ඔන්න එකෝමත් එක දවසක අපි අනුරාධපුරේ ඉඳන් යාපනේ යන්න පිටත් වුණා. ගිර ගිනි අරගෙන. මහපොළොව ගිනියම් වෙලා. අහසේ වලාකුළුත් තැන් තැන්වලට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා ඉර මොකද මේ මහපොළොවට කරන්න යන්නේ කියලා. ගහකොළ වැල් මල් සද්ද නෑ. හෙලවෙන්නෙවත් නෑ. ඈත වෑදිය නිල්ල නිසොල්මන්ව බලාගෙන ඉන්නවා. ඕලු, නෙලුම්, මානෙල් මල් හෙලවෙන්නෙවත් නෑ.(Sri Lanka Latest News)
එච්චර ගිනියම් වෙච්ච දවසක උදේ 10-11 වෙද්දිම රස්නේ දැනෙන්න පටන් අරගත්තම අපිට තිබහයි බඩගින්නයි මේ හැම එකම දැනෙන්න පටන් අරගන්නවා. යාපනේට යනකන් රස කෑමක බීමක අයිරුවක් නැති නිසා අපි කල්පනා කරමින් යන්නේ ඔන්න ඔය අස්සේ තමයි අපිට මුණගැහෙන්නේ කැඳ කඩයක්. හතරැස් කොටුවේ තියෙන්නේ. දුම්රිය මාර්ගය පහුවෙලා පුංචි දුරක් යනකොට පාරේ වම් පැත්තේ. මේ කඩේට කියන්නේ මුතුබණ්ඩා මාමගේ කැඳ කඩේ කියලා. කැඳ කඩයක් දැක්කම ඒක ඕනෑවට වඩා විස්තර කරමින් වැඩිපුර කයිවාරු ගහන්න තරම් දෙයක් නෑනේ. මොකද ලංකාවේ ඕනෙ තරම් කැඳ විකුණන කඩ තියෙනවා. එතකොට මොකක්ද මේ මතුබණ්ඩා මාමගේ කැඳ කඩේ තියෙන විශේෂත්වය. ඒක තමයි මේ කියන්න යන්නේ.
මුතුබණ්ඩා මාමා ගාව තියෙනවා කැඳ වර්ග මහ ගොඩක්. හැබැයි ඒක නෙවෙයි විශේෂත්වය. සාමාන්‍යයෙන් කැඳ වර්ග ගොඩක් තියෙන කැඳ කඩ අපිට ඕනෙ තරම් මුණගැහෙනවනේ. හැබැයි මුතුබණ්ඩා මාමගේ කැඳ කඩේ තියෙන විශේෂත්වය වෙන්නේ මුතුබණ්ඩා මාමා කැඳ විකුණනවා කියන එක නිකන්ම නිකන් බිස්නස් එකක් කරගෙන නැති නිසා. මුතුබණ්ඩා මාමා ගාව තියෙනවා කැඳ බාස්කට් 5ක්. ඒ පහේ තියෙන්නේ කැඳ වර්ග 5ක්.
ඒ වගේම මුතුබණ්ඩා මාමා පටන්ගන්නෙම කැඳ දීලා නෙවෙයි. කැඳ බොන්න නැවැත්තුවට මුතුබණ්ඩා මාමා අපට දෙනවා වෙනිවැල්ගැට පත්පාඩගම් සහිත පොඩි වඩියක්. ඒකෙන් චුට්ටක් බීලා ඉන්න ඕනේ. ඒක හරි තිත්තයි. බොන්න හිතෙන්නේ නැති තරම් අප්පිරියයි. හැබැයි ඒ කිසි දෙයක් නොහිතා අපි ඒක බොන්නම ඕනේ. ඊට පස්සේ ගොටුකොළ කැඳ, කරපිංචා කැඳ, වැල්පෙනෙල කැඳ, මුගුණුවැන්න කැඳ, කුරක්කන් කැඳ ඇතුළු කැඳ වර්ග 7ක් තියෙනවා අපිට තෝරගන්න.
පළමුවෙන්ම වෙනිවැල්ගැට එක බිව්වට පස්සේ තමයි කැඳ බොන්න පුළුවන්. වෙනිවැල්ගැට එක අනිවාර්යයි. ඊට පස්සේ කැඳ බොනකොටත් අපේ ලෙඩ රෝග ගැන මුතුබණ්ඩා මාමා අහනවා. කොලෙස්ටරෝල් තියෙනවද, සීනි තියෙනවද, සෙම තියෙනවද කියලා ඔහු අහනවා. එවැනි අසනීපයක් තියෙනවා නම් ඒකට ගැළපෙන කැඳ වර්ගයක් දෙන්න මුතුබණ්ඩා මාමා දන්නවා.
කොහොම නමුත් මුතුබණ්ඩා මාමා මේ කැඳ වර්ග බොන පිළිවෙළක් තියෙනවා.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා කැඳ බොන්න ගියාම අපි කැඳ වීදුරුවක් බීලා ඒකට මුදල් දීලා එන්න ඕනේ. හැබැයි මුතුබණ්ඩා මාමාගේ කැඳ බිස්නස් එක ඊට වඩා වෙනස්. සාමාන්‍යයෙන් කැඳ බොන කෙනෙක්ට කැඳ කෝප්ප තුන හතරක් විතර මුතුබණ්ඩා මාමාගෙන් බොන්න වෙනවා. බොහෝ වෙලාවට දෙවැනි තුන්වැනි කෝප්පවලට පෙරැත්ත කරමින් දෙන්න උත්සාහ කරනවා. සමහර විට හතරවැනි කෝප්පෙකුත් දෙන්න උත්සාහ කරනවා. මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වා කියන්නේ ආයේ උදේට කෑමක් කන්න බඩේ ඉඩ ඉතුරු වෙන්නේ නෑ.
ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම මුතුබණ්ඩා මාමා මේ සියලු කැඳ වර්ග හදන්නේ කැලේ ගිහින්, කොළ වර්ග කඩාගෙන ඇවිත් ඉතාම පිරිසිදුව සහ ගුණාත්මකව කියන එකත් ඔහු අපිත් එක්ක කියනවා. අවුරුදු ගානක් තිස්සේ මෙතැනදී දහ දොළොස් වතාවක් මුතුබණ්ඩා මාමාව මුණගැහිලා තියෙනවා. මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වට පස්සේ ආයෙත් දවල්ට කන්න වෙන්නේ යාපනෙන් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ තරමටම ඔහුගේ කැඳ එක අපිට උදව් වෙනවා බොහොම ශක්තිමත්ව ගමන යන්න.
ඇත්තටම මුතුබණ්ඩා මාමා නිසා මේ අවට වටපිටාවේ ඉන්න බොහෝ දෙනෙක්ට නිරෝගී වෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඔහු මේ කැඳ ව්‍යාපාරය කරන්නේ බිස්නස් එකක් විදියට නෙවෙයි. මොකද ඒකට හේතුව කැඳ කෝප්ප හතරක් පහක් දීලා රුපියල් 80ක් විතරක් ගන්න මුතුබණ්ඩා මාමා අවංක වෙන නිසා. සාමාන්‍යයෙන් ඔබට හිතෙන්න ඇති වෙනිවැල්ගැට කෝප්පේ, ඊළඟට කැඳ කෝප්ප තුන හතරකුයි එක්ක සාමාන්‍යයෙන් මිල රුපියල් තුන් හාරසීයක්වත් වෙයි කියලා. නෑ. රුපියල් 80යි මුතුබණ්ඩා මාමාගේ කැඳ කෝප්පෙක මිල. කොච්චර බිව්වත් රුපියල් 80යි. මුතුබණ්ඩා මාමාගේ හිත රිදෙන්නේ බිව්වොත් නෙවෙයි, නොබිව්වොත්. පුළුවන් තරම් මුතුබණ්ඩා මාමා උත්සාහ කරන්නේ මේ අයට කැඳ කෝප්පයක් දීලා කොහොම හරි සතුටු කරන්න.
ඉතින් මේ කතන්දරේ ඇතුළේ ඉතා වැදගත් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලෙ ළමයෙක් පාසල් නිල ඇඳුමෙන් ඇවිල්ලා කැඳ බිව්වොත් කොච්චර බිව්වත් ඒ දරුවගෙන් සල්ලි ගන්නේ නෑ. ඒ වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න බව බාහිරින් පේන කෙනෙක් හෝ නැත්නම් දරුවෙක් ලැබෙන්න ඉන්න බව කියන කෙනකුගෙන් මුතුබණ්ඩා මාමා කිසිදු මුදලක් අයකරන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි දන්නවා අනුරාධපුර ප්‍රදේශයේ වැඩිපුරම තියෙන ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය.
මේ පැත්ත පළාතේ ඉන්න බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් බවට පත්වෙලා ඉන්නවා. ඒ නිසාමද කොහෙද මුතුබණ්ඩා මාමා තීරණයක් අරගෙන කිසිම වකුගඩු රෝගියෙක්ගෙන් මුදල් අය නොකරන්න. ඒක නිසා මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වොත් කිසිම වකුගඩු රෝගියෙක් සල්ලි දෙන්න ඕනේ නෑ. එහෙමයි කියලා හොයාගෙන ගිහිල්ලා මේ මනුස්සයාව අමාරුවේ දාන්න හෝ බොරු කියලා වංචා කරනවා එහෙම නෙවෙයි. ඒ නිසා අපි මේ කතන්දරේ කියන්නේ ඔහුගේ තියෙන ශ්‍රේෂ්ඨකම සහ උතුම් බව ලෝකෙට කියන්න අවශ්‍ය නිසා.
අපිට පාරේ තොටේ යන එනකොට මේ වගේ මනුස්සකම් පිරිච්ච මිනිස්සු ලක්ෂ ගානක් මුණගැහෙනවා. මුතුබණ්ඩා මාමත් එහෙම කෙනෙක්. අපේ උත්තමාචාරය මුතුබණ්ඩා මාමාට මේ මොහොතේ පුද කරන ගමන් අපිත් මුතුබණ්ඩා මාමාගේ වෙනිවැල්ගැට එකක් බීලා කැඳ කෝප්ප තුන හතරක් බීලා රසවත් වෙලා ශක්තිමත් වෙලා ගමන යන්නයි මේ සූදානම් වෙන්නේ.
ජීවන පහන් තිළිණ