‘It was the good of time. It was the worst of time.It was the epoch of wishdom. It was the epoch of foolishness. It was the era of light .It was the era of darkness.It was the age of…..’ (ඒ හොඳම කාලය වූවේය. ඒ නරකම කාලය වූවේය. ඒ බුද්ධිමත්ම සමය වූවේය. ඒ අමනෝඥම සමය වූවේය. එය ආලෝකමත්ම යුගය වූවේය. එය අන්ධකාරම යුගය වූ යේය. ඒ අවධිය…)
චාල්ස් ඩිකන්ස්ගේ ් A tale of two cities යන නවකතාව (මට මතක හැටියට) ආරම්භ කෙරී තිබුණේ ඒ අන්දමටය. (මතකය වසර පනහකට හැටකට එහා බැවින් වචන ටික එහාට මෙහාට වන්නටද බැරිකමක් නැතත් වාක්‍ය ටික නම් ඒ ටිකමය.) ඒ ප්‍රංශ විප්ලවය ආරම්භ වන සමයේ පැරිසියේ පැවැති ස්වභාවයය. ඒ භීෂණ යුගයකි.
ෂාගේ ආණ්ඩුව විප්ලවකරුවන් යැයි හැඟුණු සෑම කෙනෙක්ම සොය සොයා ගිලටිනය යට තබා මරාදමනු ලැබූහ. මහ මඟ යන මගීන් එකිනෙකා අඩුම තරමේ වචනයක් හෝ උනුන් කතා කරනවා තබා ඔවුනොවුන් දෙස බැලුවේ ද නැත. කාට හෝ කෙනකුට තවකකු දෙස අහම්බෙන් හෝ බලන්නට සිදුවූවා නම් බැලුවේ ද සැකයෙන් හා භීතියෙන් යුතුවය. මාරයා සෑම තැනකම පාහේ විලිස්සාගෙන සිටියේය. මරණය කවර අන්දමකින් හෝ කොයිවේලේ හෝ කඩාපාත්වේ දැයි යන අනියත නොව තිරසාර විවරණය සිවුපසින්ම අත වනමින් තිබුණේය.
පැරිස්වාසීන් අත්දුටු ඒ භීෂණ යුගයක තත්ත්වය අපටත් අත් විඳින්නට සිදුවූවේ 1971.04.15 දිනෙන් පසුවය.
මහ මඟ සැතපුම් කාලෙන් හමාරෙන් මිනී හත අටකි. හන්දියක් හන්දියක් ගානේ නොවැරදීම ටයරයකට යටව දින ගණනාවක් තිස්සේ පිලිස්සෙන සිරුරුය. ඒ (තරුණ) අපේ සිරුරේ රුධිරය කැකෑරෙන සමයය.
‘භාගෙට මරාදැමූ මගෙ සොහොයුරන් කැළ – මර හඬ නගද්දිම පිච්චුවෙ අගල්වල – මේවා දෙසට නෙත් නොහෙලන උන්ගෙ මොළ – පිරිලාවත්ද ගොම මැටි පස්වලින් බල’
(ලියුම්කරුගේ හිතට එකල නැගුණු ද්වේශය, ක්‍රෝධය, වෛරය, පළිගැනීම සහ සංවේගය පලවා හැරියේ ඔවැනි හතර පද ලිවීමෙනි)
ඉදින් ඒ සමයේ කිසියම් කෙනකු වෙනත් කෙනකු ගැන විමසූ කල්හි කියැවෙන පොදු පිළිතුරක් තිබිණි. අනේ අපි දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ යන්නය.
හඳුනතත් නොහඳුනන බව කීම ඒ අනුව ඈත අතීතයේ සිටම පැවත ආ සිරිතකි.
‘අනේ මම දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ’ යන ප්‍රකාශය ඉතිහාසයේ මුල්වරට ප්‍රකාශ කෙරී ඇත්තේ ජේසුස් ස්වාමි දරුවාණන්ගේ ගෝලයන් දොළොස් දෙනා අතරින් හොඳම ගෝලයා වූ පීටර්ගෙන් විය හැකිය.
“නුඹලාගෙන් එක් අයකු විසින් අද රාත්‍රියේ මා පාවා දෙනු ලබන්නේ යැයි” උන්වහන්සේ අවසාන භෝජන සංග්‍රහයේදී සිය ගෝලයන් බණවා කී කල්හි සියල්ලෝම මමද? මම දැයි? විමසන්නට වූහ. එවිට උන්වහන්සේ මුනිවත රැක්කෝය.
එහෙත් පේතෘස් (පේදුරු හෝ පීටර්) ඇසූ කල කුකුළා දෙවරක් හැඬලීමට පෙර ඔබ මා තෙවරක් නොදන්නා බව කියන්නේ යැයි කීහ.
ඒ ප්‍රසිද්ධ නොදන්නා ප්‍රකාශයම පැවසූ බවක් ඉතිහාසයේ යළිදු අසන්නට ලැබෙන්නේ කාලිදාසගේ සාකුන්තලයේ දුෂ්මන්ත රජුගෙනි. ඒ දරුවකු බඩට එනතුරුත් අඹුසැමියන් ලෙසින් එකට සිටි තම සැමියා වන දුෂ්මන්ත රජුන් සොයා සකුන්තලා රජමාලිගයට වන් කල ‘අනේ මම දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ’ යන ලෙසට ඇයට කී බවය.
ඈත අතීත යුගවල කෙරුණු ඒ ප්‍රකාශය නවසිය හැට හැත්තෑ ගණන්වල සිට තමන් විසින් දරදිය ඇද පැය විසිහතර පුරාම “පක්කලී සේවිස්” කර තමන් විසින්ම පත්කරවා ගන්නා ලද ඇතැම් ජන නායකයන් යැයි කියාගන්නා දේශපාලන “ගොයියලා”ගෙන් මහජනයාට නිරන්තරයෙන්ම අසන්නට ලැබීමෙන් මේ වන විට සාමාන්‍ය පදයක් බවට පත්ව තිබේ.
එහෙත් ඒ ස්වරූපය 2019ක් පසුව උඩු යටිකුරුව කණපිට පෙරැළී අප්පිරියාව උස්මුරුත්තාවට නැග අනේ අපි මුන් දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ, දුන්නෙත් නෑ යන්න මහජනයාගෙන් දේශපාලනඥයන් අරබයා කියැවෙන්නට වූවේය.
පක්‍ෂයක් කෙතරම් පිරිහුණු කාලයකදී වුවත් එක ගමකින් අඩුම තරමින් සියයට දහ පහළොවක් හෝ දුන්නා යැයි කියන්නෝ වූහ.
එහෙත් අද නම් ගම් පළාතක “දුන්නු එකකු බේතකට හෝ” හොයා ගන්නට ද නැත. අඩුම වශයෙන් හැටනව ලස්සෙන් (ලක්‍ෂය ගැමි උසුරුව) එකෙක්කත්. උම්ම්ම්..හු.
“කපුරු පිච්චූ තැන අළුවත් නැතුවා සේය.”
එසේ හෝ මෙසේ හෝ වූයේ රාජපක්‍ෂලා, රට්ටුන්ට රාජකීය පස්සම හැරවූ හෙයිනි.
තෙල්ටික, ගෑස්ටික පමණක් නොව පොඩි දරුවන්ට එක වේලක් හෝ කන්න දෙන්න නොහැකි වූය. (මේ නැති “බණේ” රටට අමුතුවෙන් කියන්නට ඕනෑකමක් නැත. රෙද්ද කඩා පෙන්නුවා සේ පැහැදිලිය) කෙටිම සමීකරණය “අය්ය මලෝ තුන්කට්ටුවම” උපන් රටත් එපා කියා පැදුරටත් නොකියා පැන යාමය.
එහෙත් අපරාදෙ කියන්න බැරිය. “ඩයනා සක්කරවට්ටම” නම් පහුගිය දවස්වල ඉඳහිටලාවත් ඉස්සරහ පැත්ත හරවා රැඟුවාය. (ඒ කංසා වැවීම ගැන කියන්නටය.) ඒත් මදැ, නිකං ඉන්න මගෙ දුව අහල ගියත් මදිද?
“දැන් සැපයි දැයි අහපු කාලෙ, වගේම, දිනපු මුල් කාලෙත් ඒ උදවිය නටපු නෛයාඩගම්” කොහොම ද? ඇයි, තුනෙන් දෙක ඉල්ලන කොටත් අල්ලපු සුරල්, කපපු කෙටල (උඩරට නැටුම් විශේෂයකි) නැටූ උඩවීසි බිමවීසි, කෝටි ගණනින්ය. එහෙත් දැන් බල්ලෙක්වත් නැත.
අපේ නොයිය නැන්දලා, පුංචිනා අක්කලා බලා සිටින්නේ මදි නොකියන්නම දෙන්න වෙලාව එනතුරුය. “වරෙල්ලා” කියමින් පේවීගෙනය.
තියෙන කොට තොග ගණනේය. නැතිකොට නැත්තටම නැත. ඕකට හොඳ ඉංගිරිසි කියමනක් ඇත. ‘Victory has a thousand of fathers, But defeat is orphan ජයග්‍රහණයට දහස් ගණනක් පියවරුය. පරාජය අනාථය. එහෙත් ඔය ගැන මා ඇසූ හොඳම ප්‍රකාශය ඔයින් එක පදයක් වෙනස් වුවත් ඕකට වඩා (මටනම්) හරිම ලස්සනය… Victory has a thousand of fathers,But defeat is a bastard “පරාජය අවජාතකයෙකි යන්නය. තාත්තෙක් නැත. නන්නත්තාරේ ගොස් හදාගත්තකි. එසේ නම් දුන්න එකකුත් නැති නිසා දැන් උදාවී ඇත්තේ “අවජාතකයන්ගේ” යුගය ද? එසේ කීවාට ඔබ මා කමා කෙරෙත්වා.
අපේ රටේ කලින් කලට එක එක යුග පහළ වූ නිසා මේ අවජාතකයන්ගේ යුගය යැයි කියන්නට බැරිකමක් නැතැයිද සිතමි. ඇයි, දුන්න එකතුත්, ගත්ත එකකුත් දෙන්නම පේන්න නැතිකොට එසේ කීම නොහාබීද?
ගත්තානම් ගත්ත එකෙකු පේන්න සිටිය යුතුය. එසේ නම් පෙනෙන්නම කොරන දෙයකුත් තිබිය යුතුය. කොරන්න පුළුවන්නං නොකර, වෙන එකෙකුට කොරන්න දීම වලිගෙ හපාගෙන මැරෙන්න තරම් වටිනා වැඩකි. ඇත්තටම අවජාතක යුගයක් බිහිවූයේ දුන්න උන් නිසාද? ගත්ත උන් නිසාද? අවබෝධ කර ගැනීම ඔබට භාරය.
දුන්න උන් දුන්නේ පෝලිම්ගැසී අවුත් දෙන්නට පෙලඹ වූ හෙයිනි.
කරුණු කාරණා පහදා දීමට නැට්ටුවෝ, වන්නම්කාරයෝ හොරණෑකාරයෝ හේවිසිකාරයෝ පමණක් නොව කසාවත් ධාරීහුද? බොහෝ වූහ. අපෙ අම්මේ…. ඒ..ඒ.. කියලා වැඩක් නැත.
කැලණියේ නාග භවනකට නාග ලෝකයෙන් ද ආවෝය.
කොරවා ගන්නට අපේක්‍ෂාවෙන් සිටිවුනට කොරවනවා යැයිද කොරවලා දෙනවා යැයිද අමුඩ කෙටියේ ගැටය පමණක් නොව අඳන කඩේද හිරවෙන්නට තදකර ගසාගෙන අභීතවැ සිංහ සෙයියාවෙන් ප්‍රකාශ කළ ඇත්තෝ අද පේන්නවත් නැත්තෝය. (මේ උදවිය ඇමතිය යුත්තේ ඇත්තෝ හෝ නැත්තෝ ලෙසින් නොවේ) ඉන්නවා යැයි කියන තැනක් ගැන අහන්නවත් නැති සේය.
කොරවලා දෙනවා යැයි කී දේ නොව ඊට අමුතු අමුතු දේ මේ වන විට කොරන්න යන හෙයින් කොරවා දෙනවා යැයි කී දේවල් කර දෙන්නේ කවරදා දැයි දැන ගනු රිසින් පොරොන්දු ගැටවලට (සඟ ගැට) අසුවූවෝ මේ වන විට පශ්චාත් භාගය පමණක් නොව කුට්ටම් පොක්කරණිය ද (පොකුණ) කසමින් විපරම් කරත්.
දැන් මේ කරන්නට පිටපොට ගසන හැටියට නම් පෙරදිග මුතු ඇටේ යැයි ඇගැයුණු මේ රටේ “පෙරදිග මුතු” යන කෑල්ල හැලී යාමෙන් සන්තකයේ පවත්නා ඉතුරු කොටසවත් මිනිස්සුන්ට රැකගන්නට පුළුවන් වුණොත් පුදුමෙනුත් පුදුමයකි.
කවුරු මොනවා කීවත් එතෙක් මෙතෙක් සිටිය උන් අතරින් පොඩි මිනිහාට අමතක නොවන්නට මොකක් හෝ මඟුලක් කළ ප්‍රේමදාස ලොක්කා එදා ගමේ ගොඩේ අගුවක පිලක ජීවත් වූ එඋන්ට ඇළක දොළක කුඹුරක වළක මාළුවකු දෙන්නෙකු ඇතිකරගන්නට හැකිවන පරිදි “මිරිදිය මත්ස්‍ය” ව්‍යාපෘතියක් යෝජනා කළ කල්හි “අම්මට සිරිගජ-නැන්දට කජු මද” කියලා පුතේ, අපේ කුඩා නොව මහා සංඝරත්නයම ඇඳිවත අංශක විසිතුනහාමාරයි තව චූ..ඌෳෟට්ටක් ඉහළට වෙන්නට කැටිකර ගෙන “අට්ට පුරිස පුග්ගලා” කෙසේ වෙතත් පෙනෙන්නටම අග්ගලා ඉදිරිපත්ව දෙදහස් පන්සිය වසක් තිස්සේ පැවත එන අපේ ආගම ඇතුළු සංස්කෘතිය සභ්‍යත්වය සහ දේශීයත්වයට “මේකා කෙළවන්ඩ එන කෙළවිල්ල බලාපියව් යකෝ” යන සේ තඩි තඩි අනුශාසනාවෙන් දේශීය හිතෛෂියෝ, ආගමික මාමකයෝ උස්සලා, පුප්පලා, නග්ගලා, වත්තං කරලා දෙකොන (කටවල්) රත් කැර තැබූ කල්හි රටේ ලොක්කා “අබ්බුග්ගංජී”ව ගියාහුය.
ඒ දුටු තත් (එම) පුරිසෝ (පිරිස්) “ආං බලාපියව් අරූ පශ්චාත්භාගය බිම ඇනගත්තා නොවේ දැයි ”අසා පා (පෙන්වා) අත්පොලා (අත්පුඩිගසා) ඔල්වරසන් දුටු අන්දම නම් රට්ටුනට දෙනතක සේ තවමත් නොමතකය.
“හැයි” (ඇයි) එපමණෙක්ද?
හැත්තෑව දශකයේ මුල් සමයේ නෝමන් පෙරේරා හෙවත් නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා හෙවත් ඇන්.ඇම්. පෙරේරා (දේශානු රාගය තිබූ ශ්‍රේෂ්ඨ මනුස්සයෙකි). මුදල් ඇමැතිව සිටි සමයේ ගමේ ගොඩේ නැති බැරි එකාට හකුරු ටිකක් නිෂ්පාදනය කරගනිමින් පවුලේ නඩත්තුවට කීයක් හරි හොයා ගන්නටත්, හොර මත්වතුර පානය අවම කිරීමටත් ගෙදර වත්තේ පොල් ගහක් මැද ගැනීමට අවසර (ලයිෂන්) දීමට යෝජනා කළ කල්හි “මේකා ධර්මද්වීපය” සුරාවෙන් අභිෂේක කරන්නට දඟලනවා යැයි ධර්ම සංවේගයෙන් මුසපත්ව තම දායක කාරකාදීන් සේම අති උත්තම ගිහි පිංවතුන් පමණක් නොව තනිව තම අධෝමාර්ගය පවා සෝදාගත නොහෙන කොල්ලන් කුරුට්ටන් පවා මෙමගින් සුරා නරා වළකට ඇද දමන්නට හදන සැටියක් යැයි කියන්නට වීමෙන් වැඩේ එතැනින්ම කොට උඩ ගියේය. “පෙරේරා රාපෙරේ” යැයි කීවේය.
එවකට රටේ ලොක්කිව සිටි අපේ නැන්දම්මාද ඔසරි පොට උස්සාගෙන සසුන රැකගන්නට ආවාය.
මේ දෙ අවස්ථාවේදීම ශාසනය, නිර්මල බුද්ධ ධර්මය සහ රටේ මහ ජනතාව බේරා, ගලවා, ආරක්‍ෂාකර ගැනීමට පෙරමුණ ගත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන ආර්යාස්ටාංගික මහා සංඝ පරම්පරාවෙන් අබමල්පියල්ලක තරම් පමණෙකින් හෝ පිට නොපැන ධර්මාචාරීවැමැ වැඩවසමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වමින් පැමිණි මහා සංඝරත්නයම බැව් ගෞරව බහුමානයෙන් යුතුවැම කිවයුත්තේමය.
දෙදහස් පහළොව දහසය තෙක්ම ඒ අන්දමින්ම මේ “රිලේ” රේස් එකේ යෙදී රටට පාත්වන ඕනෑම හෙණපතයකදී පෙරට පැමිණි ධාවන ශූරයන්ගෙන් (රිලේ) යෂ්ටිය අනතුරුව සියතට ගත්තෝ වනාහි ඇල්ලේ ගුණවංශ, උඩුවේ ධම්මාලෝක, මැදගොඩ අබේතිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක, මාගල්කන්දේ සුදත්ත, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ගලගොඩඅත්තේ ඥානසාර වැනි දසදෙස පැතුරුණු මහා කිත්ගොස් සහිත අනන්ත දළ සේම අනන්ත බල ද තිබූ මහනායක කණ්ඩායමය. මුන් වහන්සේලාද පසුගිය සමයේ තම තමන්ට හැකි හැකි අන්දමින් “ශිල්ප” දැක්වූහ.
“ලාල්” මෙන්ම “හලාල්” කෑමද වෙළෙඳ පොළේද තිබේ. (ලාල් නොවන්නේ හලාල්ය) ඒ දෙකෙන් කවරක් හෝ තෝරාගැනීමේ අයිතිය කෙනකුට ඇත්තේය. එහෙත් ඇතැම්හු හලාල් කෑමට එරෙහි වූහ. හලාල් ආහාර ප්‍රවාහනය කෙරුණු වාහන මහමග ගිනිබත් වූවේය. බේරුවල නගරයේ මහා මහාමාර්ගය මිනිස් රුධිරයෙන් පෙඟුණේය. ගොඩනැගිලි ගිනිබත් වූවේය. නිවාස බිමට සමතලා වූවේය. අම්පාර දිගන ප්‍රමුඛ කොටගත් නගර ගණනාවක, ප්‍රදේශ රැසකට මේ දුර්දාන්ත නින්දිත අපරාධය පැතිර ගියේය. (අභ්‍යන්තර අරමුණ ජාතිවාදය උඩින් “රාජපක්‍ෂ තුන්කට්ටුව” බලයට ගෙන ඒමය)
කෙනකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය මානව අයිතිවාසිකම් පනතේ ද තහවුරු කර තිබේ. ඒ හා බැඳුණු පවත්නා චාරිත්‍ර වාරිත්‍රද අනුදත්තේය. කෙනකුගේ මළ සිරුරු මිහිදන් නොකර ආදාහනය කළහොත් මළගිය ප්‍රාණකාරයාගේ ආත්මයට පව් සමාකරන දිනය තෙක් ඉන්න හිටින්න තැනක් නැති බව ඉස්ලාම් ආගමේ ඉගැන්වෙන්නකි. මළ සිරුරක් භූමදානය නොකිරීම වනාහි එම තැනැත්තා නිරයට තල්ලු කිරීමක් වැන්න.
කොරා්නාවෙන් මියගිය ඉස්ලාමිකයන්ගේ සිරුරු භූමදානයෙන් සිදුවන හානියක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තහවුරු කර තිබියදීත් අපේ “සිය බල” නොහොත් “සියඹලාණ්ඩුවේ” බලධාරීන් ඒ අයිතිය ඒ පිරිසට දුන්නේ රටේ උද්ඝෝෂණ පවත්වමින් රට දෙවනත් කෙරුණු විටදීය.
අමනෝඥ තීරණයෙන් සිදුවූවේ ජාතීන් අතර වෛරය වැපිරීම පමණි. ඇත්තටම මේ යටින් සිටියේ මොළේ කුරුවල් කරගත් අන්තවාදීන් පිරිසකි. මේ පිරිසත් සහරාන් කල්ලියත් අතර පවත්නේ කෙස්ගසක තරමේ වෙනසක් පමණි.
එහෙත් රටේ දැන්නං පෙනෙන හැටියට කමිංකලර් ඊස් නෝ ගුඩ් කෙල්ල ගෙටගං කියන ටයිප් එකේ වැඩකිඩ ප්‍රසූත වීගෙන එන බවකි. එහෙයින් කොයි දේටත් “හයිරංකාර (බලසමපන්න)” අන්දමින් ආඥාචක්‍රය පතුරවාගෙන සිටි ඇතැම් භික්‍ෂුන් වහන්සේලා නිර්වස්ත්‍රස්දාන වෙත් වාෂ්ප වූවා සේ දක්නට ද නැත්තාහ.
කංසා වගා ව්‍යාපෘතිය ජනාධිපති රනිල් කොපමණ අගේ කළා දැයි (අම්මපා) කියන්නේ නම් කංසා හැදී සිටි ඩයනා නෝනා දහඅට වන්නම්ම නටන්න වූවාය. දැන් ව්‍යාපෘතියට අනුව ඕනෑ තැනෙක බඩු (ගංජාවලට බජාර් එකේ නම) වවන්න පුළුවන්ය. දළදා මාලිගා භූමියේත් වවන්න හැකිය. මාලිගා භූමිය යැයි කියනවිට නුවර පමණක් නොවේ, මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල මෙන්ම සබරගමු පළාත ඇතුළු තවත් බොහෝ ප්‍රදේශවලත් මාලිගාවට අයිති ඉඩම් කඩම් (කුඹුරු) තිබේ.
ඒවා වැඩ කරන්නේ මාලිගාවේ අඳකාරයෝය. දැන් ඔවුන්ට මාලිගාව වෙනුවෙන් වී වගාකරනවාට වඩා කංසා වැවීම ලාභදායකය.
උන්වහන්සේලාට නිකං සිටින වෙලාවට ඔහේ උරඋරා සිටින්නට නුදුරේ දීම ඩයනා නෝනාගේ නිෂ්පාදන පෙට්ටිය බැගින් පූජා කරන දිනයද වැඩි ඈතක නොවිය හැකිය. ඇගේ ත්‍රෛලෝක පත්‍රවල වටිනාකම ලෝකෙට පේන්නට අපේ නායක හාමුදුරුවන් වහන්සේ කෙනකුන් පාපිට පා(කකුලක්පිට කකුලක්)දමා ඉන් එකක් උරමින් දුම්වළලු පිඹින අන්දම ද ටැලිවිසොං පෙට්ටියේද දැමිය හැකිය.එවිට“රාජගහේ විහරතී”වන්නේය.
අනිත් ව්‍යාපෘතිය ද නායක හාමුදුරුවනේ, කියන කොටත් කාමසුඛල්ලිකානුයෝගය සිහිකෙරෙන්නකි. මේ වන විටත් ගමේ ගොඩේ හෑම (සෑම) හන්දියක් හන්දියක් ගානේම තියෙන සම්බාහන ගුබ්බෑයම්වල (ආයතන) රාජකාරි සඳහා නිකං කොක් නොව බැංකොක්වලින්ම හෙන්ලා (කිකිළියන්) ගෙන්වීමට තීරණය කර ඇත්තේලු. ඇතැම් පෞද්ගලික ප්‍රවාහන සේවාවල (බස් රථවල) මහා සංඝරත්නයට ප්‍රවාහනය නොමිලේය. අන්න ඒ පරිද්දෙන් සම්බාහන ආයතනවල මහා සංඝරත්නයට සේවය නොමිලයේම සැපයෙන බවද දැනගන්නට තිබේ. විශේෂයෙන් රාජපක්‍ෂ පවුලට හිතැති ස්වාමින්වහන්සේලා වෙනුවෙන් ප්‍රමුඛතා හිමිවෙන බවද ඉතා විශ්වාස කටයුතු අන්දමින් දැනගන්නට තිබේ. මාධ්‍ය දැන්වීම් උදෙසා මෙසේ පැදියක්ද යෙදිය හැකිය.
“කිකිළියකගේ පිටිපස වාගෙයි කෙස්ස
පිත්තල කළ දෙකකි නැළවෙන හරු බස්ස
යන්තම් ලැබුව විතරලු අවුරුදු විස්ස
බෝලය වගේ උඩයයි ගැස්සෙන පස්ස”
අනිත් වැඩෙත් ටොපේ ටොප් එකකි. කැෂිනෝය. දැනටමත් නෙලුම් කුලුනෙන් කොටසක් ඒ සඳහා චීනෙට දී තිබේලු.
පොල් ගසක් මැදගැනීමට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට හරහට හිටිය අපේ ධර්මාරක්‍ෂක කුල දේවතාවුන් වහන්සේලා දැන් වෙන්න යන වින්නැහියට කිසිදු හාවක් හූවක් නැත්තේ උන්වහන්සේලා සිරිලංකාවේ නැතිවා සේය. හිටියා නම් රනිලාට දුවන්නට පාරක් නැත. අම්මටසිරි, යථෝක්ත අභිදානධාරී මහා සංඝයා වහන්සේලා සිවුරකරට අරන් ඇට්ටි හැලන්නට දෙන ටෝක් (අනුශාසනා) බලන්න තිබුණේය. (ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ නම් හැකි අන්දමින් සටනක් දෙන බව පෙනේ)
දැන් අපි “නත්ථිමේ සරණං අඤ්ඤං”. අනේ අපේ රටට මේ පත් වූ විපතින් රට බේරාගැනීම සඳහා කොහේ හිටියත් වරෝ.
“අහසෙ ගොසින් තරු යට සැඟවුණත් වරෝ
පොළවෙ ගොසින් මඩ යට සැඟවුණත් වරෝ
මූදෙ ගොසින් දියයට සැඟවුණත් වරෝ
කාහේ ගියත් රඟමඩලට හනිකවරෝ” ආවඩායිබෝ වේවා…
ඕං උඩහ ගෙදර උන්දැත්, පහළ ගෙදර උන්දැත්, කොස් බෑවකට සණ්ඩුවෙමින් කෙහෙවලු පටලවා ගන්නා අවස්ථාවේදී, මැදගෙදර උන්දැ… ඈ..රේ..ඒ…ඒ..ද් කරට අරන් මැද්දට පැන තොපි දෙන්නා මොකදැ බොලව් කරන්නේ යැයි ඇසූ කලට උං දෙන්නා… ආා…ආ… දෙපැත්තට විසි වූ ආඥාවෙන් ආ… නුභාවෙන්… අතුරුදන්ව වැඩසිටිනා අපේ මහා සංඝරත්නය වහාම ප්‍රාදුර්භූත වේවා, ප්‍රාදුර්භූත වේවා.. ප්‍රා..දුර්..භූත..වේ…..වා…..,
අවඩා…යිබෝ.. වේ…වා.,

චන්ද්‍රසේන මාරසිංහ










