‘පාන්’ කියලා කියන්නේ ලෝකයේ තියෙන පැරණිතම කෑමක්. අපි නොදන්නවා වුණාට පාන්වල ඉතිහාසය අවුරුදු තිස්දාහක් විතර පරණයි. යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ මේ පිළිබඳ සාක්ෂි හම්බවෙලා තියෙනවා. ශාක මුල් මත තියෙන සමහර දේවල්වලින් පිෂ්ටය නිර්මාණය කරගෙන ඒවාවලින් පාන් හැදුවා කියලා තමයි ඉතිහාස කතන්දරවල කියන්නේ. මේ පිෂ්ටය නැත්නම් මේ පිටි අරගෙන පැතලි ගල් මත මේවා තියලා ස්වභාවිකව ඇති කරගත්තු ගින්නෙන් මේ පාන් පුලුස්සා ගත්ත බවට සාක්ෂි හම්බවෙලා තියෙනවා. ජෝර්දානයේ ඊසානදිග කාන්තාරවල කරන ලද පරීක්ෂණයකදී වසර දහහතර දහස් පන්සියයක් පැරණි පාන් පිළිබඳ සාක්ෂි හම්බවෙලා තියෙනවා.
ලංකාවට පාන් හඳුන්වා දුන්නේ 1505දී මේ රටට ආපු පෘතුගීසීන් කියලා තමයි කියන්නේ. ‘තිරිවානා ගල් කාලා ලේ බොනවා’ කියලා අපේ රටේ මිනිස්සු මේගොල්ලෝ පාන් කනවා දැකලා කියලා තියෙනවා. මේ කතන්දරෙත් එක්ක රජතුමා බොහොම කලබල වෙලා හොයලා බලද්දී ඒගොල්ලො කාල තිබුණේ තිරිවානා ගල් නෙවෙයි, පාන්. ඒ කාලේ වෙනකොට පෘතුගීසි ජාතිකයන් අතර පාන් හරි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ‘පාඕ’ ලෙසින් තමයි පාන් හඳුන්වලා තියෙන්නේ. පෘතුගීසින්ට පස්සේ ලන්දේසින් ඉංග්‍රීසින් විසින් මේ රට යටත් කරගෙන තියෙනවනේ. අවුරුදු 400කට වැඩි කාලයක් යුරෝපීයයෝ මේ රට යටත් කරගෙන හිටපු නිසා ඔවුන්ගේ කෑමබීම අපටත් ලැබුණා. මේ වෙනකොට පාන් කියන්නේ දුප්පතාගේ කුසගින්න නිවන ආහාරයක් වුණාට මුල් යුගයේ නැත්නම් යටත්විජිත යුගයේ පාන් කියන්නේ ඉතාම ප්‍රභූ පරපුරේ ආහාර වේලක් බවට පත්වෙලා තියෙනවා.
අපේ සිංහලයා තුන් වේලටම බත් කන්න පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් ඒ කාලයේ බටර් තවරපු පාන් ආහාරයට ගන්න එක ඉතාම ඉහළ පැලැන්තියේ විලාසිතාවක්. විසිවැනි සියවසේ මුල් දශකයේ වෙනකොට ලංකාවේ තිරිඟු පිටිවලින් හදපු කෑම ප්‍රසිද්ධ වෙලා තිබුණේ නෑ. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙනවාත් එක්කම ලංකාවේ හාල් නිෂ්පාදනය අඩු වුණා. ඒ හින්දාම ආහාර අර්බුදයක් නිර්මාණය වෙන්න පටන් අරගත්තා. ඒ ආහාර අර්බුදය නිර්මාණය වෙන බව දැකපු ඉංග්‍රීසි ජාතිකයෝ මුලින්ම බුරුමයෙන් ලංකාවට හාල් ආනයනය කළා කියලා කියනවා. යුද්ධය පෙරදිග රටවලට පැතිර යාමත් එක්ක ඒ හාල් ආනයනයටත් බාධා ඇති වුණා. ඉන් පස්සේ විසඳුමක් විදියට ඔස්ටේ්‍රලියාවෙන් තිරිඟු සහ තිරිඟු පිටි ආනයනය කරලා තියෙනවා. මේ තිරිඟු පිටි යුද සමයේදී ලබාදුන් ආහාර සලාකවලට එකතු කරලත් තියෙනවා. තිරිඟු පිටි භාවිත කරමින් හදපු පාන් ලෝකය පුරා ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා.
පාන් සම්බන්ධව ඉතිහාසය මොකක් වුණත් පාන් ගැන අපිට විවිධ කයිකතන්දර බොහෝ තැන්වලදී අහන්න ලැබෙනවා. සාර් රජුගේ පරම්පරාවේ කට්ටිය පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා මිනිස්සුන්ට කිව්වා වගේම පාන් කන, පාන්වලට වඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා සමහර පතේ පොතේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔය අරාබිකරයේ සමහර ජාතීන් විසින් පාන් කියලා කියන්නේ ආගමික ආහාරයකට. එහෙම නැත්නම් වන්දනාමාන කරන පූජනීය ආහාරයක් විදියට ඒගොල්ලෝ පාන් සලකනවා.
පාන් කියලා කියන්නේ අනාදිමත් කාලයක සිට මිනිසුන්ගේ බඩගින්න නිවපු කෑමක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව දේශපාලනයට එන්නේ තුනයි පනහට පාන් දෙනවා කියලා. පාන් ගෙඩියක් කන්න මිනිස්සු හීන දැකපු කාලෙකුත් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තිබිලා තියෙනවා. තුනයි පනහට පාන් දෙන කතන්දරෙත් එක්ක පාන් ගෙඩිය ගැන විශාල ප්‍රසිද්ධියක් ලංකාවේ ඇති වුණා. ඇත්තටම චන්ද්‍රිකා ආණ්ඩුව බලයට එන්නත් මේ පොරොන්දුව ප්‍රධාන හේතුවක් වුණු බව තමයි කියන්නේ. චන්ද්‍රිකා ආණ්ඩුවෙන් තුනයි පනහට පාන් දුන්නට, කාලෙත් එක්ක පාන් ගෙඩිය හිතාගන්න බැරි විදියට මිල ගියා. පාන් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතවලට ඉතාම කිට්ටු ආහාරයක් බවට පත්වුණා. ඒ වගේම අනෙක් පැත්තෙන් පාන් කියන්නේ අපට තියෙන ඉතාම අහිතකර කෑමක් කියලත් අපේ රටේ මතයක් නිර්මාණය වුණා.
පාන් හදන්නේ කෘත්‍රිම අමුද්‍රව්‍යවලින් නොවන නිසා පාන් එච්චරම අහිතකරද කියලා වෙලාවකට අපිට හිතෙනවා. පාන් හදන්නේ තිරිඟු පිටිවලින්. තිරිඟු පිටි කියලා කියන්නේ අපේ රටේ නැතත් විදෙස් රටවල සරුසාරව වැවෙන ධාන්‍යයක්. මේ ධාන්‍ය නිසා අපට පාන් නරක කෑමක් කියල කියන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඇත්තටම පාන් නරක කෑමක්ද? එකේ තියෙන පිෂ්ටය නිසා ශරීරය මහත් වීමට, තරබාරුවට ඒ වගේම අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ සමහර රෝගවලට බලපෑම් කරන බවයි කියන්නේ. ඉස්සර අපට පිෂ්ටය ලැබුණේ පාන්වලින් නෙවෙයි. දෙල්, අල බතලවලින් පිෂ්ටය ලබාගත්තු අපේ යෝධයෝ මහා සටන් බිම්වල යුද වැදුණේ ඒවා කාලා බීලා. මේ කොහොම වුණත් දැන් නම් පාන් ගෙඩිය අපිට පෙන්නන්නේ ලොකු අහංකාරකමක්.
1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ලබාදුන් මැතිවරණ පොරොන්දු අතරින් එකක් වුණේ, එම අවධිය වන විට රුපියල් 5.50කට පැවැති පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා අඩුකරන බව. කොහොම වුණත් අද වෙනකොට පාන් ගෙඩිය රුපියල් 400ක් වෙනවා කියලා ප්‍රවෘත්ති අපට පේනවා. මේ වෙලාවෙ තිරිඟු පිටි මිල අඩුවීමත් එක්ක පාන් මිල අඩුවෙලා. ඒත් මේ මිල වැඩිවීම වෙන ඉක්මනට අඩුවීම වෙන්නෙ නෑ. හැබැයි අමතක කරන්න එපා. පාන් කියන්නෙ ලංකාවෙ ආණ්ඩු හදපු වෙනස් කරපු විතරක් නෙවෙයි, ලෝකයේ දේශපාලන ව්‍යාපාර හදපු රජවරු පන්නපු දෙයක්.

ජීවන පහන් තිළිණ










