‘මේ ඓතිහාසික පිළිරුව දෙස නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ මෙය බුදුන් වහන්සේගේ පිළිරුවක් බවයි. මෙය වෙනත් දෙවි කෙනකුගේ රූපයක් නොවෙයි. මෙම පිළිරුවෙහි බුදුන් වහන්සේගේ ‘මහා ලක්ෂණ’ පෙන්නුම් කරනවා කියලා පුරාවිද්‍යාඥයන් කියලා තියෙනවා. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ පවතින පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සාක්ෂිවලට අනුව එම ප්‍රතිමාව ස්ථිර ලෙසම බුදුන් වහන්සේගේ ඉපැරැණි ප්‍රතිමාවක් බවයි. තද පාෂාණයෙන් නිර්මාණය කර ඇති ප්‍රතිමාව, නෙලුම් මල් පීඨයක් මත ‘අර්ධ පද්මාසන’ ඉරියව්වෙන් හිඳගෙන සිටින ආකාරය පෙන්නුම් කරනවා. එහි අත්වලින් ‘ධ්‍යාන මුද්‍රාව’ පැහැදිලිවම පෙන්නුම් කෙරෙනවා. බුදුන් වහන්සේගේ හිසෙහි කැරැලි සහිත කෙස්ද පැහැදිලිවම දක්නට තිබෙනවා. එසේම දිගැටි කන් පෙති පවා ඒ ආකාරයෙන් පිහිටා තිබෙනවා. නළලේ ‘ඌර්ණය’ නම් එතරම්ම පෙනෙන්නේ නැහැ. කෙසේ හෝ බුදුන් වහන්සේගේ මහා ලක්ෂණ බොහොමයක්ම මෙම ප්‍රතිමාව මගින් පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා මෙය තලෙයිවෙට්ටි මුනිඅප්පන් දෙවියාගේ රූපය නෙවෙයි කියලා පුරාවිද්‍යා වාර්තාව ප්‍රකාශ කරලා තියෙනවා….’
කුමක්ද මේ කාලයකින් අසන්නට නොලැබෙන අපූරු කතාව? මෙම අරුම පුදුම වගතුග ඇසෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී තමිල්නාඩු ප්‍රාන්තයේ ‘සලෙම්’ නමැති නගරයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා තිබෙන එක්තරා ඉපැරැණි ඉන්දු කෝවිලක් ආශ්‍රිත කරගෙන මෙම තොරතුර ඇසෙන්නට විය. එසේ නම් ඉහත ප්‍රකාශය සිදුකරන්නේ කවුරුන් විසින්ද? ඉන්දියාවේ ‘මැඩ්රාස් මහාධිකරණය’ තුළින් මෙම වගතුග ප්‍රකාශ කර සිටින්නේ එම අධිකරණයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් මහතා විසිනි. ඔහු අධිකරණ ශාලාවක් තුළ විභාග කෙරුණු නඩුවක අවසන් තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්කර තිබිණි. මෙම ආන්දෝලනාත්මක නඩු තීන්දුව විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මේ ආකාරයටය. එය දීර්ඝ නියෝගයකි.
‘මෙම කෝවිල තුළ තිබෙන මෙම ප්‍රතිමාව තවදුරටත් තලෙයිවෙට්ටි මුනිඅප්පන් දෙවියාගේ රූපය කියලා අපට පිළිගන්න බැහැ. එසේ සැලකීම බුදු දහමට පටහැනි ක්‍රියාවක්. එසේම හින්දු ආගමික යාඥාවන් මෙහිදී දිගටම පැවැත්වීමටද බුදු දහමේ මූලධර්මවලටද පටහැනි ක්‍රියාවක්. ඉපැරැණි පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ බවට නිගමනය වූ පසුව තව දුරටත් වැරැදි අනන්‍යතාවක් පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකියි. මින් පසුව මෙම පූජනීය ස්ථානය තුළ හින්දු ආගමික යාඥාවන් සහ චාරිත්‍රවලට ඉඩ දෙන්නට බැහැ. එහෙත් ඕනෑම ජාතික සහ ආගමික ජනතාවකට එහි පැමිණීමට අවසර තිබෙනවා. මෙම ස්ථානය බෞද්ධ ආගමික ස්ථානයක් ලෙස නම් කරන ලෙසත් මම නියෝග කරනවා. මෙහි ඇති ප්‍රධාන ප්‍රතිමාව බුදුන් වහන්සේගේ බවත්, එහි ලිඛිත පුවරුවක් මගින් එම තොරතුරු පැහැදිලි කරන ලෙසත්, පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවට නියෝග කර සිටිනවා…’ යැයි මහාධිකරණ විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් මහතා තම තීන්දුව ප්‍රකාශ කර සිටියේය.
මෙය ඉන්දියානු නීති ඉතිහාසය තුළ ලබාදුන් අතිශය ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස මේ වන විට පිළිගෙන ඇත. එසේම එම ආන්දෝලනාත්මක අධිකරණ නියෝගය මේ වන විට කිසිදු පාර්ශ්වයක් විසින් අභියෝගයටද ලක්කර නැත. එසේ වන්නේ එය මුළුමනින්ම මැඩ්රාස් මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් වන හෙයිනි. මෙම තීන්දුව ලබාදුන් ආනන්ද් වෙන්කටේෂ් මහාධිකරණ විනිසුරුවරයාද ඉන්දියාවේ බොහෝ ප්‍රකට, ආන්දෝලනාත්මක නඩු තීන්දු ගණනාවක් ලබාදී ඇති සාධාරණ, අපක්ෂපාතී විනිසුරුවරයකු ලෙස සැලකෙයි. දැනට 53 වැනි වියෙහි පසුවන ඔහු මැඩ්රාස් මහාධිකරණයෙහි විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නේ 2020 පෙබරවාරි 13 වැනිදා සිටය. ඉන් පෙර වසර ගණනාවක් පුරා ඔහු එම අධිකරණයෙහිම අතිරේක මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත. ඉන් පසුව ඉන්දියානු ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයාගේ අනුමැතිය මත ප්‍රධාන මහාධිකරණ විනිසුරු ධුරයට පත්කරනු ලැබුවේය. කිසිදු පාර්ශ්වයකට අහේතුක ලෙස පක්ෂපාතී වෙමින් නඩු තීන්දු ලබාදීමට ඔහු කිසි විටෙකවත් කටයුතු නොකරන බැව් පැවසෙයි.
‘වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ’ යැයි අපූරු කියමනක් අපේ ඉපැරැණි ජන වහරේ ඇත. එයින් සැබෑ ලෙසම කියැවෙන්නේ යම් යහපත් වැඩක් සිදුකිරීමට ගොස් කරදරයක වැටීම ගැනයි. එනම් එය යම් අරුතක අකරතැබ්බයක්, මරාලයක් හෝ ගිනිගෙඩියක් හෝ කඩාගෙන වැටුණා යන්නටද සමාන විය හැකිය. එහෙත් ඉන්දියාවේ මෙම කෝවිලට ගිය බැතිමතුන්ට නම් එසේ කෝවිල හිස මත කඩා වැටුණු හැඟීමක් නොදැනෙනු ඇත. ඔවුන් දශක ගණනාවක සිට එහි ගොස් ඇත්තේ හින්දු ආගමික පුද පූජා පැවැත්වීමටය. එහෙත් දැන් හෙළිවී ඇත්තේ ඔවුන් පුද පූජා පවත්වා ඇත්තේ බුදුන් වහන්සේ උදෙසා බවය. බුදුන් වහන්සේ යනු අනෙකුත් හින්දු ආගමික දෙවි දේවතාවන්ට වඩා මහා ශාස්තෘවරයෙකි. එහෙයින් බැතිමතුන් කිසි විටෙකවත් තමන් සිදු කරන ලද පුද පූජා ගැන කනගාටුවට පත් නොවනු ඇත. යම් පටු අන්තවාදී අදහස් ඇති බැතිමතුන් ස්වල්ප දෙනකු හැරෙන්නට බොහෝ බුද්ධිමත් බැතිමතුන් එම තත්ත්වය අවබෝධ කරගනු ඇත. එහෙයින් ඔවුන්ට වඳින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුණා වැනි හැඟීමක් නොදැනෙනු ඇත. තත්ත්වය එසේ වුවද හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම දෙවි දේවතාවන් ලෙස සැලකෙන්නේ විෂ්ණු, ශිව වැනි දෙවියන් වන අතර දෙමළ බැතිමතුන්ගේ ප්‍රධාන දෙවිවරුන් ලෙස මුරුගන්, අයියාප්පන් හෝ පෙරුමාල් වැනි දෙවිවරුන් සැලකෙයි. මෙම ප්‍රධාන දෙවිවරුන් කිහිප දෙනාට අමතරව ඉන්දියානු බැතිමත්හු තවත් විවිධ දෙවිවරුන් සිය ගණනකට පුද පූජා පවත්වති. එය සාම්ප්‍රදායික ඉන්දියානු ආගමික චාරිත්‍ර වාරිත්‍රවල හැටිය.
ඔබට එසේ ඉන්දියානු බැතිමතුන්ගේ යම් වගතුගක් ලියා තැබුවේ ඔවුන්ගේ ආගමික රටාව ගැන යම් තොරතුරක් පැහැදිලි කිරීම සඳහාය. දැන් එසේ නම් ඉහත කලෙයිවෙට්ටි මුනිඅප්පන් කෝවිල වෙත මෙතෙක් දශක ගණනාවක් පුරා පැමිණි බැතුමතුන් කවුරුන්ද? ඔවුන් බහුතරයක් දෙමළ බැතිමතුන් බව ප්‍රකාශ වෙයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම කෝවිල තමිල්නාඩුවේ පිහිටා තිබීමය. සලීම් නමැති නගරය ආශ්‍රිත පෙරියෙරි නමැති ගම්මානයේ ඉහත කෝවිල පිහිටා ඇත. මෙහිදී දෙමළ බැතිමතුන් ‘තෙලියවෙට්ටි මුනිඅප්පන්’ ලෙස හඳුන්වා ඇත්තේ ග්‍රාමීය භාරකාර දෙවියෙකි. මෙම මුල් වදන වන ‘තලෙයිවෙට්ටි’ යන්නෙහි අර්ථයවන්නේ ශරීරයෙන් හිස වෙන්වුණු පුද්ගලයා යන්නය. මුනිඅප්පන් යන්නෙහි අර්ථය වන්නේ ග්‍රාමීය දෙවියා යන්නය. මෙම කෝවිල තුළ ඇති ප්‍රතිමාවෙහි ඇත්තේ සිරස්කඩ (ශරීරයෙහි උඩ කොටස) පමණක් වීම හේතුවෙන් ඉහත අරුත ආරූඪ වී තිබේ. මෙම ප්‍රතිමාවෙහි යට කොටස අර්ධ පද්මාසන ඉරියව්වෙන් නෙලුම් පීඨයක් මත හිඳගෙන සිටින ආකාරය මින් පෙර දිස්ව තිබුණද එම කොටස හානියට පත්ව ඇත. එහෙයින් දැන් ප්‍රතිමාවෙහි ඇත්තේ ඉහත කොටස පමණක්ය. මෙවැනි වටපිටාවක් යටතේ කෝවිලටත් එය භාරකාර දෙවියාටත් ඉහත නාමයන් තබා ඇත. මෙම කෝවිල අයත් භූමියෙහි පැරැණි ගොඩනැගිලි මෙන්ම සමහර අලුත් ගොඩනැගිලිද දක්නට හැකිය. එහෙත් පුරාවිද්‍යාත්මක තොරතුරුවලට අනුව කෝවිලේ ප්‍රධාන යාතිකා ගෘහය තුළ තබා තිබෙන ප්‍රධාන ප්‍රතිමාව වන්නේ ඉහත සඳහන් කළ ප්‍රතිමාවයි. අනෙක් විවිධ කෝවිල් හා සන්සන්දනය කළ විට මෙය එතරම් විශාල වූ කෝවිලක්ද නොවේ. දැන් ඔබට මේ අපූරු කෝවිලේ වටපිටාව කුමක්ද යන්න පැහැදිලි වනු ඇත.
එසේ නම් මෙම කෝවිලේ කතාන්දරය මහාධිකරණය දක්වා ගියේ කෙසේද? මෙම වගතුග මෙයට වසර 10කට ඉහත කාලයක් පුරා දිවයන එකක් වෙයි. එනම් 2011 වසරේදී සලීම් නගරයේ ක්‍රියාකාරිකයකු වූ දෙමළ ජාතික පී. රන්ගනාදන් නමැත්තා මෙම නඩුව පවරන ලදී. මැඩ්රාස් මහාධිකරණය තුළ W.P.No.4715 දරන අංකය යටතේ මෙම නඩුව ගොනුකෙරුණු අතර, පසුගිය කාලයක් පුරා නඩුව නිසි ලෙස විනිශ්චයට නොගැනුණි. රන්ගනාදන් නමැත්තා හේතු සාධක ලෙස ඉදිරිපත් කර තිබුණේ තලෙයිවෙට්ටි මුනිඅප්පන් කෝවිල හින්දු සිද්ධස්ථානයක් නොවන බවත්, එය බෞද්ධාගමික සිද්ධස්ථානයක් බවත්ය. එහෙයින් මේ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර මෙම ස්ථානය බෞද්ධාගමික ස්ථානයක් බවට ප්‍රකාශ කරන ලෙසත්, එම ස්ථානය සලීම්හි පිහිටි බෞද්ධ භාරය වෙත භාරදෙන ලෙසටත් ඉල්ලා සිටියේය. කෙසේ හෝ කාලය ගෙවීයත්ම 2017 වසරේදී අධිකරණය නියෝග කර තිබුණේ මෙම ස්ථානය ගැන පුරාවිද්‍යා විමර්ශනයක් සිදුකරන ලෙසය. ඒ අනුව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකළේය. එහිදී දක්ෂ ඉන්දීය පුරාවිද්‍යාඥයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් මෙම ගවේෂණය සිදුකරන ලදී. එහිදී ඔවුන් බොහෝ හේතු සාධක සහිතව නීර්ණය කරගත්තේ මෙම කෝවිල තුළ ඇති ප්‍රධානතම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ බවය. මෙම ලිපියේ ඉහත ඔබට සඳහන් කළ පරිදි බුදුන් වහන්සේගේ ඓතිහාසික රුවක ඇති ලක්ෂණ ඒ මගින් අනාවරණ විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම වාර්තාව සකස් කරමින් ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ බවත් සහ එම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවත්ය.
කෙසේ හෝ මෙලෙස පුරාවිද්‍යා විමර්ශන වාර්තාවක් සකස් වී තිබුණද 2017න් පසුව 2022 දක්වාම මෙම නඩුව විනිශ්චයකට පත්ව නොතිබිණි. නඩුව විභාගයට ගැනුණද නිසි තීන්දුවක් ලබාදීමට විනිසුරුවරුන් කටයුතු කර තිබුණේ නැත. විටෙක එයට හේතු වන්නේ ඉන්දියාව තුළ දැඩි අන්තවාදී ආගම් රටාවක් තිබීමද විය හැකිය. එහෙත් කෙසේ හෝ පසුගියදා මෙම නඩුව විනිශ්චයට ගත් පසුව එම තත්ත්වය උඩු යටිකුරු වුණේය. ඉහත ප්‍රකාශ කළ ආනන්ද් වෙන්කටේෂ් මහාධිකරණ විනිසුරුවරයා නඩුවට අභියෝගාත්මක ලෙස මුහුණ දුන්නේය. සැබෑ සාධක සහ සත්‍යය හමුවේ ඔහු පුරාවිද්‍යාවට හිස නමමින් එම ඓතිහාසික නඩු තීන්දුව ලබාදුන්නේය. ඉන්දීය ඉතිහාසයේ මෙවැනි නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය සැලකෙයි. ඉතා දුර්ලභ අවස්ථා කිහිපයකදී පමණක් සමහර ආගමික ස්ථානවලට අදාළව අධිකරණය නඩු තීන්දු ලබාදී තිබුණද මෙසේ හින්දු කෝවිලක් ලෙස දශක ගණනාවක් වන්දනාමාන කළ ස්ථානයක් නැවත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නීතිමය වශයෙන් නිල තීන්දුවක් ලබාදීම සිදුවී ඇත්තේ ප්‍රථම වතාවටය. කෙසේ හෝ 2020 වසරේ පෙබරවාරි 13 වැනිදා ආනන්ද් වෙන්කටේෂ් මහාධිකරණ විනිසුරුවරයා මැඩ්රාස් මහාධිකරණයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම නවතම පරිවර්තනය අධිකරණය තුළ සිදුවිය. කෙසේ හෝ ඔහු තමාගේ පසුගිය වසර දෙකක කෙටි රාජකාරි කාලය තුළදී පමණක් විවිධ විෂයන්ට අදාළව ආන්දෝලනාත්මක නඩු තීන්දු ලබාදී ඇත. මේ හෙයින් ඔහු මේ වන විට තමිල්නාඩුවේ පමණක් නොව සමස්ත ඉන්දියාව තුළම ඉතා ප්‍රකට ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. එසේම ඔහුට සමාජයේ ඉතා ඉහළ ගරුත්වයක්ද පිරිනැමී ඇති බව විවිධ මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම අපූරු කතාන්දරයේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය වන්නේ මෙතැන් සිටය. එනම් පසුගියදා මැඩ්රාස් මහාධිකරණය මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබාදෙන විටදී එම නඩුව ගොනුකරනු ලැබූ පී. රංගනාදන් නමැති සමාජ ක්‍රියාකාරිකයා ජීවතුන් අතර නොසිටියේය. ඔහු මෙයට වසර දෙකකට පමණ පෙර මියගොස් ඇත. කෙසේ හෝ ආනන්ද් වෙන්කටේෂ් මහාධිකරණ විනිසුරුවරයා විසින් ලබාදී ඇති තීන්දුව ඉතා දීර්ඝ එකක් වන අතර එය පිටු 11කින් සමන්විතය. එහි සියලු කරුණු කාරණා ලියා තබන්නට මේ ලිපියේ ඉඩ මදිය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස තමිල්නාඩු හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම්, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොමසාරිස් සහ තලෙයිවෙට්ටි මුනිඅප්පන් කෝවිලේ ප්‍රධාන විධායක නිලධාරියාද නම්කර ඇත. එකම පෙත්සම්කරු ලෙස සඳහන් වන්නේ තමිල්නාඩුවේ සලීම් නගරයේ බෞද්ධ භාරය වන අතර, දැනට මෙහි ප්‍රධාන පෙත්සම්කරු ජීවතුන් අතර නොමැති හෙයින් එම භාරය වෙනුවෙන් භාරකරුවකු ලෙස ආර්. සෙල්වකුමාර් නමැත්තකු පෙනී සිටියි. පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන් දෙස බැලූ විට පෙනී යන්නේ මෙම නඩු හබය යනු ඉතා භාරදූර එකක් බවය. කෙසේ හෝ 2017 වසරේදී මහාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අධිකරණ නියෝගයට අනුව පුරාවිද්‍යා ගවේෂණය සිදුකරනු ලැබූ අතර එම වාර්තාව අධිකරණයට යොමු කෙරිණි. මෙම පුරාවිද්‍යා අවසාන වාර්තාවද බොහෝ සවිස්තරාත්මක තාර්කික වූ එකක් වන අතර එහි බොහෝ වගතුග මහාධිකරණ විනිසුරුවරයාගේ පිටු 11ක තීන්දුවටද ඇතුළත් කර ඇත. මෙම ඓතිහාසික නඩු තීන්දුවේ වැදගත් කරුණු මොනවාද?
පෙත්සම්කරුවන් මෙම රීට් පෙත්සම හරහා ප්‍රකාශ කර සිටින්නේ දශක ගණනාවක සිට මෙම ස්ථානයෙහි තිබී ඇත්තේ බෞද්ධ විහාරයක් බවත්, එහෙත් පසුව යම් ආගමික කණ්ඩායමක් විසින් මෙම ස්ථානය කෝවිලක් බවට පත්කරන ලද බවත්ය. මේ අනුව එහි තිබුණු ප්‍රධාන ප්‍රතිමාව (බුදුන් වහන්සේගේ යැයි සැලකෙන) බොහෝ සූක්ෂ්ම අයුරින් සහ කාලීනව හින්දු දෙවියකුගේ රූපයක් බවට පරිවර්තනය කරන ලද බවත් පෙත්සම මගින් ප්‍රකාශ කර තිබේ. ඉන් පසුව තවත් දශක ගණනාවක් මෙය දෙමළ හින්දු කෝවිලක් ලෙස පුද පූජා පැවැත්වූ බවද සඳහන් කර සිටියි. කෙසේ හෝ පසුගිය 2021 වසරේදී ඉන්දීය පුරාවිද්‍යාඥයන් සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම තත්ත්වය ඉතා පැහැදිලි වී ඇත. එහිදී පෙනීගොස් ඇත්තේ මෙම ප්‍රතිමාව තනිකරම ශෛලවලින් නිර්මාණය කර ඇති බවත්, එය වසර සිය ගණනක් පැරැණි පුරාවස්තුවක් බවත්ය. ප්‍රතිමාවේ ප්‍රමාණය ගැන ඔවුන් මෙසේ කරුණු දක්වා ඇත.
සම්පූර්ණ උස – සෙ.මී. 108 (අඟල් 43)
උරහිස් අතර දිග – සෙ.මී. 58 (අඟල් 23)
උෂ්නිශ (හිස මත අති කවාකාර, උස්වූ හිසකෙස් නිර්මාණය) – සෙ.මී, 07 (අඟල් 03)
මෙම ශෛලමය ප්‍රතිමාව පසුකාලීනව විවිධ අයුරින් රූපමය ලෙස පරිවර්තනයන්ට භාජනය කර ඇත. එහිදී පෙනීගොස් ඇත්තේ මුළු ප්‍රතිමාවේ බොහෝ ප්‍රදේශ සුදු හඳුන්, රතු හඳුන්, කුංකුම, කහ, අළු සහ තෙල් වර්ගවලින් ඉතා ඝන තට්ටු යොදාගෙන ආලේප කර තිබෙන ආකාරයය. මේ හෙයින් රූපයේ සැබෑ ස්වරූපය විකෘති වී ඇත. එබැවින් ප්‍රතිමාවේ සැබෑ ස්වරූපය සොයාගැනීම සඳහා මෙම ආලේපන තට්ටු ඉවත් කිරීමට සිදුවිය. සිද්ධස්ථානයේ භාරකාර පූජකවරයා සහ ඔහුගේ සහායක පිරිස සහභාගි කරවාගෙන එය සිදුකරන ලදී. එහිදී පුදුමාකාර ලෙස පෙනීගියේ මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ එකක්බවය. මේ අනුව පුරාවිද්‍යාඥයන් නිසි නිගමනයකට පැමිණියේය. පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව අධිකරණයටද තීන්දුවකට පැමිණීමට හැකි විය. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයාටද අවසන් තීන්දුව සහ නියෝගය ලබාදීමට හැකි විය.
මෙම මහාධිකරණ අවසන් තීන්දුවේ පිටපත සාමාන්‍ය මාධ්‍යවල පළවී නොතිබිණි. එහෙත් අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා අප එය ඉන්දියානු මැඩ්රාස් මහාධිකරණයේ වෙබ් අඩවියක් හරහා ලබාගතිමු. එය මහාධිකරණ විනිසුරු ආනන්ද් වෙන්කටේෂ්ගේ අස්සනින් යුත් නියෝගයකි. කෙසේ හෝ අද මෙම ඓතිහාසික නඩු තීන්දුව ලොව පුරාම විශාල ආන්දෝලනයකට පත්ව ඇත. මේ අනුව සිදුවන සුවිශේෂ පරිවර්තනය නම් එක් රැයකින් හින්දු කෝවිලක්, බෞද්ධ විහාරයක් බවට පත්වීමය. මෙය කිසිවකුටත් නැවැත්විය හැකි හෝ විරුද්ධ විය හැකි කාරියක්ද නොවේ. මහාධිකරණ තීන්දුවක් යනු සාමාන්‍ය අධිකරණයකට වඩා බොහෝ උසස් බලතල ඇති නියෝගයකි. එහෙයින් මේ වන විටද මෙම සිද්ධියට අදාළව කිසිදු පාර්ශ්වයකින් කුමන හෝ ආකාරයක විරුද්ධත්වයක් ප්‍රකාශ වී නොමැත. මෙහි අපූරු තොරතුර වන්නේ මෙම කෝවිලෙහි කටයුතු කළ ප්‍රධාන පූජකයා සහ සේවක පිරිසද මින් පසුව කටයුතු කළ යුත්තේ මහාධිකරණයේ නියෝගයට අනුව වීමය. කෙසේ හෝ මේ වන විට එම ස්ථානය පරිවර්තනය වීම ඇරඹී ඇත.
දැන් මෙවැනි වටපිටාවක් යටතේ පැනනැඟෙන සුවිශේෂ පැනයක්ද ඇත. එනම් මෙම නඩුව මුලින්ම ගොනුකළ පී. රංගනාදන් නමැති දෙමළ ජාතිකයා අයත් කුමන ආගමකටද යන්න ඒ පැනයයි. ඔහු දෙමළ ජාතික බෞද්ධයෙකි. දෙමළ ජාතික බෞද්ධයන් ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ සිටීද? ශ්‍රී ලංකාවේ නම් දෙමළ ජාතික බෞද්ධයන් සිටින වගට එතරම් සාක්ෂි නැත. එහෙත් පුදුමයට කරුණ නම් ඉන්දියාව තුළ දෙමළ ජාතික බෞද්ධයන් විශාල ප්‍රමාණයක් වාසය කිරීමය. ඉන්දියාව යනු ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයක් විශාල රටකි. මෙහි තිබෙන ජන වර්ග සහ ආගම්ද සිය ගණනකි. එහෙයින් ඉන්දියාව යනු ආගමික සහජීවනය අතින් පුදුමකාර දේශයකි. විවිධ ජාතික හෝ ආගමික ගැටුම් විවිධ අවස්ථාවලදී ඉන්දියාව තුළින් දක්නට හැකි වුවද බොහෝ විට ආගම් අතර සමගියද පෙන්වයි. තත්ත්වය එසේ වුවද ඉහත දෙමළ බෞද්ධයන් විසින් තමිල්නාඩු බෞද්ධ භාරය හරහා මෙම නඩු හබය ගෙන එන ලද අතර අද එය ජයග්‍රහණය කරා ළඟාවී ඇත. මෙහි ප්‍රධාන පෙත්සම්කරු අද ජීවතුන් අතර නැති වුවද මෙම නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම බලාත්මකය. කෙසේ හෝ ඉන්දියාවේ බහුතරයක්ම හින්දු කෝවිල් පිහිටා තිබෙන්නේ තමිල්නාඩුවේය. දත්තවලට අනුව එම ප්‍රමාණය 40,000 ඉක්මවයි. මෙම බොහෝ කෝවිල් සහ දේවාල වසර 800ක පමණ කාලයක ඉතිහාසයක් පුරා දිවයයි. මේ අතර ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානද සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය සිය ගණන ඉක්මවන අතර ඉන්දියාවේ ප්‍රාන්ත 16ක මෙම බෞද්ධ සිද්ධස්ථාන පිහිටා ඇත. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව මේ ස්ථාන සියල්ලම පැරැණි බෞද්ධ විහාරස්ථාන වෙයි. මහාභාරතය හෙවත් ඉන්දියාව යනු සත්‍ය ලෙසම බුදුන් වහන්සේගේ දේශයයි.
ප්‍රියන්ත හෙට්ටිගේ