ශ්‍රී ලංකා සිනමාවේ වේදිකාවේ සහ රූපවාහිනියේ හොඳම රංගන ශිල්පියාට (හොඳම නළුවාට) හිමි සම්මානය වාර්තාගත 16 වතාවක් හිමිකරගත් අතිශය ප්‍රවීණ සහ ජනප්‍රිය රංගධරයා වන ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය එළිදැක්වීම පසුගියදා සිදුකෙරිණි. ‘සීරුවෙන්’ (Attention) ලෙසින් නම්කර ඇති මම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා කොළඹ ‘සිටි සෙන්ටර්’හි ‘ස්කෝප්’ සිනමා සංකීර්ණයේදී පවත්වන ලදී. මෙම සිද්ධියේදී සුවිශේෂ වගතුගක් ලෙස ප්‍රකාශයට පත්වූයේ මෙම මොහොත වන විටදීද ජැක්සන් ඇන්තනී රංගධරයා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීමය. බොහෝ දෙනකු දන්නා පරිදි මෙයට මාස දෙකකට පමණ උඩදී ‘සිංහබාහු’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට ගොස් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේදී වන අලියකු වාහනයේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී බරපතළ ලෙස තුවාල ලැබීය. කෙසේ හෝ මේ වන විටද ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරෙමින් පවතී.
මෙවැනි වටපිටාවක් තිබියදී පසුගියදා බොහෝ පාර්ශ්වවලින් ඉල්ලීමක් ඇතිවූයේ ජැක්සන් ඇන්තනී රංගන ශිල්පියා අවසන් වරට රඟපෑ, එමෙන්ම නිෂ්පාදනයද නිමකළ සිනමා නිර්මාණයක් තිබේනම් එය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලෙසය. ඉදිරියේදී මෙම ප්‍රවීණ කලාකරුවා රෝගී තත්ත්වයෙන් සුවපත්වී නැවත රංගනයට පිවිසිය හැකිය. එසේම එම ප්රාර්ථනාවද බොහෝ දෙනකු විසින් සිදුකරනු ලබයි. කෙසේ හෝ මෙවැනි ආන්දෝලනාත්මක වටපිටාවකදී ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතය රඟපානු ලබන එක්තරා සුවිශේෂ සිනමා නිර්මාණයක් ගැන වගතුග හෙළිවන්නට විය. එය නිර්මාණය කරනු ලැබුවේ සුදේශ් වසන්ත පීරිස් නමැති නව පරපුරේ සිනමාකරුවකු විසිනි. ‘සීරුවෙන්’ (Attention) නමැති සිනමා නිර්මාණය පසුගියදා එළිදැක්වූයේ ඒ අනුවය.
සාම්ප්‍රදායිකව පවත්වනු ලබන සාමාන්‍ය සිනමා මාධ්‍ය දර්ශනයකට වෙනස් ආකාරයෙන් මෙම උත්සවය පවත්වන ලදී. එනම් මාධ්‍ය දර්ශනය ඇරැඹීමට ප්‍රථම ජැක්සන් ඇන්තනී කලාකරුවා කතෝලික ආගම් භක්තිකයකු හෙයින් විශේෂ කෙටි දේව මෙහෙයක්ද පවත්වන ලදී. කතෝලික පල්ලියේ පූජකතුමන්ලා සිවුදෙනකු මේ සඳහා සහභාගි වූ අතර එක් ප්‍රධාන පියතුමකු විසින් කෙටි යාඥාවක්ද සිදුකරන ලදී. එහිදී සියලු දෙනාගේම ප්‍රාර්ථනාව වූයේ ජැක්සන් ඇන්තනී කලාකරුවා හට ඉක්මන් සුවය ලැබීමය. එම දේව මෙහෙයෙන් පසුව චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.
‘සීරුවෙන්’ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළ සුදේශ් වසන්ත පීරිස් විසින් මෙයට පෙර ‘හුස්ම’ නමින් කලාත්මක සිනමා නිර්මාණයක් සිදු කළේය. ඔහුගේ මෙවර නිර්මාණයේ ජැක්සන් ඇන්තනී රඟපාන්නේ අන්ධ හමුදා නිලධාරියකුගේ චරිතයක් වන අතර, එය බොහෝ මානසික ව්‍යාකුලතාවන් පෙන්නුම් කරන එකකි. මෙහිදී තම භූමිකාව ඔහු අතිවිශිෂ්ට ආකාරයෙන් රඟන ආකාරයද දක්නට හැකිය. ‘සීරුවෙන්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ නිහාල් විජේසිංහය. මෙහි මහජන ප්‍රදර්ශනයන් නුදුරේදීම ආරම්භ වීමට නියමිතව ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ