බෝම්බ බිය අපට හුරු නැත. හිත්පිත් නැති බෝම්බයක් පුපුරාගොස් දිවි අහිමිවූ ඥාතීන්, මවුපියන්, දූදරුවන් ඉන්නා අයට පමණක් නොව, බෝම්බ හඬ කිසි දිනෙක නෑසුණු මිනිසුන්ට පවා බෝම්බයේ වේදනාව දැනේ. බෝම්බ හඬින් ගිගුම් දුන් රටක, බෝම්බයෙන් පුපුරා ගිය මිනිස් හදවත්වල ලෙයින් තෙත් වුණු රටක, බෝම්බ නිසා මියගිය මිනිසුන්ගේ කඳුළින් සීතල වූ බිමක සිට මෙවන් ලිපි ලියන්නට සිදුවීම සැබෑම අවාසනාවකි. ඒ, බෝම්බ යනු තවදුරටත් සෙල්ලමක් නොවනා බව ශ්‍රී ලාංකික ජනතාවට පසක් කරදෙන්නට දෙවියකු තවම මතුවී නැති නිසාය. උතුරේ බෝම්බ හඬ තිස්තුන් වසරක් ඇසුණේ ඒ බෝම්බවලින් මියගියේ ඇට ලේ මස් නහරවලින් සැදුණු මිනිසුන්ය. ඒ, කාගේ හෝ නෑදෑයන්ය. කාගේ හෝ දරුවන්ය. කාගේ හෝ මවුපියන්ය. කොයි වෙලාවේ බෝම්බයක් පුපුරා යාදෝ නොදන්නා මිනිස්සු බයෙන් ගැහෙමින් සිය ජීවිත ගතකළ හැටි ඒ තිස්තුන් වසරේ ජීවත්වූ මිනිසුන්ට අමතකව තිබිය නොහැකිය. හැබෑවටම අම්මලා දරුවන් ගැන බියෙන්, තාත්තලාට කරදරයක් වේ යැයි බියෙන් අම්මලා තාත්තලා වෙන වෙනම බස්වල, කෝච්චිවල කොළඹට ආ ගිය මතකයන් අපට නම් තවමත් එහෙමම ඉතිරිව තිබේ. බෝම්බයකින් මියගිය මිනිසුන්ගේ නම් රේඩියෝවෙන් ඇසෙනා විට ඒ නම් ලැයිස්තු අතර තමන්ගේ කවුරුන් හෝ කෙනකුගේ නම කියැවේ දැයි කිසිවකුට නොකියා රහසින් අසා සිටි දින ඕනෑ තරම් අප පසුකොට තිබේ.
බෝම්බ පුපුරා ගිය අඳුරු යුගය නිමාවී යළි ශ්‍රී ලංකාවට නිදහසේ හුස්ම ගන්නට ඉඩක් ලැබුණේ කාගේ කාගේ හෝ පිහිටෙනි. ඒ පිහිටෙන් බොහෝ දෙනෙක් ලකුණු දමාගත් නමුත් ඒ පිහිටෙන් බොහෝ දෙනෙක් සිය මඩි තරකර ගත් නමුත් අපි එහි වරදක් නොකියන්නේ බෝම්බ බය හඳුනනා මිනිසුන් ලෙසය. බෝම්බ බියෙන් සම්පූර්ණයෙන්ම මිදුණා යැයි සතුටින් සිටි අපට හදිසියේම 2019 අප්‍රේල් මස 21 වැනිදා බෝම්බයක හඬ ඇසුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය. කිසි දිනෙක යළි බෝම්බ පුපුරන්නේ නැතැයි උදම් අනමින් සිටි ලියුම්කරුද ඇතුළු අපට යළි සැක සිතුණේ උතුරේ යුද්ධය ඇටවූ දේශපාලන උගුල්කරුවන් ගැනය. නමුත් එදා ඒ දේශපාලන උගුල අටවන්නේ උතුරු බෝම්බකරුවන් නොව වෙනත් කවුදෝ ත්‍රස්තවාදීන් පිරිසකි. ඒ ත්‍රස්තවාදීන්ට තවුෆික් ජමාත් යැයි අයි.එස්. යැයි නම් තැබුවාට පසු බෞතීස්මයේ ස්වර්ණමය අවස්ථාව ලෙස එහි පශ්චාත් බෝම්බ බිය ශ්‍රී ලංකාව පුරා පැතිරෙව්වේය. මැයි 13 වැනිදා බෝම්බයේ උණුසුම සමග බියවී සිටි මිනිසුන් තවත් බය බිරාන්ත කරමින් රට පුරා යළි බෝම්බ පුපුරන බවට විවිධ ඉඟි පළවිය. දේශපාලකයෝත්, පොලිසියත්, හමුදාවත් ඒ ගැන විවිධ මතිමතාන්තර, විවිධ අදහස් දැක්වූහ. බෝම්බය පුපුරා ගියේද කාගේ හෝ වරදකිනි. වරදකරුවන් කවුදැයි තවමත් අප දන්නේ නැත. ඒ ගැන විවිධ කතා කියැවෙන අතර කාදිනල්තුමා පසුගිය දිනෙක විදේශීය ශ්‍රී ලාංකිකයන් අමතා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ දේශනයකදී පවසා තිබුණේ වෙනස්ම කතාවකි. ඒ කතාවට පෙර සහ පසු එක හා සමාන සිදුවීම් දෙකක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. එකක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් හමුවූ බෝම්බයයි. අනෙක ඊයේ පෙරේදා බොරැල්ලේ පල්ලියකින් හමුවූ බෝම්බයයි. මේ බෝම්බ දෙකම බෝම්බ වන අතර, ඒවාට මිනිසුන් මරාදැමිය හැකි බව සරල සත්‍යයයි. ඒවායේ ජීව අජීව ගුණ ගැන අප නොදන්නේ අප බෝම්බකරුවන් නොවනා නිසාය. බෝම්බ ගැන බොහෝ වෙලාවට දන්නේ බෝම්බ හා ගැටුණු, බෝම්බ හා වැඩ කළ, බෝම්බ සමග ජීවත්වූවන්ය. බෝම්බය නාරාහේන්පිටදී හමුවන්නේ වැසිකිළියක තිබියදීය. වැසිකිළියේ තිබී හමුවී තිබුණේ අත්බෝම්බයක් වන අතර, එහි පින් එක ගලවා දමා, එයට නූලක් සවිකොට, ඒ නූලට මදුරු කොයිල් එකක් සවිකොට අත් බෝම්බය කාලබෝම්බයක් බවට පත්කොට තිබිණි. හැබැයි බෝම්බය තිබුණේ කාටත් හොඳින් පෙනෙනා පරිදි වැසිකිළියකය. සාමාන්‍යයෙන් වැසිකිළිය යනු පිරිසක් නොයන තැනක් බව හොඳටම විශ්වාසය. වැසිකිළියකට යන්නේ තනි තනිවමය. එහෙම නම් මරාදැමිය හැක්කේ තනි පුද්ගලයකු පමණි. බෝම්බය තබනවා නම් තබන්නට ඕනෑ තරම් තැන් තිබිණි. සඟවනවා නම් සඟවන්නටද ඕනෑ තරම් තිබිණි. නමුත් නොසැඟවූ බෝම්බය කාටත් පෙනෙනා පරිදි පරෙස්සම් කර තැබූ වැසිකිළියෙන් හඳුනාගත් නිසා මරණයක් සිදුවුණේ නැත. පසුව ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණ දුරදිග ගියේය. සමහර තැන්වල වාර්තාවී තිබුණේ එක්තරා දේශපාලකයකුගේ නිවෙසක් පිළිසකර කරන ලද පුද්ගලයකුට එහි තිබී මේ බෝම්බය හමුවූ බවයි. කෙසේ නමුත් පරීක්ෂණ නිසි ලෙස කෙළවරක් තෙක් ගියාද නැද්ද යන්න අප දන්නේ නැත. මේ වන විට නාරාහේන්පිට බෝම්බය අමතකවී ගොස් අලුත් බෝම්බයේ කතාව කරළියට පැමිණ තිබේ. අලුත් බෝම්බය හමුවන්නේ බොරැල්ලේ පල්ලියකිනි. බොරැල්ලේ පල්ලිය කාදිනල්තුමන් පවා නිතර පැමිණෙන, කොළඹ ප්‍රභූන් යනෙන ස්ථානයක් බව සාමාන්‍යයෙන් කියැවෙන කතාවයි.
එම බෝම්බයද සුපුරුදු පරදි අත්බෝම්බයකි. නාරාහේන්පිට බෝම්බයත්, මේ බෝම්බයත් අතර ඇති තවත් සමානකමක් වන්නේ එහි පින් එක ගලවා, නූලක් සවිකොට තිබීමයි. මෙයටද එවැනි නූලක් යොදා තිබූ අතර, රබර් පටියකින් ආවරණය කොට රබර් පටියේ ගිනිකූරු ගසා එයට නූලක් සවිකොට ඒ නූලට හඳුන්කූරක් සවිකොට, හඳුන්කූර දැල්වීමේ උපක්‍රමය සකසා තිබුණේය. හැබැයි මේ බෝම්බයද තිබුණේ සැඟවූ තැනක නොවන අතර, පල්ලියේ අල්තාරය හොඳින් පෙනෙන තැනක එය තිබූ බව නිල නොලත් ආරංචි මාර්ගවලින් කියැවෙයි. එසේ තබා තිබූ බෝම්බය සම්බන්ධවද දැන් පර්යේෂණ සිදුවෙමින් තිබේ. මේ බෝම්බයද වාසනාවකට පුපුරා ගියේ නැත. පුපුරා යන්නට පෙර හමුවූ බෝම්බයට සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට පත්වන අතර ඔවුන්ගෙන් එක් අයෙක් වයස අවුරුදු 13ක දරුවෙකි. බෝම්බයේ කතාව සම්බන්ධයෙන් ඔහු පවසා තිබුණේ විවෘත අධිකරණයේ නොව, රහසිගත ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවයි. බෝම්බය ගැන තවමත් නිසි ආකාරයක ආරංචියක් නැත. නාරාහේන්පිට බෝම්බයේ කතාව තෙරක් පෙනෙන සේ නොගියා සේම මේ බෝම්බයේ කතාවද තෙරක් නොපෙනෙන සේ නිමාවේ නම් බෝම්බ බිය එසේම ඉතිරිවී තිබේ. මේ බෝම්බ තබන්නේ කවුද? බෝම්බ සම්බන්ධව ඉතා ඉහළ පුහුණුවීමක් සහිත පුද්ගලයකුට හැර එහි පින් එක ගලවා නූලක් ඇටවීමට නොහැකි බව සාමාන්‍ය පිළිගැනීමයි. එසේ නම් මේ බෝම්බ කතා පිටුපස සිටින්නේ බෝම්බ ගැන දන්නා අයෙකි. බෝම්බ ගැන දන්නා අයෙක් මෙසේ බෝම්බ අටවනවා නම් ඊට හේතු දෙකක් තිබිය හැකිය. එකක් බෝම්බය පුපුරුවා හැර මිනිසුන්ට හානි කිරීමය. අනෙක බෝම්බ තිබෙනවා යැයි මිනිසුන් දැනුවත් කර බියගැන්වීමය. මේ ක්‍රම දෙකම සමහර විට ත්‍රස්තවාදී උපක්‍රම විය හැකිය. නමුත් බොහෝ විට මෙවැනි උපක්‍රම ත්‍රස්තවාදී උපක්‍රමවලට එහා ගිය දේශපාලන උපක්‍රම බව සාමාන්‍යයෙන් යුද්ධය සහ බෝම්බ ගැන දන්නා කෙනකුට හිතෙන්නට ඉඩ තිබේ. එයට හේතු කිහිපයක් ඇත. එකක්, මේ පාස්කු ප්‍රහාරයට දින දහස සම්පූර්ණ වන වකවානුවයි. තවමත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි පියවර ගෙන නොමැති අතර, එම ප්‍රහාරයේ චෝදනා වෙනත් අතකට හැරෙමින් ඇති කාලයයි. පාස්කු ප්‍රහාරයේදී ඉතා ඉදිරියෙන් සිටි, එහි පර්යේෂණ සඳහා දැඩි ලෙස පෙනී සිටි විවිධ පුද්ගලයන් දැන් දරුණු චෝදනා එල්ල කරන්නට පටන් ගෙන තිබේ. පසුගිය දිනෙක අල් ජසීරා පුවත් නාලිකාව පවා පාස්කු ප්‍රහාරය ගැන යළිත් ප්‍රවෘත්ති පළ කරන්නට පටන්ගත්තේය. ඔවුන් එය කළේ පුපුරා ගිය පල්ලියක රූපරාමු පවා සිය ප්‍රවෘත්තිකරුගේ පසුබිම් ඡායාරූප ලෙස යොදාගනිමිනි. ඒ අනුව බෝම්බය කිසි විටෙක මිතුරකු නොවනා නමුත් සමහර විට බෝම්බය හා මිතුරුවී සිය දේශපාලන අරමුණු තර කරගන්නා සහ අවශ්‍යතා ඉටුකර ගන්නා අවස්ථා ඇති බව අපද විශ්වාස කරමු. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිය බෝම්බ පුපුරුවා හැරියේ ඊළාම් රාජ්‍යයක් හෝ ද්‍රවිඩ හිතවතුන් සඳහා ස්වර්ණමය ජීවිතයක් උදාකර දෙන්නට නොව සිය දේශපාලන ඉලක්ක ජයගන්නට කිහිප දෙනකුගේ බලය ලබාගැනීමේ ආශාව ඉටුකරන්නට බව ලියුම්කරුගේ විශ්වාසයයි. එසේ නම් එවැනි තවත් ක්‍රියා මේ රටේ සිදුවිය නොහැකිද යන්න තර්කානුකූලව යමක් විමසා බලන බුද්ධිමතකුට වැටහිය හැකිය. නමුත් කිසිවකුට චෝදනා කරන්නට පෙර අපටද සිදුවන්නේ බලා සිටින්නටය. නමුත් බලා සිටිය යුත්තේ මේ බෝම්බ බිය හරියට දැනෙන්නට මේ උගුල සාර්ථක නොවේ නම් පුපුරා යන්නට තියනා දිනය වන තෙක් දැයි අප බලධාරීන්ගෙන් ප්‍රශ්න කරමු.
නාරාහේන්පිට වැසිකිළියේ බෝම්බය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හා සම්බන්ධද යන්න තෙක් පරීක්ෂණ දුර ගියේය. එහෙත් මේ සැකකරුගේ ඥාතීන්ගේ පැටිකිරිය හොයද්දී එක තැනක ද්‍රවිඩ හිතවත්කමක් ගැනද කියැවුණු අතර ඔහු ත්‍රස්තවාදියකුද නැත්නම් ළමා ත්‍රස්තවාදියකු ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව සිටියාද යන්න තෙක් පරීක්ෂණ සිදුවිය. නමුත් තවම මේ ගැන නිසියාකාරව කාරණා හමුවී නැත. විශේෂයෙන්ම වයස අවුරුදු 13ක දරුවෙක් බෝම්බ සිදුවීම්වලට සම්බන්ධ වීමත් සමග එය ඉතා නරක අතට හැරෙන කතාවකි. එහෙම නම් මේ සිදුවීම පිටුපස සිටින්නේ කවුද? නාරාහේන්පිට බෝම්බය සහ බොරැල්ලේ බෝම්බය යන කතන්දර දෙක පිටුපස ඉන්නේ එකම කණ්ඩායමක් නම් ඔවුන් අල්ලා, ඔවුන්ගෙන් ප්‍රශ්න කොට, මේ බෝම්බ කාගේ ඇටවුමක්ද, මේවා සකස් කළේ කවුද, මේවායේ මහ මොළකරුවන් කවුදැයි යන්න ඉතා ඉක්මනින් සොයාගත යුතුය. ඒ පියවර ගන්නට නම් ඔහු අත්අඩංගුවට ගෙන, ඔහු සාමාන්‍ය සමාජයෙන් ඈත්කොට, ඔහුගේ උදව්කරුවන්, අනුබල දෙන්නන් ඇතුළු සියලු දෙනාවද මේ සඳහා අත්අඩංගුවට ගත යුතුය. බොරැල්ලේ බෝම්බය හා සම්බන්ධ සිදුවීමට අදාළව එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනිද්දී ඒ පුද්ගලයා කලක් පල්ලිය හා ළඟින් ඇසුරු කොට පසුව පල්ලියේම සිය ජීවිතය ගතකරන පුද්ගලයකු බවත්, ඔහු නවාතැන් ගෙන ඇති ස්ථානයේ බෝම්බ හා සම්බන්ධ ඇතැම් ද්‍රව්‍ය තිබී ඇති බවත් යම් වෙබ් අඩවි වාර්තා කොට තිබිණි. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් බෝම්බ යනු තවදුරටත් මිනිසුන් මරාදමන ලද සහ මිනිසුන් මරාදමන්නට නියමිත දේවල්ම පමණක් බව සිතමින් වහා පියවර ගන්න බැරි නම් බලධාරීන්ගෙන් සත පහක වැඩක් නැත. බෝම්බ පුපුරාගිය පසු ඒ සම්බන්ධව කෝටි ගණන් වියදම් කොට ජනතා මුදල් නැති නාස්ති කොට එහෙන් මෙහෙන් පරීක්ෂණ අටවාගන්නවා වෙනුවට දැන් පුපුරන්නට පෙර ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නට අපට අවස්ථාව ලැබී තිබේ. ඒ නිසා කොන්ද කෙළින් තබාගෙන තීරණ ගන්නා පාලකයන් ඉක්මනින් බෝම්බකරුවන් හඳුනාගන්න. බෝම්බකරුවන්ට දඬුවම් කරන්න. හැකි නම් බෝම්බකරුවන් එල්ලන්න. අප කිසිසේත්ම ඊට එරෙහි නොවෙමු. බෝම්බ යනු මිනිසුන් මරාදැමීමට ලෝකයට පැමිණි දෙයක් මිස, බෝම්බ යනු සැනසිල්ලක් හෝ තවදුරටත් කිසිවක් සිහිකර දෙන්නක් හෝ දේශපාලන ප්‍රචාරක මෙවලමක් හෝ දේශපාලකයන්ගේ හිතවතකු, මිතුරකු හෝ අතකොළුවක් හෝ නොවිය යුතු බව අපේ විශ්වාසයයි.
ජීවන පහන් තිළිණ










