ලංකාවෙන් ගියේ කිසිම කළකිරීමකින් නෙවේ…
තාත්තගේ සින්දු කියලා හිට් වෙන්න ඕනේ නෑ…
මම ප්‍රසංග වේදිකාවට ගොඩ වීමට අකැමැති කෙනෙක්…
කලක් මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වෙනස් මියුරු හඬ රාවයක් මුසු කළ ඔහුගේ හඬ, වසර ගණනාවකට පසු ‘හිතෙන තරම්’ ගීතය තුළින් නැවැත ඔබට අසන්නට ලැබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ ආදරණීය පුත්රුවන ගයාන් පෙරේරා ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් වසර අටකට පසු ගයාන් ලංකාවට ඇවිත් මොනවද කරන්නේ කියලා දැනගන්න අපි ගයාන්ට කතා කළා.
කොහොමද ගයාන්..?
හොඳයි… මගේ සංගීත කටයුතු සමග කාලය ගතකරමින් ඉන්නවා…
මේ දවස්වල ගයාන්ට ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා ඇති නේද..?
වැල නොකැඩී එක දිගට ආරාධනාවන් ගලාගෙන එනවා. ඒත් මම එහෙම ප්‍රසංග සඳහා සම්බන්ධ වීමට ගියේ නැහැ. තෝරාගත්ත ප්‍රසංග කිහිපයකට විතරක් සම්බන්ධ වුණා පසුගිය දවස්වල. මම ටිකක් ප්‍රසංග වේදිකාවට ගොඩ වීමට අකැමැති කෙනෙක්.
එහෙම ප්‍රතික්‍ෂේප කරමින් පැත්තකට වෙලා ඉන්න එක හරි නැහැ නේද..?
ප්‍රසංග සංවිධාන කරන විදිය අවුලක් දකින නිසා තමයි මම වැඩිය සම්බන්ධ නොවන්නේ. ඔවුන් තුළ තිබෙන කාර්යබහුලත්වය නිසා සමහර විට එහෙම වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් උපරිම දෙය ඒ පුංචි කාලය තුළ කරන්න අපහසුයි. ප්‍රසංග අත්දැකීම මට වගේම ප්‍රේක්‍ෂකයින් උපරිම විඳින්න ඕනෑ. නැතුව වේදිකාවට ගොඩවෙලා සින්දුවක් කියලා ආවා කියලා ප්‍රසංග අත්දැකීම විඳින්න බැහැ.
ගයාන් ලංකාවට ආවේ වසර කිහිපයකට පසුයි. කොහොමද දැනෙන වෙනස..?
මම ලංකාවෙන් ගියේ කිසිම කලකිරීමකින් නෙවේ. මේ ක්‍ෂේත්‍රය ගැන මගේ උසස් අධ්‍යාපනය සඳහා තමයි මම ඇමෙරිකාවට ගියේ. ඉතින් අද ඇවිත් බලන විට අනෙකුත් කර්මාන්තවලට වඩා සංගීත ක්‍ෂේත්‍රයේ ලොකු පිබිදීමක් මම දකිනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මම හිතනවා දැන් තමයි මගේ හොඳම කාලය කියලා. මගේම ගීත නිර්මාණ කිහිපයක් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට රසවිඳීමට ඉඩකඩ සැලසීම තමයි දැන් මගේ සූදානම.
‘ජිප්සීස්’ සමග පූර්ණකාලීනව රැඳෙන්නද අදහස..?
මම ‘ජිප්සිස්’ සංගීත කණ්ඩායමට සම්බන්ධයක් නැහැ. එයට කළමනාකරණය පැත්තෙන් මමයි, අයියයි සම්බන්ධයි. නමුත් මම එහි පූර්ණකාලීන සාමාජිකයෙක් ලෙසට කටයුතු කළෙත් නැහැ. එහෙම කටයුතු කරන්න අදහසකුත් නැහැ. එහි වැඩකටයුතු කරගෙන යන්නේ මගේ පියල් බාප්පා. මට ‘ජිප්සීස්’ කණ්ඩායමට සින්දුවක් කියන්න කියලා ආරාධනාවක් ලැබුණොත් ගායනා කරනවා.
‘හිතෙන තරම්’ ගැන කතා කළොත්..?
මගේ අලුත්ම සින්දුව ‘හිතෙන තරම්’ තනුව සහ පද රචනය කළේ මම. සංගීත අධ්‍යක්‍ෂණය චරිත අකලගේගෙන්. ‘හිතෙන තරම්’ සින්දුවේ රැප් කොටස ගායනා කරන්නේ මානසික් කියලා රැප් ගායන ශිල්පියෙක්. ‘හිතෙන තරම්’ ගීතය අපි රූප රචනාවක් නිර්මාණය කළා. එය නිර්මාණය කළේ භාරත හෙට්ටිආරච්චි. අනුරාධා එදිරිසිංහ තමයි රඟපාන්නේ.
ඉස්සරහට තාත්තගේ සින්දු ගායනා කරන එකක් නැද්ද..?
තාත්තාගේ සින්දු ගායනා කරමින් මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම හිතන්නේ තාත්තාගේ සින්දු ගායනා නොකරන එකම පුතා මම වෙන්න පුළුවන්. කවුරු කියන්න කිව්වත් කියන්න අදහසක් නැහැ. මගේ තාත්තාට ගොඩාක් ප්‍රේක්‍ෂකයන් ආදරය කරන බව මම දන්නවා. නමුත් තාත්තාගේ සින්දු කියලා ජනප්‍රිය වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. මට ඕනෑ මම යන ගමන මගේ උත්සාහයෙන් යන්න තමයි.
‘හිතෙන තරම්’ ගීතයේ ඔබේ රඟපෑම දැකලා ඉදිරියේදී රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්..?
රඟපාන්න ආරාධනා ලැබුණා. රංගනයට මම ගොඩාක් ගරු කරනවා. නමුත් එය ආවට – ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ හැදෑරීමක් සමග තමයි මේ ගමන යන්න ඕනෑ. ඉතින් හොඳ නිර්මාණයකින් හොඳ අධ්‍යක්‍ෂවරයකු මට ආරාධනා කළොත් පුහුණුවක් ඇතිව මම නිර්මාණයට සම්බන්ධ වෙන්න කැමැතියි.
-වසන්ත විතාරණගේ