ඩී.අයි.ජී. නාලක සිල්වා නැවත රාජකාරියට කැඳවා ඇත. වැඩ තහනම් කළ හෝ අනිවාර්ය නිවාඩු යවූ ඉහළ පොලිස් නිලධාරීන් ඕනෑ තරම් නැවත රාජකාරියට කැඳවා ඇති රටක ඩී.අයි.ජී. නාලක සිල්වා නැවත සේවයට කැඳවීම ප්‍රවෘත්තියක් වන්නේ කෙසේදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය සැබෑවටම කතා කළ යුතු නිමිත්තක් වන්නේ නාලක සිල්වා වැඩ තහනමට ලක්කිරීමේ සිද්ධිය සමග සසඳා සිතා බැලීමේදීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සේවය කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. එහෙත් ඔහු ප්‍රධාන වශයෙන් කරළියට ගෙන එන්නට මුල්වන්නේ ඔහුගේ රාජකාරිය හා බැඳුණු සිදුවීමක් නොව ඊට ඉඳුරාම වෙනස් කරුණකි. සත්‍ය වශයෙන්ම කිවහොත් නාලක සිල්වා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනුයේ කොහෙන් පහත්වූවේදැයි කවුරුත් නොදන්නා නාමල් කුමාර නමැත්තාය. මේ කියන නාමල් කුමාර තමා හඳුන්වා දෙන්නේ දූෂණ විරෝධී බළකාය නම් සංවිධානයේ කැඳවුම්කරු ලෙසිනි. එම හැඳින්වීම ඒ ආකාරයෙන්ම ලියුම්කරුද භාවිත කරනුයේ ඔහු හඳුන්වා දීමට වෙනත් ආකාරයක් සිතාගත නොහැකි බැවිනි.
2015 වසරෙන් පසු ගෙවුණු සිවු වසරක කාලයේ මේ ආකාරයේ ඕපපාතික චරිත කොහෙන් හෝ මතුවී මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබිණි. වාර්ගිකත්වය හෝ ආගම පදනම් කරගෙන සමාජය ගිනිලන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් රට වැනසූ මෙම චරිත අතරට චීවරධාරීන් කිහිප පොළක්ද එක්ව සිටියහ. ඉන් සමහරෙක් අදටද වලිගය ගිනිලාගත් හනුමා මෙන් රට හතර අත ගිනිතියමින් චාරිකාවේ යෙදෙති. මේ කියන නාමල් කුමාරද එවැනි චරිතයක් බව පසුකාලීනව සමාජය විසින් වටහා ගන්නා ලද බව පැහැදිලිවම කිව හැකිය.
මහනුවර – දිගන ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම පැතිර යන්නේ මේ කියන අතරවාරයේදීය. එම වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට චෝදනාව එල්ලවන්නේ මහසෝන් බළකාය නම් සංවිධානයටය. ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සැකපිට මහසෝන් බළකායේ අමිත් වීරසිංහ නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේය. මේ අත්අඩංගුවට ගැනීම කනවැකුණු සැණින් නාමල් කුමාර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්නේය. ප්‍රධාන පෙළේ මාධ්‍ය සාකච්ඡා පවා මඟහරින මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මේ ආකාරයේ ඕපපාතික සංවිධාන මාධ්‍ය හමු යැයි කියමින් කරන විගඩම්වලට ප්‍රමුඛත්වය දීම ඒ කාලයේ තාලය විය. ඒ අනුව නාමල් කුමාරගේ මාධ්‍ය සාකච්ඡාවටද සැලකිය යුතු මාධ්‍ය සහභාගිත්වයක් දැකගත හැකි විය.
මාධ්‍ය හමුව පවත්වමින් නාමල් කුමාර මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ අසත්‍ය තොරතුරු මත පදනම්ව බවට පොලිසියට චෝදනා කළේය. එම අත්අඩංගුවට ගැනීම කළේ ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ අණ පරිදිය. මාධ්‍ය හමුවේදී නාමල් කුමාර, නාලක සිල්වාට එරෙහිව චෝදනා කරමින් කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සෙසු පොලිස් නිලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඉන්ද නොනැවතුණු ඔහු එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කරන බවද පැවැසීය. එමෙන්ම එවක අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහට ලකුණු වැටෙන ක්‍රමයකට නාලක සිල්වා කටයුතු කරන බවට චෝදනාවක්ද කළේය. ඉන්ද නොනැවතුණු ඔහු එකී චෝදනාව සනාථ කරන හඬ පටද තමා සතු බව සඳහන් කර සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු, පාතාල නායකයකු ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් මාර්ගයෙන් ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැලසුම් කර තිබූ බවත් සඳහන් කළේය. මීට මාස දෙකකට පමණ ඉහතදී එම සාකච්ඡාව සිදු වූ බව එහිදී සඳහන් කළ නාමල් කුමාර, ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම හෙළිදරව්ව කරන බවත් කියා සිටියේය. එහෙත් ඔහු ඉදිරිපත් කළ හඬ පට අතර ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයක් ගැන අදහස් දක්වන හඬ පටයක් නොවූ බව සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදීහු පවසති. මේ සිදුවීම මේ ආකාරයෙන් රඟදැක්වෙද්දී අනෙක් පසින් ලංකාවේ දේශපාලනය උණුසුම් වෙමින් තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර නෝක්කාඩුව ඔඩුදුවමින් තිබිණි. පළාත් පාලන මැතිවරණ නිමා වීමත් සමග පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ඉල්ලා කැරැලි ගසමින් පසුවූහ. මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය වඩා බලවත් වෙමින් සිටීම නිසා ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතීත්වය පවා සෙලවෙන දතක තත්ත්වයට පත්විය. කෙසේ හෝ මහින්ද පාර්ශ්වය සමග සබඳතාව ගොඩනගා ගැනීම වඩාත් හොඳ බව මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ අනුගාමිකයන්ගේ අරමුණ විය.
පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන උද්දාමයට පත්ව සිටි පොහොට්ටු පක්ෂයේ සාමාජිකයන්ගෙන් සැඳුම්ලත් ඒකබද්ධ විපක්ෂය රත්වූ තැටියෙන් රොටිය පුච්චා ගැනීමට වහ වහා කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් නාමල් කුමාරගේ ප්‍රකාශය ගැන වහා පරීක්ෂණ අරඹන ලෙස ඔවුහු ආණ්ඩුවට බල කරන්නට වූහ. 2018 සැප්තැම්බර් 13 වැනි දින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අණින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ පිළිබඳ පරීක්ෂණ ඇරඹුවද, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයෙන් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලදී. මේ වන විට මෛත්‍රී-රනිල් ගැටුම මෝරා එමින් තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකවේ හයවැනි විධායක ජනාධිපති වීම පිටුපස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසක් සිටිය බව රහසක් නොවේ. එහෙත් මෛත්‍රී වෙනුවෙන් ලොකුම කැපකිරීම කළේ රනිල් වික්‍රමසිංහය. දිනේෂ් වීරක්කොඩි ලියූ ‘මහා නොවැම්බර් විප්ලවය’ පොත කියවීමෙන් ඒ බව ඕනෑම කෙනකුට වටහාගත හැක. එහෙත් බලයට පත්ව වසර තුන සම්පූර්ණ වන විට මෛත්‍රීපාල සිරිසේන අමුතුම පුද්ගලයෙක් වී සිටියේය. ඔහුගේ අවශ්‍යතාව වූයේ මහින්ද අගමැති කිරීම මගින් එකාබද්ධ විපක්ෂයේ උදව් ගෙන රට පාලනය කිරීමය. අනෙක් අතට තමා ලද ඡන්ද ප්‍රමාණය ගැනද ඔහුගේ වූයේ අධි තක්සේරුවකි. ඔහුගේ මේ වැරැදි තක්සේරුව නොවුණේ නම් රටේ බොහෝ දේ වෙනස් වීමට තිබිණි. අන්තිමට මෛත්‍රීපාල සිරිසේනට සිදුවූයේ තනිවම නටන්න ගියා නයාට සිදු වූ දෙයමය.
නාමල් කුමාර ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරමින් ඩෑන් ප්‍රියසාද් නමැත්තා කරළියට එන්නේ මේ අවස්ථාවේය. නාමල් කුමාර මෙන්ම පදනමක් නැති අයකු වූ ඔහු පවසනුයේ නාමල් කුමාර හමුදාවෙන් පලාගොස් සැඟව සිටින්නකු බවය. එමෙන්ම කලකට පෙර ඔහු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක අංශයට සම්බන්ධව සිටි බවද ඔහු පවසන්නේය. නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් බවත්, ඔහු දුන් ඔත්තුවකට අනුව බුරුම සරණාගත පිරිසකට පහර දීම පිළිබඳ ඩෑන් ප්‍රියසාද් වරක් අත්අඩංගුවට පත්ව ඇති බවත් මාධ්‍ය අනාවරණ කළේය. නාමල් කුමාර, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හඳුනාගෙන ඇත්තේ එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගේ මාර්ගයෙන් බවත්, ඒ හැඳුනුම්කම මත ඔහු ලබාදුන් ඔත්තු දෙකක් වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවත් පසුව වාර්තා විය. පුදුමසහගත දෙය වනුයේ මහසෝන් බළකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීම සාවද්‍ය තොරතුරු මත සිදුකළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළ නාමල් කුමාර පසු අවස්ථාවක එම අත්අඩංගුවට ගැනීමට තමා පොලිසියට උපකාර කළ බව පැවැසීමය. ඔහුගේ මේ ආකාරයේ දෙබිඩි හැසිරීම් සහ හමුදාවෙන් පලා යාම පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු නොවීමද සැකසහිත ක්‍රියාවකි.
නාමල් කුමාර සහ නාලක සිල්වා ගැන කතා කරන විට සඳහන් නොකරම බැරි තවත් දෙයක්ද ඇත්තේය. ඒ, 2019 එල්ල වූ පාස්කු ප්‍රහාරයයි. එම ප්‍රහාරයේ මහමොළකරු ලෙස අදටත් හඳුන්වන සහරාන් හෂීම් පසුපස මුලින්ම ලුහුබැඳ ගිය පොලිස් නිලධාරියා නාලක සිල්වාය. එය හුදු හිතලු මත කරන ප්‍රකාශයක් නොව, අධිකරණ සාක්ෂි මත තහවුරු කළ හැකි ප්‍රකාශයකි. සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා නාලක සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විවෘත වරෙන්තුවක් ගෙන තිබුණේ 2018 වසරේ ජුලි මස 02 වැනිදාය. ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අංක 92358/08/18 දරන ‘බී’ වාර්තාව මගින් කරුණු වාර්තා කරනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවසා අත්තේ මූලධර්මවාදී කරුණු ඉස්මතු කරමින් වීඩියෝ පට හා ඡයාරූප වෙබ් අඩවි සහ මුහුණු පොත භාවිත කරමින් ප්‍රචාරය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ සහාය පතන බවයි. මෙම කටයුත්ත සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. පෙරේරා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහෙත් සිදුවූයේ අනෙකකි. සහරාන් අත්අඩංගුවට ගැනීමට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පොලිස් අත්අඩංගුවට පත්විය. 2018 ඔක්තෝබර් මස 25 වැනි දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඒ වන විට සහරාන් අත්අඩංගුවට ගැනීමට ඔහු අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මාස හතරක් ගෙවී තිබිණි. එය හුදු අහම්බයක් ලෙස සිතීමට අප ඉක්මන් නොවිය යුතුය. නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් පසු සහරාන් පිළිබඳ පරීක්ෂණවලට සිදුවූයේ කුමක්ද? ඒවා සැලසුම් කළ පරිදි සිදුවූයේද යන්න පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන පාර්ශ්වයන්ගේ ඍජු අධීක්ෂණයට ලක්විය යුතුය. නාලක සිල්වා අත්අඩංගුවට පත් වනුයේ නාමල් කුමාර කරන ලද ප්‍රකාශය නිසාය. එම ප්‍රකාශය අනුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කිසියම් තොරතුරක් හෙළිවූ බවක් දැනගන්නට නැත. නාමල් කුමාර පැවැසූ මෛත්‍රී – ගෝඨා ඝාතන කුමන්ත්‍රණය නාමල්ගේ අතේ රෝලක්ද? එහි අරමුණ වූයේ අගමැති රනිල් සහ නාලක සිල්වා අතර සබැඳියාවක් ඇති බව පෙන්වා දේශපාලන වාසි ලබාගැනීමද? නොඑසේ නම් නාලක සිල්වා පොලිස් සේවයෙන් ඈත් කර සහරාන් පිළිබඳ කරමින් තිබූ පරීක්ෂණ අඩාළ කිරීමද? පිළිතුරු සෙවිය යුතු කරුණු මේවා වන මුත් කිසිවෙක් ඒ පිළිබඳ අවධානයක් දක්වන බවක් පේනෙන්නට නැත.
කෙසේ හෝ වේවා නාලක සිල්වා දැන් පොලිස් සේවයේය. ඔහු පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව දැනගන්නට ඇත. ඉන් කියැවෙන්නේ මෛත්‍රී – ගෝඨා ඝාතන තැත ගැන නාමල් කී කතාව පුස්සක් බවය. එහෙත් ඒ බව කී නාමල් තවමත් යහතින් සිටී. (බොරු කීවාට ඔහුට ප්‍රශ්නයක් නැත.) නාලක සිල්වාටද හිඟ වැටුප් සහිතව සේවය යළි ලැබෙනු ඇත. (කාටවත් ලොකු පාඩුවක් සිදුව නැත.) නාලක සිල්වා අත්අඩංගුවට පත්වීමෙන් සහරාන් පිළිබඳ පරීක්ෂණ බිඳ නොවැටුණේ යැයි කිසිවකුට සහතික කර කිව හැකිද? (දන්නා තරමින් එවැනි ප්‍රකාශයක්ද කෙරී නැත.) එසේ නම් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කෙටි කලක් පොලිස් සේවයෙන් බැහැර කර තැබීමෙන් කිසියම් පාර්ශ්වයක් කුමන හෝ වාසියක් අපේක්ෂා කළේද? එසේ නම් ඒ කවුද?
(‘දඩයම කර තබාගෙන යන තැනැත්තාගෙන්, තුවක්කුව බැන්ද අය ගැන ඉඟියක් ලබාගත හැකිය.’ – අනුර කුමාර දිසානායක)

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










