‘හිට්ලර් මැරිලා දැන් අවුරුදු අසූ ගානක් වෙනවා. ඒත් මෙන්න දැන් ආසියාවේ පුංචි දූපතකින් හිට්ලර් කෙනෙක් නැගිටින්න හදනවා. එයා හිට්ලර්ද? එයා චාලි චැප්ලින්ද? එහෙමත් නැත්නම් එයා මිස්ටර් බීන්ද? කියලා අපි දන්නේ නැහැ. හැබැයි එකක් අපි අවධාරණයෙන් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදය එක්ක නම් සෙල්ලම් කරන්න හදන්න එපා. එකක් හොඳින් මතක තියාගන්න. අපි ඔක්කොම එකතු වෙලා ශක්තිමත් බලවේගයකින් මේ අර්බුදයට මුහුණ දෙනවා. ඒක අනිවාර්යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබ කැමැති නම් හිට්ලර් වෙන්න. ඔබ කැමැති නම් චාලි චැප්ලින් වෙන්න. එහෙමත් නැත්නම් ඔබ කැමැති නම් මරදානේ චොප්පේ වෙන්න. ඒත් ඒවා අපට වැඩක් නෑ. අවුරුදු 74ක ඉතිහාසයේ මේ රටට වුණු අපරාධය නිවැරැදි කරන්න යන ගමනේදී කිසිදු අනවශ්‍ය බාධාවක් සිදුවෙන්න බැහැ. ඒක හොඳින් මතක තියාගන්න. කිසිම විටක ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් කටයුතු කරන්න හදන්න එපා…’
පසුගිය දිනෙක මෙම උද්වේගකර කතාව අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට දේශපාලනඥයකුගෙනි. ඔහු හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය. ඔහු පසුගිය දිනෙක මෙම කතාව කියන්නට හේතු වූයේ පසුගියදා ඇතිවුණු තවත් සුවිශේෂ කනාන්දරයක් නිසාය. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී බොහෝ තදබල අයුරින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඉදිරියේදී මෙරට තුළ කිසිදු ආකාරයේ ජන අරගලයක් සිදු කිරීමට ඉඩ නොතබන බවය. එසේම යම් ආකාරයකින් එවැනි ජන අරගලයක් සිදුවුවහොත් එය මැඩපැවැත්වීමට තමන් විසින් හදිසි නීතිය සහ හමුදාවන්ද යොදවන බවය. ඔහුගේ මෙම කතාව හේතුවෙන් මුළුමහත් රට තුළම විවිධ පාර්ශ්ව අතර මහත් විශාල ආන්දෝලනයක් ඇතිවූයේය. එසේම පොදු ජනතාව තුළද මේ පිළිබඳ දැඩි කතාබහක් ඇතිවන්නට ගත්තේය. ජනාධිපතිවරයා මේ අතර රට තුළ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන් ගැනද සිදුකරගෙන යන පාලන තන්ත්‍රය ගැනද විවිධ ප්‍රකාශයන් විටින් විටදී සිදුකර තිබිණි. එම ප්‍රකාශයන්ගෙන් පෙනීගොස් තිබුණේ ඔහු යම් ආකාරයකින් රට තුළ තම බලය හිතුවක්කාර ලෙස ස්ථාපිත කර ගැනීමට දරන උත්සාහයක් දැයි සැකයක් පැනනගින්නටද විය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී රනිල් වික්‍රමසිංහ යනු ‘හිට්ලර්’ වැනි ඒකාධිපති පාලකයකු යැයි ජනතාව ප්‍රශ්න කරන්නට වූහ. මේ නිසාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ‘හිට්ලර්’ ‘හිට්ලර්’ යැයි බොහෝ පාර්ශ්ව ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කරන්නට විය. එහිදී ජනාධිපතිවරයා තමන්ට හිට්ලර් ලෙසින් ආමන්ත්‍රණය කරන බවද පිළිගෙන තිබිණි. මෙම අපූරු හිට්ලර් ජවනිකාව වේදිකාගත වන්නේ මෙවැනි පසුබිමකදීය.
මෙම වගතුග අතරවාරයේදී අපූරු කතාවක් සිහිපත් වන්නට විය. එනම් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගියදා ලොව භයානකම මිනීමරු ආඥාදායකයාව ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාමයත්, ඒ සමගම ලොව මහා විකට රංගන ශිල්පියා ලෙස සැලකෙන චාලි චැප්ලින්ගේ නාමයත් එක මොහොතේම සඳහන් කරන්නට විය. ඔහු එහිදී සමහර විට අර්ථවත් කරන්නට ඇත්තේ යමෙකු හිට්ලර් මෙන් විකට ජවනිකා රඟපානවා යන්න දැයි සිතන්නට හැකිය. එසේත් නැතිනම් යම් පාලකයකු චාලි චැප්ලින් මෙන් විකටයකු ලෙසද හැඳින්වීම වන්නට ඇතිය. සමහර විට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද මෙම වගතුග දන්නවා ඇතිය. එනම් මෙතෙක් ලෝකයේ අතිශයම ජනප්‍රිය වී ඇති ප්‍රධානතම විකට චිත්‍රපටය එම වගතුගයි. එය නම් චාලි චැප්ලින් මහා විකට රංගන ශිල්පියා රඟපාන ලද ‘ද ග්‍රේට් ඩික්ටේටර්’ (The Great Dictator – මහා ආඥාදායකයා) නමැති වෘත්තාන්ත චිත්‍රපටයයි. චාලි චැප්ලින් යනු ඇමෙරිකානු ජාතික චිත්‍රපට නළුවකු වූ අතර ඉහත චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය තුළ රංගනයෙහි යෙදෙන්නේ කුරිරු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ චරිතයට පණපොවමිනි. මෙය ඇමෙරිකාවේ සහ ලොව වටා රටවල ප්‍රදර්ශනය කරනු ලැබුවේ 1940 වසරේදී වන අතර මෙහි විශේෂත්වය වන්නේ එම නිර්මාණය චාලි චැප්ලින්ගේම අධ්‍යක්ෂණයක් වීමය. මෙය කළු සුදු චිත්‍රපටයක් වන අතර, එහෙත් නිශ්ශබ්ද චිත්‍රපට යුගයෙන් පසුව ශබ්ද තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය කිහිපයෙන් එකකි. එහෙයින් විකට චිත්‍රපටයක් ලෙස එය අතිශයින්ම ආශ්වාදයක් ගෙන දෙන්නට සමත් විය. මෙම චිත්‍රපටය කෙතරම් ලොව වටා ජනප්‍රියත්වයට පත්වූයේද යත් එකල ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් ඉපැයීය. එය මෙවැනි කාලයක නම් ඩොලර් බිලියන 05කටත් අධික සුවිශාල මුදලකි.
කෙසේ හෝ මෙම හාස්‍යමය චිත්‍රපටයෙහි චාලි චැප්ලින් අතිශය විශිෂ්ට රංගනයක යෙදෙන අතර ඔහුගේ එම රංගනය තුළින් මුළුමනින්ම ඉස්මතු කර ඇත්තේ ජර්මන් නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ චරිතය වෙයි. එහෙත් එහිදී ඔහුගේ රංගනය තුළින් හිට්ලර්ගේ චරිතයට ලබාදෙන්නේ සුවිශේෂ හාස්‍යෝත්පාදක රංගනයකි. මෙම සිනමා නිර්මාණය එකල විදේශීය චිත්‍රපට විචාරකයන් විසින් බොහෝ ප්‍රශස්තව හඳුන්වා දී තිබුණු අතර එය නම්කර තිබුණේ ‘යුද විරෝධී දේශපාලනික උපහාසාත්මක කළු චිත්‍රපටයක්’ (Anti war political satire black comedy) ලෙසටය. එම නම්කිරීම එක්තරා ආකාරයක බැරෑරුම් අර්ථකථනයකි. එනම් හාස්‍යය හරහා යුද විරෝධී බව පෙන්වීම එම අර්ථය වෙයි. කෙසේ හෝ මෙම චිත්‍රපටයට අදාළ අනෙකුත් කතාව නම් මෙය නිෂ්පාදනය කරනු ලැබුවේ කුරිරු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ජීවත් සිටින විටදී වීමය. එනම් තවත් ආකාරයකින් කියනවා නම් හිට්ලර් සම්පූර්ණයෙන්ම තම බලය පතුරුවාගෙන සිටින කාලයකදීය. ඔහු දශක දෙකහමාරකට අධික (වසර 25) කාලයක් තම දරුණුතම පාලනය ගෙන ගිය අතර, ඔහු සියදිවි හානි කරගනිමින් මරණයට පත්වන්නේ 1945 වසරේදීය. එවිට ඉහත සිනමා නිර්මාණය බිහිවන්නේ 1940 වසරේදීය. කෙසේ හෝ මෙම චිතපටය කෙතරම් ආන්දෝලනයක් ඇතිකළේද යත් එකල ජර්මනිය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකම එය ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලදී. එහෙත් ලෝකයේ බොහෝ රටවල එය ප්‍රදර්ශනය කෙරුණු අතර එම කාලය තුළදීම ජර්මනියේ චාන්සලර් ධුරය දරමින් එරට පාලනය කළේ හිට්ලර්ය. මෙහිදී අනෙක් අපූරුතම කතාන්දරය වන්නේ හිට්ලර් විසින් මෙම චිත්‍රපටය දෙවතාවක් නරඹා තිබීමය. ඔහු කෙසේ හෝ චිත්‍රපටයේ පිටපතක් වෙනත් යුරෝපා රටකින් ජර්මනියට ගෙන්වාගෙන නරඹා ඇත.
හිට්ලර් විසින් මෙම චිත්‍රපටය නරඹන විටදී වතාවන් කිහිපයකදීම ඔහු කෝපයට පත්ව ඇති අතර ඒ අතරම වතාවන් කිහිපයකදීම ඔහු හාස්‍යයෙන් සිනහ සෙන්නට වූ බවද එකල මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. එයට හේතුවී තිබුණේ ඔහු කාලයක සිට චාලි චැප්ලින්ගේ විකට චිත්‍රපට නරඹන ප්‍රබල රසිකයකු වූ හෙයිනි. හිට්ලර් සහ චාලි චැප්ලින් කතාව ඔබට ලියා තැබුවේ එය රසවත් එමෙන්ම දුර්ලභ වගතුගක් වූ හෙයිනි. එසේම අපගේ මෙම ලිපියටද අවැසි වූ කරුණක් වන හෙයිනි. එනම් අද ‘හිට්ලර් – චාලි චැප්ලින්’ කතා බොහොමයක් ශ්‍රී ලංකාවෙන්ද ඇසෙන හෙයිනි.
ලෝකයේ මෑත සමයක සිටි අතිශයම කුරිරු රාජ්‍ය පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාමයට සමාන කරමින් ලෝකයේ සිටින තවත් පාලකයන්ගේ නාමයන් සංසන්දනය කරයි. කෙසේ හෝ අනෙකුත් එම නායකයන්ට වඩා හිට්ලර් විසින් අහිංසක මිනිසුන් කුරිරු ලෙස ඝාතනය කිරීම අතිශය උච්ච ලෙස සිදුකෙරිණි. මිනිසුන් දහස් ගණනින් ගෑස් කාමරවල සිරකර ඝාතනය කිරීමට තරම් ඔහු ම්ලේච්ඡ විය. එහෙත් මෙහිදී එම කතාන්දර දිගින් දිගටම ප්‍රකාශ කරන්නට යන්නේ නැත. කෙසේ හෝ හිට්ලර් ආකාරයේම තවත් කුරිරු පාලකයන් විවිධ රටවල සිටි බව බොහෝ ඉතිහාස කතා පෙන්වා දෙයි. එවැනි සමහර රාජ්‍ය පාලකයන් දැනට ජීවතුන් අතර නැති අතර, මෑත යුගයේ සමහර පාලකයෝ ජීවත්ව සිටිති. ලෝක ඉතිහාස කතා ගත් කල එවැනි දරදඬු පාලකයන් 10 දෙනකුගේ නාමයන් නිතර කතාබස් කරති. අප මුලින්ම ඔවුන්ගේ වගතුග යමක් සොයා බලමු. මෙම ම්ලේච්ඡ ඒකාධිපතියන් 10 දෙනා විවිධ කාලවකවානුවලට අයත් අතර ඔවුන්ගේ ම්ලේච්ඡත්වය තක්සේරු කර ඇත්තේ ඔවුන්ගේ පාලනය තුළදී මරණයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනුවය. එම මරණයන් සිතාමතා ඝාතනය කිරීම, යුද ගැටුම් නිසා ඝාතනය වීම හෝ විවිධ ආහාර සාගත හරහා මරණයට පත්වීම් ලෙසද තක්සේරු වෙයි.
මෙම ම්ලේච්ඡ රාජ්‍ය පාලකයන් 10 දෙනාම දැනට ජීවතුන් අතර නැති පිරිස වෙති. එම වගතුග සොයා බලමු.
අයිවන් ද ටෙරිබල් (Ivan the Terrible)
රාජ්‍ය පාලනය – රුසියාව – 1547 සිට 1584 දක්වා
මියගිය දිනය 1584 මාර්තු 28
ඝාතනයට පත්වූ ජනතාව – 60,000කට අධිකය.
රුසියාවේ රජ සමයේ පාලනය ගෙනගිය රාජ කුමාරයෙකි. අතිශය දරුණු පාලකයකු ලෙස ඉතිහාසයේ සඳහන් වන අතර තමන්ට විරුද්ධ වන සියලු ජනතාව මෙන්ම සතුරන්ද ඉතා ම්ලේච්ඡ අයුරින් ඝාතයට පත්කරන ලදී. රුසියාවේ පාලනය ඔහු භාරගෙන තිබුණේ වයස අවුරුදු 16දී වන අතර තරුණ වයසේදීම ඔහුගේ මානසිකත්වය ඉතා කුරිරු එකක් විය. මිනිසුන් පණපිටින් පුලුස්සා දැමීමටත්, පණ පිටින් උණු වතුර හට්ටිවලට දැමීමටත් ඔහු කටයුතු කර ඇත.
ව්ලැඩ් දී ඉම්පේලර් (Vlad the Impaler)
(මෙහි සිංහල තේරුම වන්නේ ව්ලැට් නමැති ඇණ ගසා ඝාතනයට පත්කරන්නා යන්නය)
රාජ්‍ය පාලනය – රුමේනියාව – 1448 සිට 1477 දක්වා
මියගිය දිනය 1477 පෙබරවාරි 12
ඝාතනයට පත්වූ ජනතාව – 80,000කි.
රුමේනියාව පාලනය කළ රාජ කුමාරවරයකු වූ අතර මොහු ලොව පුරා ප්‍රකටව ඇත්තේ ‘ඩ්‍රැකියුලා කුමරු’ (Prince Dracula) ලෙසිනි. කාලයක් පුරා ‘ඩ්‍රැකියුලා’ නමින් බටහිර අද්භූත චිත්‍රපට නිර්මාණය කෙරුණේ මෙම බියකරු චරිතය ආශ්‍රය කරගනිමිනි. මොහුගේ පාලන කාලය තුළදී පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කළේ විශාල ඇණ ශරීරයට ගසා මරණයට පත්කරමිනි. අදටත් මෙම ව්ලැඩ් කුමාරයා ජීවත් වූ සුවිශාල මාලිගය රුමේනියාවේ ට්‍රන්සිල්වේනියා ප්‍රාන්තයේ දැකගත හැකිය.
ඉඩි අමීන් (Idi Amin)
රාජ්‍ය පාලනය – උගන්ඩාව – 1971 සිට 1979
මියගිය දිනය – 2003 අගෝස්තු 16
ඝාතනයට පත්වූ පිරිස ලක්ෂ 05 ඉක්මවා ඇත.
උගන්ඩාවේ තෙවැනි ජනාධිපතිවරයා වූ ඉඩි අමීන් ලෝකයේ මෑත කාලයේ සිටි අතිශය කුරිරු පාලකයෙකි. හමුදා නිලධාරියකු වූ ඔහු හඳුන්වා දී තිබුණේ ‘උගන්ඩාවේ මිලිටරි ආඥාපති’ ලෙසය. උගන්ඩාවේ ජනවාර්ගික පිරිස් දස දහස් ගණනක් ඝාතනය කිරීමට ඔහු අණ ලබාදුන්නේය. තම සතුරන්ට අතිශ්‍ය දරුණු ලෙස වධ දුන් ඔහු රට තුළ භූගත බන්ධනාගාරයක්ද ස්ථාපිත කර තිබුණේය. මොහු කෙතරම් ම්ලේච්ඡ මිනිසකුද යත් තමන්ගේ සතුරන් මරා ඔවුන්ගේ ශරීර මාංශ සහ විවිධ අවයව පවා වරින් වර අනුභව කළ බව පැවසෙයි.
සදාම් හුසේන් (Saddam Hussein)
රාජ්‍ය පාලනය – ඉරාකය – 1979 සිට 2003 දක්වා
මියගිය දිනය – 2006 දෙසැම්බර් 30
ඝාතනයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව – 2,50,000 සිට මිලියන 01 දක්වා.
ලෝකයේ සිටි අතිශය කුරිරු පාලකයකු ලෙස සැලකෙයි. ලොව භයානක යුද්ධයක් ලෙස සැලකෙන ගල්ෆ් යුද්ධය නිර්මාණය කිරීමට මුල් වූයේ මොහුය. ඊසානදිග ඉරාකයේ කුර්දිවරුන්ට එරෙහිව ඝාතනය කිරීමට රසායනික අවි පවා යොදවනු ලැබූ ම්ලේච්ඡ පාලකයකු වෙයි. තමන්ගේ සතුරන් සියලු දෙනා දරුණු වධ හිංසාවලට ලක්කර ඝාතනය කළේය. අවසානයේදී සැඟවි සිටි ඔහු මහජනතාව විසින්ම අල්ලාගත් අතර අධිකරණයේ තීන්දුවක් මත එල්ලා මරණයට පත්කරන ලදී.
පොල්පොඩ් (Pol Pot)
රාජ්‍ය පාලනය – කාම්බෝජය – 1963 සිට 1981 දක්වා
මියගිය දිනය 1998 අප්‍රේල් 15
ඝාතනයට ලක්වූ සංඛ්‍යාව – මිලියන 1.5 සිට 2 දක්වා.
කාම්බෝජයේ අගමැති ධුරය දැරූ පොල්පොඩ් යනු මාක්ස්වාදියකු ලෙස වර්ගීකරණය ලද දේශපාලකයෙකි. එහෙත් ඔහු වසර 18ක් පුරා නොකඩවා කුරිරු ඒකාධිපති පාලනයක් ගෙන ගියේය. ලෝකය පුරා ඉතිහාසයෙහි අතිශයින්ම ප්‍රචලිත කාම්බෝජ ජන සංහාරය සිදුකරන ලද්දේ ඔහු විසිනි. එය ඉංග්‍රීසි බසින් ‘කිලින් ෆීල්ඩ්ස්’ සමූල ඝාතනය (Killing Fields Genocide) ලෙසින් හඳුන්වන ලදී. මෙම ඝාතනයේදී රජයට එරෙහිව ජන අරගල සිදුකළ අහිංසක වැසියන් ලක්ෂ ගණනාවක් හමුදාව ලවා ඝාතනයට පත්කරන ලදී.
දෙවැනි ලියෝපෝල්ඩ් (Leopold II)
රාජ්‍ය පාලනය – බෙල්ජියම
පාලන සමය – 1865 සිට 1909 දක්වා
මියගිය දිනය – 1909 දෙසැම්බර් 17
ඝාතනයට පත්වූ පිරිස – මිලියන 10කට ආසන්නය.
බෙල්ජියම පාලනය කළ රජෙකි. 30 වැනි වියේදී රජකමට පත්වූ ඔහු වසර 44ක් නොකඩවා රට පාලනය කළේය. වෙනත් කුඩා රටවල් ග්‍රහණය කරගත් ඔහු එම රටවල් තුළදීද කුරිරු පාලනයක් ගෙන ගියේය. කොංගෝ අප්‍රිකානු රාජ්‍යය ඉන් එක් දේශයක් වන අතර එරට ජනතාවට එරෙහිව ලියෝපෝල්ඩ් සාහසික අපරාධ රාශියක් සිදු කළේය. එසේම තමන්ගේම රට තුළදී දශක 04කට අධික පාලන කාලයේදී ලක්ෂ ගණනාවක ජනතාව ඝාතනයට ලක් විය. ඔහු ගම්මාන පිටින් ගිනිතබමින් අපරාධ සිදුකළේය.
ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler)
රාජ්‍ය පාලනය – ජර්මනිය – 1944 සිට 1945 දක්වා
මරණය සිදුවූ දිනය – 1945 අප්‍රේල් 30
ඝාතනයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව – මිලියන 18කට අධිකය.
ජර්මනිය පාලනය කළ චාන්සලර්වරයාය. මොහු අතිශය ඇදහිය නොහැකි ආකාරයේ කුරිරු ආඥාදායකයෙකි. දෙවැනි ලෝක මහා යුද්ධය නිර්මාණය කළ ඔහු, එහිදී සිදුවූ මරණ මිලියන 19කට වගකිව යුතුය. ඔහු සිදුකළ ‘ගෑස් කුටි ජන සංහාරය’ ඉතා ම්ලේච්ඡ අපරාධයක් විය. ඔහු සිදුකළ අපරාධ රැසක්ම ලොව ජනතාව හොඳින්ම දනිති.
ජෝසප් ස්ටාලින් (Joseph Stalin)
රාජ්‍ය පාලනය – රුසියාව – 1924 සිට 1953 දක්වා
මරණයට සිදුවූ දිනය – 1953 මාර්තු 05
ඝාතනයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව – මිලියන 40කට ආසන්නය.
මාර්ක්ස්වාදී විප්ලවවාදියකු මෙන් පෙනීසිටි කුරිරු පාලකයෙකි. රුසියාවේ ලෙනින්ගේ මරණයෙන් පසු බලයට පත්විය. තම සෝවියට් විරුද්ධවාදීන් ලක්ෂ ගණනින් ඝානයට පත්කරන්නට තමන්ගේ 30 වසරක පාලන කාලය තුළදී කටයුතු කළේය. මෙහිදී සාමාන්‍ය අහිංසක ජනතාවද ඝාතනයට පත්විය. තමන්ගේ කුරිරු පාලනය යටතේ ලක්ෂ ගණනක ජනතාව විවිධ හේතු සාධක හරහාද මරණයට පත්විය. සාගතය එක් හේතුවකි.
මාඕ සේතුං (Mao Zedong)
රාජ්‍ය පාලනය – චීනය – 1949 සිට 1976 දක්වා
මරණයට සිදුවූ දිනය – 1976 සැප්තැම්බර් 09
ඝාතනයට පත්වූ පිරිස – මිලියන 50කට ආසන්නය.
වසර 30කට ආසන්න කාලයක් පුරා නොකඩවා චීනය පාලනය කළ ඒකාධිපතියෙකි. කොමියුනිස්ට් විපල්වවාදියකු ලෙස පෙනී සිටිමින් මහජන චීන සමූහාණ්ඩුව නිර්මාණය කළේය. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම සිවිල් ජනතාවද ඝාතනයට පත්විය. ඒ අතරම චීනය තුළ විවිධ ආහාර සාගත සහ භයානක වසංගත රෝගවලින්ද ජනතාව මියගියහ.
කෙසේ හෝ මේ ආකාරයට ලෝකයේ සිටි කුරිරු පාලකයන්ගේ වතගොත ඉතිහාසය තුළ පෙළගස්වා ඇත. එසේම වත්ම් ලෝකය තුළද හිට්ලර් මෙන් පාලකයන් ජීවත්ව සිටිමින් කුරිරු පරිාලනයක් ගෙන යන ආකාරයද මේ වන විට දක්නට හැකිය. ඔවුන් ගැන වතගොත රාශියක් පෙන්වාදී ඇත.
ම්ලැට්මීර් පුටින් (Vladimir Putin)- රුසියාව
ෂී ජින්පින් (Xi Jinping) – චීනය
කිම් ජොන් උන් (Kim Jong-un) – උතුරු කොරියාව
බෂාර් අල් අසාඩ් (Bashar al-Assad) – සිරියාව
යොවෙරි මුසවේනි (Yoweri Museveni) – උගන්ඩාව
ෆාඩ් අබ්දුල් අසීස් රජු (King Fahd) – සෞදි අරාබිය
ජෝසප් කබිලා (Joseph Kabila) – කොංගෝ
අල් කොමෙයිනි (Ruhollah Khomeini) – ඉරානය
ඩැනියෙල් ඔර්ටේගා (Daniel Ortega) – නිකරගුවා
රේසෙප් එඩොර්ගොන් (Recep Tayyip Erdoğan) – තුර්කිය
මේ ආකාරයට මේ වන විට බලයේ සිටින ඒකාධිපති ආඥාදායකයන් 10 දෙනකුගේ නාමයන් විදෙස් වාර්තාවල සඳහන්ව ඇත. කෙසේ හෝ මෙහිදී මෙම කියන මොහොතේදීද චීනයේ ජන අරගල ඇතිවී තිබෙන අතර එහි ෂී ජින්පින් ජනාධිපතිවරයා එම අරගල දැඩි ලෙස මර්දනයට ලක්කරමින් සිටියි. යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාව තුළද පසුගිය මාස ගණනාවක සිට ජන අරගල බොහෝ උත්සන්න වී ඇත. එහෙත් ඒවාද දැඩි ලෙස මර්දනය කිරීමට එරට පුටින් ජනාධිපතිවරයා කටයුතු කරයි. ඒ කෙසේ වුවද මේ වන විට එම රටවල් දෙක තුළම ජන අරගල පාලකයන්ට වඩා ප්‍රබල වී ඇති අයුරුද දක්නට හැකිය. පසුගිය කාලයේ මැදපෙරදිග ඇතිවූ මහා ජන අරගලය වූ අරාබි වසන්තයේදී පවා පාලකයන් රැසක් බලයෙන් පහකර දැමුණේය. අද ලෝකයේ සමහර පාලකයන් හිට්ලර්ලා වන්නට උත්සාහ ගත්තද ජනතා බලය ඊටත් වඩා බලවත් වන ආකාරය දක්නට හැකිය. හෙට අනිද්දාම ශ්‍රී ලංකාව තුළින්ද හිට්ලර්ලා එලවන බලවේගය එළියට එනු ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ