ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත්වුණා. ඒ, වෙනදාට වඩා සුබවාදී විදියට. රන් පදක්කම් කිහිපයක් අපි දිනාගත්තා. ඒ, අවුරුදු 23කට පස්සේ කියලයි අපට දැනගන්න තියෙන්නේ. මේ තත්ත්වයත් එක්ක මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතාකරන්න ගත්තයි කියලයි අපි විශ්වාස කරන්නේ.(Sri Lanka Latest News)
නමුත් එහෙම කතා කරන අතරතුරේ අපිට දැනගන්න ලැබෙන්නේ කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවෙන් ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරාගේ කතාව. සචිනි කෞෂල්‍යා පෙරේරා රැකියාවක් විදියට මේ වෙනකොට මැදපෙරදිග රටකට ගිහිල්ලා ගෘහ සේවයේ නිරතව ඉන්නවා කිව්වම ඔබට හිතෙයි ඒක ඒ තරම් වැදගත් කතාවක් නෙවෙයි නේද කියලා. ඒකට හේතුව සාමාන්‍යයෙන් මනුස්සයෙක් වෙන රටක වෘත්තියකට යන එක සාමාන්‍ය දෙයක්.
හැබැයි ලංකාවේ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික ශූරිය දැන් ඉන්නේ ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වෙලා කිව්වම ඒකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ඉහළම තැනකට ඔසවලා තියන්න පුළුවන් වෙච්ච ක්‍රීඩිකාවකට ඇයි අපට පහසුකම් ටිකක් දෙන්න බැරිවුණේ කියලා.
මේකට හේතුව මේ ක්‍රීඩිකාව තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන්. ඒ අයට සාමාන්‍යයෙන් පාසලේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් දේවල් ඉතා නරක විදියට මඟහැරෙනවා. එහෙම මඟහැරුණාම මේ ක්‍රීඩිකාවන්ට ලබාදෙන්න අවශ්‍ය කරන පහසුකම් ටික රජයෙන් ලබාදීලා, ඒ අයව ඉදිරියට පවත්වාගෙන යන්න, නඩත්තු කරගෙන යන්න රජයට බැරි නම් ඒ මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඳුරු වෙන එක අහන්න දෙයක් නෑ.
ඇත්තටම අපි දන්නවා පාසලේදී ක්‍රීඩාව පැත්තට වැඩිපුර නැඹුරුතාවක් දක්වන දරු දැරියන්ට පාසලේ අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමුකරන්න බැරිවෙන එක. අපි දැක්කා පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා තිබුණා, මම ඉස්කෝලෙ යන කාලේ මට කිව්වේ පන්තියේ ඉන්න කියලා. ඒත් මට පන්තියේ ඉන්න බැරිවුණා. මම පන්තියේ ඉන්නෙ නැතුව මට සිද්ධ වුණා ක්‍රීඩා කරන්න පිට්ටනියට යන්න. පිට්ටනියට ගිහින් ඔහු අද ජීවිතේ ජයග්‍රහණය කරලා තියෙනවා. ක්‍රිකට් ගහන්න පිට්ටනියට ගිය අය විතරද ජීවිතය ජයග්‍රහණය කරන්නේ? වෙන ක්‍රීඩාවලට පිට්ටනියට ගිය අයට ජීවිතය ජයගන්න විදියක් නැද්ද කියන එක මේ කතාව කියවද්දී අපට දැනෙන දෙයක්.
ඇය 2018 ඉඳලා 2022 දක්වා ශ්‍රී ලංකාවේ ජාතික රිටි පැනීමේ ශූරිය විදියට අඛණ්ඩව ජයග්‍රහණය කරපු කෙනෙක්. ඒ වගේම ඈ යුද හමුදා වාර්තාවද දරන්නියක්. නමුත් දිගින් දිගටම එල්ල වෙච්ච ආර්ථික ප්‍රශ්න නිසා ඈට සිද්ධ වෙනවා ලංකාව අතරහැරලා මැදපෙරදිග රටක ගෘහ සේවයේ යෙදෙන්න. සචිනි කෞෂල්‍යා දරුවෝ දෙන්නෙක් ඉන්න පවුලක බාල දියණිය. ඇගේ මව මේ වෙද්දී එක්තැන් වෙලා ඉන්න බවත් වාර්තා වෙනවා. ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ ඉදිරි පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබිය යුතු නිසි සහාය ලැබිලා නෑ කියන එක මේකෙන් ඉතා පැහැදිලි වෙන කාරණයක්.
සචිනි කෞෂල්‍යාගේ කතාව වගේම කතාවක් තමයි අනුරාධගේ කතාව. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කියලා කියන්නේ ඔලිම්පික් තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරපු ක්‍රීඩකයා. සමහර විට ඔබට ඔහු මතකත් නැතිව ඇති.
රියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සහභාගි වුණේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ. ඔහු ඒ වෙනකොට 34 වැනි වියේ පසුවුණා. 2015 – 2013 පැවැති ලන්ඩන් මැරතන් තරගවලදී 14 වැනි ස්ථානයට පැමිණි අනුරාධ, ඔලිම්පික් පරිසාධන මට්ටමට පවා ළඟාවෙන්න හැකියාව තිබුණු ක්‍රීඩකයෙක්. ලෝකයේම ක්‍රීඩකයන් 30,000ක් සහභාගි වෙච්ච මේ තරගවලින් පළමු 30 දෙනා අතරට එන්න ඔහු සමත් වුණා.
නමුත් අනුරාධ ඉන්ද්‍රජිත් අද ඉන්නේ එංගලන්තයේ හෝටලයක රාජකාරි කරමින් කියලයි අපි දන්නේ. ඒක හෝටලයක්ද, බේකරියක්ද කියන එක සම්බන්ධයෙන් අපට නිවැරැදි තොරතුරු නෑ. නමුත් ඔහු ලන්ඩනයේ වෙළෙඳසලක සතියට පැය 40ක කාලයක් සේවය කරන බව ඔහු වරක් සඳහන් කරලා තිබුණා. ඒ ලැබෙන කාලය අතරතුර තමයි ඔහු පුහුණුවීම් කරලා තිබුණේ. ඔහු කියපු කාරණය තමයි මට අවශ්‍ය කරන විදියට බලධාරීන්ගෙන් සහාය ලැබුණා නම් මට අද මෙතැන ඉන්න ඕනෙ නෑ. මීට වඩා ඉස්සරහට යන්න තිබුණා කියලා. අපි දන්නවා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සියලු පහසුකම් අපි ලබාදෙනවා.
ලංකාවේ ක්‍රීඩකයන්ට ලෝකයෙනුත් ඉතාම ඉහළ පහසුකම් ලැබෙනවා. අපේ ක්‍රීඩකයෝ දක්ෂතා අතර ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ජාත්‍යන්තර වශයෙනුත් විශාල මිලක්, විශාල වටිනාකමක් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාවකට අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි සහයෝගය ලැබෙන්නෙත් නෑ, ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් ඉහළ මිලක් නියම වෙන්නෙත් නෑ. ඔවුන්ට වෙන්නේ ටික කාලයකින් තමන් ක්‍රීඩාවෙන් ඉවත් වුණාට පස්සේ තමන්ගේ ජීවිකාව තමන්ටම හදාගන්න. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා විදියට ක්‍රීඩා කරපු ක්‍රීඩකයා අද නගර සභාවක සේවය කරමින් කනත්තක තණකොළ කපන ආකාරය අපි පහුගිය දවසක දැක්කා.
ක්‍රීඩකයෝ මේ විදියට තමන්ගේ මුළු ජීවිත කාලෙම ක්‍රීඩාව වෙනුවෙන් කැප කරලා අවසානයේ ඔවුන්ට රැකියාවක් නෑ, ඔවුන්ට විශ්‍රාම වැටුපක් නෑ, වෙනත් ගෙවීමක් ලැබෙන්නේ නෑ, ඔවුන්ට වෙනත් රැකියාවක් ලබාගන්න තරම් අධ්‍යාපනයක් නෑ. මේ සියල්ලත් එක්ක ක්‍රීඩකයන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අපේ රටේ මලල ක්‍රීඩාව හෝ වෙනත් ප්‍රසිද්ධ නොවන ක්‍රීඩාවලට සහභාගි වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය ඉතා අඩු වේවි කියන එකත් මේකෙන් අපට පැහැදිලි වෙන කාරණයක්.
අවසාන වශයෙන් අපි ආයෙත් සචිනිගෙ කතාවට ආවොත්, සචිනි පහුගිය කාලෙ ඉල්ලලා තිබුණා පුළුවන් නම් සාක් තරගාවලියකට සහභාගි වෙන්න මට අවස්ථාව දෙන්න කියලා. නමුත් ඊට අවශ්‍ය කරන නිසි පියවරක් අරගෙන තිබුණේ නෑ. දැන් මේ වෙනකොට සචිනි ඉන්නේ රිටි පැනීමේ කතන්දරෙන් අයින් වෙලා. තමන්ගේ ජීවන ගමන යන්න අවශ්‍ය කරන පිම්ම පනිමින්. ඒකට තමයි ඇය මැදපෙරදිග රැකියාවකට යන්නේ.
මැදපෙරදිග ගියා කියන එක අගෞරවයක් නෙවෙයි. ගෘහ සේවයට ගියා කියන එක නරක දෙයෙක් නෙවෙයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ජාතික ශූරිය මැදපෙරදිගට යෑම. කාන්තා රිටි පැනීමේ ජාතික ශූරිය අපට අහිමි වුණාම, අපි තවත් ජාතික ශූරියක් රිටි පැනීමෙන් හදාගනීවි. එතකොට ඈව ආරක්ෂා කරන්න අපට වැඩපිළිවෙළක් තියෙනවද? ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් මුල් තැන නොදී, සමහර ක්‍රීඩා විතරක් පරිස්සම් නොකර, අපි අපේ හැම ක්‍රීඩකයෙක්ම ආදරෙන් බලාගන්නවා නම්, අපේ ක්‍රීඩා අනාගතය මීට වඩා සුබ වෙයි සහ සුන්දර වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඔය ප්‍රාර්ථනාවත් එක්ක මේ කතාව ලියන්නෙ සචිනිගෙම වචනවලින්.
‘දැනට මම ගෘහ සේවිකා රස්සාවට ඇවිත් අවුරුද්දක් වෙනවා. මම මහා ලොකු දේවල් ඉල්ලුවේ නෑ. හොඳ පුහුණුවක් හරි ජාත්‍යන්තර තරගයක් හරි තමයි ඉල්ලුවේ. ඉන්දියාවේ පොඩි තරගාවලියක් හරි කමක් නෑ කියලයි මම කිව්වේ. මට ඕනෑ වුණේ අත්දැකීමක් ගන්න විතරයි.
ලංකාවේ මම මීටර් 3.50 පනින කොට මට පහළින් හිටපු අය ඔක්කෝම පැන්නේ 3.20 වගේ. ඒ නිසා මට ලංකාවේ තරගයක් තිබුණේ නෑ. මම දන්නවා මගේ දක්ෂතා ආසියානු මට්ටමට මදි කියලා. මම මීටර් 3.71 පැන්නෙත් මගේ සහ පුහුණුකරුගේ උත්සාහය සහ කැපවීම නිසයි. අඩුපාඩු හැර වෙන කිසිම දෙයක් මට තිබුණේ නෑ. මම ඉල්ලුවේ මොනයම් හෝ සහයෝගයක් විතරයි. එහෙම ලැබුණොත් විතරයි අපට මෙතැනින් එහාට යන්න පුළුවන් වෙන්නෙ. හැබැයි කිසිම දෙයක් වුණේ නෑ.
මගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. අම්මා අංශභාගරෝගයෙන් පෙළෙනවා. තාත්තා විශ්‍රාම ගිහින්. අයියා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. ක්‍රීඩා කරන්න විශාල වියදමක් යනවා. ගෙදර වියදමත් වැඩියි. මේ හැම දෙයක් එක්කම තිබුණු කලකිරීමත් එක්ක මැදපෙරදිග ගෘහ සේවයට ආවේ.
මම රිටි පනින්න ආවේ අහම්බෙන්. මේක ඇත්තටම මගේ තුන් හිතකවත් නොතිබුණු ක්‍රීඩාවක්. රිට අතට ගන්නකොට මම අන්තර්ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. මොකක්දෝ හේතුවකට රිටි පනින්නියක් වුණා.
ජිම්නාස්ටික්වලින් මම ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ, 2014 දී. ඒ අවුරුද්දේ මම ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට ස්කොට්ලන්තයට ගියා. ඒ වගේම සිංගප්පූරුවේ තිබුණු ආරාධිත ජිම්නාස්ටික් තරගාවලියට සහභාගි වෙලා ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඒත් අන්තිමට මම රිටි පනින්න ඇදිලා ආවා. අදටත් මම ඒ තීරණය ගත්තේ ඇයි කියන්න දන්නෙ නෑ.
ඒ ආකර්ෂණය මට ලැබුණේ මගේ ඉස්කෝලේ වුණු පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහලේ හිටිය තවත් අක්කා කෙනක් හින්දයි. එයාට රිටි පනින්න එන්න කිව්වා. එයාගෙ තනියට ගිය මම රිටට ආදරය කරන්න පටන් ගත්තා. අන්තිමට ඒ අක්කා ක්‍රීඩාව නැවැත්තුවා. මම දිගටම රිටි පැන්නා.
මුලදී හැමදාම පරාදයි. මුල් අවුරුදු එකහමාර ම ජයග්‍රහණ නෑ. ඒත් මම මේ ක්‍රීඩාව දිගටම කළා. ඔය අතරේ තමයි මට ගුණරත්න සර් ගාවට යන්න අවස්ථාව උදාවෙන්නේ. කියුබන් පුහුණුකරු ගාව ඉඳලා ගුණරත්න සර් ගාවට ගිහින් පනිද්දීත් මම පැරදුණා. ඒත් සර් කිව්වේ දිගටම පුහුණු වෙන්න කියලයි. ක්‍රීඩාවට අවංක වුණොත් මටත් ක්‍රීඩාවත් අවංක වෙනවා කියලා සර් කිව්වා. ඒක ඇත්ත. මේ වෙනකොට මට ලංකාවේ තියෙන ඔක්කොම තරග දිනලා ඉන්නේ. වැඩි පහසුකම් තිබුණොත් මීටර් හතරේ සීමාවට එන්නත් අසීරු නෑ. ඒකට විදේශීය පුහුණුවක් ඕනේ. රජයෙන් යම් ක්‍රමවේදයක් හදලා දෙනවා නම් මම මගේ වැටුපෙන් ගෙවලා හරි ඒ පුහුණුව ලබාගන්න සූදානම්.
මම පාවච්චි කරන්නේ තව කෙනෙක්ගෙ රිටක්. ඒ රිටේ අයිතිකාරයා අපේ සර් ගාව උස පනින ප්රවීණයන්ගේ මලල ක්‍රීඩාව කරන දොස්තර මහත්තයෙක්. ඒ රිට මගේ අතින් කැඩුණා. දැන් ටිකක් කොටයි. මම ශ්‍රී ලංකා වාර්තාව තිබ්බේ ඒ කොට රිටෙන්. අලුත් රිටි දෙකක් මට යුද හමුදාවෙන් වගේම පළාත් සභාවෙන් ලැබුණා. ඒත් තවම මට හුරු පරණ රිටමයි. රිට කැඩුණා කියලා දොස්තර මහත්තයට කිව්වාම එයා හිනාවෙලා ඔළුව අතගෑවා විතරයි. මම බයේ හිටියේ බණියි කියලා.
අපි පහුගිය කාලේ පුරුදු වුණේ අපේ ගුණරත්න සර්ගේ ගෙදර තැනක. සර්ට හමුවුණු මෙට්ට කෑලි තුනක් දාලා මහගත්ත පොඩි මෙට්ටයක් උඩට පැනලා තමයි අපි පුහුණු වෙන්නේ. වැල්ලෙ දුවගෙන ඇවිත් රිටි පනින්න අපිට පුහුණුව දෙනවා. ඒ ප්‍රතිරෝධය එක්ක උඩ එන්න ගන්න වෙහෙස අපේ දක්ෂතා තවත් ඔප්නංවනවා. මේ ආපු ගමන ගැන මට තියෙන්නේ ආඩම්බරයක්, සතුටක් වගේම ආදරයක්.
මේ දේ කරන්න මම බය නෑ. ජීවිතය දිනන්න කොයිතරම් උසින් තිබුණත්, දඬු වැටවල් පනින්න ඕනෑ….’
ජීවන පහන් තිළිණ










