේ පැත්තට පනින්නට පමණක් නොව මුදුන් පෙත්තේ කරණම් ගැසීමේ “කප්පිත්තකු” මෙන්ම රෙදි සෝදන්නට ද ඉතා දක්‍ෂ දිසාවට නායකයකු බව කියන අයකුගේ සිනාව උදාහරණයට ගනිත්වා.
ඇනිමල් සුසිරිපාලලා, හකුලොකුගේලා සේම අලුත්ගෙවල් ඇත්තෝද කිසිසේත්ම ඒ අවස්ථාවට ගාවා (ඈඳා) නොගෙන සිටිය නොහැක්කෝමය.
අපේ මේ “ගෝස්තරවාදීන්” බලයට එන්නේ මහජනතාවට නව වැඳුම් වැඳ ඡන්දය ගැනීමෙනි. ඒ අවස්ථාවලදී ඔවුහු දහසකුත් එකක් බොරු පොරොන්දුද දෙති.
බොරුවේ උපත “චේතිය” රජතුමා යැයි බෞද්ධ සාහිත්‍යයේ කියතත් අපේ අයියලා, ගොයියලා සහ බයියලා ඉදිරියේ චේතියක් (වෙහෙර) තබා මහමෙරත් අබ ඇටයකි.
මැතිවරණ සමයේ උහු (ඔවුහු) වෙස්සන්තර චරිතයට ආරූඪ වී මහජන දේපොළද දන්දෙති. තමන්ගේ රෙදි ගලවාගෙන සිල් රෙදි දෙති. ඔරංහොටංලාට නොදෙවැනි වෙන්නට අපේ “හුටංලා” පපුවට ගසාගෙන “ජාතිආලෙ” නාට්‍යානුසාරයෙන් පෙන්වති. මේ රැඟුම්, රැඟුම් පාලක මණ්ඩලයට ද නොපෙනෙන තරම්ය. එහෙත් දේශපාලන කරළියේ නළුවෝ මෙන්ම නළුබරියෝ ද පොරෝඩාව, රැවටිල්ල, වංචාව හිතේ තියාගෙන මහජනයා මුළා කරති. “හක්කේ බුදුරැස්ය බොක්කේ දඩමස්ය” ජනගත වූවේ එපරිද්දෙනි.
සෑම පාපකාරී සිතුවිල්ලකම අපායගාමී අකුසලය ක්‍රියාත්මක බව බුදුන් දෙසූ හේතුඵලවාදයේ නියමය වේ. “චේතනා අහං භික්කවේ කම්මං වදාමි” මහණෙනි, මම චේතනාව (සිතුවිල්ල) කර්මය යැයි කියමි. ඒ බුද්ධ නියමයයි. ඒ අනුව සිතන සිතුවිල්ලත් කෙනකුට සතකු සර්පයකු ප්‍රේත, කුම්භාණ්ඩ වැනි අමනුෂ්‍යයකු වී ඉපදීමට හේතුකාරකම වේ.
මන්ද කෙනකු මියයාමේදී සිතේ ඇතිවන අවසාන සිතුවිල්ල (අවසාන චුතිචිත්තය) ඊළඟ ආත්මභවයේ ප්‍රතිසන්ධියට (ජන්මලාභයට) පාදක වන හෙයිනි.
අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකළ බව කියන අශෝක අධිරාජ්‍යයාගේ හිතේ මොකක්දෝ පුංචි දේකට ක්‍රෝධයක් ඇති වූයෙන් ඒ තෙමේ සතර (අසුර, අවීචි, තිරිසන් සහ ප්‍රේත) අපායේ වැටී තවමත් දුක්විඳියි. බණ පොත්වල සඳහන් අන්දමට ඔහු මේ වන විට හිමාල වනාන්තරයේ දාර පිඹුරෙකි.
කේ.ඇම්.පී. රාජරත්න නමින් දේශපාලනඥයෙක් නවසිය හැටේ දසකයේ කරළියේ රැඟුවේය. ඔහු අන්තවාදී දේශපාලනඥයෙකි. ප්‍රභාකරන්, සහරාන්, ගලගොඩඅත්තෙලා වගේමය. ඇරපු අතක් නැත. ඔහුගේ බිරියද මහජන නියෝජිතවරියකි. නම කුසුමා රාජරත්නය. රාජරත්න උන්නැහේ සිංහල කතාකරන ප්‍රජාවගේ ඡන්ද ගොඩ දෙස බලා එදා එසේ කස්තිරං පාගමින් අඩව් ඇල්ලුවේය. වර්තමාන රාජපක්‍ෂ නඩය පන්සල් ඉලක්ක කරගත්තා සේමය.
“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය” යන මුඛ්‍ය වාක්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සේම මේ කියන කේ.ඇම්.පී. රාජරත්නටත් (මහත්තයාට) එවැන්නක් තිබුණේය.
“මේ රටේ වෙසෙන අවසාන දෙමළාගේ හමෙන් (සමෙන්) සෙරෙප්පුවක් සකසා පයේලන (කකුලේ දමන) තුරු මට නින්ද යන්නෙ නෑ” යන්න ඔහුගේ උදාන වාක්‍යය වූයේය. ඔහු පාර්ලිමේන්තුවට ආවේ එක් වරක් පමණි. අනතුරුව අතුගෑවී ගියේය. ඇත්තට ඔහු මේ වන විට කොහේ ඇත්ද? සතර මහ අපායේ කොතැනක හිටියත් මෙහෙන් යාමට නියමිත පෝලිම එනතුරු ඇඟිලි ගැන ගැන “අනේ තාම ආවෙ නෑනෙ, ආවෙ නෑනෙ” යන ගීතය ගයමින් මඟ බලා සිටිනවා විය හැකිය.
සතර අපාය ප්‍රමුඛ කොටගත් අපායවල් (නිරය) සිය ගණනක් තිබේ. ඒවාට ඇදවැටුණු අයට “එකසිය ගානටද වැඩ ලැබේ.” මහජනයාට පමණක් නොව යක්කුන්ටත් කොක්කු පෙන්නා “කුක්කු” දෙන බව කියා බලය ලබාගත් දේශපාලනඥයන් මියැදෙන්නා හාම අපායේ පොලිස්කාරයන් (යමපල්ලන්) විසින් ඔවුන් ඇද ගෙන යනු ලැබේ.
බුදුන් කල “දේවදත්තයා” පණපිටින්ම අපායට ඇදගෙන එසේ ගෙන ගියත් වර්තමානයේ අරගලකරුවන්ගේ සහ අන්තරේ උදවියගේ වැඩසටහන්වලට සහභාගිවෙනවා හැර වෙනත් දෙයක් කිරීමට වෙලාවක් කලාවක් නැති අපේ පොලිස් නිලධාරීන්ට සේම ඔවුන්ටත් මොනව මොනවා හෝ වැඩ ඇති හෙයින් අපායට ඇදගෙන යන “ටීම්” එක දැන් වෙනත් රාජකාරිවල යෙදී ඇති හෙයින් අපේ “බඩු ටිකට” සුළු සහනයක් අත්වී තිබේ. මහජන දේපොළ කෑම ලේසිපාසු අපරාධක් නොවේ.
සෑම නිවෙසකම පාහේ ඉදිරි දොරටුව ආසන්නයේ සුදුමල් දැමූ වතුර පිරවූ භාජනයක් තිබෙනු ඔබ දැක ඇතිවාට සැකයක් නැත. උඩරට ගම්මානවල පාරම්පරික නිවාසවල මේ සිරිත බෙහෙවි. වතුර භාජනයේ පුරාවෘත්තය ආරම්භ වූයේ පැරණි රජදරුවන් සමයේ දළදා මාලිගාව වැනි ආගමික සිද්ධස්ථාන පාලනය කළ ප්‍රභූවරුන්ගේ (නිලමේ) වලව්වලිනි. දළදා වහන්සේට පුදනු ලැබූ සහ මහා සංඝරත්නයට වෙන්කෙරුණු ඉඩකඩම්වල ඇවිදින අවස්ථාවේ පයේ හෝ මිරිවැඩි සඟලේ හෝ තැවරුණු දූවිලි පොදක් හෝ නිවෙස තුළට වැදීම වනාහි අවුරුදු කල්ප ගණනාවක් නිරයේ පැහෙන්නට හේතුවන බැවින් දෙපා සෝදා පිරිසිදුව ගෘහප්‍රවිෂ්ටය සඳහා එසේ වතුර” කොරහක්” තැබිණි. මහජන සහ ආගමික දේපොළ භුක්තිවිඳීමට දඬුවම ආත්ම ගණනාවක් තිස්සේ නිරා (අපා) දුක් විඳින්නට සිදුවන බැව් පැරැන්ණෝ සහසුද්දෙන්ම (ස්ථිර වශයෙන්ම) දැන උන්හ.
මුවින් එළියට ඇදගත් දිව ලේ පැහැ ගැන්වෙන තරම් රත්වූ යකඩ කූරකින් විද හිල්කිරීම, ලෝදිය පෙවීම, පතුල් පළා ඒ පැළුම්වල ලුණු ගල්වා ගිනි අඟුරු උඩ ඇවිද්දවීම මහජන දේපොළ භුක්ති විඳීමට මහජනයා මුළාකිරීමේ පාපකර්මයට යමරජුගෙන් නියමවන දඬුවම්ය.
බුදුන්ට, මහා සංඝරත්නයට වෙන් කළ දන්වැට කෑවෝ පෙරේතයන්ව උපන්හයි බෞද්ධ ග්‍රන්ථවල විස්තෘතය. බුදුන්වහන්සේ පළමු වරට කිඹුල්වතට වැඩිය ටික කලකින්ම උන්වහන්සේගේ පියරජාණන් විමසා සිටියේ තමන්ගේ නෑදෑයන් බිහිසුණු සත්වයන් මෙන් නිරුවත්ව හීනෙන් දුටු බවය. ඊට පිළිතුරු වශයෙන් බුදුන් වදාළේ ඒ බුදුන්ට සහ මහා සංඝරත්නයට කැපකළ දේ භුක්ති විඳීමෙන් ඔවුන් ප්‍රේත යෝනිවල ඉපිද ඇති බවය. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රේත ලෝකයේදී දුටු ප්‍රේත විස්තර “ප්‍රේතවත්ථුව” නමැති ධර්ම ග්‍රන්ථයේ විස්තර කර ඇත.
එහි සඳහන් ඇතැම් ප්‍රේතයන්ගේ “හොම්බ” (හොස්ස) ගව්වක් (සැතපුම් හතරක්) පමණ දිගය. ඒ නිසා දිය පොදක් හෝ පානය කළ නොහැකිලු. තවත් වර්ගයක ප්‍රේතයන්ගේ උගුර ඉඳිකටු සිදුරක් තරම් වේලු. එහෙත් බඩගෙඩිය (කුස) අම්බලමක් තරම් වේලු. සුරගඟ (ගංගා) වැටුණත් උගුරවත් නොතෙමේලු.
“උපනත් පේත වැ පව් කොට නොපනත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්” යන ලෙසින් ලෝවැඩ සඟරාවේ සඳහන් වන්නේ ඒ විස්තරයයි.
“අසිපත්” නරකයේ ඇති ගස්වල සියලු පත්‍ර (කොළ) තියුණු අසිපත් සේය. ගෑවුණු කෙනා කැපි කැපී මැරෙන්නේය. ඒ මොහාතේම යළි උපදින්නේය. යළි කැපෙන්නේය. යළි මැරෙන්නේය. ඒ නොකඩවා සිදුවන ක්‍රියාවලියකි. මැරෙනවා උපදිනවාය.
අපේ දේශපාලඥයකු මරණින් පසු නිරයට ගොස් තිබේ. කළ අපරාධවලට දඬුවම් කිරීමට පෙර යමරජු ඔහු අමතා අපායේ දෙන දඬුවම් සියල්ල බලා කැමැති එකක් තෝරාගෙන ගෙන එන ලෙස කීවේලු. ඔහු සංචාරය කරද්දී එක තැනෙක දඬුවමක් වශයෙන් යමපල්ලන් විසින් පවුකාරයන්ගේ සිරුරු යමපල්ලන් විසින් පණපිටින්ම කියතකින් ඉරමින් සිටිනු දක්නට ලැබුවේලු. දිවේ උල් අනිමින් සිටියේලු. ඔහු දුටු අවම දඬුවම අශූචි දණවටක් පිරුණු තටාකයක බැසගත් පිරිසක් දුම්වැටි උරමින් සිටීමය.
අපේ ගොයියා ඒ දඬුවම තෝරාගත්තේය. යමපල්ලෝ ඔහු තටාකයට තල්ලු කළෝය. විනාඩි කීපයක් එහි සෙස්සන් සමග රැඳීසිටි ඔහුට විසිල් හඬක් ඇසුනෙන් ඒ දෙස බලන විට එතැන සිටි සුපවයිසර් යමපල්ලා ඔහු විසින් දක්නා ලද්දේය. ඒ යමපලු තෙමේ අනතුරුව පිරිසට මෙසේ අණ දුන්නේය.
“විවේක කාලය ඉවරයි දැන් ඔළුවෙන් හිටගනිල්ලා” කීවේය.
යමරජුගේ දඬුවම් මරණින් මතු ඊළඟ ආත්මයේ සිටය. එහෙත් ඊට පෙර මහජනයාගෙන් දඬුවම් ලැබිය යුතු යැයි කියන රාජ්‍ය කලාභූෂණ දේශකීර්ති සහ ලේඛනශූරී සම්මානලාභී විශ්‍රාමලත් ගුරු වජිර දයාවංශ සිය පැදි වැලක මෙසේ සඳහන් කර තිබේ.
ඇස් ඉස් මස් දෙන්න හඬගා පෙරට වරෙව්
වස් ස් යන්න පුද පිදවිලි යාග කරව්
තිස් තුන් පැයම “ආටානාටියම” කියව්
රට ගොඩගන්න නම් හොරු රැල පන්න දමව්
චන්ද්‍රසේන මාරසිංහ