දැනට ටික කාලයකට පෙර අපේ ගමේ පන්සලේ ලොකු පින්කමක් තිබුණේය. කවි බණක්, සල්පිල් වෙන්දේසියක් අවසන රූකඩ නැටුම් සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිත බවට ප්‍රචාරයක් වූයෙන් අවට ගම්වලින් පවා ජනීජනයා පොදිබැඳගෙන ආවෝය.(Sri Lanka Latest News)
අපේ පළාත්වල (සබරගමුවට) රූකඩ නාට්‍යයක් කලාතුරකින් දක්නට ලැබෙන්නක් සේම ආගන්තුක කලාවක් බැවින්ද මේ අවස්ථාවට පිරිස් එසේ පැමිනුණහ. අපේ ගමේ ඉස්ලාම් භක්තික පවුල් දෙකතුනක්ද තිබිණි. ගමට තිබුණු සිල්ලර වෙළෙඳසල හෙවත් කඩේ පවත්වාගෙන ගියේද ඔවුන්ගෙන් කෙනෙකි. මැදිවියේ සිටි ඔහුගේ ටිකක් ලොකුවට බඩ තිබූ හෙයින් ගම්මුන් අතර හෙතෙම බඩතඩි මුදලාලි වූවේය. ඔහුට සිංහල ඒ තරම් හොඳට කතාකිරීමේ හැකියාවක් ද නොවිණි. කුමක් හෝ හදිසියකට ගමේ කාගෙ හෝ නිවෙසකට යාමට සිදුවුවහොත් ඔහු කඩුල්ල ළඟට ගොස් පළමුවෙන්ම අසන ප්‍රශ්නය ගමේ සතාසිව්පාවා පමණක් නොව ගහකොළ පවා දන්නේය.
“නිලමේ” නැතහොත් “මැණිකේ” යනුවෙන් ගෞරවාන්විතව අමතන හෙතෙම ඊට ලැබෙන ධනාත්මක පිළිතුර අනුව (නිවෙසේ කවුරුන් හෝ සිටින බව දැනගත් පසු) සුනඛයන් කෙරෙහි ඉමහත් බියක් දක්වන ඔහුගේ ඊළඟ අනිවාර්ය ප්‍රශ්නය වනාහි “යේක බල්ලා තියෙනවාද?” යන්නය. ඒ ඔහුගේ කතාකරන විලාශයය.
ඔහුගේ “ගජයා” ගමේ කටකාර සෝමෙ අයියාය. සෝමෙ අයියාගෙ “බෙස්ට් ෆ්‍රෙඬා” බුරම්පි මාමාය. ඔය “ඩබල” රයිගමයයි ගම්පොළයයි යන කුට්ටමටත් වඩා ළෙන්ගතුය. හරියට “ජැක් ඇන්ඩ් ජිල්” වගේය.
“සෝමෙ අයියා… ආ.. යේක.. අ..අ ඔයාලත් එක්ක මාත් රූකට බලන්ඩ යෙන්ඩද?” පන්සලේ පින්කම දවසෙ කඩේට ආ සෝමෙ අයියාගෙන් මුදලාලි ඇසුවේය.
“හරි හරි යං මුදලාලි අපිත් එක්ක” සෝමෙ අයියා කීවේය. ඔන්න ඔය අන්දමට ගිය මුදලාලි ඉතා ආශාවෙන් සංදර්ශනය නැරඹුවේය.
එදින අංගුලිමාල දමනය රඟදක්වන්නට යෙදුනෙන් තමාට නොවැටහෙන තැන් ඔහු තම යාළුවන්ගෙන් පැහැදිලි කරගනිමින් නාට්‍ය බලා සිටියේය.
ඒ අතර එක පාරටම ප්‍රේක්‍ෂකයෝ සියලු දෙනාම මහ හයියෙන් සිනාසෙමින් හූ කියමින් විසිල් ගසන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේ වේදිකාගත වෙමින් තිබුණේ අංගුලිමාලයා බුදුන් අඹා යන දර්ශනයය.
රූකඩවල නූල් අදින්නා (නටවන්නා) මේ මිනිසුන් “සද්දෙ” දාන්නේ “ත්‍රිල්” එකක් නැති නිසාදෝ යැයි සිතා අංගුලිමාලගේ ධාවන වේගය තව ටිකක් වැඩිවෙන්නට නූල් අදිනවාත් සමගම ඒ කෑගැසීම කොක් හැඬලීම විසිල් ගැසීම ඩබල් ත්‍රිබල් වී ගියේය. ඒ නිසා නූල් අදින ගමන්ම හෙතෙම වේදිකාවට මුහුණ පොවා බැලුවේය.
“කෙලපිය සිමෝ තලප හැලියට” කීවාසේ ගමේ බඩු පමණ ඉක්මවා සප්පායම්ව සිටීම නිසා නටවන්නා වැරදි අන්දමට නූල් ඇද ඇති හෙයින් අංගුලිමාලයා ශාන්තව සිටිද්දී බුදුහාමුදුරුවන් පණ කඩාගෙන දුවන අන්දම දුටුවේය.
වරද නිවැරදි කරගත්තද උස්මුරුත්තාවට ගිය මිනිසුන්ගේ ජොලිය මඳක් සංසිඳුණු පසුව “යේක මුක්කුද බුදුෂාදු පස්සෙ පෙන්නුවා..ආ..” යැයි මුදලාලි සෝමෙ අයියාගෙන් ඇසුවේය.
“ඒ මුදලාලි අංගුලිමාල පැන්නුවෙ, බුදුහාමුදුරුවොත් අල්ලාගෙන ඕගොල්ලන්නෙ ආගමට ගන්ඩ” යැයි කීවේය
“හත්නා” (චර්මඡේදනය) කුරාන්ඩද?
“ඔව්,ඔව්, ඒකට තමයි”
“අල්හම්දුල්ලා” (කොච්චර හොඳද?) යැයි මුදලාලි කීවේය.
ඔය කතාව කියන්න යෙදුණේ (පන්සල් භාෂාව) මේ යන විදිහට ගියොත් ඕකත් සිද්ධ වෙන්න බැරිකමන් නැති හෙයිනි. ඒ තරම්ම බුද්ධ ධර්මය මොඩිෆයි වෙලාය.
කේශ නාලිකාවල බණ ශ්‍රවණය කළ කල්හි එය හොඳටම පැහැදිලිය. එක් දේශකයාණන් කෙනකු කියන දේට හාත්පසින්ම වෙනස් වූ අර්ථකථනයක් දෙමින් තවත් වහන්සේ කෙනෙක් ධර්මය තෝරා දෙන්නාහ.
ඔය අතරේ ධර්මය ලාභදායී අන්දමට ප්‍රචාරය කරවා ගැනීමට අයකෙරෙන ගාස්තුවද පුන පුනා කියන්නේය.
(හරියට අපේ පළාතේ ඇතැම් දොස්තර මහත්වරුන් වගේය. පහසු මිලට දියවැඩියාවට ප්‍රතිකාර කරන බවට හන්දියක් හන්දියක් ගානේ දැන්වීම් පුවරු එල්ලන්නේය. ලේ මූත්‍ර පරීක්‍ෂා කරන බවටත් එසේමය. ඔය අව්වස්සේ (අතරේ) සාධාරණ පොලියකට මුදල් ද ණයට දෙන්නේය)
“අයං වස්සාන කාලෝ” යැයි කීමේ අරුත මේ වර්ෂා කාලය යන්නය. පවත්නා වර්ෂා කාලය කවරදාක හෝ නිමාවන්නේය. එහෙත් මේ “අයං පරිහාන කාලෝය”. එහෙත් එහි ආරම්භය පමණි. අබුද්ධෝත්පාද කාලයේ සංක්‍රාන්තිය පමණි. එහි නිමාව බොහෝ දිගය. මෛත්‍රී බුදුන් වහන්සේ බුදුබව ලබා ධර්මය දේශනා කරන තෙක්ය. වසර දහස් ගණනකි. එවිට සංඝයා වහන්සේලා නැත. ගණින්නාන්සේලා බිහිවෙත්. ඔවුහු අඹුදරුවන් රක්නෝය. ගොවිතැන් බත් කරන්නෝය. හරකා බානා ඇතිකරන්නෝය. සිවුර වෙනුවට ඇත්තේ පළඳින කහ නූල පමණකි. අන්න ඒ කාලයේ ආරාම අසපු නිකේතන බිහිවන්නේය. ඒවා පන්සල් නොව පවුල් පංසල්ය.
ඇතැම් වසපු සහ විරාමවාසීන්ට අරගොල්ලන් (විරුද්ධ ලිංගිකයන්) අත්පා මෙහෙවරට (ආවතේවයට) එකට වඩා සිටින්නට බැරිකමක් ද නැත. ඒ තෙලෙන් කිරෙන් භක්‍ෂණය කරන හෙයින් තෙල්මන්ද මෝරන නිසාය.
ඒ නිසා කඩේ මුදලාලිත් කැටුව රූකඩ නැටුම් බලන්න ගිය සෝමෙ අයියා කී දේත් වෙන්නට පිළිවන. මන්ද ඒ ආගමේ හතක් පරිහරණය කළ හැකි බැවිනි. ලොව වැනසී යාමට තුන් මාසයකට පෙර අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් දෙවි කෙනකු අවුත් ඉදිරියේදී සිදුවන විනාශය ගැන මිනිසුන් දැනුවත් කරමින් ඉන් ගැලවීමට මං සොයාගන්නැයි කියන්නේය.
ඒ අන්දමින්ම ලෝකයේ අබුද්ධෝත්පාද කාලය උදාවෙන බවටද දෙස් (ලක්‍ෂණ) පහළ වේ. ඒ යුග පෙරැළියයි. දූෂණයේ වංචාවේ, හොරකමේ, වෘධියයි. පුද්ගලයෝද ඒ සා වෙත්. තැනින් තැන ගණින්නාන්සේලාද හිස් (ශීර්ෂ) ඔසවත්. එහෙත් අපට අවබෝධ කරගැනීමට දුෂ්කරය. ඔවුන් පෙනෙන්නේත්, පෙන්වන්නේත් ප්‍රජාහිතකාමීන් ලෙසය. ඔවුන්ගෙන් ගැලවෙන්නට අප බුදුන් දැකිය යුතුය.
කිසියම් ආගමක් හොඳම ආගම යැයි කියන්න නම් ලෝකයේ පවත්නා සියලු ආගම් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය. අපට එවැනි වැටහීමක් නැත.
එහෙත් අප දන්නා අතලොස්ස අතරින් බුදුන්ගේ ධර්මය වනාහි ඉතාම උත්කෘෂ්ටය, පරම රමණීයය. බහුජන හිතායය. බහුජන සුඛායය. අත්තාය හිතායය.
බුදුන් යන අතිශ්‍රේෂ්ඨ උත්තමයා, දේවාතිදේවය, බ්‍රහ්මාතිබ්‍රහ්මය, වන්දනෛයාභිනෙයියය, පූජනෙයියාභිනෙයියය, තුන්ලෝක ශිවංකරය, සනරාමර ලෝකගරුංය (මේ අන්දමේ ගෞරව නාම පද දහස් ගණනකි. (කියා ලියා නිම කළ නොහැකිය)
ඒ පදවිය ලබාගන්නට උන්වහන්සේ අවුරුදු සාරඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ කළ කැපවීම අචින්තය (සිතන්නටද නොහැකිය)
උන්වහන්සේ අහසේ තරු පරදා ඇස් දන්දුන්හ. මහමෙර පරදා (උසට) හිස් දන් දුන්හ. මදරගිර පරදා සිරුරේ මස් දන් දුන්හ. සයුරේ ජලකඳ පරදා ලේ දන් දුන්හ. කිසියම් කෙනකු තම ජීවිත කාල පරිච්ඡේදය පුරා දිව රෑ දෙකෙහි නොකා නොබී එකදිගට ඔය ගුණ කියන්නට ගිය ද කියා නිම කළ නොහැකිය. බැරිය. බැරි දේ බැරිය.
තමන්වහන්සේගේ පිරිනීවීමෙන් පසු නොව ධරමාන (ජීවමාන-සුජීවත්ව සිටින) කාලයේම මේ ශාසන විලෝපනය සිදුවන බව පැහැදිලි කළ සේක්ය) අනේ මිනිසුනේ, කරුණා සීතලං හදයං (කරුණාවෙන් පිරුණු හදවතක්) තිබූ මේ මානව පුත්‍රයාට, ඔහුගේ නාමයට කෙරෙන අවමන් අපට අසා සිටින්නට අපට බලා සිටින්නට අප කළ පාපකර්මය කවරේදැයි අපට නොවැටහීමම අපේ පාපකර්මයයි.
අපේ විහාරස්ථානයේ දෙමහල් පොත්ගුල (පුස්තකාලය) පිරී තිබුණේ පුස්කොළ පොත්වලිනි. අපේ මාපියන් වැඩිහිටියන් අපට කිසි දවසක ඒ පොත්ගුලේ උඩුමහලට යන්නට ඉඩ දුන්නේ නැත. ඒ පහළ මාලයේ ඇති ධර්ම පුස්තකවලට ඉහළින් යාම පාප කර්මයක් (පෑගෙන හෙයින්) බව නිසාය. ඒ අපේ පරම්පරාවලින් පරම්පරාවට කියාදුන් ශික්‍ෂාවයි. බෝ මළුවේ වැටී ඇති බෝ කොළයක් නොපෑගෙන්නට අප ගියේ ඉතා සීරුමාරුවෙනි. ඒ ගෞරවය නිසාය.
එසේ වූ බුදුන් වහන්සේගේ කරඋඩ නැග සිවුරු පොරවමින් ඇතැම් වෙද්දු (වෛද්‍යවරු) වර්තමානයේ කරණං ගසති. මේ වෙද්දු නිකං වෙද්දු නොවේ. “දිය වෙද්දුය. (දිය වෙද්දු යනු ජලයේ වෙසෙන ලොකු කූඩැල්ලන්ය-මුහුදු කූඩල්ලන් වගේය)”
මේ තරං කළුගල් සියුමැලිද යැයි බලන්නට අවුකන බුදුන්ටත් දැැස් දුන් මිනිසා සොයාගිය බව කියවෙන ඉතා සංවේදී ගීයක් අපට ඉස්සර නිතර ඇහුණේය. දැන් අපට කියන්නට ඇත්තේ “මා ගියා අවුකන බුදුන්ටත් සිවුරු දැමු දොස්තර සොයා” යන්නය.
මේවා ගැන කියන්න ගියහොත් අපට පාරෙ බැස යන්න ලැබෙන්නේ නැත. එහෙත් කට කෑවත් කිව යුතු දේ කිව යුතුමය. අන්ධ භක්තියෙන් යුතු අසරණ සැදැහැවතුන්ට බුද්ධිය පහළවේවා යැයි කීමටය. ඔවුනට ධර්මය තෝරා දෙනවා වෙනුවට කෙරෙන්නේ තව තවත් අගාධයට දැක්කීමකි.
වෙසක් සමයට කාන්තාවන්ගේ කේශකලාප අභිභවා යන තරමේ වෙසක් කලාප තිබේ. සමන් පිච්ච පූජා තිබේ. පලතුරු පූජා තිබේ. කප්රුක් පූජා තිබේ.
අනේ අනිච්චං.
අවුකන බුදුන්ට සිවුරු පෙරවීම ඔතැනින් නොනැවතී ඉදිරියට ගියොත් කොතැනිං නවතීද?මොනවයින් මොනව වෙයිද? මට මතක ඇති අන්දමට නේපාලයේ හෝ තිබ්බතයේ (ටිබෙට්) හෝ ජපානයේ හෝ බුදුන් (උපැස් යුවලක්) ඇස් කණ්ණාඩි පළඳාගෙන සිටින පිළිමයක පින්තූරයක් මම දුටුවෙමි. ඒ බුදුන් වහන්සේ බෝධිසම්භාරය පුරණ සමයේ පෙනීම දුර්වල කෙනකුට උපැස් යුවලක් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය මහිමය කියාපාන්නටය.
බුදුන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට ප්‍රතිකාර වශයෙන් “තෙලිදිය” තෙලිජ්ජ නොහොත් මීරා බඳුනක් පානය කළ සේක් යැයි දහමෙහි තියේ. ඒ නිසා මහනුවර දළදා මාලිගයේ වැඩවසන දන්ත ධාතුන් වහන්සේට දහවල් බුද්ධ පූජාව තබන කල්හි තෙලිදිය බඳුනක් පූජාකිරීම ද චාරිත්‍රයකි.
බැරි වෙලාවත් ඇතැම් වහන්සේලා දවල් දානමය පිංකම්වලට වැඩිය පසු මීරා නොව මහරාම බෝතලයක් ඉල්ලා වදාරන්නටද බැරිකමක් නැත. උන්වහන්සේලා නොඉල්ලුවත් දානමය පින්කම කරන පින්වතුන් තමන්ට අඩුපාඩුවක් නැතිවම කුසලයේ පිහිටුවා (ප්‍රතිශ්ඨාපනය) ගැනීම උදෙසා රා ලබ්බ හෝ බෝතලය හෝ බැගින් පිළිගන්නවා “ගසන්ඩ හාමුදුරුවනේ” යැයි පවසා “බයිට් එකට මොනවද? කැප” යැයි විචාරන්නට ද බැරිකමෙක් නැත.
“පොඩ්ඩක් හෝව්” අවුකන බුදුන්ට සිවුරු පෙරවූ පූර්වාදර්ශය අනුව කාට හෝ අවශ්‍ය නම් සීගිරි අප්සරාවන්ට වුවත් “බ්‍රා” පැලැන්දුවාටද කමක් නැත. හැබැයි සයිස් එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා බලත්වා.
චන්ද්‍රසේන මාරසිංහ










