ලෝක ඉතිහාසයේ ආකර්ෂණීය රාජ්‍යයක්වූ ග්‍රීසිය, 2009 වසරේ සිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටී. වර්තමානයේ යම් සාධනීය තත්ත්වයක් පෙන්වූයේ නමුත් අදටත් ග්‍රීසිය එකී අර්බුදයෙන් මුළුමනින්ම ගැළවී නැති බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. සංවර්ධිත රාජ්‍යයක් මුහුණදේ යැයි අපේක්ෂා නොකළ තත්ත්වයකට එරට ඇද දැමූ ආර්ථික අවපාතයා ග්‍රීක අර්බුදය ලෙසින් හැඳින්වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය නම් උත්තම සංකල්ප ලෝකයට දුන්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස් වැනි මහා දාර්ශනිකයන් බිහිවූ, ඔලිම්පික් ක්‍රීඩාවට, ඉලියඩ් වැනි මහා කාව්‍යනට උපත දුන් ග්‍රීසිය වැනි මහා සංස්කෘතියකට හිමිකම් පෑ දැවැන්ත රාජ්‍යයක් මුළුමනින්ම බැංකු පද්ධතිය බිඳවැටී, කොටස් වෙළෙඳපොළ වසා දමා, අකර්මණ්‍ය බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීම වැරදි ආර්ථික කළමනාකරණය නිසා රටක් විනාශ වීමට මෑත ලෝකයේ සොයාගත හැකි හොඳම උදාහරණයයි.
ග්‍රීසියේ ආර්ථික බිඳවටීම මේ සියවසේ ආරම්භයට දිවයන කතාවකි. වර්ෂ 2000 වන විටත් එරට ඩැක්මා නමැති මුදල් ඒකකය භාවිත කරමින් සිටි අතර ඒ වන විටත් එරට සැලකිව යුතු ණය බරකින් පෙළෙමින් සිටියේය. මේ ණය බර අඩුකර ගනුවස් ආර්ථිකය පණගැන්වීමට සිතූ ග්‍රීක බලධාරීන් වැඩි වැඩියෙන් විදෙස් ණය ගැනීමට පටන්ගත් අතර ඵලදායිතාව සහ ආපසු ගෙවීමේ හැකියාව නොතකා විදෙස් ණය විශාල ලෙස විවිධාකාර වූ මහා පරිමාණ ව්‍යාපෘතීන්ගේ ආයෝජනය කරමින් සිටියේය. එකී ණය මුදල් ආර්ථිකයට හිතූ මනාපේ මුදාහැර ඒ මත ආර්ථිකය පවත්වාගෙන ගියා මිස ලබාගත් ණය ඵලදායි ආයෝජන ලෙසින් අර්ථිකයට එක්කර ඉන් ලාභ උපයා ණය ගෙවීමේ සැලැස්මක් එරටට තිබුණේ නැත. අවසන එම ණය මුදල් ගෙවිය යුතු කාලය එළබෙන විට එකී ව්‍යාපෘතීන් හුදු නාම පුවරු හෝ ගොඩනැගිලි පමණක් වූ අතර ඒවාට ගත් ණය පියවීමට වෙනත් ණය ගැනීමට හෝ ඉහළ පොලී අනුපාතයකට බැඳුම්කර විකිණීමට එරටට සිදුවිය. ඊට සාමගාමීව එරට බදු රැස්කිරීමේ යාන්ත්‍රණය ඉතා දුර්වල අඩියකට පත්ව තිබූ අතර එමගින්ද සැලකිව යුතු හානියක් එරට ආර්ථිකයට සිදුවිය. ධනවත් ව්‍යාපාරිකයන් විශාල ලෙස බදු වංචා කරන්නට වූ අතර ඒවා වළකා නිසි ලෙස බදු රැස් කිරීමට ග්‍රීක රජයට වුවමනවක් නොවූ සේය. ණය ගෙවීමට ණය ලබාගන්නා තැනට ආර්ථිකය පත්වූ පසුත් ග්‍රීසිය මේ වැරදි නිවැරදි කර ගත්තේ නැත.
ඒ වන විට යුරෝපා රටවල් අතර යුරෝ මුදල් ඒකකය භාවිතය ආරම්භ කර තිබුණු අතර ග්‍රීසියටද එම මුදල භාවිත කිරීමේ දැඩි උවමනාවක් ඇතිවී තිබිණි. එහෙත් යුරෝපීය මහ බැංකුව තම මුදල් ඒකකය වන යූරෝව හිතු මනාපේ ග්‍රීසියේ භාවිතය ඉඩ දුන්නේ නැත. ඔවුන් ඊට දැඩි කොන්දේසි පැණවූයේය. අයවැය වාර්තාවේ ආදායම සහ වියදමේ හිඟය 3%ක් හෝ ඊට අඩු තත්ත්වයක තබාගැනීම, සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% නොඉක්මවීම එකී කොන්දේසි ඒ අතර විය. මෙකී කොන්දේසි සපුරණුවස් ග්‍රීසිය සිය 2001 වසරේ අයවැය ලේඛණයට සාවධ්‍ය දත්ත එක කරන ලද බවත්, විනිමය හුවමාරු ලෙස සමාගම්වලින් ලබාගත් මුදල් යොදවා දේශීය සංචිත ශක්තිමත් කොට ව්‍යාජ මවාපෑමක් කර ඈති බවත් අද වන විට තහවුරුව තිබේ. එය ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් සහ ඉන්දියාවෙ ලබාගත් විනිමය හුවමාරු යොදවා විදේශ විනිමය සංචිත වැඩිකර පෙන්වීමට සමාන කර දැක්විය හැක.
කෙසේ හෝ වර්ෂ 2002 ජනවාරි 01 වැනිදා වනවිට ග්‍රීසිය යූරෝ මුදල් කළාපයට ඇතුළුවීමට සමත් විය. ඉන් අනතුරුව එරට යුරෝපා සංගමයට අයත් රාජ්‍යන්ගෙන් විශාල ලෙස ණය ලබගත්තේය. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය රටවලින් ගෙවිය නොහැකි තරමට ණය ලබාගත් අතර එරට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිශ්පාදිතය මෙන් 106%ක් විය. 2015 වනවිට එය 127% දක්වා ඉහළ නැග තිබුනි. 2015 ජූනි 30 වන විට ග්‍රීසිය යූරෝ බිලියන 1.6 ක ණය වාරිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට නියමිතව තිබුණු මුත් එම ගෙවීම කළ හැකි නොවීය. සංවර්ධිත යැයි සලකන රාජ්‍යක් එවැනි තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය ලෙස සලකනු කැබේ. මේ අවස්ථාව වන විට ආයෝජකයන් එරට හැර යන තැනට පත්වෙමින් සිටි අතර තව දුරටත් විදෙස් ණය නොලැබී ගියේය. දේශිය මුදල් සංසරණය වේගයෙන් පිරිහෙන්නට වූ අතර යූරෝ මුදල් ඒකකය මුද්‍රණය කිරීමේ බලය යුරෝපා මහ බැංකුව සතුවූ බැවින් ග්‍රීසියට මුදල් මුද්‍රණය කර කෘත්‍රිමව ආර්ථිකය පණගැන්වීමට නොහැකිවිය.
2009 වසරේ සිට උග්‍රවන ආර්ථික අර්බුදය හමුවේ වෙනත් රාජ්‍ය සහ ආයතන ග්‍රීසිය සමග කටයුතු කිරීම කෙමෙන් නතර කරමින් තිබිණි. ග්‍රීක ධජය යටතේ යාත්‍රා කළ නෞකා විශාල ප්‍රමාණයක් වරායවල අතහැර දමා තිබිණි. ඒවායේ සේවය කළ ග්‍රීක වැසියන් විශාල පිරිසකගේ රැකියා අහිමි විය. විරැකියාව, ආහාර උද්ධමනය වේගයෙන් ඉහළ යන්නට විය. ජනතාවගේ පොදු පහසුකම් සහ සුබ සාධන පහසුකම් කපා දමන්නට රාජයට සිදුවිය. මීට එරෙහිව ජනතා නැගී සිටීම් රට පුරා වාර්තා වන්නට විය. යූරෝ මුදල භාවිතය සමග එහි පැමිණි යුරෝපා ආයෝජකයෝ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ග්‍රීසිය හැර යන්නට වූහ. ආර්ථිකයේ ශීඝ්‍ර බිඳවැටීම හමුවේ තවදුරටත් එරට බැඳුම්කර අලෙවි කරගත නොහැකි තැනට කටයුතු සිදුවෙමින් තබිණි. එහෙත් එකී අවදානම් තත්ත්වය නොතැකූ ශ්‍රීලංකාව 2011 වසරේ රුපියල් මිලියන 2,100කට වඩා වඩි වටිනාකම් සහිත ග්‍රීක බැඳුම්කර මිලට ගෙන තිබිණි. පොළිය තබා එම මුදලවත් බේරා ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ නොලැබිණි. අපරික්ෂාකාරී එකී ආයෝජනය නිසා එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
මේ වන විට ග්‍රීක රජය වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි තැනට පත්ව තිබිණි. මිනිසුන් ඉවක් බවක් නොමැතිව බැංකුවලින් මුදල් ඉවත්කර ගැනීම නිසා බැංකු වසාදැමු අතර විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීමට පමණක් මාසයකට එක දිනක් පමණක් බැංකු විවෘත කරනා ලදී. මේ සමගම එරට පෙළෙමින් සිටි ආර්ථික අර්බුදය සමාජ සහ දේශපාලනික අර්බුදයක් බවට පත්වන්නට විය. ජනතාව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරනා තැනට පත්වූ අතර උද්ඝෝෂණද රටේ බොහෝ සේ සුලබ විය. ජනතාව බැංකු කඩා හෝ මුදල් ලබාගන්නට උත්සහ දැරීම නිසා බැංකුවලට විශේෂ ආරක්ෂාවක් සපයන ලදී. අර්බුදයට තවදුරටත් මුහුණදීගත නොහැකිවූ අග්‍රාමාත්‍ය ජෝර්ජ් පපන්ඩ්‍රියොස්ගේ රජය 2011 වසරේ නොවැම්බර් 11 දින බිඳවැටිනි. ඒ වන විට පපන්ඩි්‍රයොස්ගේ පාලන කාලය දෙවසරකුත් දින 36කට සීමාවී තිබිණි. අනතුරුව ලුකස් පපදේමොස් ග්‍රීසියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. එහෙත් ඔහුටද ආර්ථිකය නිසි ලෙස පීලීගත කළ නොහැකි වූයෙන් ජනතාව ඔහුට එරෙහිවද කැරැළි ගසන්නට විය. ප්‍රතිඵලය ලෙස ලුකස් පපදේමොස් 2012 මැයි මස 16 වැනිදා බලයෙන් පහකෙරුණු අතර ඔහුගේ පාලන කාලය දින 187කට සීමා විය. ඉන් අන්තුරුව පැනගියෝටිඩ් පික්‍රමෙනොස් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. නව ජනාධිපතිවරයා කෙතෙක් උත්සාහ ගත්තද ඔහුටද තම රට පත්ව තිබූ ආර්ථික අවපාතයෙන් එක අඟලක් හෝ උඩට ගැනීමට නොහැකි විය. 2012 මැයි මස 16 වැනිදා අග්‍රාමාත්‍ය ධුරය භාරගත් පික්‍රමෙනොස් ජනතා විරෝධය හමුවේ 2012 ජුනි මස 20 වැනිදා සිය ධුරය හැර ගිය අතර ඒ වන විට ඔහු ග්‍රීසිය පාලනය කර තිබුණේ දින 36ක් පමණි.
ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ අග්‍රාමාත්‍යවරු දෙදෙනෙක් පිට පිටම අසාර්ථක වීමෙන් පසු ග්‍රීසියේ පාලන බලය නව ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ ඇන්ටෝනිස් සමරාස් හට හිමිවිය. 2012 ජුනි 20 වැනිදා ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් සමරාස් තම රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට විශාල වෙහෙසක් ගත්තේය. එහෙත් ඔහුගේ පාලනය වසර දෙකකුත් දින 220කට සීමාවූ අතර 2015 ජනවාරි 26 දින ඔහුටද අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. අනතුරුව වාමාංශික පක්ෂයක් වූ සරීසා පක්ෂයේ ඇලෙක්සිස් සිප්‍රාස් හට ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධුරය හිමි විය. 2015 ජනවාරි 26 දින අගමැති ධුරයේ වැඩ භාරගත් සිප්‍රාස්ටද වැඩි කලක් එහි කටයුතු කිරීමට නොහැකි විය. 2015 අගෝස්තු 27 දින සිය ධුරය අත්හැරීමට සිදුවූ අතර ඒ වන විට ඔහු දින 213ක් එරට පාලනය කර තිබිණි.
ග්‍රීසියේ ඊළඟ අගමැති ලෙස පත්වනුයේ කාන්තාවකි. ඇය ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ වසිලිකී තානෝ ක්‍රිස්ටොපිලොය. 2015 අගෝස්තු 27 දින ග්‍රීසියේ අගමැතිනිය ලෙස වැඩ භාරගත් ඇගේ සේවා කාලය දින 25කට පමණක් සීමාවූ අතර 2015 සැප්තැමිබර් 21 වැනිදා සිය ධුරයෙන් ඉවත්කරනු ලැබීය. වස්සිලිකී ක්‍රිස්ටොපිලොගේ ඇවෑමෙන් ඇලෙක්සිස් සිප්‍රාස් යළි ග්‍රීක අගමැති ධුරයට පත්විය. එවර ඔහු 2019 ජූලි 08 වැනිදා තෙක් වසර තුනකුත් දින 290ක් ග්‍රීසිය පාලනය කිරීමට සමත් විය. අනතුරුව අගමැති ධුරය කිරියාකොස් මිට්සෝටාකිස්ට් හිමිවිය. ඔහු අද දක්වා ග්‍රීසිය පාලනය කරයි.
ආර්ථික අර්බුදය විසින් ඇතිකළ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට අද දක්වාම එරටට හැකිවී නැත. දිගින් දිගටම ආණ්ඩු අස්ථාවර වීම නිසා ග්‍රීසියේ ආර්ථිකය තවමත් ස්ථාවරවී නැත. දුරදිග නොබලා ගන්නා දේශපාලන තීන්දු නිසා ආර්ථිකය විනාශ වී රටවැසියන් මහ මඟට වැටෙනා බවට ග්‍රීසියේ අර්බුදය හොඳ උදාහරණයකි. ප්‍රශ්නය වන්නේ එවැනි උදාහරණ දැක දැකත් තවත් රටවල් එකී උගුලේ පැටලීමය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










