ඔහු මොහොමඩ් උවයිස් සුලෙයිමාන් මොහොමඩ් අර්ෂාන්. ඔබ ඔහුව දන්නවද? මම හිතන්නෙ මේ ලිපිය කියවන අය අතරින් ඉතාම අතළොස්සක් හැර බොහෝ දෙනෙක් ඔහුව දන්නෙ නෑ. ඒත් ඔහු ලංකාවෙ නම ලෝකෙට අරගෙන ගිය කෙනෙක්. ලෝක කුසලානයක් දිනපු කෙනෙක්. කොහොමද අපිට එහෙම කෙනෙක්ව මගඇරෙන්නෙ.
ඇත්තටම එතැන ලොකු අවුලක් තියෙනවා.
අපිට හැබෑම ලෝක මට්ටමේ ජයග්‍රහණ කීයක් තියෙනවද?
අපේ ගණනය හරිනම් පළවෙනි ජයග්‍රහණය වෙන්නෙ ඩන්කන් වයිට්ගෙ ජයග්‍රහණය. මීටර් 400 කඩුලු පැන දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් සමත් වුණේ 1948 අවුරුද්දෙ ලන්ඩනයේ පවත්වනු ලැබූ ‘සමර් ඔලිම්පික්ස්’ තරගාවලියේදී. ඒ වගේම ඔහුට එදා රන් පදක්කම අහිමි වෙන්නෙ තත්පර 0.7 ක පරතරයකින්. මේ ජයග්‍රහණයත් එක්ක අපි කතා නොකරන තවත් ලෝක ශූරතා ජයක් වයිට් තමන්ගෙ නමට ලියාගෙන තියෙනවා.
ඒ 1950 අවුරුද්දෙ නවසීලන්තයේ ‘ඕක්ලන්ඩ්’ නගරයේ පැවැති බි්‍රතාන්‍ය අධිරාජ්‍ය තරගාවලියේදී මීටර් 440 කඩුලු තරගය ජයග්‍රහණය කිරීම. ඒ ලෝක වාර්තාවට තත්පර 0.3 ක් පසුපසින් හිඳිමිනි. ඔහු 1949 ‘බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා’ යන සම්මානයෙන් පවා පිදුම් ලැබුවා ඒ ජයග්‍රහණය හේතුවෙන්.
මේ හා සමානව මැනිය හැකිද කියන එක නිශ්චිත නැතත් ඊට දෙවෙනි නොවන ලෝක ශූරතා ජයග්‍රහණයක් අපිට මග හැරිලා තියෙනවා. ඒ ලෝක බිලියඩ් ශූරතාවය. මේ ලෝක ශූරතාවයක් ශ්‍රී ලංකාවෙ නම ඉදිරියේ ලියැවුණු පළමු අවස්ථාව විදියටයි සමහරු හඳුන්වන්නෙ. ඒ ජයග්‍රහණය ගන්නෙ එම්. ජේ. එම්. ගලෆීර්ග ඉන්දියාවෙ ‘මුම්බායි’වල තිබ්බ ලෝකු ශූරතා ‘බිලියඩ්’ තරගාවලියට ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. නමුත් මේ ගැන කොහෙවත් ලොකුවට සඳහනක් නෑ. ගලෆීර් වෙනුවෙන් කොළඹ මාවතක් විතරක් නම්වෙලා තියෙනවා. අවාසනාවකට මේ ලෝක ශූරයා ඉතාම ඉක්මනින් අපි අතරින් සමුගෙන යනවා. ඒ ඔහුට වයස අවුරුදු පනහෙදී. 1981 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 26 වෙනිදා.
ඉන්පස්සෙ අපිට ලැබුණු වඩාත් ප්‍රකටම සහ අපේ නම මුළු ලෝකෙටම ඉහළින් තියපු ලෝක කුසලාන ජයග්‍රහණය. ඒ තමයි ‘විල්ස් වර්ල්ඩ්’ කප් එක. අවුරුද්ද 1996. ක්‍රිකට් ක්‍රීඩාවෙ දැවැන්තයො බිම වට්ටලා පාකිස්තානයෙ ‘ලාහෝර්’ නුවර ‘ගඩාෆි’ ක්‍රීඩාංගණයේදී අපි ලෝක ක්‍රිකට් ශූරතාවයට හිමිකම් කිව්වා. ඒ 1996 මාර්තු මාසෙ 17වෙනිදා.
ඉන් පස්සෙ මේ විදියෙ ජයහ්‍රහණයක් අරගෙන එන්නෙ සුසන්තිකා ජයසිංහ. 2000 වර්ෂයේ ‘සිඩ්නි’වලදී ඈ මීටර 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගන්නවා. පසුව ඒ පදක්කම රිදී එකක් බවට පරිවර්තනය වෙන්නෙ ලෝක ඔලිම්පික් නිලධාරීන්ගෙ තීරණය අනුව. ඒ වෙනකොට 1997 ලෝක ශූරතා තරගාවලියක රිදී පදක්කමත්, 2007 ලෝක ශූරතා ලෝක පදක්කමත් දිනා ගත්තා.
ආයෙමත් 2014 ‘විස්සයි-විස්ස’ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. ඒ දිනේෂ් චන්දිමාල්ගෙ නායකත්වයෙන් යුතුව සහභාගි වූ කණ්ඩායම. නමුත් අවසන් තරගයට චන්දිමාල් ක්‍රීඩා නොකළ නිසා කුසලානය අතට ගැනීමේ වාසනාව ලැබෙන්නෙ ලසිත් මාලිංගට.
2018 දී පැවැති 10 වන ලෝක කායවර්ධන තරගාවලියේ සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් සමත් වුණා. මෙම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදී. මේ ඒ විදියෙ ජයහ්‍රහණයක් අපිට ලැබුණු පළමු වතාව.
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු ‘පැරා’ ඔලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ 45 ඉසව්වට සහභාගි වුණු ශ්‍රී ලාංකික ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින්.
අගෝස්තු 30 වෙනි සඳුදා පැවත්වුණු මේ ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත මීටර 67.79 වාර්තා කරපු අතර රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා පිළිවෙළින් මීටර 64.35ක් සහ 64.01ක් වශයෙන් වාර්තා කළා. දිනේෂ් ප්‍රියන්ත 2016 ‘පැරා’ ඔලිම්පික් උළෙලේදී මීටර් 58.23ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
එමෙන්ම 2019 වසරේ ඩුබායිහිදී පැවැති ලෝක ‘පැරා’ මලල ක්‍රීඩා ශූරතාවයේදී මීටර් 69.93ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා දීමටත් ඔහුට හැකි වුණා. ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චිත් ‘එෆ්-64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ‘පැරා’ ඔලිමිපික් ලෝකඩ පදක්කම දිනා ගත්තා.
මේ සියලු ජයග්‍රහණ අස්සෙ අපිට මොහොමඩ්ලව මගඇරිලා. ඔහු දිනපු ලෝක කුසලානය ගැන කිසිම තැනක ඒ හැටි සඳහනක් නෑ. ඒකට හේතුව මොකක්ද කියන්න අපි දන්නෙත් නෑ. ඔහු දිනන්නෙ ‘මාර්ෂල් ආට්’ කියන තරග ඉසව්වෙ ලෝක ශූරතාවය. ‘කේ-1’ හෙවිවේට් අංශයේ ලෝක ශූරයා විදියට. ඒ කියන්නෙ ඔහු ලෝකෙම පරද්දලා දිනපු ක්‍රීඩකයෙක්. ඔහු තරග වදින්නෙ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. මේ තරගාවලිය පැවැත්වෙන්නෙ එංගලන්තයෙ ‘වොස්ටශයර්’වල. රටවල් 45ක් මේ තරගාවලිය සඳහා සහභාගි වෙනවා වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවො එක්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වෙනවා. මේ සියල්ල අස්සෙ මේ ජයග්‍රහණයත් එක්ක ඔහුගෙ නම කියවෙන්නෙ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විදියට.
ඒ කෝ ඔහු වෙනුවෙන් තෑගි-භෝග ජය සංකේත.
මේ ක්‍රීඩාවෙන් ලෝකෙ ජයග්‍රහණය කරන්න ක්‍රිකට්වලට තරම්ම සහයෝගයක් දෙන්න බැරි ද?
ලංකාවෙ මේ වෙලාවෙ ඉන්නෙ ක්‍රීඩාව ඇත්තටම දන්න ක්‍රීඩා ඇමැති කෙනෙක්. ඒක පාට, පක්ෂ භේදවලින් තොරව හැමෝම පිළිගන්න දෙයක්. ඔහු තරුණයෙක් වගේම ක්‍රීඩකයෙක්. අන්න ඒ නිසා ක්‍රීඩා ඇමැති තුමනි, අපේ ලෝක ශූරයව මග ඇරගන්න එපා. එහෙම වෙන එක අපරාධයක්.
මොකද මේ විදියට අපිට මග ඇරුණු බොහෝ ක්‍රීඩකයො අවසානයේදී නතර වෙන්නෙ වෙන රටක. බොහෝ අතපසු කිරීම් නිසා අපිට මගඇරුණු අනුරාධ ඉන්ද්‍රජිත් කියන්නෙ එහෙම ක්‍රීඩකයෙක්. අනුරාධ කියන්නෙ ලංකාවේ ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය පවා දරපු කෙනෙක්. ඒත් අනුරාධ සියල්ල හැරදාලා එංගලන්තයට යනවා. ඔහු ගැන අපි පස්සෙ කියවමු. එතෙක් ඔබ මොහොමඩ් ගැන හොයන්න.
අපි හැමෝම ‘මොහොමඩ්’ට අත්පුඩි ගහනවා. නියමයි කොල්ලා…!!!
ජීවන පහන් තිළිණ










